මැසඩාව මෙසියස් වහන්සේ පැමිණී බවට සාක්ෂියක් ද?
ආගමේ නාමයෙන් ලේ වැගිරීම ඉතිහාසයෙහි යළි යළි සිදුවන වසංගතයක් වී තිබේ. මැසඩාව ද විශේෂයක් නොවේ, එහි ආරක්ෂාකරුවන්ට බලවත් ආගමික පෙලඹීම් තිබිණ. මැසඩාවෙහි කැනීම් ඔබ බලන්නට ගියහොත්, නමස්කාරය සඳහා කිනිසිවලින් මිනීමරුවන් එක්රැස් වූ සිනගෝගයක හා ආගමික පවිත්රත්වය සඳහා පාවිච්චි කරන ලද ජල තටාකවල නටඹුන් ඔබට දැක ගත හැක.
මැසඩාවේ තිබී බයිබලයේ කොටස් ද සොයා ගන්නා ලදි. කිනිසිවලින් මිනීමරුවන්ට ලබාගැනීමට හැකි වූ බයිබල් පණිවුඩය අදදින අප බයිබලයෙහි කියවන දෙයට සමාන වන්නේ කෙසේදැයි ඔබ කල්පනා කරන්ට පුළුවන. ආචාර්ය යිගෙල් යාඩින් මැසඩා යන තමාගේ පොතෙහි එබඳු සොයා ගැනීමක් පිළිබඳ ව මෙසේ පැවසී ය:
“ස්ථානය ඉක්මනින් පරීක්ෂා කිරීමේ දී ගීතාවලිය පොතෙන් කොටසක් මෙහි තිබූ බව අපට දැක ගත හැකි විය, තවද පරිච්ඡේද පවා අපට හඳුනා ගැනීමට හැකි විය. එම කොටසට ගීතාවලිය 81 සිට 85 ඇතුළත් විය . . . කිසිදු අනුමානයක් නැතු ව එය අයිති වූ කාලය නියම කිරීමට හැකි විය. පොදු යුගයේ 73වන වසරට වඩා පසු ව විය නොහැක, එය මැසඩාව වැටුණු වසර ය. . . . පසු ව අප සොයා ගත් වෙනත් බයිබල් පොත් ගීතාවලිය පොතේ මෙම කොටස ද. . .අදදින අප පාවිච්චි කරන බයිබල් පොත්වල පාඨයන්ට බොහෝ දුරට සමාන ය.”
රෝමයට එරෙහි ව තමන්ගේ නැගී සිටීමට හෙබ්‍රෙව් ශුද්ධලියවිලිවල දිව්‍ය කතෘවරයාණන් ආශිර්වාද කරනු ඇතැයි, පැහැදිලි ව ම කිනිසිවලින් මිනීමරුවෝ විශ්වාස කළහ. ද යුනිවර්සල් ජුවිෂ් එන්සයික්ලොපීඩියා විස්තර කරන පරිදි: “මෙසියානු යුගය අතළඟ බව යන ඔවුන්ගේ විශ්වාසයෙන් (පොදු යුගයේ 66-73) රෝමයට එරෙහි ව සිදු කරන ලද මහා යුද්ධයේ දී යුදෙව්වරුන්ගේ සීමාන්තික උද්යෝගය ශක්තිමත් විය. දේවමාලිගාව නැතිවීමෙන් මෙසියස් වහන්සේගේ පැමිණීම පිළිබඳ අනුමාන කිරීම් වැඩි විය.”
මෙසියස් වහන්සේගේ පැමිණීම
“යුදෙව් මෙසියානු උද්යෝගිමත්කරුවන් බොහෝ විට තමන්ගේ ගණන් බැලීම් දානියෙල්ගේ පොත මත පදනම් කරන්නට ඇත” යයි ද එන්සයික්ලොපීඩියා ඔෆ් රිලිජන් සඳහන් කරයි. ‘අධිපතියා වූ ආලේපලත් තැනැත්තාගේ’ පැමිණීම හෙබ්‍රෙව් අනාගතවක්තෘ දානියෙල් පුරෝකථනය කළ බව සැබෑවකි. (දානියෙල් 9:25) මෙසියස් වහන්සේ ලෝකයේ පාලකයාණන් වී උන් වහන්සේගේ රාජ්‍යය මගින් සියලු ම විරුද්ධවාදී මනුෂ්‍ය ආණ්ඩු විනාශ කරනු ඇතැයි, වෙනත් වාර්තා දෙකක දී, දානියෙල් පැවසී ය.—දානියෙල් 2:44; 7:13, 14.
