වැන්දඹුවක් ලෙස, මම සැබෑ සැනසීම සොයා ගතිමි
ලිලී ආතර් විසින් පවසන ලදි
ඉන්දියාවේ, ඌටාකාමුන්ඩ් හි ප්‍රදේශයක යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ යෞවන දේව සේවකයෙක් ගෙයින් ගෙට යමින් සිටියේ ය. චාරිත්‍රය අනුව ස්ත්‍රීහු මෙවන් අමුත්තෙකුට දොර විවෘත නොකළහ. පැය කිහිපයකට පසු, වෑයමින් අධෛර්යයට පත් හෙතෙම, ගෙදර යාමට හැරුණේ ය. එහෙත් ඔහු ඊළඟ නිවසට යාමට කෙසේ හෝ පෙලඹීමක් ලැබ, නැවතුනේ ය. ඔහුට දොර විවෘත කළ කාන්තාව විස්තර කරන පරදි, සිදු වූ දෙය සලකා බලන්න.
මගේ මාස දෙකක් වයසැති දැරිය අතැති ව, මගේ මාස 22ක් වයසැති පුතා මා අසලින් සිටිය දී, මා දොර එකවර විවෘත කළ අතර එහි අමුත්තෙක් සිටිනු මම දුටිමි. ඊට පෙර රාත්‍රියෙහි මම මහත් අසහනයට පත් ව සිටියෙමි. මම සැනසීම සොයා: “ස්වර්ගික පියාණෙනි, ඔබගේ වචනයෙන් මා සනසනු මැනව” කියා යාච්ඤා කළෙමි. මෙහි දී, මා පුදුම කරවමින්, “දෙවියන් වහන්සේගේ වචනයෙන් ඔබට සැනසීමේ හා බලාපොරොත්තුවේ පණිවුඩයක් මං ඔබට ගෙන ආවා” යයි ඒ අමුත්තා පැහැදිලි කළේ ය. ඔහු දෙවියන් වහන්සේ විසින් එවන ලද දිවැස්වරයෙක් විය යුතු යයි මට හැඟිණ. එහෙත් උපකාරය පතා කළ මාගේ යාච්ඤාව කිරීමට මා පෙලඹ වූයේ කුමන තත්ත්වයක් ද?
බයිබල් සත්‍යයන් ඉගෙන ගැනීම
මම දකුණු ඉන්දියාවේ ලස්සන නිල්ගිරි කඳුකරයේ ගුඩාලූර් ග්‍රාමයේ 1922 දී උපත ලැබීමි. මා අවුරුදු තුනක් වයස් ව සිටිය දී මගේ මව මිය ගියා ය. පසු ව, රෙපරමාදු පූජකයෙක් ව සිටි මගේ පියා, නැවත විවාහ විය. අප කථා කරන වයසට පැමිණි විගස, පියා, මගේ සහෝදර සහෝදරියන්ට හා මට යාච්ඤා කරන්නට ඉගැන්වී ය. වයස අවුරුදු හතරේ දී, පියා සිය මේසයේ හිඳ බයිබලය කියවන අතර මම බිම හිඳ මගේ බයිබලය කියවන්නට වීමි.
වැඩිහිටි වයසට පැමිණි පසු මම ගුරුවරියක් බවට පත්වීමි. අනතුරුව, මා අවුරුදු 21ක් වෙත් ම, මගේ පියා මට විවාහයක් සූදානම් කළේ ය. මගේ ස්වාමිපුරුෂයාත්, මමත් පළමු ව පුතෙකු වූ සුන්දර් ද, පසු ව දුවක රත්නා ද ලැබීමෙන් ආශීර්වාද ලැබීමු. රත්නාගේ උපතත් සමඟ, කෙසේ හෝ, මගේ ස්වාමිපුරුෂයා රෝගාතුර වී, වැඩිකලක් යන්නට මත්තෙන් මිය ගියේ ය. අවුරුදු 24ක් ව සිටිය දී, මම හදිසියේ බාල දරුවන් දෙදෙනෙකුගේ වගකීම් ඇති වැන්දඹුවක් බවට පත්වීමි.
