මේ දේවලින් කියාපාන්නේ කුමක්ද?
යේසුස් ක්‍රිස්තුස් මෙසේ පැවසුවා. යුද්ධ, ආහාර හිඟකම්, වසංගත හා භූමිකම්පා මගින් “සමාජ ක්රමයේ අවසාන කාල පරිච්ඡේදය” හඳුනාගත හැකියි.—මතෙව් 24:1-8; ලූක් 21:10, 11.
වර්ෂ 1914 සිට ජාතීන් අතර හා විවිධ ජනවර්ග අතර පවතින යුද්ධ නිසා මිනිස් ජීවිතවලට විශාල හානි සිදු වී තිබෙනවා. බොහෝ අවස්ථාවලදී මෙම යුද්ධවලට හේතු වී තිබෙන්නේ දේශපාලනයට ඇඟිලි ගසන පූජකයන්. මෑතක සිට ලොව පුරා සිදු වන ත්‍රස්තවාදී ප්‍රහාර නිසා තත්වය තවත් දරුණු වී තිබෙනවා.
දියුණු ක්‍රම යොදාගනිමින් ආහාර නිෂ්පාදනය කළත් ලොව පුරා මිලියන සිය ගණනක් ජනයා දැඩි ලෙස ආහාර හිඟකම්වලින් පෙළෙනවා. සෑම අවුරුද්දකම සිදු වන මිලියන ගණනකගේ මරණවලට හේතුව ආහාර හිඟකමයි.
යේසුස් දුන් ලකුණේ තවත් එක් අංගයක් වන්නේ වසංගතයි. පළමුවන ලෝක මහා යුද්ධයෙන් පසු උණ වසංගතයක් නිසා 2,10,00,000ක් පමණ මිය ගියා. ඈත අතීතයේදී බොහෝදුරට යම් ප්‍රදේශ කිහිපයකට සීමා වුණ වසංගතයක් මෙන් නොව, ඒ වසංගතය දුර ඈත පිහිටි කුඩා දිවයින් ඇතුළු මුළු ලෝකයටම බලපෑවා. ලොව පුරා විශාල ජන පිරිසක් ඒඩ්ස් රෝගයට ගොදුරු වෙමින් සිටිනවා. ක්ෂය රෝගය, මැලේරියාව, ටයිෆොයිඩ් උණ හා ඩෙංගු වැනි වසංගත දියුණු වෙමින් පවතින රටවලින් වාර්තා වෙනවා.
කුඩා හා විශාල පරිමාණයේ භූමිකම්පා දසදහස් ගණනක් සෑම වසරකම ලොව නන් දෙසින් වාර්තා වෙනවා. භූමිකම්පා කලින් දැනගැනීම සඳහා යොදාගත හැකි උපකරණ මෙන්ම ඒවා වාර්තා කළ හැකි දියුණු ක්‍රම තිබුණත්, භූමිකම්පා නිසා ජනාවාස ප්‍රදේශවල සිදු වන විනාශයන් ගැන පුවත් නිතර දැකිය හැකියි.
බයිබලය මෙසේද පුරෝකථනය කළා. “අන්තිම දවස්වලදී කටයුතු කිරීමට අසීරු, අන්තරාදායක කාලවල් පැමිණෙන බව දැනගන්න. මන්ද, මිනිස්සු තමුන්ටම ප්‍රේම කරන, මුදලට ප්‍රේම කරන, පුරසාරම් කියන, උඩඟු, දේවඅපහාස කරන, දෙමාපියන්ට අකීකරු වන, ස්තුතිවන්ත නොවන, පක්ෂපාතිත්වයක් නැති අය වන්නෝය. එමෙන්ම ඔවුහු ජන්ම ස්නේහය නැති, කිසි කාරණයකදී එකඟ නොවන, නින්දා කරන, ආත්ම දමනය නැති, දරුණු, යහපතට ප්‍රේම නොකරන, අනුන්ව පාවා දෙන, හිතුවක්කාර, අහංකාර, දෙවිට ප්‍රේම කරනවාට වඩා සැප සෙල්ලමට ප්‍රේම කරන අය වන්නෝය. තවද ඔවුහු යම් ආකාරයක දේවභක්තියක් තිබෙන බව පෙන්නුවත් එහි බලයට එකඟව ජීවත් නොවන්නෝය. ඔවුන්ගෙන් අහක් වෙන්න.”—2 තිමෝති 3:1-5.
අපි ජීවත් වන්නේ “කටයුතු කිරීමට අසීරු, අන්තරාදායක කාලවල” බව ඔබ එකඟ වන්නේ නැද්ද?
මිනිසුන් මොන තරම් තමුන්ටම ප්‍රේම කරනවාද, මුදලට ප්‍රේම කරනවාද අහංකාරයෙන් කටයුතු කරනවාද කියා ඔබ දැක තිබෙනවාද?