මෙම අනාගතය හෙළි කරන දර්ශනවල ඉටුවීමට කාලය පැමිණ ඇතැයි පළමු සියවසේ යුදෙව් විප්ලවකරුවන්ට හැඟුණි. “සියල්ලකට ම වැඩියෙන් යුද්ධයට ඔවුන් ව පෙලඹ වූ දෙය නම් එම කාලයේ දී තමන්ගේ රටෙන් කෙනෙකු ලෝකයේ පාලකයා වනු ඇතැයි යන [විශ්වාසය] බව’’ ජොසෆස් සඳහන් කරයි. නමුත් පළමුවෙන් මෙසියානු අධිපතියා “සිඳදමනු” ලැබිය යුතු බව ද උන් වහන්සේගේ මරණයෙන් පසු යෙරුසලම හා එහි දේවමාලිගාව ‘පැමිණෙන වෙනත් අධිපතියෙකුගේ සෙනඟක්’ විසින් විනාශ කරනු ඇතැයි ද දානියෙල් පුරෝකථනය කළේ ය.—දානියෙල් 9:25, 26.
විජාතීන්ගේ පාලනය පිළිබඳ යුදෙව් මතයන්
පළමු සියවසේ යුදය ධනවතුන් ස්වල්ප දෙනෙක් හා දුප්පතුන් බොහෝමයක් අතරෙහි බෙදී තිබිණ. ඇතැම් ධනවත් යුදෙව්වරු, විශේෂයෙන් ම සද්දුසිවරු සහ ඵරිසිවරු අතරෙහි සිටි අය, දේශයෙහි තමන්ට ඇතු ව සිටීමට රෝමය විසින් ඉඩ දී තිබූ බලය අගය කරමින්, සාමාන්‍ය ජනයා හෙළා දුටූහ. එබැවින්, විප්ලව කිරීමේ ඕනෑ ම අදහසකට ඔව්හු විරුද්ධ වූ අතර, රෝමය සමඟ සාමකාමි සබඳතා ඇතිකර ගැනීමට කටයුතු කළහ.—ලූක් 16:14; 19:45, 46; යොහන් 2:14; 7:47-49; 11:47, 48.
අනෙක් අතට, සාමාන්‍ය යුදෙව්වරු රෝම බදු අය කිරීමේ බර යටතේ සහ ඔවුන්ගේ ම පීඩාකාරී රටවැසියන් නිසා දුක් වින්දහ. පැක්ස් රොමානා (රෝම සාමය) යනුවෙන් හඳුන්වනු ලැබු දෙය යටතේ සිටීමෙන් ඔවුන් සහනයක් ලැබුවේ නැත, නුමුත් ඔවුන්ට වෙනසක් වුවමනා විය. මෙම අරමුණුවල භේදය නිසා බරපතළ සිවිල් ආරවුල් ඇති විය. “එක කණ්ඩායමක් අධිපතිකම් කිරීමට නැඹුරු වී සිටි අතර, අනෙක් කණ්ඩායම සැහැසිකමට හා ධනවතුන්ගෙන් සොරකම් කිරීමට නැඹුරු වී සිටියේ ය.”