ඉන් පසු ව මා සනසන ලෙස මා දෙවියන් වහන්සේට අයැදූ අතර යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකාර දේව සේවකයා පැමිණියේ ඊළඟ දවසේ දී ය. මම ඔහුට ඇතුළට ආරාධනා කළ අතර, “ලෙට් ගෝඩ් බී ට්රූ” පොත ලබා ගතිමි. එම රාත්‍රියේ එය කියවන අතර මට කෙහෙත් ම නොපුරුදු යෙහෝවඃ යන නාමය නිතර දකින්නට ලැබිණ. පසු ව එම දේව සේවකයා පැමිණ මෙය දෙවියන් වහන්සේගේ නාමය බව බයිබලයෙන් මට පෙන්වී ය.
වැඩිකලක් නොගොස් ත්‍රිත්වය හා නිරාගින්න වැනි ඉගැන්වීම් බයිබලය මත පදනම් නොවන බව මම ඉගෙන ගතිමි. දෙවියන් වහන්සේගේ රාජ්‍යය යටතේ පොළොව පාරාදීසයක් වන අතර නැවත නැගිටීමකින් මළා වූ ප්‍රේමනීයයන් නැවත පැමිණෙන බව මා ඉගෙන ගත් විට සහනය හා බලාපොරොත්තුව මට ලැබිණ. වඩාත් වැදගත් ලෙස, මගේ යාච්ඤා අසා, මගේ සහායට පැමිණි සැබෑ දෙවියන් වන යෙහෝවඃ වහන්සේට දැන් මම ප්‍රේම කරන්නට පටන් ගතිමි.
අලුත සොයා ගත් දැනුම බෙදා ගැනීම
දෙවියන් වහන්සේගේ නාමය ඇති එම බයිබල් වගන්ති ඉන් පෙර මට කියවීමට නොහැකි වූ ආකාරය ගැන මම් පුදුම වෙන්නට පටන් ගතිමි. එමෙන් ම මගේ බයිබල් කියවීමේ දී, පාරාදීස පොළොවක සදාකාල ජීවිතයේ පැහැදිලි බලාපොරොත්තුව මා නොදුටුවේ මන්ද? රෙපරමාදු මිෂනාරිවරුන් විසින් පාලනය කරනු ලැබූ පාසලක මා ඉගැන් වූ අතර, මම එම බයිබල් වගන්ති පාසලේ පරිපාලකයාට පෙන්වීමි. (නික්මයාම 6:3; ගීතාවලිය 37:29; 83:17; යෙසායා 11:6-9; එළිදරව් 21:3, 4) කෙසේ හෝ අප මේවා නොසලකා හැර තිබූ බව මම සඳහන් කළෙමි. එහෙත් ඈ සතුටට පත් වූ බවක් පෙනෙන්ට නොතිබීම මගේ මවිතයට හේතු විය.
අනතුරුව මම මෙම බයිබල් වගන්ති උපුටා දක්වමින්, වෙනත් නගරයක විසූ විදුහල්පතිනියකට ලීවෙමි. මම ඇය හා කථා කිරීමට ප්‍රස්තාවක් ඉල්ලා සිටියෙමි. එංගලන්තයෙන් පැමිණි සුප්‍රකට පූජකයෙක් වන ඇයගේ පියා මා සමඟ එම විෂය කථා කරනු ඇතැයි ඇය මට පිළිතුරු එව්වා ය. එම විදුහල්පතිනියගේ සහෝදරයා ප්රමුඛ බිෂොප්වරයෙකු විය.
එම සියලු තොරතුරු හා ශුද්ධ ලියවිලි පද සූදානම් කර ගෙන, “ලෙට් ගෝඩ් බී ට්රූ” නම් පොත ද රැගෙන මගේ දරුවන් සමඟ මම අල්ලපු නගරයට ගියෙමි. යෙහෝවඃ වහන්සේ කවරෙක් ද යන්නත්, ත්‍රිත්වයක් නොමැති බවත්, එසේ ම මා ඉගෙන ගත් වෙනත් කරුණුත් මහත් උනන්දුවෙන් යුක්ත ව, මම විස්තර කළෙමි. ඔවුහු වචනයක්වත් කථා නොකර මට සවන් දීගෙන සිටියහ. අනතුරුව එංගලන්තයෙන් පැමිණි පූජකයා කථා කොට: “මම ඔබ වෙනුවෙන් යාච්ඤා කරන්නම්” යයි කීය. ඉන් පසු හෙතෙම මා උදෙසා යාච්ඤා කර මට යන්නට කීය.
