ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • yp2 13 පරි. 114-120 පි.
  • ඉස්කෝලේ වැඩ හොඳට කරන්න පුළුවන් කොහොමද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඉස්කෝලේ වැඩ හොඳට කරන්න පුළුවන් කොහොමද?
  • යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 2වන පොත
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ගෙදර වැඩ කරන්න යෝජනා
  • අභියෝග ජය ගන්න
  • ඉස්කෝලෙන් දෙන ගෙදර වැඩ මං ඉවර කරන්නේ කොහොමද?
    යොවුන් සිතේ ගැටලු
  • පාසැලෙන් දෙන ගෙදර වැඩ කරන්න මම වේලාව හොයාගන්නේ කොහොමද?
    2004 පිබිදෙව්!
  • පාසැලේදී මට මීට වැඩිය හොඳින් කරන්න පුළුවන්ද?
    1998 පිබිදෙව්!
  • පාසැල් ගමන මම නතර කළ යුතුද?
    2010 පිබිදෙව්!
තව තොරතුරු
යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 2වන පොත
yp2 13 පරි. 114-120 පි.

13වෙනි පරිච්ඡේදය

ඉස්කෝලේ වැඩ හොඳට කරන්න පුළුවන් කොහොමද?

ඔයා ගන කැලෑවක අතරමං වෙලා කියලා හිතන්න. ඔයා වටේට ගස් කොළන් පිරිලා. ඔයාට පාරවත් හොයාගන්න බැහැ. කැලෙන් එළියට එන්න නම් ගස් කොළන් කපලා ඔයා පාරක් හදාගන්න ඕනේ. අවශ්‍ය ආයුධ ඔයා ළඟ තියෙනවා නම් ඒක ඔයාට කරන්න පුළුවන්.

සමහරක් අයට හිතෙන්නේ පාසැල් ජීවිතයත් හරියට ගන කැලෑවක හිර වෙලා ඉන්නවා වගේ කියලයි. ඔයාටත් හිතෙන්නේ එහෙමද? මොකද දවසින් වැඩි හරියක්ම පන්ති කාමරයට කොටු වෙලා. ගෙදර ආවත් රෑ වෙනකම් කරන්න ඉස්කෝලේ වැඩ ගොඩක් තියෙනවා. විෂයන් අමාරු වුණාමත් ඉස්කෝලේ වැඩ කරන්න එපා වෙනවා. ඔයාට අමාරුම විෂය මොකද්ද?

․․․․․

තව පාඩම් කරලා ඒ විෂය හොඳට කරන්න කියලා ඔයාගේ දෙමාපියන්, ගුරුවරුන් නිතර නිතර ඔයාට කියනවා ඇති. ඒගොල්ලෝ එහෙම කියන්නේ ඔයා උනන්දු වෙලා වැඩ කළොත් මීට වඩා හොඳට ඔයාට ඉස්කෝලේ වැඩ කරන්න පුළුවන් කියලා දන්න නිසයි. ඒත් එයාලා නිතර නිතර එහෙම කියන එක ඔයාට වධයක් වෙන්න පුළුවන්. සමහරවිට ඒ නිසාත් ඔයාට පාසැල් ජීවිතේ එපා වෙයි. හැබැයි කැලෑවක හිර වෙලා ඉද්දී ගස් කොළන් කපාගෙන පාර හදාගත්තා වගේ ඒ අභියෝග ජය අරගෙන පාසැල් ගමන සාර්ථක කරගන්න ඔයාට පුළුවන්. ගස් කොළන් කපාගන්න ආයුධ ඕන වුණා වගේ ඒක කරන්න මේ දේවල් තුන ඔයාට උදව් වෙයි.

● 1. ප්‍රයෝජන ගැන හිතන්න. ඉගෙනගන්න කැමැත්තක් නැත්නම් ඉස්කෝලේ වැඩ හොඳට කරන්න අමාරුයි. බයිබලයේ කියන්නේ, ‘සීසාන මිනිසා සීසෑමේ නිරත වන්නේ යමක් බලාපොරොත්තුවෙන්. කමතේ වැඩ කරන මිනිසා එහි වැඩ කරන්නේද යමක් බලාපොරොත්තුවෙන්’ කියලයි. (1 කොරින්ති 9:10) ඒ කියන්නේ මොන දේ කළත් ඒකෙන් ලැබෙන ප්‍රයෝජන ගැන හිතුවොත් තමයි ඒ දේ හොඳට කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේ ඔයාත් ඉගෙනගන්න එකේ තියෙන ප්‍රයෝජන ගැන හිතුවොත් ඉස්කෝලේ වැඩ හොඳට කරන්න කැමැත්තක් ඇති වෙයි.