උදාහරණයක් වශයෙන්, කිනිසිවලින් මිනීමරන්නෝ සෙසු යුදෙව්වරුන්ගෙන් කොල්ලකමින් ඔවුන් ව මරණයට පත් කළ අතර, රෝමය සමඟ සහයෝගයෙන් ක්‍රියා කළේ යයි සිතූ යුදෙව්වරුන්ට දඬුවමක් වශයෙන් මෙම ත්‍රස්තවාදි ක්‍රියා සාධාරණ යයි පැවසූහ. ජොහානන් බෙන් ටොර්ටා යන, දෙවන සියවසේ රබ්බිවරයෙක්, පළමු සියවසේ යුදෙව්වරුන් පිට පැමිණි විපත්තියට මෙම හේතුව ඉදිරිපත් කළේ ය: “ඔව්හු මුදලට තෘෂ්ණාව දක්වා, එකිනෙකාට වෛර කළහ.”
සැබෑවට ම දේව බිය ඇති යුදෙව්වරු මෙසියස් වහන්සේගේ පෙනී සිටීම කෙරෙහි ආශාවක් දැක්වීම පුදුමයක් නොවේ, උන් වහන්සේ රෝම පාලනය පෙරළා දමා දෙවියන් වහන්සේගේ සාධාරණ පාලනයක් පිහිටුවනු ඇතැයි ඔව්හු බලාපොරොත්තු වූහ. නුමුත් කපටි මනුෂ්‍යයෝ මෙම බලාපොරොත්තුවලින් අනිසි ප්‍රයෝජන ලබා ගත්හ.
බොරු මෙසියස්වරු
පොදු යුගයේ 33 දී පමණ, යුදෙව් නායකයෙක් වූ ගමාලියෙල්, යෙරුසලමේ සෙසු පාලකයන්ට මෙසේ මතක් කළේ ය: “මේ දවස්වලට පළමුවෙන් තුදාස් තෙමේ තමාත් වැදගත් කෙනෙක්ය කියා නැගිට්ටේය; ගණනින් හාරසියයක් පමණ මනුෂ්‍යයෝ ඔහුට එකතු වුණෝය. ඔහු මරණලද්දේය; ඔහුට යම් පමණ දෙනෙක් කීකරුවූවෝද ඒ සියල්ලෝම විසුරුවනු ලැබ නැතී වී ගියෝය.”—ක්‍රියා 5:36, 37.
රෝමයට අයබදු අයකිරීමේ අරමුණෙන් පොදු යුගයේ 6වන වසරෙහි සංවිධානය කරන ලද “ලියාපදිංචි කිරීම” නිසා තුදාස්ගේ එදිරි ව නැගී සිටීම හටගත්තේ ය. “රෝමවරුන්ට අයබදු ගෙවීමට යුදෙව්වරු යටත්වුවහොත් [ඔවුන්] බියගුල්ලන්ය” යයි තුදාස් ප්‍රකාශ කළ බව ජොසෆස් අපට පවසයි. තුදාස් යන නාමය පැමිණෙන්නේ යුදා යන නාමයෙන් ය, මෙසියස් වහන්සේ පැමිණීමට අපේක්ෂිත ගෝත්‍රයට ඔහු අයිති වූ බවක් එය අඟවයි. (උත්පත්ති 49:10) “ඔහුගේ වේගවත් කථිකත්වය සහ ඔහුගේ ඉගැන්වීම්වල ජනප්‍රියකම නිසා, ඔහුගේ පක්ෂයට විශාල සංඛ්‍යාවක් ඇදී ආහ, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ඔහු ව සලකනු ලැබුවේ මෙසියස් වශයෙන්” යයි ම’ක්ලින්ටොක් හා ස්ට්‍රෝංගේ සයික්ලොපීඩියා සඳහන් කරයි.
