“අපට යාච්ඤාකරන්ට ඉගැන්නුව මැනව”
“උන්වහන්සේගේ ගෝලයන්ගෙන් එක්කෙනෙක් කථාකොට: ස්වාමිනි, . . . අපටත් යාච්ඤාකරන්ට ඉගැන්නුව මැනව.”—ලූක් 11:1.
ඇතැමෙකුට ගායනා කිරීමේ කදිම කටහඬක් සහජයෙන් ලැබී ඇත. වෙනත් අයට සංගීතඥයන් වශයෙන් සහජ හැකියාවක් තිබේ. නුමුත් ඔවුන්ගේ උපරිම හැකියාව අත්කර ගැනීමට, මෙම ගායකයන්ට හා සංගීත භාණ්ඩ වාදනය කරන්නන්ට පවා උපදෙස් අවශ්‍ය කරයි. යාච්ඤාව සමඟත් එය එසේ ම ය. තමන්ගේ යාච්ඤාවලට දෙවියන් වහන්සේ සවන් දීමට යන්නෙහි නම්, තමන්ට උපදෙස් අවශ්‍ය බව යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලයෝ වටහා ගත්හ.
2 ප්‍රේරිතවරු 12 දෙනා තෝරා ගැනීමට පෙර උන් වහන්සේ මුළු රාත්‍රියක් යාච්ඤා කළාක්මෙන්, යේසුස් වහන්සේ සාමාන්‍යයෙන් පෞද්ගලික ව තම පියාණන්ට යාච්ඤා කළ සේක. (ලූක් 6:12-16) පෞද්ගලික ව යාච්ඤා කිරීමට උන් වහන්සේ තම ගෝලයන්ට උනන්දු කළත්, උන් වහන්සේ ප්‍රසිද්ධියේ සිදුකළ යාච්ඤා ඔවුන්ට ඇසුණු අතර, උන් වහන්සේ ආගමික කුහකයන් මෙන් මනුෂ්‍යයන්ට පෙනෙන ලෙස යාච්ඤා නොකළ බව ඔව්හු නිරීක්ෂණය කළහ. (මතෙව් 6:5, 6) එසේ නම්, තර්කානුකූල ව, යාච්ඤාව පිළිබඳ උන් වහන්සේගේ පූර්ව උපදෙස් යේසුස් වහන්සේගේ ගෝලයෝ ආශා කළහ. එබැවින්, අපට මෙසේ කියවීමට තිබේ: “තවද උන්වහන්සේ එක් තැනක යාච්ඤාකරමින් සිට නිමවූ පසු, උන්වහන්සේගේ ගෝලයන්ගෙන් එක්කෙනෙක් කථාකොට: ස්වාමිනි, යොහන් [බව්තීස්ත] තමාගේ ගෝලයන්ට ඉගැන්නුවාක්මෙන් අපටත් යාච්ඤාකරන්ට ඉගැන්නුව මැනව.”—ලූක් 11:1.
3 යේසුස් වහන්සේ ප්‍රතිචාරය දැක්වූයේ කෙසේ ද? උන් වහන්සේගේ ආදර්ශයෙන් අපට ඉගෙන ගත හැක්කේ කුමක් ද? තවද යාච්ඤාව පිළිබඳ උන් වහන්සේගේ උපදේශයෙන් අපට ප්‍රයෝජන ලබාගත හැක්කේ කෙසේ ද?
අප සඳහා පාඩම්
4 යාච්ඤාවේ මනුෂ්‍යයෙකු වශයෙන් යේසුස් වහන්සේගේ වචනවලින් හා ආදර්ශයෙන් අපට බොහෝ දේ ඉගෙන ගත හැක. එක පාඩමක් නම් දෙවියන් වහන්සේගේ පරිපූර්ණ පුත්‍රයාණන්ට නිතිපතා යාච්ඤා කිරීමට අවශ්‍ය වී නම්, මගපෙන්වීම, සහනය, සහ ආත්මික පෝෂණය සඳහා දෙවියන් වහන්සේ දෙස නොකඩවා බැලීමට උන් වහන්සේගේ අසම්පූර්ණ ගෝලයන්ට වැඩි අවශ්‍යතාවයක් තිබිණ. එමනිසා, අප ‘නොකඩවා යාච්ඤා කළ යුතු ය.’ (1 තෙසලෝනික 5:17) ඇත්ත වශයෙන් ම, අප දනගසා ගත් ඉරියව්වකින් නිතර ම සිටිය යුතු බවක් මින් අදහස් නොකරයි. ඒ වෙනුවට, අප නිතර ම යාච්ඤාපූර්වක ආකල්පයක් ඇතු ව සිටිය යුතු ය. තීක්ෂණ බුද්ධියකින් යුක්ත ව අපට ක්‍රියා කිරීමට හා නිතර ම උන් වහන්සේගේ අනුමැතිය ඇතු ව සිටීමට හැකිවන පිණිස, ජීවිතයේ සෑම අංගයක දී ම මගපෙන්වීම සඳහා අප දෙවියන් වහන්සේ දෙස බැලිය යුතු ය.—හිතෝපදේශ 15:24.
