අර්මගෙදොන් කවදා ද?
“අප අර්මගෙදොන් හි සිටින අතර, ස්වාමින් වහන්සේ සඳහා අප සටන් කරමු.” එම වචන සහිත ව, කලින් සිටි එක්සත් ජනපද ජනාධිපති තියඩෝ රූස්වෙල්ට් “අර්මගෙදොන්” යන යෙදුම තමා හවුල් වී සිටි දේශපාලන සටනකට අදාළ කළේ ය. එබැවින්, දේශපාලන ක්ෂේත්‍රයක් තුළ අප අර්මගෙදොන් සෙවිය යුතු ද?
වසර ස්වල්පයකට පෙර, “ආර්ථික අර්මගෙදොන්” යන මැයෙන් බිස්නස් ලයිෆ් යන කැනේඩියානු සඟරාවෙහි ලිපියක් පළ විය. උප මාතෘකාවක් මෙසේ ඇසී ය: “තුන්වන ලෝකය විසින් ණය නොගෙවීම නිසා අපගේ ආර්ථික බිඳවැටීම සිදු විය හැකි ද?” නමුත් අර්මගෙදොන් වනාහි මූල්‍ය විපත්තියක් වශයෙන් අප කල්පනා කළ යුතු ද?
න්‍යූස්වීක් යන සඟරාව පවසන පරිදි, 1984 ජනාධිපති තරඟයේ වාදයක් තුළ දී ලෝකාන්තිමය එහි මැතිවරණ ව්‍යාපාර ප්‍රශ්නයක් බවට පත් විය. එම අවස්ථාවේ දී, “ලෝකය ‘න්‍යෂ්ටික අර්මගෙදොනයකට’ මුහුණ පා ඇති බවක් තමා සැබෑවට ම විශ්වාස කරන්නේදැයි එවකට සිටී එක්සත් ජනපද ජනාධිපති රොනල්ඩ් රේගන්ගෙන් අසන ලදි. අන්තිම දවස්වල පෙරනිමිත්තක් වශයෙන් වර්තමාන සිද්ධීන් හා බයිබල් ලකුණු අතරෙහි එකවිට සිදුවීමක් ගැන ‘දාර්ශනික සාකච්ඡා’ කළ බව රේගන් ඒත්තුගත්තත්, ‘අර්මගෙදොනයට එකඟ ව අප සැලසුම් කළ යුතු’ බවක් කිසි විටකත් පවසා නැතැයි ප්‍රධාන අණදෙන නිලධාරියා ස්ථිර ව කියා තිබිණ.” නමුත්, අර්මගෙදොනයේ අර්ථය අප සෙවීමේ දී න්‍යෂ්ටික සමූලඝාතනයක තර්ජනයක් ඇති කරන හමුදා ක්‍රියා මාර්ගයක් කෙරෙහි අපගේ අවධානය යොමු විය යුතු ද?
අර්මගෙදොන් වනාහි සටනක් බව බොහෝ ආගමික මනුෂ්‍යයෝ පවසති. නමුත් 19 වන සියවසේ මුල් භාගයේ දී, බයිබල් විශාරද ඇඩම් ක්ලාක් මෙසේ ලීවේ ය: “මේ කාරණය සම්බන්ධයෙන් මනුෂ්‍යයන්ගේ අනුමාන කිරීම් මොන තරම් විහිළුවක් ද! අපගේ අවිචක්ෂණ දිවස් කියන්නන් හා ආත්ම-අනුභාවයෙන් යුත් අනාගතවක්තෘවරුන් පවසන පරිදි, පසුගිය අවුරුදු විස්ස තුළ දී මෙම සටන විවිධ ස්ථානවල සිදු වී තිබේ! එක් අවස්ථාවක දී ඔස්ටර්ලිට්ස් හි ද, [Austerlitz] තවත් අවස්ථාවක දී මොස්කව් හි ද, [Moscow] වෙනත් අවස්ථාවක දී ලෙප්සික් හි ද, [Leipsic] සහ දැන් වොටර්ලූ හි ද [Waterloo] සිදුකර තිබේ! තවද මෙසේ ඔවුන් අවුල් කරමින් හා අවුල්වෙමින් මේවාවල දිගට ම පැවතී තිබෙන අතර, ඉදිරියට ද පවතිනු ඇත.”