වීථි සාක්ෂි දැරීම
දිනක් මුරටැඹ හා පිබිදෙව්! සඟරා සමඟින් වීථි සාක්ෂි දැරීමට එම යෙහෝවඃ වහන්සේගේ දේව සේවකයා මට ආරාධනා කළේ ය. එය මට කවදාවත් කළ නොහැක්කක් යයි මම ඔහුට කීවෙමි. ඉන්දියාවේ පාරක සිටගෙන සිටින නැතහොත් ගෙයින් ගෙට යන කාන්තාවක් ගැන ජනයා ඉතා නරක ලෙස කල්පනා කරන්නට ඉඩ තිබේ. එය කාන්තාවගේ හොඳ නමට මෙන් ම ඇයගේ පවුල කෙරෙහි පවා නින්දාවක් විය හැකි ය. මම මගේ පියාට ගැඹුරු ප්‍රේමයක් හා ගෞරවයක් දැක්වූ බැවින්, ඔහු කෙරෙහි නින්දාවක් ගෙනෙන්නට මට වුවමනා නොවී ය.
එහෙත් එම දේව සේවකයා මෙසේ පවසන බයිබල් වගන්තියක් මා හට පෙන්වී ය: “මාගේ පුත්‍රය, මට නින්දාකරන්නාට උත්තරදෙන පිණිස නුඹ ප්‍රඥාවන්තව සිට මාගේ සිත [හෘදය NW] ප්රීතිකරපන්න.” (හිතෝපදේශ 27:11) “ඔබ යෙහෝවඃ වහන්සේ උදෙසා, එමෙන් ම උන් වහන්සේගේ රාජ්‍යය උදෙසා බව ප්‍රසිද්ධියේ පෙන්වීමෙන්, ඔබ උන් වහන්සේගේ හෘදය සතුටු කරනවා” යයි හෙතෙම පැවසී ය. අන් සියල්ලකට ම වැඩියෙන් යෙහෝවඃ වහන්සේගේ හෘදය සතුටු කිරීමට කැමති වූ මම සඟරා බෑගය රැගෙන ඔහු සමඟ වීථි සාක්ෂි දැරීමේ වැඩයට ගියෙමි. මා එය කළ ආකාරය ගැන මට දැන් පවා සිතාගන්නටවත් බැරි ය. එය සිදු වූයේ මට මෙය දැනගන්නට ලැබීමෙන් මාස හතරකට පමණ පසු, එනම් 1946 දී ය.
භය ජය ගැනීමට ධෛර්යවත් කරනු ලැබීම
වර්ෂ 1947 දී, ඉන්දියාවේ නැගෙනහිර වෙරළ තීරයේ, මදුරාසිය අසල ගුරු වෘත්තියක් භාර ගත් මම, දරුවන් සමඟ එහි පදිංචියට ගියෙමි. අට දෙනෙකුගෙන් පමණ සමන්විත යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ කුඩා පිරිසක් නිතර නගරයේ එක් රැස් වූහ. එම රැස්වීම්වලට පැමිණෙනු පිණිස අපට සැතපුම් 16ක් පමණ ගමන් යාමට සිදු විය. ඒ කාලයේ ඉන්දියාවේ ස්ත්‍රීන් සාමාන්‍යයෙන් තනි ව ගමන් ගියේ නැත. ඔවුහු තමන් කැඳවා ගෙන යාම සඳහා පුරුෂයින් කෙරෙහි රැඳී සිටියහ. බසයකට නැගිය යුතු ආකාරය, ටිකට් පතක් ගත යුතු ආකාරය, බසයෙන් බැසිය යුතු ආකාරය යනාදිය මා දැන සිටියේ නැත. මා යෙහෝවඃ වහන්සේට සේවය කළ යුතු යයි මට හැඟිණ, නමුත් ඒ කෙසේ ද? එබැවින් මම: “යෙහෝවඃ දෙවියන් වහන්ස, ඔබට සේවය නොකර මට සිටිය නොහැකි ය. එහෙත් ඉන්දියානු කතක් වශයෙන් මට ගෙයින් ගෙට යාමට කොහෙත් ම නොහැකි ය” කියා යාච්ඤා කෙළෙමි.
