“අගය කිරීම නිසා ගලාගිය කඳුළු”
“අගය කිරීමෙන් යුත් ගලා ගිය කඳුලෙන් යුතු ව ඔබට ලියමි, ‘දුක් පීඩාවට ලක් වූ කෙනෙකුට නැවත සන්තෝෂය ලබා ගැනීමට උපකාර කළ හැක්කේ කෙසේ ද?’ (ද වොච්ටවර් 1990 මාර්තු 15 පිටු 26-30) යන ලිපිය මම දැන් කියවා අවසන් කෙළෙමි.” එසේ ආරම්භ කොට තිබුණේ, 1990 මාර්තු 1 සහ 15 දා අපගේ (ද වොච්ටවර්) කලාපවල පළ වූ ලිපි පිළිබඳ ව ලැබුණු ඇගයීමේ ලිපිවලින් එක් ලිපියක ය. කෙසේ වුවද මෙම විශේෂ ප්රකාශනය ලැබුණේ, මෑතක දී භින්නොන්මාදය [schizophrenia] වැළඳුණු තරුණ පුතෙක් සිටින ජපානයේ සහෝදරියකගෙනි. ඈ මෙසේ විස්තර කරන්නී ය:
“මානසික ව දුක් පීඩාවට ලක් වූ පුද්ගලයෙක් ව සෑම දිනක ම සැනසීම හා දිරිගැන්වීම සමහර විටෙක අතිශයින් වෙහෙස සහගත ය. අඳුර වැටෙත් ම, භය සහ කාන්සාව මගේ පුතා ව වෙලා ගනී. ඉතින් මම ඔහුට නිදිපෙති කිහිපයක් දී, ඔහුගේ ඇඳ අසලට වී ඔහුගේ අත් පිරිමදිමින් ඔහු නින්දට යන තෙක් ඔහුගේ නළලට මගේ අත තබා ගෙන සිටිමි. එය හරියට කුඩා දරුවෙකුව ඇඳේ තබනවාක් මෙන් වන අතර, පැයකට පමණ පසු අන්තිමේ දී ඔහු ගැඹුරු නින්දකට වැටෙයි. මට සහනයක් දැනෙන්නේ එවිට ය. නමුත් හෙටත් මට මේ දෙය ම කරන්නට සිදුවෙන බව මම මට ම කියා ගනිමි.
“ ‘මම කිසි දෙයකට වටින්නේ නැහැ, මට කිසි බලාපොරොත්තුවක් නැහැ’ යයි මගේ පුතා පවසයි. සෑම දිනක ම ඔහු මහත් දුකෙන් අසන්නේ, ‘මගේ අසනීපය කවදා සනීප වෙයි ද? මා බෙහෙත්වලින් නිදහස් වෙන්නේ කවදා ද? මේ විදිහට මට තව කොච්චර කල් ජීවත් වෙන්නට වෙයි ද?’ මේ වැනි අවස්ථාවල දී සඟරාවේ යෝජනා කර තිබුණාක් මෙන් ඔහුගේ මනස වෙනස් කිරීමට මා ප්‍රශ්න පාවිච්චි කරන අතර, මෙය ඔහුගේ තත්ත්වය තරමක් දුරට හෝ සමනය කිරීමට ඉවහල් වෙයි. නමුත් දිනින් දින එම අත්දැකීමට නැවත නැවත මුහුණ පාන්නට සිදු වෙයි.
“මධ්‍යම රාත්‍රියේ දී ඔහුට තදබල කාංසාවක් දැනෙන විට තමා වෙනුවෙන් යාච්ඤා කරන ලෙස සභාවේ වැඩිමහල්ලන්ට දුරකථනයෙන් හඬ ගසන අවස්ථා ද තිබේ. මෙය ඔහුට මහත් සැනසිල්ලක් ගෙන දී ඔහුගේ මනස පහසු තත්ත්වයක තබයි. බොහෝ විට මගේ පුතාගේ තත්ත්වය වඩාත් දරුණු අතට පත්වෙන්නේ, මගේ සැමියා (ඇදහිල්ලේ නොවන කෙනෙක්) ඔහුගේ ව්‍යාපාර ගමන් සඳහා පිටත ගොස් සිටින විට ය. මා දුරකථනයෙන් අමතා උපකාර පතන විට බොහෝ සහෝදරයන් සැනෙකින් අපගේ නිවසට පැමිණෙති.
“සහෝදරයනි, විටින් විට මෙවැනි ලිපි පළකිරීම ගැනත්, දුර්වලයන්ගේ අවශ්‍යතාවයන් ගැන සැලකිල්ල දැක්වීම ගැනත් මගේ හදපත්ලෙන් නැගෙන ස්තූතිය පිළිගන්න.”
H.H. [අත්සන් කරන ලදි] w90 12⁄1