අර්මගෙදොනයේ අර්ථය සෙවීමේ දී පැහැදිලි ව ම යම් වැදගත් ප්‍රශ්න මතුවෙයි. අර්මගෙදොන් යනු කුමක් ද? එය සටනක් නම්, ඊට සහභාගිවන්නෝ කවරහු ද? එම සටන සිදු කරනු ලබන්නේ මන්ද? එය සිදුවනු ඇත්තේ කොතැනක ද? තව ද එය සිදුවනු ඇත්තේ කවදා ද?
අර්මගෙදොන් යනු කුමක් ද?
සංකේත භාෂා සඳහා ප්‍රකට, එළිදරව් බයිබල් පොතෙහි ඇති වචනයකින් “අර්මගෙදොන්” යන යෙදුම රැගෙන තිබේ. එහි දී ප්‍රේරිත යොහන් මෙසේ ලියා තිබේ: “සර්පයාගේ කටිනුත් මෘගයාගේ කටිනුත් බොරු අනාගතවක්තෘගේ කටිනුත් මැඩියන් වැනිවූ අශුද්ධාත්මයන් තුන් දෙනෙක් නික්ම එනවා දුටිමි. මක්නිසාද ඔව්හු සර්වපරාක්‍රමවූ දෙවියන්වහන්සේගේ මහත් දවසේ යුද්ධයට මුළු ලෝකයේ රජුන් රැස්කරන පිණිස, ඔවුන් ළඟට යන්නාවූ, හාස්කම් කරන්නාවූ යක්ෂයින්ගේ ආත්මයෝය. . . . ඔව්හු හෙබ්‍රෙව් භාෂාවෙන් හර්–මගෙදොන් කියන ස්ථානයට ඔවුන් රැස් කළෝය.”—එළිදරව් 16:13-16.
අර්මගෙදොන්, හෝ හර්–මගෙදොන් යනු හර් මිගිහිඩ්·ඩොන්ʹ [Har Meghid·dohnʹ] යන හෙබ්‍රෙව් ප්‍රකාශයට සමාන ග්‍රීක් පදයේ අක්ෂර පරිවර්තනයකි, එහි අර්ථය වනාහි “මෙගිද්දෝ කන්ද,” හෝ “යුද්ධ භට කණ්ඩායම් එක්රැස්වෙන කන්ද” වේ. “සර්වපරාක්‍රම දෙවියන්වහන්සේගේ මහත් දවසේ යුද්ධයට” එය සම්බන්ධ කර තිබේ. එබැවින් අර්මගෙදොන් වනාහි දේශපාලන ගැටුමක්වත්, ආර්ථික විපත්තියක්වත්, න්‍යෂ්ටික සමූල ඝාතනයක්වත්, හෝ මනුෂ්‍ය සටනක්වත් නොවේ. ඒ වෙනුවට, අර්මගෙදොන් යනු දෙවියන් වහන්සේගේ යුද්ධය වේ.
සහභාගිවන්නෝ කවරහු ද?
මැඩියන් වැනි වූ අශුද්ධාත්මයන් තුන් දෙනෙකු පැමිණෙනුයේ සර්පයාගේ (සාතන් නැමති යක්ෂයා) කටිනුත්, මෘගයාගේ (ඔහුගේ භූමික දේශපාලන ක්‍රමය) කටිනුත්, සහ එංගලන්ත-අමෙරිකානු බොරු අනාගතවක්තෘගේ කටිනුත් ය. භූතයන් හෝ දුෂ්ට දේව දුතයන් විසින් නික්මවන මෙම අශුද්ධාත්මයන් භූමියේ රජුන් හෝ පාලකයන් ව හර්–මගෙදොනයට එක්රැස්කරනු ලැබේ.—වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් න්‍යූ යෝර්ක් ඉන්කෝපරේටඩ් විසින් ප්‍රකාශයට පත්කර ඇති, රෙවලේෂන්—ඉට්ස් ග්‍රෑන්ඩ් ක්ලයිමැක්ස් ඇට් හෑන්ඩ් යන පොතේ 32 වන පරිච්ඡේදය බලන්න.