තුදාස්ගේ අනුගාමිකයන් ඔහුත් සමඟ විනාශ නොවූ බව ක්‍රියා 5:37 වාර්තා කරන බව සැලකිල්ලට ගන්න. යුදෙව් විශාරදයෙකු වන ගල්යා කෝන්ෆෙල්ඩ් පවසන පරිදි, ඔහුගේ ව්‍යාපාරය විසින් “ගැඹුරු මුල් සහ මෙසියානු බලාපොරොත්තු ඇති කළේ ය.” සැබෑවට ම, මෙනහෙම් හා එලිඒසර් යන කිනිසිවලින් මිනීමරන්නන්ගේ නායකයන් දෙදෙනා පැවත ආවේ ගලිලයෙක් වූ තුදාස්ගෙන් ය. පොදු යුගයේ 66 හි යුදෙව් කැරැල්ලේ ආරම්භයේ දී, මැසඩාවෙහි ගබඩා කරන ලද අවිවලින් මෙනහෙම් තමාගේ අනුගාමිකයන් ව සන්නද්ධ කළේ ය. ඊළඟට, “රජකු මෙන් ඔහු යෙරුසලමට පැමිණ විප්ලවයේ නායකයා බවට පත් විය.” “යුදාගේ [පුත්‍ර] මෙනහෙම් මෙසියස් කෙනෙකු හැටියට සැලකූ බව මුළුමනින් ම වාගේ නියත” යයි එන්සයික්ලොපීඩියා ජුඩේයිකා පවසයි.”
කෙසේ වුවද, එම වසරේ දී, තරඟකාරි යුදෙව් විප්ලවකාරී ව්‍යාපාරයක සාමාජිකයෝ මෙනහෙම් ව ඝාතනය කළෝ ය. ඔහුගේ අනුගාමිකයන් ආපසු පලා ගිය අතර, පොදු යුගයේ 73 වන තෙක් එලිඒසර් කිනිසිවලින් මිනීමරනන්ගේ නායකයා බවට පත් විය. එලිඒසර්ගේ සිය දිවි නසා ගැනීමේ කථාවෙන් ප්රතිනාද වන්නේ ඔහුගේ මුතුන්මිත්තා වන තුදාස්ගේ වැරදි ඉගැන්වීම් ය: “මාගේ එඩිතර මිත්‍රවරුනි, දෙවියන් වහන්සේට පමණක් මිස රෝමවරුන්ට හෝ වෙන කිසිවෙකුට සේවය නොකිරීමට, බොහෝ කලක සිට, අපි අධිෂ්ඨාන කරගෙන සිටිමු.”
යුදයෙහි ක්‍රිස්තියානීන්ගේ මධ්‍යස්ථභාවය
පොදු යුගයේ 66හි යුදෙව් කැරැල්ලට ප්‍රථම, යෙරුසලමෙහි සභාව ඇතුළුව, යුදයෙහි ක්‍රිස්තියානි සභා පිහිටුවා තිබිණ. (ක්‍රියා 9:31) මෙම සභා යුදෙව්වරුන්ගෙන් සකස් වී තිබූ අතර, මරණය හා නැවත නැගිටීම පුරෝකථනය කරන ලද මෙසියස් වහන්සේ වනාහි නාසරෙත් හි යේසුස් වහන්සේ බව මොව්හු විශ්වාස කළහ. (ක්‍රියා 2:22-36) යුදෙව් ක්‍රිස්තියානිහු තමන්ගේ විශ්වාසයන් ජ්වලිත ලෙස ව්‍යාප්ත කළ අතර, ලෝක පාලකයාණන් වශයෙන් මෙසියස් වහන්සේගේ දෙවනි පැමිණීම සාමකාමි ලෙස බලාසිටියහ. “බොහෝ කලකට පසු,” තමන් පැමිණීමට යන බව යේසුස් වහන්සේ අඟවා තිබුණි.—මතෙව් 25:19, 31; 28:19, 20; ක්‍රියා 1:8-11.
නුමුත් පොදු යුගයේ 66 හි යුදෙව් කැරැල්ල හටගත් විට, යුදයෙහි ක්‍රිස්තියානීන් එහි ප්‍රථම සාර්ථකත්වයෙන් නොමග නොගොස් ආරක්ෂා වූයේ කුමක් නිසා ද? “කඩු ගන්න සියල්ලෝ කඩුවෙන්ම විනාශවන්නෝය,” යන තම ස්වාමියාගේ අවවාදය ඔවුන් කිසිදු සැකයක් නැතු ව සිහිපත් කරන්ට ඇත. (මතෙව් 26:52) විජාතික ආණ්ඩු බලතල ගැන යේසුස් වහන්සේ ඔවුන්ට සමබර ආකල්පයක් දී තිබුණි. “කායිසර්ගේ දේ කායිසර්ටද දෙවියන්වහන්සේගේ දේ දෙවියන්වහන්සේටද දීපල්ලා” යයි යේසුස් වහන්සේ පැවසූ සේක. මාර්ක් 12:17) තවදුටරත්, මෙසියානු බොරුකාරයන් පැමිණ මෙසේ පවසනු ඇතැයි යේසුස් වහන්සේ පුරෝකථනය කර තිබුණි, “ඒ මමය කියාත් කාලය ළඟය කියාත් කියන්නෝය.”—ලූක් 21:8.