මෙම ආරවුලෙන් මිදීමට යෙහෝවඃ වහන්සේ මට මැරෙන්නට ඉඩ හරිනු ඇතැයි මම බලාපොරොත්තු වූයෙමි. කෙසේ වෙතත්, යමක් බයිබලයෙන් කියවන්නට මම තීරණය කළෙමි. මා පෙරලන්නට යෙදුණේ යෙරෙමියාගේ පොත ය, එහි මෙසේ සඳහන් විය: “මම බාලයෙක්මියි නොකියා, මා විසින් නුඹ යවන සියල්ලන් ළඟට ගොස්, මා නුඹට අණකරන සියල්ල කියාපන්න. ඔවුන්ට භය නොවන්න; මක්නිසාද නුඹ ගළවන්ට මම නුඹ සමඟ සිටිමි.”—යෙරෙමියා 1:7, 8.
ඇත්තෙන් ම මට දැනුනේ යෙහෝවඃ වහන්සේ මට කථා කරන්නාක් මෙන් ය. එබැවින් මම ධෛර්ය ගෙන, විගස මගේ මහන මැෂිම කරා ගොස් සඟරා රැගෙන යාම පිණිස බෑගයක් මැසුවෙමි. මහත් උනන්දුවෙන් යාච්ඤා කළායින් පසු, මම තනි ව ගෙයින් ගෙට ගොස්, මගේ ප්‍රකාශන සියල්ල බෙදා දී, එදින ම බයිබල් පාඩමක් පවා පටන් ගතිමි. මගේ ජීවිතයේ පළමු තැන යෙහෝවඃ වහන්සේට දීමට අධිෂ්ඨානයක් ගත් මම, මගේ පූර්ණ විශ්වාසය හා නිසැකකම උන් වහන්සේ කෙරෙහි තැබීමි. වාචික නින්දාවන් මැද, ප්‍රසිද්ධ දේශනා සේවය මගේ ජීවිතයේ විධිමත් ක්‍රියාවලියක් බවට පත් විය. විරුද්ධත්වයන් නොසලකා, මගේ ක්‍රියාකාරිත්වය සමහරෙක් කෙරෙහි බලවත් හැඟීමක් ඇති කරවී ය.
ඉන් වසර බොහොමයකට පසු මගේ දියණිය හා මා මදුරාසියේ ගෙයින් ගෙට ගිය අවස්ථාවෙහි මෙය පැහැදිලි විය. මහාධිකරණයේ විනිශ්චකාරයෙක් වන, හින්දු භක්තික මහත්මයෙක්, මගේ වයස වරදවා තේරුම් ගනිමින් මෙසේ කීවේ ය: “මම මෙම සඟරා ගැන ඔබ ඉපදෙන්නට පෙර සිට දන්නවා! දැනට වසර තිහකට පෙර එක්තරා කාන්තාවක් නිරතුරුව මවුන්ට් පාරේ සිට ගෙන, මේවා ඉදිරිපත් කරන්නට පුරුදු ව සිටියා” යයි කීය. ඔහුට දායකයක් වුවමනා විය.
තවත් නිවසක විශ්‍රාම ලත් නිලධාරියෙක් වන, එක්තරා හින්දු බ්‍රාහ්මණයෙක්, අප ව ඇතුළට ආරාධනා කර මෙසේ පැවසී ය: “දැනට වසර ගණනාවකට පෙර එක්තරා කාන්තාවක් මවුන්ට් පාරේ මුරටැඹ සඟරා ඉදිරිපත් කළා. ඇයට දක්වන සැලකීමක් වශයෙන් ඔබ ඉදිරිපත් කරන දෙය මා ගන්නම්” යයි කීය. ඔවුන් දෙදෙනා ම යොමු දැක් වූ එම කාන්තාව මා බව මා දැන සිටි බැවින් මට මඳ සිනහවක් පහළ විය.