5 මෙම ‘අන්තිම දවස්වල’ දී, යාච්ඤාවෙහි අප වැය කළ යුතු කාලය බොහෝ දේවල් මගින් පැහැර ගත හැක. (2 තිමෝති 3:1) නුමුත් ස්වර්ගීය පියාණන්ට කරනු ලබන අපගේ නිතිපතා යාච්ඤාවට පවුලේ කරදර, ව්‍යාපාරික කටයුතු, හෝ එවැනි දේ බාධා කරන්නෙහි නම්, මේ ජීවිතයේ දේවලින් අපි වුවමනාවට වඩා බර වී සිටින්නෙමු. එබඳු තත්ත්වයක් අප්‍රමාද ව හරිගැස්සිය යුතු ය, මක්නිසා ද යාච්ඤා කිරීමට අසමත්වීම ඇදහිල්ල නැතිවීමකට මගපෙන්වයි. අප ලෞකික වගකීම් අඩු කළ යුතු ය, නැතහොත් ජීවිතයේ කරදරවලට සරිලන පරිදි මගපෙන්වීම සඳහා දෙවියන් වහන්සේ වෙතට වඩාත් ඕනෑකමින් හා නොකඩවා හැරිය යුතු ය. ‘අප යාච්ඤාව පිණිස පිබිද සිටිය’ යුතු ය.—1 පේතෘස් 4:7.
6 ආදර්ශ යාච්ඤාව යයි හඳුන්වනු ලබන දෙය තුළ, යේසුස් වහන්සේ තම ගෝලයන්ට ඉගැන්නුවේ යාච්ඤා කරන ආකාරය මිසක යාච්ඤා කළ යුතු දෙය නොවේ. ලූක්ගේ වාර්තාව මතෙව්ගේ වාර්තාවෙන් තරමක් වෙනස් වේ, මක්නිසා ද වෙනස් අවස්ථා ඊට ඇතුළත් විය. යේසුස් වහන්සේගේ අනුගාමිකයන් හා යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් වශයෙන් අපගේ යාච්ඤාවල ස්වභාවයේ ආදර්ශයක් ලෙස මෙම යාච්ඤාව අපි අධ්‍යයනය කරමු.
අපගේ පියාණන් හා උන් වහන්සේගේ නාමය
7 “ස්වර්ගයෙහි වැඩසිටින අපගේ පියාණෙනි.” (මතෙව් 6:9; ලූක් 11:2) යෙහෝවඃ වහන්සේ මනුෂ්‍යවර්ගයාගේ මැවුම්කරුවාණන් නිසාත්, ස්වර්ගීක විෂයෙහි ජීවත්වන නිසාත්, “ස්වර්ගයෙහි වැඩසිටින අපගේ පියාණෙනි” වශයෙන් උන් වහන්සේ ඇමතීම සුදුසු ය. (1 රාජාවලිය 8:49; ක්‍රියා 17:24, 28) “අපගේ” යන යෙදුම භාවිතා කිරීමෙන් දෙවියන් වහන්සේ සමඟ කිට්ටු සබඳතාවයක් අන්‍යයන්ට ද ඇති බව ඒත්තු ගන්වයි. නුමුත් තමන්ගේ පියාණන් වශයෙන් උන් වහන්සේට ඇමතීමේ සීමා නොකරන ලද වරප්‍රසාදයක් ඇත්තේ කවරෙකුට ද? උන් වහන්සේගේ නමස්කාර කරන්නන්ගේ පවුලේ සිටින කැප වූ, බව්තීස්මලත් පුද්ගලයන්ට පමණකි. යෙහෝවඃ වහන්සේ “අපගේ පියාණෙනි” වශයෙන් ඇමතීමෙන් අඟවන්නේ දෙවියන් වහන්සේ කෙරෙහි අපට ඇදහිල්ල තිබෙන බව හා උන් වහන්සේ සමඟ සමගිවීම සඳහා ඇති එක ම පදනම වනාහි යේසුස් වහන්සේගේ මිදීමේ පූජාව මුළුමනින් ම පිළිගැනීම බව අප තේරුම් ගෙන තිබෙන බවත් ය.—හෙබ්‍රෙව් 4:14-16; 11:6.
8 අපගේ ස්වර්ගීය පියාණන්ට අප මොනතරම් කිට්ටු වී සිටින බවක් අපට දැනිය යුතු ද! තම පියා වෙතට යාමට කිසිදු වෙහෙසක් නොදක්වන දරුවන් මෙන්, දෙවියන් වහන්සේට යාච්ඤා කිරීමෙහි කාලය වැය කිරීමට අප ආශා කළ යුතු ය. උන් වහන්සේගේ ආත්මික හා ද්‍රව්‍යමය ආශිර්වාද සඳහා ඇති ගැඹුරු කෘතඥතාවය නිසා උන් වහන්සේගේ යහපත්කමට ස්තුති කිරීමට අප පෙලඹිය යුතු ය. උන් වහන්සේ අප ව උසුලනු ඇතැයි යන නිසැකකම ඇතු ව අප විඩාවට පත් කරන අපගේ බර උන් වහන්සේ වෙතට රැගෙන යාමට අපට නැඹුරුවාවක් තිබිය යුතු ය. (ගීතාවලිය 55:22) අප විශ්වාසවන්න ව සිටියහොත් උන් වහන්සේ අප ගැන සලකන නිසා අන්තිමේ දී සියල්ලක් ම හොඳින් සිදුවනු ඇති බව අපට සහතික විය හැක.—1 පේතෘස් 5:6, 7.