රජ වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රමුඛත්වය යටතේ අදෘශ්‍යමාන ආත්ම බලවේගයන්ගෙන් යුත් අති විශාල හමුදාවක් අර්මගෙදොන් යුද්ධයේ දී යෙහෝවඃ වහන්සේගේ පැත්තේ සිටිනු ඇත. ප්‍රේරිත යොහන් මෙසේ වාර්තා කළේ ය: “ස්වර්ගය ඇරී තිබෙනවා දුටිමි; බලව සුදු අශ්වයෙක් සිටියේය. විශ්වාසය, සැබෑයයි කියනු ලැබූ තැනැන් වහන්සේ ඌ පිට වැඩහුන්සේක; උන්වහන්සේ [යේසුස් වහන්සේ] ධර්මිෂ්ඨකමින් විනිශ්චයත් යුද්ධයත් කරනසේක. . . . ස්වර්ගයේ සිටින සේනාවෝ . . . උන්වහන්සේ පස්සේ ගියෝය. ජාතීන්ට පහරදෙන පිණිස උන්වහන්සේගේ මුඛයෙන් තියුණු කඩුවක් නික්මෙයි. උන්වහන්සේ යදණ්ඩකින් ඔවුන් ආණ්ඩු කරනසේක. උන්වහන්සේ සර්වපරාක්‍රම දෙවියන්වහන්සේගේ කෝපයේ උදහස නැමති මුද්‍රිකපැස මඩිනසේක. උන්වහන්සේගේ වස්ත්‍රයෙහිද කළවයෙහිද රජවරුන්ගේ රජය, ස්වාමිවරුන්ගේ ස්වාමීන්වහන්සේය යන නාමය ලියා තිබේ.” (එළිදරව් 19:11-16) දෙවියන් වහන්සේගේ රාජ්‍යයට අනුබල දීමට ප්‍රතික්ෂේප කරන සියලු දෙනාගේ ම ඝාතනය නියෝග කිරීම පිණිස ක්‍රිස්තුස් වහන්සේ සතු ආධිපත්‍යය දිගු තියුණු කඩුව මගින් නියෝජනය කරනු ලැබේ. (එළිදරව් 1:16; 2:16) අර්මගෙදොන් යුද්ධය සඳහා විශාල අදෘශ්‍යමාන සේනා සූදානම් ව සිටිති.
විපක්ෂයෙහි සාතන්, ඔහුගේ භූත සේනා, සහ මුළු ජනාවාස පොළොවේ රජවරු සිටිති. නමුත් අප කල්පනා කළ යුත්තේ අදෘශ්‍යමාන විෂයේ සිටින ලෝක පාලකයන් ගැන පමණක් නොවේ, මක්නිසා ද ඔවුන් පාලනය කරනු ලබන ජනයා ද ඊට ඇතුළත් වන හෙයිනි. මෙසේ පුරෝකථනය කර තිබිණ: “ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] සෑම ජාතීන් කෙරෙහි උදහසද ඔවුන්ගේ සියලු සේනාවල් කෙරෙහි කෝපයද ඇතුව සිටිනසේක.”—යෙසායා 34:2.
එම සටන සිදු කරනු ලබන්නේ මන්ද?