මේ ලෝකයේ වැඩියෙන්ම සිටින්නේ තමන් ගැනම හිතන, ස්තුතිවන්ත නොවන, කිසි කාරණයකදී එකඟ නොවන, පක්ෂපාතිත්වයක් නොමැති අය කියා පැවසුවොත් ඊට එකඟ නොවන්නේ කවුද?
දෙමාපියන්ට අකීකරු වීම හා ජන්ම ස්නේහය නොමැතිකම රටවල් කිහිපයක පමණක් නොව, ලොව පුරාම විශාල ලෙස පැතිර ගොස් තිබෙන බව ඔබ දන්නවාද?
අපි ජීවත් වෙන්නේ යහපතට ප්‍රේම නොකරන නමුත් සැප සෙල්ලමට අධික ලෙස ප්‍රේම කරන ලෝකයක බව ඔබ තේරුම්ගෙන සිටිනවාට සැකයක් නැහැ.“අන්තිම දවස්වල” ජීවත් වන මිනිසුන්ගේ ආකල්ප ගැන බයිබලයේ විස්තර කර තිබෙන්නේ ඒ ආකාරයටයි.
අප ජීවත් වන්නේ කුමන කාලයකද කියා හඳුනාගැනීමට තවත් සාක්ෂි අවශ්‍යද? මේ කාල පරිච්ඡේදයේදීම දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය මුළු ජනාවාස පොළොව පුරා දේශනා කරනු ලබන බවත් යේසුස් පුරෝකථනය කළා. (මතෙව් 24:14) මෙය අද දින සිදු වෙමින් පවතිනවාද?
මුරටැඹ කියන්නේ යෙහෝවාගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය ප්‍රකාශ කිරීමට මුළුමනින්ම බැඳී තිබෙන බයිබලය මත පදනම් සඟරාවක්. එම සඟරාව වෙනත් කිසිම සඟරාවකට වඩා වැඩි භාෂා ගණනකින් අඛණ්ඩව මුද්‍රණය කරනු ලබනවා.
යෙහෝවාගේ සාක්ෂිකරුවන් දේවරාජ්‍යය ගැන අන් අය සමඟ කතා කිරීමට සෑම වසරකම ගත කරන පැය ගණන බිලියනයකටත් වඩා වැඩියි.
ඔවුන් බයිබලය ගැන පැහැදිලි කරන සඟරා පොත් පත් භාෂා 400කින් පමණ මුද්‍රණය කරනවා. දුර ඈත හුදෙකලා ප්‍රදේශවල වෙසෙන කුඩා ජන පිරිස් කතා කරන භාෂාවලින් පවා ඒවා මුද්‍රණය කෙරෙනවා. යෙහෝවාගේ සාක්ෂිකරුවන් සියලුම ජාතීන් වෙත ශුභාරංචිය ගෙන යනවා. දේශපාලනමය අතින් බලද්දී එතරම් වැදගත් නොවන කුඩා දිවයින් හා ප්‍රදේශ රාශියකද ඔවුන් දේශනා සේවය කරගෙන යනවා. ඔවුන් බොහෝ රටවල බයිබල් අධ්‍යාපනික වැඩසටහන් නිතිපතා පවත්වනවා.
ඇත්තෙන්ම, මුළු ජනාවාස පොළොව පුරා දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කරනු ලබන්නේ සියලුම මිනිසුන්ගේ ආගම් වෙනස් කිරීමට නොව ඔවුන්ට සාක්ෂියක් දීමටයි. අහසත් පොළොවත් මැවූ තැනැත්තා ගැන ඔවුන් සැලකිල්ලක් දක්වනවාද නැද්ද යන වගත්, ඔවුන් ඔහුගේ නීතිවලට ගරු කරනවාද යන වගත්, සෙසු ජනයාට ප්‍රේමය පෙන්වනවාද යන වගත් පෙන්වීමට සෑම තැනකම වෙසෙන ජනයාට එමගින් අවස්ථාවක් දෙනු ලබනවා.—ලූක් 10:25-27; එළිදරව් 4:11.
වැඩි කලක් නොගොස් දේවරාජ්‍යය මගින් පොළොවේ පවතින සියලුම දුෂ්ටකම් නැති කර, පොළොව ලෝක ව්‍යාප්ත පාරාදීසයක් බවට පත් කරනු ලබනවා.—ලූක් 23:43.
[6වන පිටුවේ කොටුව]
කුමක අන්තිම දවස්ද?
මිනිස් සංහතියේ අන්තිම දවස් නොවේ. දෙවිගේ කැමැත්ත කරන අයට සදහටම ජීවත් වීමේ අපේක්ෂාව බයිබලයේ ඉදිරිපත් කර තිබෙන නිසා එවන් දෙයක් විය නොහැකියි.—යොහන් 3:16, 36; 1 යොහන් 2:17.
මෙහි කතා කරන්නේ පොළොවේ අන්තිම දවස් ගැන නොවේ. ජනාවාස පොළොව සදහටම පවතින බවට දේවවචනයේ පොරොන්දු වෙයි.—ගීතාවලිය 37:29; 104:5; යෙසායා 45:18.