9 “ඔබගේ නාමයට ගෞරව වේවා.” (මතෙව් 6:9; ලූක් 11:2) “නාමය” යන වචනයෙන් ඇතැම් විට පුද්ගලයා ව ම අදහස් කරන අතර, “ගෞරව වේවා” යනුවෙන් අදහස් කරන්නේ “විශුද්ධ කිරීම, වෙන්කර තැබීම හෝ පරිශුද්ධ වශයෙන් සැලකීම” ය. (එළිදරව් 3:4 සසඳන්න.) එසේ නම්, වෙනත් විධියකින් පවසනවා නම්, දෙවියන් වහන්සේගේ නාමයේ ගෞරව සඳහා කරන යාච්ඤාව වනාහි තමන් වහන්සේ ව ම විශුද්ධ කර ගැනීම සඳහා ක්‍රියා කිරීමට යෙහෝවඃ වහන්සේට කරන ඉල්ලීමක් වේ. කෙසේ ද? උන් වහන්සේගේ නාමය පිට මෙතෙක් පටවා ඇති සියලු නින්දා ඉවත් කිරීමෙන් ය. (ගීතාවලිය 135:13) ඒ සඳහා දෙවියන් වහන්සේ දුෂ්ටකම ඉවත්කර, තමන් වහන්සේ ව ම උත්කර්ෂවත් කර, තමන් වහන්සේ යෙහෝවඃ වහන්සේ බව දැනගැනීමට සලස්වනවා ඇත. (එසකියෙල් 36:23; 38:23) එම දවස දැකීමට අපට දැඩි ආශාවක් හා යෙහෝවඃ වහන්සේගේ මහානුභාසම්පන්නභාවය අප සැබෑ ලෙස ම අගය කරන්නෙමු නම්, “ඔබගේ නාමයට ගෞරව වේවා” යන වචනවලින් අඟවන ගෞරවාන්විත ස්ප්රීතුවකින් යුක්ත ව අපි නිතර ම උන් වහන්සේ වෙතට පිවිසෙන්නෙමු.
දෙවියන් වහන්සේගේ රාජ්‍යය හා උන් වහන්සේගේ කැමැත්ත
10 “ඔබගේ රාජ්‍යය ඒවා.” (මතෙව් 6:10; ලූක් 11:2) මෙහි අදහස් කරන රාජ්‍යය වනාහි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ හා උන් වහන්සේ සමඟ හවුල් වී සිටින ‘ශුද්ධවන්තයන්ගේ’ හස්තයෙහි ඇති ස්වර්ගීක මෙසියානු රාජ්‍යය තුළින් ප්‍රකාශ කරනු ලබන යෙහෝවඃ වහන්සේගේ පරමාධිපති පාලන ක්‍රමය වේ. (දානියෙල් 7:13, 14, 18, 27; යෙසායා 9:6, 7; 11:1-5) එය “ඒවා” යනුවෙන් යාච්ඤා කිරීමෙන් අදහස් කරන්නේ කුමක් ද? මින් අදහස් කරන්නේ දිව්‍ය පාලනක්රමයේ සියලු භූමික විරුද්ධවාදීන්ට එරෙහි ව දෙවියන් වහන්සේගේ රාජ්‍යයට පැමිණෙන්ට කියා අප විසින් ඉල්ලීම ය. එම රාජ්‍යය විසින් ‘සියලු භූමික රාජ්‍යයන් පොඩිකර අවසන් කළ පසු,’ එය පෘතුවිය ලෝක ව්‍යාප්ත පාරාදීසයක් බවට පරිවර්තනය කරනවා ඇත.—දානියෙල් 2:44; ලූක් 23:43.
11 “ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද කරනු ලැබේවා.” (මතෙව් 6:10) මෙය වනාහි උන් වහන්සේගේ සතුරන් ඉවත්කිරීම ඇතුළු ව, පෘතුවිය කෙරෙහි උන් වහන්සේගේ අරමුණ ඉටු කරන ලෙසට කරනු ලබන ඉල්ලීමකි. (ගීතාවලිය 83:9-18; 135:6-10) සැබවින් ම, මුළු විශ්වය පුරා දිව්‍ය කැමැත්ත සිදුවෙනවා දැකීමට අප ආශා කරන බවක් ඉන් අඟවයි. එය අපගේ හදවතෙහි ඇත්නම්, අපගේ හැකියාවේ උපරිමයෙන් අපි උන් වහන්සේගේ කැමැත්ත නිතර ම කරන්නෙමු. පෞද්ගලික ව අප සම්බන්ධයෙන් දේව කැමැත්ත ඉටු කරනු ලැබීමට අප ඕනෑකමින් උත්සාහ නොකළහොත් එබඳු ඉල්ලීමක් අපට අවංක ව කළ නොහැක. මේ ආකාරයට අපි යාච්ඤා කරමින් සිටින්නෙමු නම්, එවිට, නොඇදහිලිකරුවකු සමඟ පූර්ව විවාහ ඇසුරක් හෝ ලෞකික ක්‍රම පිළිගැනීමක් වැනි එම කැමැත්තට එරෙහි ව දේවල් නොකිරීමට අප වගබලා ගත යුතු ය. (1 කොරින්ති 7:39; 1 යොහන් 2:15-17) ඒ වෙනුවට, ‘මේ කාරණය පිළිබඳ ව යෙහෝවඃ වහන්සේගේ කැමැත්ත කුමක් ද?’ යන සිතුවිල්ල නිතර ම අපගේ මනසෙහි තිබිය යුතු ය. එසේ ය, අපගේ මුළු හදවතෙන් අපි දෙවියන් වහන්සේට ප්රේමකරන්නෙමු නම්, ජීවිතයේ සියලු කාරණාවල දී අපි උන් වහන්සේගේ මගපෙන්වීම සොයන්නෙමු.—මතෙව් 22:37
අපගේ දවස්පතා භෝජනය
12 “අපගේ දවස්පතා භෝජනය අපට අද දුන මැනව.” (මතෙව් 6:11) ලූක්ගේ වාර්තාවෙහි මෙසේ කියවීමට තිබේ: “දවසේ අවශ්‍යතාවය අනුව දවසේ භෝජනය අපට දුන මැනව.” (ලූක් 11:3, NW) “අපගේ දවස්පතා” අවශ්‍ය භෝජනය සැපයීමට දෙවියන් වහන්සේගෙන් ඉල්ලීමෙන්, දවසින් දවස අපගේ අවශ්‍යතා සපුරාලීමට ඇති උන් වහන්සේගේ හැකියාව කෙරෙහි ඇති ඇදහිල්ල වැඩිදියුණු කෙරේ. ඊශ්‍රායෙල්වරු මන්නා එකතු කළ යුතු ව තිබුණේ “දවසකට අවශ්‍ය ප්‍රමාණය දවස්පතා” මිසක සතියකට හෝ වැඩි කලක් සඳහා නොවේ. (නික්මයාම 16:4) මෙය වනාහි ප්‍රණීත ආහාරපාන ආදිය හෝ අධික වශයෙන් බහුල සැපයුම් සඳහා කරන යාච්ඤාවක් නොව නුමුත් දිනපතා මතුවන අවශ්‍යතා සඳහා ය. දිනපතා භෝජනය ඉල්ලීමෙන් ගිජු නොවීමට ද එය අපට උපකාර කරයි.—1 කොරින්ති 6:9, 10.
13 පුළුල් අර්ථයකින්, දිනපතා භෝජනය සඳහා ඉල්ලීමෙන් අඟවන්නේ අප ස්වාධීන නොවී ආහාරපාන, ඇඳුම් පැළඳුම් හා වෙනත් අවශ්‍යතා සඳහා නිතර ම දෙවියන් වහන්සේ දෙස බැලීම ය. උන් වහන්සේගේ නමස්කාර කරන්නන්ගේ පවුලේ කැප වූ සමාජිකයන් වශයෙන් අපගේ පියාණන් කෙරෙහි විශ්වාසය තබන්නෙමු, නුමුත් ආශ්චර්යවත් ලෙස උන් වහන්සේ අපට සපයන තෙක් අප නිකම් බලා සිටින්නේ නැත. අපි වැඩකර අපි ළඟ තිබෙන ඕනෑ ම දෙයක්, ආහාර සහ වෙනත් අවශ්‍යතා ලබාගැනීමට පාවිච්චි කරන්නෙමු. නුමුත් අපි නිසි ලෙස යාච්ඤාවෙන් දෙවියන් වහන්සේට ස්තුති කරන්නෙමු, මක්නිසා ද මෙම සැපයුම් පිටුපස අපගේ ස්වර්ගීක පියාණන්ගේ ප්‍රේමය, ප්‍රඥාව සහ බලය ඇති බව අපි දකින්නෙමු. (ක්‍රියා 14:15-17; ලූක් 22:19 සසඳන්න.) අපගේ කඩිසරකමින් සමෘද්ධියක් ඇතිවිය හැක. නුමුත් අප වෙහෙස වී වැඩ කර යාන්තම් පිරිමසා ගැනීමට හැකි වූවත්, අප කෘතඥපූර්වක හා සෑහීමකට පත් ව සිටිමු. (පිලිප්පි 4:12; 1 තිමෝති 6:6-8) සැබවින් ම, සාමාන්‍ය කෑමබීම හා ඇඳුම් පැළඳුම් ඇති භක්තිවන්ත පුද්ගලයෙක් ද්‍රව්‍යමය ලෙස සමෘද්ධිමත් ඇතැමෙකුට වඩා බොහෝසෙයින් සන්තෝෂමත් විය හැක. අපට පාලනය කළ නොහැකි තත්ත්වයන් නිසා අපට ටිකක් තිබුණත් අපි අධෛර්යමත් නොවී සිටිමු. අපට තවමත් ආත්මික වශයෙන් පොහොසත් විය හැක. සැබවින් ම, හෘදයාංගම යාච්ඤාවෙන් අපගේ ප්‍රශංසාව හා ස්තුතිය ඉහළ නගින්නා වූ යෙහෝවඃ වහන්සේ සඳහා, ඇති ප්‍රේමය, ඇදහිල්ල හා බලාපොරොත්තුවෙන් දිළිඳුවීමට අපට වුවමනා නැත.