දෙවියන් වහන්සේ ධර්මිෂ්ඨ නිසා සහ තවදුරටත් නපුර නොඉවසන නිසා අර්මගෙදොන් යුද්ධය සිදු කරනු ලබනවා ඇත. (ගීතාවලිය 11:7) වසර දහස් ගණනක දුෂ්ටකමට හා දුකට වගකිව යුතු භූතයන් සහ කැරලිකාර මනුෂ්‍යයන්ගෙන් සමන්විත, සාතන් නැමති යක්ෂයාගේ සංවිධානය, එමනිසා විනාශ විය යුතු ම ය. (උත්පත්ති 3:15, සසඳන්න.) අර්මගෙදොන් හි දී යෙහෝවඃ වහන්සේගේ විශ්ව පරමාධිපත්‍යය උත්කර්ෂවත් කරනු ලබන අතර, තව ද සියවස් ගණනාවක් සඳහා එම නාමය කෙරෙහි පටවා තිබූ නින්දාව එම යුද්ධය මගින් ඉවත් කරනු ලබනවා ඇත. තම ප්‍රොපේත එසකියෙල් කරණකොටගෙන දෙවියන් වහන්සේ ප්‍රකාශ කළ පරිදි: “මාගේ ශුද්ධවූ නාමය තවත් කෙළසන්ට ඉඩ නෑර, . . . ජාතීන්ද ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] වන මා . . . ශුද්ධව සිටින බව දැනගන්නවා ඇත.”—එසකියෙල් 39:7.
සියලු මනුෂ්‍යවර්ගයාගේ විනාශය දෙවියන් වහන්සේගේ අර්මගෙදොන් යුද්ධයෙන් සැබෑවට ම වළක්වනු ලබනවා ඇත. යෙහෝවඃ වහන්සේ පෘථිවිය මවනු ලැබුවේ වාසය කිරීමට මිසක, මනුෂ්‍යයන් අතරෙහි තාපන්‍යෂ්ටික යුද්ධයකින් විනාශවීමට හෝ නොඑසේ නම් ජීවයේ පැවැත්ම සඳහා එය නුසුදුසු එකක් කිරීමට නොවේ. (යෙසායා 45:18) උන් වහන්සේ ‘පොළොව විනාශකරන්නවුන් විනාශකරනවා’ ඇත. (එළිදරව් 11:18) නමුත් ගීතිකාකාරයා මෙසේ ප්‍රකාශ කළේ ය: “ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] රජකම්කරනසේක කියාත්, නොසෙල්වෙන ලෙස ලෝකය [හෙබ්‍රෙව්, ටෙ·වෙල්ʹ; (te·velʹ) පෘථිවිය, සාරවත් මෙන් ම ජනාවාස වූ, වාසය කළ හැකි ලෝකය] පිහිටුවා තිබේ.”—ගීතාවලිය 96:10.
හර්මගෙදොන් හි දී දෙවියන් වහන්සේ කරන දෙය උන් වහන්සේගේ ප්‍රධාන ගුණාංග වන යුක්තිය, ප්‍රඥාව, බලය, හා ප්‍රේමයට මුළුමනින් ම එකඟ වනු ඇත. (ද්විතීය කථාව 32:4; යෝබ් 12:13; යෙසායා 40:26; 1 යොහන් 4:8) නිර්දෝෂ අයට එරෙහි ව නොව, නමුත් “අභක්තික පව්කාරයන්ට” එරෙහි ව උන් වහන්සේ ක්‍රියා කරනවා ඇත. (යූද් 14, 15) ‘කඩුවට පාවා දෙනු ලබන්නේ දුෂ්ටයන්’ පමණකි. (යෙරෙමියා 25:31) පෘථිවිය සහ මනුෂ්‍යවර්ගයා සඳහා දිව්‍ය අරමුණ ඉටුකරමින්, පාරාදීසය නැවත පිහිටුවීමට මෙය මගපාදනු ඇත.—ලූක් 23:43.
එය සිදුවනු ඇත්තේ කොතැනක ද?
“මෙගිද්දෝ කන්ද” යන අර්ථය ඇති හෙබ්‍රෙව් ප්‍රකාශයකින් “අර්මගෙදොන්” යන යෙදුම පැමිණෙන නිසා, එම නාමය දරන උදාර ස්ථානයක මෙම යුද්ධය සිදු කරනු ඇතැයි ඇතමෙකු නිගමනය කළ හැක. කෙසේ වුවද, මෙගිද්දෝ යන නාමයෙන් කෙදිනකවත් කන්දක් තිබුණේ නැත. යෙරුසලමේ සිට වයඹ දිසාවට සැතපුම් 60ක් පමණ ඈතින් මෙගිද්දෝ නමින් හඳුන්වන ලද නගරයක් උස් භූමියක පිහිටා තිබිණ, නමුත් එම ස්ථානයෙහි දැනට ඇත්තේ අඩි 70 ක් පමණ උස පස් ගොඩක් පමණකි.—යෝෂුවා 17:11.