ශක්තිමත් කර ආශීර්වාද කරනු ලැබීම
යෙහෝවඃ වහන්සේට වූ මගේ කැප වීම වතුර බව්තීස්මයෙන් මා සංකේතවත් කළේ වර්ෂ 1947 ඔක්තෝබර් මාසයේ දී ය. එවිට මුළු ප්‍රාන්තයේ ම සිටි එක ම දෙමළ කථා කරන කාන්තාව වූයේ මා ය, එහෙත් දැන් සිය ගණන් දෙමළ ස්ත්‍රීහු යෙහෝවඃ වහන්සේගේ විශ්වාසනීය, ක්‍රියාශීලී සාක්ෂිකාරියන් ව සිටිති.
මා බව්තීස්ම වීමෙන් පසු, සෑම දෙසින් ම විරුද්ධවාදිකම් ඇති විය. මගේ සහෝදරයා මෙසේ ලීවේ ය: “නුඹ සියලු ශිෂ්ටත්වයන් හා විනීතතාවන් අභිබවා ගොස් සිටිනවා.” මා සේවය කළ පාසලෙන් ද, මා අවට සමාජයෙන් ද විරුද්ධවාදිකම් ලැබුණි. එහෙත් මම නොනවත්වා කළ, අවංක යාච්ඤාවෙන් යෙහෝවඃ වහන්සේට තවත් ළං වූයෙමි. මා මධ්‍යම රාත්‍රියෙහි අවදි වූයේ නම්, විගසින් ම කරන්නේ භූමිතෙල් ලන්තෑරුම දල්වා පාඩම් කිරීම ය.
මා ශක්තිමත් වෙත් ම, අන්‍යයන්ට සැනසීම ගෙන දෙමින් ඔවුන්ට උපකාර කිරීමට හැකියාව ඇති වඩාත් හොඳ තත්ත්වයක මම සිටියෙමි. මා සමඟ පාඩම් කළ එක්තරා වයස් ගත හින්දු කාන්තාවක් යෙහෝවඃ වහන්සේගේ නමස්කාරය සඳහා ස්ථිර ස්ථාවරයක් ගත්තා ය. ඇය මිය ගිය විට, එම නිවසේ සිටි වෙනත් ස්ත්‍රියක් මෙසේ පැවසුවා ය: “අප ව ඉතා සතුටු කළ දෙය නම්, අවසානය දක්වා නමස්කාර කිරීමට ඇය තෝරා ගත් දෙවියන් වහන්සේට ඈ දැක්වූ පක්ෂපාතිත්වයයි.”
මා සමඟ ඉගෙන ගත් තවත් ස්ත්‍රියක් කිසිදා සිනාසුනේ නැත. ඇයගේ මුහුණෙන් නිතර පිළිබිඹු වූයේ කාන්සාව හා දුක්බර ගතියයි. එහෙත් යෙහෝවඃ වහන්සේ ගැන ඇයට ඉගැන්වීමෙන් පසු, උන් වහන්සේ අපගේ කරදර ගැන දන්නා නිසාත්, අප ගැන සැලකිලිමත් වන නිසාත්, උන් වහන්සේට යාච්ඤා කිරීමට මම ඇයට උනන්දු කළෙමි. ඊළඟ සතියේ ඇගේ මුහුණ දීප්තිමත් වී තිබිණි. මා ඇය සිනාසෙනු දුටු පළමු අවස්ථාව එය විය. “මම යෙහෝවඃ වහන්සේට යාච්ඤා කරමින් සිටියා. දැන් මට හෘදයේ හා මනසේ සාමය තිබෙනවා” යයි ඇය පැහැදිලි කළා ය. ඇය සිය ජීවිතය යෙහෝවඃ වහන්සේට කැප කර බොහෝ දුෂ්කරතා මැද තවමත් ඇදහිලිවන්ත ව සිටින්නී ය.