අපගේ ණයට කමාව ලැබීම
14 අපේ ණයකාරයන්ට අප කමාකළාක්මෙන් අපේ ණයටත් අපට කමාකළ මැනව.” (මතෙව් 6:12) එම ණය වනාහි පාප බව ලූක්ගේ වාර්තාව දක්වයි. (ලූක් 11:4) උරුම වූ පව්කාරකම අපගේ පියාණන්ගේ සම්පූර්ණ කැමැත්තට එකඟ ව සියල්ල කිරීමෙන් අප ව වළක්වයි. එමනිසා යම් අර්ථයකින්, ‘ආත්මයෙන් හැසිරීමට හා ජීවත්වීමට’ අප පටන් ගත් දා සිට, මෙම අඩුපාඩුකම් වනාහි අපගේ ණය හෝ දෙවියන් වහන්සේට තිබෙන අපගේ වගකීම් වනු ඇත. (ගලාති 5:16-25; රෝම 7:21-25 සසඳන්න.) අප අසම්පූර්ණ නිසා සහ දෙවියන් වහන්සේගේ ප්‍රමිතිවලට දැන් මුළුමනින් ම අනුකූලතාව දැක්විය නොහැකි බැවින් මෙම ණය අපට තිබේ. යාච්ඤා කිරීමේ වරප්‍රසාදය අපට ඇත්තේ මෙම පාපවලට කමාව ලබාගැනීම සඳහා ය. සන්තෝෂදායක ලෙස, මෙම ණයට හෝ පාපවලට යේසුස් වහන්සේගේ මිදීමේ පූජාවේ වටිනාකම අදාළ කිරීමට දෙවියන් වහන්සේට පුළුවන.—රෝම 5:8; 6:23.
15 අපගේ ණය හෝ පාපවලට දෙවියන් වහන්සේගෙන් කමාව ලබා ගැනීමට අපි අපේක්ෂා කරන්නෙමු නම්, අප පසුතැවිලි විය යුතු අතර, හික්මවීම ලබා ගැනීමට කැමති විය යුතු ය. (හිතෝපදේශ 28:13; ක්‍රියා 3:19) යෙහෝවඃ වහන්සේ අපට ප්‍රේම කරන නිසා අපගේ දුර්වලකම් හරිගස්සා ගැනීමට අපට හැකිවන පිණිස, අපට පෞද්ගලික ව අවශ්‍ය කරන හික්මවීම උන් වහස්සේ දෙන සේක. (හිතෝපදේශ 6:23; හෙබ්‍රෙව් 12:4-6) ඇදහිල්ලෙන් හා දැනුමෙන් වර්ධනයවීම නිසා, යම් ප්‍රමාණයක කැමැත්තකින් දේව නීති හා ප්‍රතිපත්ති අප කිසි විටකත් කඩ නොකරන තරමට අපගේ හදවත ඒවාට අනුකූල ව තිබේ නම්, අපට සතුටු විය හැක. නුමුත් අපගේ අවකල් ක්‍රියාවෙහි යම් තරමක හිතාමතා සිදු කිරීමක් අපට වැටහෙන්නේ නම්, කුමක් කිව හැකි ද? එසේ නම් අප ගැඹුරු ලෙස වේදනාවට පත් විය යුතු අතර, කමාව සඳහා ඕනෑකමින් යාච්ඤා කළ යුතු ය. (හෙබ්‍රෙව් 10:26-31) අපට ලැබී තිබෙන උපදේශය අදාළ කරගනිමින්, අපගේ ක්‍රියාමාර්ගය අප ඉක්මනින් ම හරිගස්සා ගත යුතු ය.
16 අපගේ පාපවලට කමාවීමට නිතිපතා දෙවියන් වහන්සේගෙන් ඉල්ලීම ප්‍රයෝජනදායක ය. මෙසේ කිරීමෙන් අපගේ පව්කාරකම අප ඉදිරියෙහි තබන අතර, නිහතමානීකමේ බලපෑමක් ඊට තිබිය යුතු ය. (ගීතාවලිය 51:3, 4, 7) අපගේ ස්වර්ගීක පියාණන් විසින් “අපේ පව් අපට කමාකරන්ටත් සියලු අධර්මිෂ්ඨකමින් අප පවිත්‍රකරන්ටත්” අවශ්‍ය ව තිබේ. (1 යොහන් 1:8, 9) තවදුරටත්, යාච්ඤාවෙන් අපගේ පව් සඳහන් කිරීමෙන් ඒවාට එරෙහි ව දැඩි සටනක් කරමින් සිටීමට ද එය අපට උපකාර කරයි. මෙසේ මිදීමේ මිලය හා යේසුස් වහන්සේගේ වගුරවන ලද ලේවල වටිනාකම සඳහා අපට ඇති අවශ්‍යතාව අපට නිතර සිහිපත් කරවයි.—1 යොහන් 2:1, 2; එළිදරව් 7:9, 14.
17 කුඩා සහ ලොකු කාරණාවල දී අපගේ ණයකරුවන් විය හැකි අය සඳහා දයාවන්තවීමට, අනුකම්පාසහගත වීමට, සහ ත්‍යාගශීලි වීමට ද, කමාව සඳහා යාච්ඤා කිරීම අපට උපකාර කරයි. ලූක්ගේ වාර්තාව මෙසේ පවසයි: “අපේ පව් අපට කමාකළ මැනව; මක්නිසාද අපට ණයව සිටින සියල්ලන්ට අපිත් කමාවෙමු.” (ලූක් 11:4) සැබවින් ම, අපගේ ණයකරුවන්ට එනම්, අපට එරෙහි ව පව්කරන්නන්ට අපි දැනටමත් කමාකර ඇත්නම් පමණක් අපට දෙවියන් වහන්සේගෙන් කමාව ලබාගත හැක. (මතෙව් 6:12; මාර්ක් 11:25) යේසුස් වහන්සේ මෙය ද එකතු කළ සේක: “මක්නිසාද නුඹලා මනුෂ්‍යයන්ට ඔවුන්ගේ වරද කමාකරන්නහු නම්, නුඹලාගේ ස්වර්ගීයවූ පියාණන්වහන්සේ නුඹලාටත් කමා කරනසේක. නුමුත් නුඹලා මනුෂ්‍යයන්ට ඔවුන්ගේ වරද කමා නොකරන්නහු නම්, නුඹලාගේ පියාණන්වහන්සේත් නුඹලාගේ වරද කමා නොකරනසේක.” (මතෙව් 6:14, 15) අපගේ පාපවලට කමාව සඳහා යාච්ඤා කිරීම මගින් අන්‍යයන් සමඟ ඉවසිල්ලෙන් කටයුතු කිරීමට හා ඔවුන්ට කමාව දීමට අප පෙලඹිය යුතු ය. ප්‍රේරිත පාවුල් මෙසේ ලීවේ ය: “ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ NW] නුඹලාට කමාවුණාක්මෙන් නුඹලාත් කරපල්ලා.”—කොලොස්සි 3:13; එපීස 4:32.