එම පුරාණ නගරය ‘මෙගිද්දෝ මිටියාවතට’ ඉහළින් පිහිටා තිබිණ. (2 ලේකම් 35:22) අර්මගෙදොන් (හෝ හර්–මගෙදොන්) එම ප්‍රදේශය සමඟ සම්බන්ධ කිරීම උචිත ය, මක්නිසා ද එය තීරණාත්මක යුද්ධවල ස්ථානය වූ නිසා ය. උදාහරණයක් වශයෙන්, කානානීය රජ වූ යාබින් හා සිසෙරා විසින් මෙහෙයවනු ලැබූ යුද්ධ හමුදා පිට විනාශකාරී පහරක් එල්ල කිරීමට එහි දී දෙවියන් වහන්සේ විනිශ්චයකාර බාරක්ට හැකියාව ලබා දුන් සේක. (විනිශ්චයකාරයන් 4:12-24; 5:19, 20) එම පෙදෙසේ දී ගිඩියොන් හා ඔහුගේ කුඩා කණ්ඩායම විසින් මිදියන්වරුන් ව පලවා හරින ලදහ. (විනිශ්චයකාරයන් 7:1–8:35) එහි දී අහසියා සහ යොෂියා යන රජවරු මරුමුවට පත් වූහ.—2 රාජාවලිය 9:27; 23:29, 30.
කෙසේ වුවද, මෙම සමභූමි මිටියාවත, එස්ඩ්‍රේලොන් සමභූමිය වශයෙනුත් හඳුන්වා තිබෙන අතර, එය දිගින් සැතපුම් 20ක් පමණක් වන අතර, නැගෙනහිර කෙළවරේ පළල සැතපුම් 18කි. මුළු ජනාවාස පොළොවේ රජවරුන්ට හා යුද්ධ හමුදාවලට එම කුඩා ස්ථානයට කිසිසේත් එක්රැස් විය නොහැක. මීට අමතර ව, පස් කන්දක් (මෙගිද්දෝ හි පස් කන්ද) හෝ සමභූමියක් වනාහි කන්දක් නොවේ. එසේ නම්, පැහැදිලි ව ම, මැද පෙරදිග යම් කඳුකර ස්ථානයකට අර්මගෙදොන් සීමා නොවනු ඇත. ඒ වෙනුවට, මෙගිද්දෝවෙන් හා එම පළාතේ සිදු වූ දේවලින් යම් වැදගත්කමක් එය ලබා ගත්තත්, අර්මගෙදොන් (හෝ හර්–මගෙදොන්) වනාහි ලෝක ව්‍යාප්ත තත්ත්වයක සංකේතයකි.
අර්මගෙදොන් සිදුවනු ඇත්තේ කවදා ද?
දෙවියන් වහන්සේගේ පුරාණ ජනයාගේ දේශයෙහි මෙගිද්දෝ ව පිහිටා තිබූ බැවින්, අර්මගෙදොන් හි සිදුවන දෙය මෙම ‘අන්තිම කාලයෙහි’ යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ට සම්බන්ධ ව පවති. (දානියෙල් 12:4) යෙහෝවඃ වහන්සේට හා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරණකොටගෙන උන් වහන්සේගේ රාජ්‍යයට එරෙහි ව පොළොවේ දේශපාලන පාලකයන් එක්රැස්වන ස්ථානයට හර්–මගෙදොන් අදාළ වේ. (එළිදරව් 16:14, 16) “ස්ථානය” (ග්‍රීක්, ටොʹපොස් [toʹpos]) යන්නෙන් අදහස් කරන්නේ ලෝක තත්ත්වයකි. ලොව වටා සිටින යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ට බලපාන යම් තත්ත්වයක් වර්ධනය වූ විට අර්මගෙදොන් සිදුවනු ඇත.
යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ආත්මික සමෘද්ධියෙන් කෝපයට පත් වන සාතන් නැමති යක්ෂයා, පෙනෙන ප්‍රකාරයට මෙම අනාරක්ෂිත ක්‍රිස්තියානින්ට එරෙහි ව ඉක්මනින් ම මුළු වැර යොදා පහරක් එල්ල කරනු ඇත. සාතන් හෝ ගොග් විසින් සිදු කරනු ලබන මෙම ලෝක ව්‍යාප්ත පහර දීම එසකියෙල් 38 සහ 39 වන පරිච්ඡේදවල විස්තර කර තිබේ. යක්ෂයාගේ බලපෑම යටතේ, සියලු ජතීන්ගෙන් එක්රැස් වූ යෙහෝවඃ වහන්සේගේ සාමයට-ප්‍රේම කරන ජනයාට එරෙහි ව ජාතීන් නැගී සිටිනු ඇත. එසේ ය, දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ දෘශ්‍යමාන නියෝජිතයන් හා දේශනාකරුවන් වන යෙහෝවඃ වහන්සේගේ භූමික සේවකයන්ට එරෙහි ව සිදු කරනු ලබන ලෝක ව්‍යාප්ත ක්‍රියාමාර්ගයෙන් සාතන්ගේ විරෝධතාව ප්‍රකාශ වනු ඇත.
සටනක් සිදුවන ස්ථානයේ නමින් එය හැඳින්වීම බොහෝ විට සිදුවන්නකි. එබැවින්, දෙවියන් වහන්සේ ස්වකීය ජනයා ව බලවත් සේ ආරක්ෂා කිරීමට සිදු කරනු ලබන සටන, අර්මගෙදොන් යුද්ධය නමින් හැඳින්විය හැක. ගොග්ගේ ප්‍රහාරයට එරෙහි ව ස්වකීය සේවකයන් ව ආරක්ෂා කිරීමට යෙහෝවඃ වහන්සේ නැගිටින විට, අර්මගෙදොන් ආරම්භ වී තිබෙනු ඇත! මනුෂ්‍ය ආණ්ඩු බිඳ වැටෙනු ඇත. ධාරානිපාත වැසි, විනාශකාරී හිම කැට පතිතවීම්, ඉතා වේගයෙන් ගමන් කරන ගිනි සහ ගෙන්දගම්, පැතිරෙන වසංගත—සැබවින් ම දෙවියන් වහන්සේගේ මෙම ක්‍රියා—නිසා යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගෙන් පිටත තිබෙන ලෝකය හදිසියේ කලබලයට පත් වනු ඇත. ඔවුන්ගේ මනුෂ්‍ය සතුරන් තමන්ගේ ම අයට එරෙහි ව සිය අවි පාවිච්චි කරනවා ඇත. තව ද මෙම සියදිවි නසන යුද්ධයෙන් මරුමුවට පත් නොවන අය යෙහෝවඃ වහන්සේ විසින් විනාශ කරනු ලබනවා ඇත.—එසකියෙල් 38:18-23; දානියෙල් 2:44.
භීතියට පත්වීම නිසා, බේරී ජීවත්වීම උදෙසා දරන වියරු වැටුණු නමුත් නිෂ්ඵල ප්‍රයත්නයක දී සෑම මිනිසකුගේ ම හස්තය සිය අසල්වැසියාට එරෙහි ව හැරෙනු ඇත. (සෙකරියා 14:12, 13) “ස්වාමීන්වහන්සේගෙන් [යෙහෝවඃ වහන්සේගෙන් NW] මැරුම්කන අය ඒ දවසේ පොළොවේ එක් කෙළවරක පටන් අනික් කෙළවර දක්වා වැටී ඉන්නෝය. ඔවුන් ගැන විලාපකියන්ටවත් ඔවුන් එකතුකරන්ටවත් වළලන්ටවත් නොයෙදී, ඔවුන් භූමිය මතුපිට කසළ වෙනවා ඇත.” (යෙරෙමියා 25:33) දෙවියන් වහන්සේගේ යුද්ධයෙහි මධ්‍යස්ථ ව සිටීමට දරන ඕනෑ ම උත්සාහයක් නිසා අර්මගෙදොන් හි දී ඔබගේ ජීවිතය ඔබට අහිමි වනු ඇත! මෙම සඟරාව ශුද්ධලියවිලිවලින් බොහෝ විට ඔප්පු කර තිබෙන පරිදි, අර්මගෙදොන් පැමිණීමට පෙර වර්තමාන පරම්පරාව පහනොවනු ඇත!—මතෙව් 24:21, 34.