හැබැයි ඉස්කෝලේ ගිහින් ඉගෙනගන්න සමහර විෂයන්වලින් කිසිම ප්‍රයෝජනයක් තියෙනවාද කියලා ඔයා කල්පනා කරනවා ඇති. ඒත් ඔයා ඉස්කෝලේදී ඉගෙනගන්න දේවලින් අවට ලෝකය ගැන, එක එක ජාතීන් ගැන ඔයාට තියෙන අවබෝධය තව වැඩි වෙනවා කියලා අමතක කරන්න එපා. හැම තරාතිරමකම ඉන්න අයව තේරුම්ගන්න ඒක ඔයාට උදව් වෙනවා. (1 කොරින්ති 9:22) ඒ වගේම ඉස්කෝලෙන් ලැබෙන අධ්‍යාපනයෙන් හොඳට හිතලා මතලා වැඩ කරන්න ඔයාට හොඳ පුහුණුවකුත් ලැබෙනවා.

● 2. දක්ෂතා අඳුනගන්න. තිමෝති කියන යෞවනයාට පාවුල් කිව්වේ එයාට ‘දෙවිගෙන් ලැබුණු දීමනාව දිගටම උද්‍යෝගයෙන් පාවිච්චි කරලා’ ඒක තව තවත් දියුණු කරගන්න කියලයි. (2 තිමෝති 1:6) මොකද තිමෝති ඒ දීමනාව පාවිච්චි කළේ නැත්නම් ඒක නාස්ති වෙලා යන්න ඉඩ තිබුණා. ඒ වගේ තමයි ඔයා ළඟ තියෙන දක්ෂතා හරියට අඳුනගෙන ඒවා පාවිච්චි කළේ නැත්නම් ඒවා නාස්ති වෙලා යන්න පුළුවන්. ඒ නිසා පාසැල් කාලේදී ඔයාගේ දක්ෂතා අඳුනගෙන ඒවා දියුණු කරගන්න පුළුවන් වෙන එක කොච්චර ලොකු දෙයක්ද!

ඒත් සමහර වෙලාවට ඉස්කෝලේ වැඩ හොඳට කරන්න තරම් ඔයා දක්ෂ නැහැ කියලා හිතෙන්න පුළුවන්. එහෙම හිතලා මානසිකව වැටෙන්න එපා. මොකද ඔයාට හොඳට කරන්න පුළුවන් දේවලුත් තියෙනවා. පාවුල් එයාට තිබුණු දක්ෂතා අඳුනගත්ත කෙනෙක්. එයා එයා ගැනම මෙහෙම කිව්වා. ‘මා කතා කරන්න දක්ෂ කෙනෙක් නොවුණත් මා දැනුමෙන් අඩු කෙනෙක් නෙමෙයි.’ (2 කොරින්ති 10:10; 11:6) ඒකෙන් තේරෙන්නේ පාවුල් එයාට කරන්න බැරි දේවල් වගේම එයාගේ දක්ෂතා මොනවාද කියලත් තේරුම් අරන් හිටියා කියලයි.

ඔයාත් ඔයාගේ දක්ෂතා මොනවාද කියලා තේරුම් අරන් ඉන්නවාද? ඒ දක්ෂතා මොනවාද? ඔයා ඒවා දන්නේ නැත්නම් ඔයාට උදව් උපකාර කරන වැඩිහිටියෙක්ගෙන් ඒ ගැන අහන්න. ඒවා අඳුනගන්නත් ඒවා තවත් දියුණු කරගන්නත් එතකොට ඔයාට පුළුවන් වෙයි.

● 3. පාඩම් කරන්න පුරුදු වෙන්න. පාඩම් කරන්නේ නැතුව ඉස්කෝලේ වැඩ කොහොමටවත් හොඳට කරන්න බැහැ. පාඩම් කරන එක හරි අමාරු දෙයක් වගේ පේන්න පුළුවන්. හැබැයි ඒකෙන් ප්‍රයෝජන ගොඩක් ලැබෙනවා. මුලින් පොඩි උත්සාහයක් දරලා පාඩම් කරන්න පුරුදු වුණොත් ඒක දිගටම කරන්න ඔයාට ආස හිතෙයි.