පරීක්ෂාව සහ නපුරා
18 “අප පරීක්ෂාවට නොපමුණුවා.” (මතෙව් 6:13; ලූක් 11:4) පව් කිරීමට යෙහෝවඃ වහන්සේ අප ව පොලඹවන බවක් මෙම වචනවලින් අදහස් නොකෙරේ. දෙවියන් වහන්සේ නිකම් අවසර දෙන දේවල් උන් වහන්සේ කරන බව හෝ සලස්වන බව ගැන සමහර විට ශුද්ධලියවිලි කථා කරයි. (රූත් 1:20, 21; දේශනාකාරයා 1:5 සසඳන්න.) නුමුත් “දෙවියන් වහන්සේ නපුරෙන් පරීක්ෂාකරනු ලබන්ට නුපුළුවන, උන්වහන්සේ කිසිවෙකු පරීක්ෂා නොකරනසේක” යයි ශ්‍රාවක යාකොබ් ලීවේ ය. (යාකොබ් 1:13) එමනිසා, නපුරු දේවලින් ඇතිවන පරීක්ෂා සහ පරීක්ණ ගැන අප කිසිවිටකත් අපගේ ස්වර්ගීය පියාණන්ට දොස් නොතබමු, මක්නිසා ද දෙවියන් වහන්සේට එරෙහි ව අප ව පව් කිරීමට සලැස්වීමට උත්සාහ කරන පරීක්ෂකයා වනාහි සාතන් ය.—මතෙව් 4:3; 1 තෙසලෝනික 3:5.
19 “අප පරීක්ෂාවට නොපමුණුවා” යන ආයාචනයෙන් අප යෙහෝවඃ වහන්සේගෙන් ඉල්ලා සිටින්නේ උන් වහන්සේට අකීකරුවීමට බලකරනු ලබන විට හෝ පරීක්ෂා කරනු ලබන විට ඊට යටපත්වීමට අපට ඉඩ නොදෙන ලෙස ය. අප වෙත පැමිණෙන කිසිදු පරීක්ෂණයක් වුවමනාවට වඩා බරපතළ නොවන පිණිස අපගේ පියවරවල් මගපෙන්වන මෙන් අපගේ පියාණන්ගෙන් බැගෑපත් ලෙස අපට ඉල්ලා සිටිය හැක. මේ සම්බන්ධයෙන්, පාවුල් මෙසේ ලීවේ ය: “මනුෂ්‍යයා විසින් ඉසිලිය හැකි පරීක්ෂාවක් මිස අනිකක් නුඹලාට පැමුණුණේ නැත. නුමුත් දෙවියන් වහන්සේ විශ්වාස කෙනෙක්ය. උන්වහන්සේ නුඹලාගේ පුළුවන්කමට වඩා නුඹලා පරීක්ෂා කරනු ලබන්ට ඉඩ නොදී, නුඹලාට පරීක්ෂාව ඉවසිය හැකිවන පිණිස ඒ සමඟ ගැළවෙන මාර්ගයද සාදාදෙනසේක.” (1 කොරින්ති 10:13) අපට ඉසිලිය හැකි ප්‍රමාණය ඉක්මවා අප පරීක්ෂා නොකරනු ලබන පිණිස අපට මගපෙන්වනු මැනව කියා ද අප මුළුමනින් ම දුකට පත් වී සිටින විට උන් වහන්සේ අපට ගැලවීමේ මාර්ගයක් සාදා දුන මැනව කියා ද යෙහෝවඃ වහන්සේට යාච්ඤා කිරීමට අපට පුළුවන. පරීක්ෂා පැමිණෙන්නේ යක්ෂයාගෙන්, අපගේ පව්කාර මාංසයෙන්, හා අන්‍යයන්ගේ දුර්වලකම්වලින් ය, නුමුත් අප මුළුමනින් ම යටපත් නොවන පිණිස අපට මගපෙන්වන්ට අපගේ ප්‍රේමනීය පියාණන්ට පුළුවන.