අර්මගෙදොන් ඉටු කිරීමට යන දෙය
සාතන්ගේ භූමික සංවිධානයේ සෑම ලාංඡනයක් ම අර්මගෙදොන් මගින් ඉවත් කරනු ලබනවා ඇත. තවදුරටත්, යක්ෂයා සහ ඔහුගේ භූතයන් පාතාලයට දමනු ලබනවා ඇත. (එළිදරව් 20:1-3) උන් වහන්සේගේ අර්මගෙදොන් නැමති මහා යුද්ධයෙන් බේරෙන්නා වූ, යෙහෝවඃ වහන්සේගේ ප්‍රීතිමත් ජනයාට එදාට ගලා එනු ලබන ආශීර්වාද මොනතරම් ද! ඔවුන් සතුටුදායක ලෙස නැවත ඉදිකිරීමේ කටයුතුවල යෙදෙනවා ඇත, එවිට මුළු පොළොව ම පාරාදීසයක් බවට පත් වන අතර, දූෂණය, වේදනාව, වැලපීම, හැඬීම, හා මරණයෙන් එය නිදහස් වනු ඇත. (එළිදරව් 11:15, 18; 21:3, 4) තව ද ගීතිකාකාරයාගේ වචන ඔබ හෘදයට ගතහොත් ඔබට එහි සිටිය හැක: “ස්වාමින් [යෙහෝවඃ වහන්සේ NW] කෙරෙහි බලාසිටිමින් උන්වහන්සේගේ මාර්ගය රක්ෂාකරව, දේශය තට උරුමවන පිණිස උන්වහන්සේ තා උසස්කරනසේක. දුෂ්ටයන් සිඳිනු ලබන කල තා එය දකින්නෙහිය.” (ගීතාවලිය 37:34) සැබවින් ම, සර්වපරාක්‍රම වූ දෙවියන් වහන්සේගේ මහත් දවසේ යුද්ධය දැකීමට ඔබ සිටිය හැකි අතර, අර්මගෙදොන් සිදුවන විට ඔබ සන්තෝෂමත් බේරී ජීවත්වන්නෙකු විය හැක! w90 05/15
අර්මගෙදොන් වනාහි දේශපාලන සටනක්වත්, ආර්ථික විපත්තියක්වත්, න්‍යෂ්ටික සමූලඝාතනයක්වත්, හෝ මනුෂ්‍ය ගැටුමක්වත් නොවේ. අර්මගෙදොන් වනාහි දෙවියන් වහන්සේගේ යුද්ධය වේ
මුළු මනුෂ්‍යවර්ගයාගේ විනාශය දෙවියන් වහන්සේගේ අර්මගෙදොන් යුද්ධයෙන් වළක්වනු ඇත
දෙවියන් වහන්සේගේ යුද්ධයේ දී මධ්‍යස්ථ ව සිටීමට දරන ඕනෑ ම උත්සාහයක් නිසා අර්මගෙදොනයේ දී ඔබගේ ජීවිතය ඔබට අහිමි වනු ඇත!
“මේ සියල්ල මෙසේ නාස්තිවෙන්ට තිබෙන බැවින්, නුඹලා දෙවියන්වහන්සේගේ දවස පැමිණීම බලාසිටිමින්ද ඒ ගැන උනන්දුව ක්‍රියාකරමින්ද සියලු ආකාර ශුද්ධවූ හැසිරීමෙහිත් භක්තිවන්තකමෙහිත් කොයි ආකාර අයවල්ව සිටින්ට ඕනෑ ද?”—2 පේතෘස් 3:11, 12