පාඩම් කරන්න පුරුදු වෙන්න නම් කාලය හොඳට පාවිච්චි කරන්න ඔයා ඉගෙනගන්න ඕනේ. ඉස්කෝලේ ඉන්න පැය ගාණේදී ඔයා මුල් තැන දෙන්න ඕනේ ඉගෙනගන්න වැඩවලටයි. බයිබලයේ කියනවා, ‘සුළඟ හමයිද කියා කල්පනා කරන තැනැත්තා කිසිවිටෙක වපුරන්නේවත් වැස්ස වහීද කියා කල්පනා කරන තැනැත්තා අස්වැන්න නෙළාගන්නේවත් නැහැ’ කියලා. (දේශනාකාරයා 11:4) ඒකෙන් තේරෙන්නේ කරන්න ඕනේ දේ ඒ වෙලාවේ කළේ නැත්නම් ඒකෙන් පාඩුවක් වෙනවා කියලයි. හැබැයි ‘සිනාසෙන්න කාලයකුත් නටන්න කාලයකුත්’ තියෙනවා කියලත් බයිබලයේ කියනවා. (දේශනාකාරයා 3:1, 4; 11:9) ඒ නිසා පාඩම් වැඩවලට වගේම විනෝද වෙන්නත් කාලයක් වෙන් කරන්න ඔයාට පුළුවන්.a හැබැයි ඔයා මූලික තැන දෙන්න ඕනේ පාඩම් වැඩවලට. ඊටපස්සේ තමයි සෙල්ලම ගැන හිතන්න ඕනේ. එතකොට දෙකම ඔයාට හොඳට කරන්න පුළුවන්.

ගෙදර වැඩ කරන්න යෝජනා

අවුරුදු 17ක් වයස සැන්ඩ්‍රා කියන යෞවනිය මෙහෙම කියනවා. “මං ඉස්කෝලේ ඇරිලා ගෙදර ආවාම පැය දෙක තුනක් හෝම්වර්ක් කරනවා. සති අන්තෙත් කිසිම නිදහසක් නැහැ.” ඉස්කෝලෙන් ගෙදර වැඩ කන්දරාවක් දෙන නිසා ඒවා කරන එක හරි අමාරුයි කියලා ඔයාටත් හිතෙනවාද? එහෙමනම් 119වෙනි පිටුවේ තියෙන දේවල් කරලා බලන්න.

අභියෝග ජය ගන්න

යෙහෝවා දෙවිත් එක්ක තියෙන බැඳීම තවත් ශක්තිමත් කරගන්න නම් තිමෝති කරන්න ඕනේ මොනවාද කියලා පාවුල් එයාට කිව්වට පස්සේ, ‘ඒ දේවල් ගැන ගැඹුරින් හිතන්න’ කියලත් ‘ඒවා නිතරම මනසේ තියාගන්න’ කියලත් එයාට කිව්වා. එහෙම කරන්න තිමෝති ලොකු උත්සාහයක් දරන්න ඕනේ. (1 තිමෝති 4:15) ඒ වගේ ඔයාත් ලොකු උත්සාහයක් දරලා ඔයාගේ පාඩම් වැඩ කළොත් ඉස්කෝලේ වැඩ හොඳට කරන්න ඔයාට පුළුවන්.

හොඳට ඉගෙනගන්න කියලා දෙමාපියන්, ගුරුවරුන් නිතර නිතර කියන නිසා පාසැල් ජීවිතය හරි වධයක් කියලා හිතන්න එපා. මේ පරිච්ඡේදයෙන් ඉගෙනගත්ත දේවල් තුන ඔයා අදාළ කරගත්තොත් ඔයාට තියෙන අභියෝග ජය අරන් ඔයාගේ පාසැල් ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් වෙයි.

තවත් දැනගන්න 1වෙනි පොතේ 18වෙනි පරිච්ඡේදය බලන්න

ඊළඟ පරිච්ඡේදය

ඉස්කෝලේ වැඩවලින් හෙම්බත් වෙනවා මදිවට ළමයිනුත් කරදර කරනවා. ළමයිගේ කරදරවලින් බේරිලා ඉන්න පුළුවන් කොහොමද?

[පාදසටහන]

a විනෝද වෙන එක ගැන වැඩි විස්තර මේ පොතේ 8වෙනි කොටසේ තියෙනවා.

බයිබල් උපදෙස

“සුළඟ හමයිද කියා කල්පනා කරන තැනැත්තා කිසිවිටෙක වපුරන්නේ නැත. වැස්ස වහීද කියා කල්පනා කරන තැනැත්තා අස්වැන්න නෙළාගන්නේ නැත.”—දේශනාකාරයා 11:4.