20 “නපුරාගෙන් අප ගැළවුව මැනව.” (මතෙව් 6:13) “නපුරා” වන සාතන් අප ව මුළුමනින් ම යටපත් කිරීමෙන් වැළැක්වීමට දෙවියන් වහන්සේට හැක. (2 පේතෘස් 2:9) තවද කිසිදාකට වැඩියෙන් යක්ෂයාගෙන් ගැලවීම සඳහා වැඩි අවශ්‍යතාවක් දැන් තිබේ, මක්නිසා ද ‘ඔහුගේ කාලය කෙටි බැවින් ඔහුට මහත් උදහසක් ඇත.’ (එළිදරව් 12:12) සාතන්ගේ උපක්‍රම අප නොදන්නවා නොවේ, නුමුත් අපගේ දුර්වලකම් ඔහු නොදන්නවාත් නොවේ. එමනිසා, සිංහයකු බඳු සතුරාගේ ග්රහණයෙන් අප ව ආරක්ෂා කරන මෙන් යෙහෝවඃ වහන්සේට යාච්ඤා කර ඉල්ලා සිටීම අපට අවශ්‍ය ය. (2 කොරින්ති 2:11; 1 පේතෘස් 5:8, 9; ගීතාවලිය 141:8, 9 සසඳන්න.) උදාහරණයක් වශයෙන්, විවාහ වීමට අපි කැමැත්තෙන් සිටින්නෙමු නම්, දුරාචාරයට මගපෙන්විය හැකි ලෞකික සබඳතාවයක් වර්ධනය කර ගැනීමෙන් හෝ නොඇදහිලිකාරයෙකු විවාහ කර ගැනීමෙන් දෙවියන් වහන්සේට අකීකරුවීමට ඇති සාතන්ගේ පරීක්ෂාවෙන් හා උපක්‍රමවලින් අප ව ආරක්ෂා කරන ලෙස යෙහෝවඃ වහන්සේගෙන් ඉල්ලා සිටීමට අපට අවශ්‍ය විය හැක. (ද්විතීය කථාව 7:3, 4; 1 කොරින්ති 7:39) වස්තුවට අපි ආශාවක් දක්වන්නෙමු ද? එසේ නම් සූදු කෙළීමට හෝ වංචාසහගත ව්‍යවහාරයන්හි යෙදීමට ඇති පරීක්ෂාවලට විරුද්ධවීමට අපට උපකාර කිරීම සඳහා යාච්ඤාව අවශ්‍ය විය හැක. යෙහෝවඃ වහන්සේ සමඟ ඇති අපගේ සබඳතාවය විනාශ කිරීමට ඇති ආශාව නිසා, සාතන් තමාගේ පරීක්ෂා ගබඩාවේ ඕනෑ ම අවියක් පාවිච්චි කළ හැක. කිසිවිටකත් ධර්මිෂ්ඨයා පරීක්ෂාවට අත්නොහරින්නා වූ ද නපුරාගෙන් ගැලවීම සපයන්නා වූ ද අපගේ ස්වර්ගීය පියාණන්ට අපි නිරතුරු ව ම යාච්ඤා කරමු.
යාච්ඤාව මගින් ඇදහිල්ල හා බලාපොරොත්තුව ගොඩනගනු ලබයි
21 නපුරාගෙන් අප ව ආරක්ෂා කරන, අපගේ ස්වර්ගීය පියාණන් අපට බහුල වශයෙන් ආශිර්වාද කිරීමට සතුටුවන සේක. නුමුත්, “ඔබගේ රාජ්‍යය ඒවා” යනුවෙන් යාච්ඤා කිරීමට උන් වහන්සේගේ ප්‍රේමනීය ජනයාට උන් වහන්සේ එතරම් කාලයක් ඉඩහැර තිබෙන්නේ මන්ද? වසර ගණනාවක් මේ ආකාරයට යාච්ඤා කිරීමෙන් රාජ්‍යය සඳහා ඇති අපගේ ආශාව හා අගය කිරීම වැඩිකර තිබේ. මෙම කරුණාවන්ත ස්වර්ගීක ආණ්ඩුව සඳහා ඇති මහත් අවශ්‍යතාව එබඳු යාච්ඤාව මගින් අපට සිහිපත් කරවයි. රාජ්‍යය පාලනය යටතේ ජීවනයේ බලාපොරොත්තුව ද එය අප ඉදිරියේ තබයි.—එළිදරව් 21:1-5.
22 යාච්ඤාව, කිසිදු ප්‍රශ්නයකින් තොර ව, යෙහෝවඃ වහන්සේ කෙරෙහි ඇදහිල්ල ගොඩනගයි. උන් වහන්සේ අපගේ යාච්ඤාවලට පිළිතුරු දෙන විට උන් වහන්සේ සමඟ ඇති අපගේ බැම්ම ශක්තිමත් වේ. එමනිසා, ප්‍රශංසාව, ස්තූතිය, හා කන්නලව්ව සමඟ දිනපතා ම උන් වහන්සේ වෙතට හැරීමට අපි කිසිවිටෙකත් වෙහෙසට පත් නොවෙමු. “ස්වාමීනි, . . . අපටත් යාච්ඤා කරන්ට ඉගැන්නුව මැනව” යයි උන් වහන්සේගේ අනුගාමිකයන්ගේ ඉල්ලීමට යේසුස් වහන්සේගේ උපකාරවත් ප්‍රතිචාරය ගැන අපි කෘතඥවෙමු. w90 05⁄15
ඔබට මතක ද?
◻ යාච්ඤාවේ මනුෂ්‍යයෙකු වශයෙන් යේසුස් වහන්සේගේ වචනවලින් හා ආදර්ශයෙන් අපට ඉගෙන ගත හැකි පාඩම් කවරේ ද?
◻ අපගේ ස්වර්ගීය පියාණන් හා උන් වහන්සේගේ නාමය පිළිබඳ ව අප යාච්ඤා කළ යුත්තේ කුමක් ද?