වගකීම් සමබර කිරීම
රැකබලා ගත යුතු කුඩා දරුවන් දෙදෙනෙක් සිටිය දී, පුරෝගාමියෙකු ලෙස යෙහෝවඃ වහන්සේට පූර්ණ කාලීන ව සේවය කිරීමට තිබූ මගේ ආශාව කිසිදා ඉෂ්ට නොවනු ඇතැයි යන හැඟීමක් මට දැණින. එහෙත් බයිබල් ප්‍රකාශන දෙමළ භාෂාවට පරිවර්තනය කිරීම සඳහා යමෙක් අවශ්‍ය වූ විට, නව සේවා ප්‍රස්තාවක් විවෘත විය. යෙහෝවඃ වහන්සේගේ උපකාරය ඇති ව, මම එම පැවරුම සඳහා ක්‍රියා කළ අතර ගුරුවරියක් ලෙස ලෞකික රැකියාවක නිරත වෙමින්, මගේ දරුවන් රැකබලා ගැනීමට, මගේ ගේදොර කටයුතු කිරීමට, සියලු රැස්වීම්වලට පැමිණීමට, හා ක්ෂේත්‍ර සේවයේ නිරත වීමට හැකියාවක් ලැබිණ. අවසානයේ, මගේ දරුවන් වැඩිවියට පත්වෙත් ම, මම පසුගිය වර්ෂ 33 පුරා භුක්ති විඳි වරප්‍රසාදයක් වන, විශේෂ පුරෝගාමියෙක් බවට පත්වීමි.
සුන්දර් හා රත්නා බාල වියේ සිටිය දී ම, ඔවුන් තුළ යෙහෝවඃ වහන්සේ සඳහා ප්‍රේමයක් පැළ පදියම් කරන්නට ද තමන්ගේ ජීවිතයේ සියලු දේවල දී උන් වහන්සේගේ කැමැත්ත පළමු තැනට තැබීමට ආශාවක් ඇති කරන්නට ද මම වෑයම් කළෙමි. නින්දෙන් අවදි වූ සැනින් ඔවුන් කථා කළ යුතු පළමු පුද්ගලයා යෙහෝවඃ වහන්සේ බවත්, නින්දට යාමට පෙර අවසන් කොට තමන් කථා කළ යුතු පුද්ගලයා උන් වහන්සේ ම බවත් ඔවුහු දැන සිටියහ. එමෙන් ම ක්‍රිස්තියානි රැස්වීම් හා ක්ෂේත්‍ර සේවයට සූදානම් වීම පාසලෙන් දෙන ගෙදර වැඩ නිසා අතපසු නොකළ යුතු බවත් ඔවුහු දැන සිටියහ. සිය පාසල් කටයුතුවල පූර්ණ සමර්ථකමක් දැක්වීමට මා ඔවුන් දිරිගැන්වුව ද, එය ඔවුන්ගේ ජීවිතවල වඩාත් ම වැදගත් දෙය කරවනු ඇතැයි බියෙන්, ඔවුන් ඉහළ සාමාර්ථයක් ලැබිය යුතු යයි මා බලකර ඉල්ලා සිටියේ නැත.
ඔවුන් බව්තීස්මය ලැබීමෙන් පසු, පාසල් නිවාඩු කාලය පුරෝගාමි සේවයේ යෙදෙන්නට යොදා ගත්හ. මා සිටියාක් මෙන්, බයාදු එමෙන් ම ලැජ්ජාශීලී නොවී නිර්භීත වන්නට මම රත්නාට දිරිගැන්වීමි. ඇයගේ ජ්‍යෙෂ්ඨ පාසල හා වාණිජ පුහුණුව අවසන් කළ පසු, ඇය පුරෝගාමි සේවය පටන් ගත් අතර, පසු ව ඇය විශේෂ පුරෝගාමියක වූවා ය. කාලයාගේ ඇවෑමෙන්, ඇය, දැනට ඉන්දියාවේ වොච් ටවර් සමිතියේ ශාඛා කමිටු සම්බන්ධීකාරක ලෙස සේවය කරන, සංචාරක අවේක්ෂකයෙක් වූ, රිචඩ් ගෙබ්‍රියෙල් හා විවාහ වූවා ය. ඔවුන් හා ඔවුන්ගේ දියණිය වන ඇබිගේල්, ඉන්දියානු ශාඛාවේ පූර්ණ කාලීන ව සේවය කරන අතර ඔවුන්ගේ පුත් ඇන්ඩෲ, ශුභාරංචියේ ප්‍රචාරකයෙකි.