මෙහි සඳහන් වී තිබෙන්නේ ප්‍රචණ්ඩත්වයෙන් පිරි, ප්‍රේමය නොමැති වත්මන් සමාජ ක්රමයේ හා එහි හැසිරීම් රටාවට දැඩි සේ ඇලුම් කරන අයගේ අන්තිම දවස් ගැනයි.—හිතෝපදේශ 2:21, 22.
[7වන පිටුවේ කොටුව⁄පින්තූරය]
බයිබලය ඇත්තටම දෙවිගේ වචනයද?
බයිබල් අනාගතවක්තෘවරුන් යළි යළිත් මෙසේ සඳහන් කළා. “යෙහෝවා මෙසේ කියන්නේය.” (යෙසායා 43:14; යෙරෙමියා 2:2) දෙවිගේ පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස් පවා අවධාරණයෙන් යුතුව පැවසුවේ ඔහු ‘පැවසූ දේවල් ඔහුගේම අදහසකට අනුව නොපැවසූ’ බවයි. (යොහන් 14:10) ඉතා පැහැදිලිව බයිබලයම පවසන්නේ “මුළු ශුද්ධ ලියවිල්ලම දේවානුභාවයෙන්” ලියා තිබෙන බවයි.—2 තිමෝති 3:16.
එක්සත් බයිබල් සමාගම්වල වාර්තාවලට අනුව බයිබලය ප්‍රකාශයට පත් කර තිබෙන භාෂා ගණන 2,200කට වඩා වැඩියි. වෙනත් කිසිම පොතක් මේ තරම් භාෂා ගණනකින් ප්‍රකාශයට පත් කර නැහැ. මේ වන විට බෙදාහැර තිබෙන බයිබල් පිටපත් ගණන බිලියන සතරකට වඩා වැඩියි. වෙනත් කිසිම පොතක් මේ තරම් බෙදාහැර නැහැ. මුළු මහත් මනුෂ්‍ය වර්ගයා සඳහාම දෙවිගෙන් ලැබී තිබෙන පණිවිඩයක් සම්බන්ධයෙන් ඔබ අපේක්ෂා කරන්නේ එවැනි දෙයක් නොවේද?
බයිබලය ලියා තිබෙන්නේ දෙවිගේ ආනුභාවයෙන් බවට තිබෙන සාක්ෂි ගැන මීට වඩා වැඩි විස්තර දැනගැනීම සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කර තිබෙන සියලුම ජනයා සඳහා පොතක් නමැති විවරණිකාව බලන්න.
බයිබලය ඇත්තෙන්ම දෙවිගේ වචනය බව පිළිගෙන ඔබ එය කියවනවා නම්, ඔබ එයින් මහත් ප්‍රයෝජන ලබනවා නිසැකයි.
[8වන පිටුවේ කොටුව⁄පින්තූර]
දේවරාජ්‍යය යනු කුමක්ද?
දේවරාජ්‍යය යනු අහස සහ පොළොව මැවූ සැබෑ දෙවි වන යෙහෝවාගේ පාලනය නියෝජනය කරන්නාවූ ස්වර්ගයේ පිහිටුවා තිබෙන විශේෂ ආණ්ඩුවකි.—යෙරෙමියා 10:10, 12.
දෙවි එවන් පාලන බලයක් දෙනු ලබන තැනැත්තා හැටියට බයිබලයේ නම් කර ඇත්තේ යේසුස් ක්‍රිස්තුස්වයි. (එළිදරව් 11:15) තමන්ට දෙවිගෙන් පුදුම බලයක් ලැබී තිබුණු බව යේසුස් පොළොවේ විසූ කාලයේදී පෙන්නුවා. ඒ බලය නිසා ඔහුට හැකි වුණා, කාලගුණය හා සුළඟ වැනි ස්වාභාවික බලයන් පාලනය කරන්න. ඕනෑම රෝගයක් සුව කරන්න. මිය ගිය අයව පවා නැවත නැඟිටුවන්න. (මතෙව් 9:2-8; මාක් 4:37-41; යොහන් 11:11-44) “සියලු වර්ගයන්ද ජාතීන්ද භාෂාද ඔහුට මෙහෙ කරන පිණිස [දෙවි] ආණ්ඩුවත් ගෞරවයත් රාජ්‍යයකුත් ඔහුට [දුන්]” බව දේවානුභාවයෙන් ලියා තිබෙන බයිබල් අනාවැකියක පුරෝකථනය කර තිබෙනවා. (දානියෙල් 7:13, 14) එම ආණ්ඩුව ස්වර්ග රාජ්‍යය කියා හඳුන්වනු ලබනවා. යේසුස් ක්‍රිස්තුස් දැන් ඔහුගේ පාලනය හොබවන්නේ ස්වර්ගයේ සිටයි.
[7වන පිටුවේ පින්තූර]
ශුභාරංචිය ලොව පුරා දේශනා කෙරේ