යෝජනාවක්

පාඩම් කරද්දී මුලින්ම පාඩම් කරන කොටස ගැන අදහසක් ගන්න. ඊටපස්සේ උපමාතෘකා දිහා බලලා ප්‍රශ්න හදාගන්න. පස්සේ ඒ කොටස සම්පූර්ණයෙන්ම කියවන ගමන් ඔයා හදපු ප්‍රශ්නවලට උත්තර තියෙනවාද කියලා බලන්න. කියවපු දේවල් ඔයාට මතකද කියලා අන්තිමට බලන්න.

මේක දැනගෙන හිටියාද?

හොර වැඩ කරලා ලකුණු ගන්න එකෙන් ඔයා ගැන තියෙන විශ්වාසය නැති වෙනවා වගේම ඉස්කෝලේ යන එකෙනුත් වැඩක් නැති වෙනවා. දෙවි එක්ක තියෙන මිත්‍රත්වයත් ඔයාට නැති වෙනවා.—හිතෝපදේශ 11:1.

ඔයාට වැඩක්!

ඊළඟ පාර විභාගෙදී මං ․․․․․ විෂයට ලකුණු ․․․․․ ගන්නවා.

ඒ විෂය හොඳට කරන්න මං මේ දේවල් කරනවා ․․․․․

මේ කාරණා ගැන මං දෙමාපියන්ගෙන් අහලා දැනගන්න කැමති දේ ․․․․․

ඔයා හිතන්නේ මොකද්ද?

● ඔයා උනන්දුවෙන් ඉස්කෝලේ වැඩ කරන්න ඕනේ ඇයි?

● පාඩම් වැඩ කරන්න ඔයාට හොඳම වෙලාව මොකද්ද?

● බාධාවක් නැතුව ඉස්කෝලෙන් දෙන වැඩ කරන්න ඔයාගේ ගෙදර හොඳම තැන කොතැනද?

● විනෝදයට කරන දේවල් ඉස්කෝලේ වැඩවලට බාධාවක් කරගන්නේ නැතුව ඉන්නේ කොහොමද?

[117වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

‘‘මං දැකපු දෙයක් තමයි ඉස්කෝලේ වැඩ ආසාවෙන් කරපු අය බයිබලයේ අධ්‍යයනය කරන එකත් කළේ ආසාවෙන්. ඒත් ඉස්කෝලේ වැඩ කරන්න එච්චර කැමැත්තක් නැති අයට බයිබලය අධ්‍යයනය කරන්නත් ආසාවක් නැහැ.’’—සිල්වී

[119වන පිටුවේ කොටුව⁄පින්තූරය]

පාඩම් කරන්න හරි තැනක් තෝරගන්න. සද්ද බද්ද නැති තැනක් නම් හොඳයි. පාඩම් වැඩ කරන්න මේසයක් පාවිච්චි කරන්න. TV එක දාන්න එපා.

වැදගත් දේට මුල් තැන දෙන්න. ඉස්කෝලේ වැඩ වැදගත් නිසා ඒවා ඉවර වෙනකම් TV බලන්නේ නැහැ කියලා අධිෂ්ඨාන කරගන්න.

කල් දාන්න එපා. ගෙදර වැඩ කරන්න හොඳ කාලසටහනක් හදාගෙන ඒ විදිහටම වැඩ කරන්න.

සැලසුම් කරන්න. ඉස්කෝලෙන් දීලා තියෙන ප්‍රොජෙක්ට්වලින් ඔයා මුලින්ම කරන්නේ මොන එකද, ඊටපස්සේ කරන්නේ මොකද්ද, ඒවා කොච්චර කාලෙකින් ඉවර කරන්න හිතනවාද කියලා කොළයක ලියන්න. ඉවර කරන ඒවා ඉස්සරහින් කතිරයක් දාන්න.

විටින් විට විවේකයක් ගන්න. එක දිගට ගෙදර වැඩ කරලා මනසට වෙහෙසක් දැනෙනවා නම් පොඩි විවේකයක් ගන්න. හැබැයි පුළුවන් ඉක්මනට ආයේ ගෙදර වැඩ පටන්ගන්න.

ඔයාට බැහැ කියලා හිතන්න එපා. ඕනම කෙනෙක් කැපවීමෙන්, උනන්දුවෙන් ඉස්කෝලේ වැඩ කරනවා නම් එයාට හොඳ ශිෂ්‍යයෙක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාත් ඔයාගේ උපරිමය කළොත් හොඳ ප්‍රතිඵල ලැබෙයි.

[116වන පිටුවේ පින්තූරය]

පාසැල් ගමන සාර්ථක කරගන්න එක ගන කැලෑවක පාර හදාගන්නවා වගේ අමාරු වැඩක් වුණාට ඒක කරන්න පුළුවන්

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න