කෙසේ වුවද, වයස අවුරුදු 18ක් ව සිටිය දී, සුන්දර්, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් සමඟ ඇසුර නැවැත්වීමෙන් මගේ හද බින්දේ ය. ඊට පසු අවුරුදු මට දුක්බර කාලයක් විය. ඔහු හදාවඩා ගැනීමේ දී මගේ පැත්තෙන් සිදුවන්නට ඇති කිනම් හෝ වැරදි උදෙසාත්, සුන්දර් යළි හැරී එනු පිණිස ඔහුට හොඳ සිහිය ලබා දෙන ලෙසත්, මම නොකඩවා යෙහෝවඃ වහන්සේට කන්නලව් කළෙමි. එහෙත්, කල්යත් ම, මට සියලු බලාපොරොත්තු අහිමි විය. අනතුරුව වසර 13කට පසු, ඔහු පැමිණ: “අම්මේ, කනස්සලු වෙන්න එපා, මගේ තත්ත්වේ හරි යාවි” යයි කීවේ ය.
ඒත් සමඟ ම, ආත්මික මේරූ භාවය ලැබීමට සුන්දර් විශේෂිත වෑයමක් දැරී ය. ඔහුට යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ සභාවක අවේක්ෂණය ලැබුණ තරමට ඔහු වර්ධනය විය. පසු ව ඔහු පුරෝගාමියෙක් වීම පිණිස ඔහුගේ හොඳ වැටුපක් ලැබෙන රැකියාව ද අත් හැරියේ ය. දැන් ඔහු හා ඔහුගේ බිරිඳ වන එස්තර්, ඉන්දියාවේ දකුණු කොටසේ බැංගලෝරයේ මෙම සේවයේ නියැලී සිටිත්.
දිවි ඇති තුරා සැනසීම
අතීතයේ මා හට වේදනා මෙන් ම අපහසුතාවයන් විඳින්නට ඉඩ දීම ගැන බොහෝ විට මම යෙහෝවඃ වහන්සේට ස්තුති කරන්නෙමි. එවන් අත්දැකීම් නොමැති ව, මෙතරම් දුරට යෙහෝවඃ වහන්සේගේ යහපත් භාවය, උන් වහන්සේගේ දයාව, මෙන් ම උන් වහන්සේගේ මුදු මොළොක් සැලකිල්ලේ හා ස්නේහයේ ප්‍රකාශයන්, රසබැලීමේ වටිනා වරප්‍රසාදය මට අහිමි වනු ඇත. (යාකොබ් 5:11) “පියා නැත්තාටද වැන්දඹුවටද” ඇති යෙහෝවඃ වහන්සේගේ අවධානය හා සැලකිල්ල පිළිබඳ ව බයිබලයෙන් කියවීම හද උණුසුම් කරවන්නක් ය. (ද්විතීය කථාව 24:19-21) එහෙත් උන් වහන්සේගේ අවධානය හා සැලකිල්ල, සැබෑ ලෙස අත්දැකීමේ සැනසීම හා ප්‍රීතිය සමඟ සැසඳීමේ දී එය කිසිත් නැත.
මම, මගේ ම වැටහීම මත රැඳී නොසිට, මගේ සියලු මාර්ගවල දී යෙහෝවඃ වහන්සේ ගැන අවධානය යොමු කරමින්, උන් වහන්සේ කෙරෙහි සම්පූර්ණ දැඩි විශ්වාසය හා නිසැකකම තැබීමට ඉගෙන ගෙන සිටිමි. (ගීතාවලිය 43:5; හිතෝපදේශ 3:5, 6) යෞවන වැන්දඹුවක් හැටියට, මම උන් වහන්සේගේ වචනයෙන් සහනය සඳහා දෙවියන් වහන්සේට යාච්ඤා කළෙමි. දැන්, අවුරුදු 68ක් ව සිටිය දී, බයිබලය තේරුම් ගැනීමෙන් හා එහි උපදෙස් අදාළ කර ගැනීමෙන්, මා හට මැනිය නොහැකි සැනසීමක් ලැබී ඇති බව සැබවින් ම පැවසිය හැකි ය. w91 2/1
[26වන පිටුවේ පින්තූරය]
ලිලී ආතර් ඇගේ පවුලේ සාමාජිකයන් සමඟ