◻ දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඒමට හා උන් වහන්සේගේ කැමැත්ත පොළොවෙහි කරනු ලැබීමට අප යාච්ඤා කරන විට අප ඉල්ලමින් සිටින්නේ කුමක් ද?
◻ අපගේ දිනපතා භෝජනය සඳහා යාච්ඤා කරන විට අප ඉල්ලන්නේ කුමක් ද?
◻ අපගේ ණයවලට කමාව සඳහා යාච්ඤා කරන විට ඉන් අදහස් කරන්නේ කුමක් ද?
◻ නපුරා වන සාතන්ගේ පරීක්ෂාව හා ගැලවීම සඳහා යාච්ඤා කිරීම ඉතා වැදගත් වන්නේ මන්ද?
[පාඩම සඳහා ප්‍රශ්න]
1-3. (අ) යේසුස් වහන්සේගේ ගෝලයන් යාච්ඤාව පිළිබඳ උපදෙස් සෙව්වේ මන්ද? (ආ) යාච්ඤාව පිළිබඳ ව මතුවන ප්‍රශ්න කවරේ ද?
4. අප “නොකඩවා යාච්ඤා” කළ යුත්තේ මන්ද, තවද එසේ කිරීමෙන් අදහස් කරන්නේ කුමක් ද?
5. යාච්ඤා කිරීමට වැය කළ යුතු කාලය කුමක් මගින් පැහැරගත හැකි ද, අප මේ ගැන කළ යුත්තේ කුමක් ද?
6. දැන් අප අධ්‍යයනය කිරීමට යන්නේ කුමන යාච්ඤාව ද, කිනම් අරමුණක් ඇතු ව ද?
7. “අපගේ පියාණෙනි” යනුවෙන් යෙහෝවඃ වහන්සේට ඇමතීමට වරප්‍රසාද ලබා ඇත්තේ කවරෙක් ද?
8. යෙහෝවඃ වහන්සේට යාච්ඤා කිරීමෙහි කාලය වැය කිරීමට අප ආශා කළ යුත්තේ මන්ද?
9. දෙවියන් වහන්සේගේ නාමය ගෞරවයට පත් කිරීම සඳහා කරන යාච්ඤාව කුමක් සඳහා ඉල්ලීමක් ද?
10. දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඒවා යනුවෙන් අප යාච්ඤා කරන විට ඉන් අදහස් කරන්නේ කුමක් ද?
11. මුළු විශ්වය පුරා යෙහෝවඃ වහන්සේගේ කැමැත්ත සිදුවෙනවා දැකීමට අපි ආශා කරන්නෙමු නම්, අපි කුමක් කරන්නෙමු ද?
12. ‘දිනපතා භෝජනය’ පමණක් ඉල්ලීමෙන් එයට අප කෙරෙහි තිබෙන යහපත් බලපෑම කුමක් ද?
13. (අ) පුළුල් අර්ථයකින්, දිනපතා භෝජනය ඉල්ලීමෙන් අදහස් කරන්නේ කුමක් ද? (ආ) අප වෙහෙස වී වැඩ කළත් අපට ජීවත්වීම යාන්තම් පිරිමසා ගැනීමට සිදුවූවත්, අපගේ ආකල්පය කුමක් විය යුතු ද?
14. අප කමාව ඉල්ලන්නේ කුමන ණය සඳහා ද, තවද දෙවියන් වහන්සේ මේවාට අදාළ කරන්නේ කුමක් ද?
15. අවශ්‍ය කරන හික්මවීම කෙරෙහි අපගේ ආකල්පය කුමක් විය යුතු ද?
16. අපගේ පාපවලට කමා කරන ලෙස දෙවියන් වහන්සේගෙන් ඉල්ලමින් සිටීම ප්‍රයෝජනදායක වන්නේ මන්ද?
17. කමාව සඳහා යාච්ඤා කරමින් සිටීම අන්‍යයන් සමඟ ඇති අපගේ සබඳතාවයට උපකාර කරන්නේ කෙසේ ද?
18. අපගේ පරීක්ෂා හා පරීක්ෂණ සඳහා දෙවියන් වහන්සේට අප කිසිවිටෙකත් දොස් නොතැබිය යුත්තේ මන්ද?
19. පරීක්ෂාව සම්බන්ධයෙන් අපට යාච්ඤා කළ හැක්කේ කෙසේ ද?
20. “නපුරාගෙන්” ගැලවීම සඳහා යාච්ඤා කළ යුත්තේ මන්ද?
21. රාජ්‍යය සඳහා යාච්ඤා කිරීමෙන් අප ප්‍රයෝජන ලබා තිබෙන්නේ කෙසේ ද?
22. අපගේ ස්වර්ගීය පියාණන් වන යෙහෝවඃ වහන්සේට යාච්ඤා කිරීම කෙරෙහි අපගේ නිරන්තර ආකල්පය කුමක් විය යුතු ද?
යාච්ඤා කරන ආකාරය තමන්ට උගන්වන ලෙස යේසුස් වහන්සේගේ ගෝලයෝ උන් වහන්සේගෙන් ඉල්ලා සිටියහ. යාච්ඤාව පිළිබඳ උන් වහන්සේගේ උපදෙස්වලින් අපට ප්‍රයෝජන ගත හැකි ආකාරය ඔබ දැනසිටින්නෙහි ද?