මෙසේ පවසද්දී යේසුස් වහන්සේ යුදෙව් කැරැල්ලේ ප්‍රතිඵලය පවා පුරෝකථනය කර තිබුණි: “එහෙත් යම් කලක සේනාවන් විසින් යෙරුසලම වටලා සිටිනවා නුඹලා දකින්නහුද, එකල එහි විනාශය ආසන්න බව දැනගනිල්ලා. එකල යුදයේ සිටින්නෝ කඳුවලට පලායත්වා; එහි තුළ සිටින්නෝ පිටතට යත්වා; ගම්බද සිටින්නෝ එහි ඇතුල් නොවෙත්වා . . . ඔව්හු කඩුමුවහතින් වැටෙන්නෝය, සියලු ජාතීන් අතරට වහලුන් මෙන් ගෙන යනු ලබන්නෝය.”—ලූක් 21:20-24.
යුදෙව් කැරැල්ලෙන් පසු ඇති වූ භයානක විනාශය වනාහි යේසුස් වහන්සේගේ අනාවැකියේ විස්මජනක ඉටුවීමකි! නුමුත්, යුදයෙහි ක්‍රිස්තියානීන් බේරුණේ කීකරු ලෙස ‘කඳුවලට පලායාමෙන් ය.” “[පොදු යුගයේ 70හි] ටයිටස් විසින් යෙරුසලම වටලෑමට ප්‍රථම, එහි සිටි ක්‍රිස්තියානි ප්‍රජාව පෙලා යන ස්ථානයට පලා ගියේය” යනුවෙන් එන්සයික්ලොපීඩියා ජුඩෙයිකා සඳහන් කරයි. උනන්දුකරවන ලෙස, යොර්දාන් ගඟෙන් එහා පැත්තේ කඳුවැටියක පාමුල උතුරු දිසාවෙහි පෙලා පිහිටා තිබූ අතර, යොර්දාන් මිටියාවත නිසා එය මුළුමනින් ම යුදයෙන් වෙන් වී තිබිණ. ජොසෆස්—ද ජුවිෂ් වෝ යන පෙරවදනෙහි ජී. ඒ. විලියම්සන් සඳහන් කරන්නේ “[යේසුස් වහන්සේගේ] අනාවැකිය සිද්ධියට පසු ව ලියා තිබුණි නම්, මෙම පලායාමට හේතුව සොයා ගැනීම අසීරු” බව ය.
සැබවින් ම, යුදයෙහි ක්‍රිස්තියානීන්ගේ සාර්ථක පලායාම ප්‍රබල සාක්ෂියක් වන්නේ ඔවුන් සැබෑ මෙසියස් වහන්සේගේ අනුගාමිකයන් වී සිටි බවට ය. මෙය වැදගත් ප්‍රශ්න මතු කරයි. මෙසියස් වහන්සේගේ පළමු පැමිණීමේ අරමුණ වූයේ කුමක් ද? විශේෂයෙන් ම “ක්‍රිස්තියානි” යයි කියා ගන්නා මනුෂ්‍ය කොටස ඇතුළුව, අදදින සිටින අප සඳහා විනාශකාරී යුදෙව් කැරැල්ලේ අපට තිබෙන අවවාදය කුමක් ද? තවදුරටත් මීට ඉහත පළ වූ මැයි කලාපයෙහි 24-29 පිටු දක්වා සහ මෙම සඟරාවෙහි 16-21 පිටු දක්වා මෙම ප්‍රශ්න ගැන සාකච්ඡා කරනු ඇත. w90 10/15