ඔබේ ජීවිතය ගමන් කරන්නේ කොයිබටද?
• බොහෝදෙනෙකුගේ සිත් ජීවිතයේ එදිනෙදා කටයුතුවලට මොන තරම් යොමු වී තිබෙනවාද කියනවා නම් තමන් ගමන් කරන්නේ කොයිබටද කියා සිතීමට තරම්වත් ඔවුන්ට කාලයක් නැත.
• ඉදිරියේදී සිදුවීමට නියමිත මවිතකර සිද්ධීන් ගැන බයිබලය අපව දැනුවත් කරයි. නුදුරු අනාගතයේදී මිනිස් සමාජයේ තිබෙන ආයතනවලට සිදු වන අතිප්රබල විපර්යාසයක් ගැනද එය අනතුරු අඟවයි. බයිබලය පවසන දේවලින් ප්‍රයෝජන ගනිමින් විපත්තිවලින් ආරක්ෂා වීමට නම් අප ඉක්මනින්ම නිශ්චිත ක්‍රියාමාර්ගයක් ගත යුතුයි.
• සමහරුන් බයිබලයේ සඳහන් දේවල් දැන සිටියත් ඒවා පිළිපැදීමට උත්සාහ කළත් සිත්තැවුල් නිසා ඔවුන්ගේ ජීවිත වැරදි දිශාවකට යොමුවීමට ඔවුන් ඉඩහැර තිබෙනවා.
• ඔබේ ජීවිතය ගමන් කරන දිශාව ගැන ඔබ සන්තෝෂ වෙනවාද? ඔබ යම් දේවල් සැලසුම් කරන විට, ඒවා ඔබේ ජීවිතයේ දිගු කාලීන ඉලක්කවලට බලපෑ හැකි ආකාරය සලකා බලනවාද?
[9වන පිටුවේ කොටුව⁄පින්තූර]
අතිවැදගත්ම දෙය ලෙස ඔබ සලකන්නේ කුමක්ද?
පහත සඳහන් දේවල වැදගත්කම ඔබ නියම කරන්නේ කෙසේද? ප්‍රමුඛත්වය අනුව ඒවා 1 සිට 10 දක්වා නම් කරන්න.
මේවායින් බොහොමයකට ජීවිතයේ නිසි තැනක් තිබුණද ඔබට ඒවා තෝරාගැනීමට සිදු වන විට අංක 1, අංක 2 යනාදි වශයෙන් ඔබ සලකන්නේ කුමක්ද?
․․․ විනෝදාස්වාදය
․․․ මගේ රැකියාව හෝ වෘත්තිය
․․․ මගේ සෞඛ්‍යය
․․․ මගේම සතුට
․․․ මගේ කලත්‍රයා
․․․ මගේ දෙමාපියන්
․․․ මගේ දරුවන්
․․․ ලස්සන නිවසක්, වටිනා ඇඳුම්
․․․ මම කරන ඕනෑම දෙයක් අතිවිශිෂ්ට ලෙස කිරීම
․․․ දෙවිට කරන නමස්කාරය
[10, 11වන පිටුවේ කොටුව]
ඔබේ තේරීම් ඔබට ඇත්තටම යන්න වුවමනා කරන දිශාවට ඔබව ගෙන යනවාද?
සිත් විමසන මෙම ප්‍රශ්න සලකා බලන්න
විනෝදාස්වාදය: විනෝදාස්වාදය සඳහා මම තෝරාගන්න දෙයින් මට ප්රබෝධයක් දැනෙනවාද? මගේ සෞඛ්‍යයට හානියක් විය හැකි තරම් එය අනතුරුදායකද? එහි නිරත වීමෙන් ජීවිත කාලයටම මා ආබාධිතයෙක් විය හැකිද? පැය කිහිපයකට වින්දනයක් ලැබිය හැකි වුවත් දිගු කාලීනව එයින් ශෝකයක් ඇති විය හැකිද? විනෝදාස්වාදය සඳහා මම තෝරාගන්නා දෙය හිතකර දෙයක් වුණත් වඩාත් වැදගත් දේවල් අතපසු වෙන තරමට මා ඒ සඳහා කාලය යොදවනවාද?
මගේ රැකියාව: මා රැකියාව කරන්නේ ජීවත් වීමට අවශ්‍ය දේවල් ලබාගැනීමටද? නැත්නම් මම රැකියාවට වහල් වී තිබෙනවාද? මගේ සෞඛ්‍යයට හානි වන තරම් මම විශාල කාලයක් හා ශ්‍රමයක් එයට යොදවනවාද? මම වඩා කැමති වැඩිපුර කාලයක් රැකියාව සඳහා මිඩංගු කරන්නද නැත්නම් මගේ කලත්‍රයා හා මගේ දරුවන් සමඟ ගත කරන්නද? මගේ හෘදය සාක්ෂියට විරුද්ධ දේවල් හෝ නිතරම ආත්මික කටයුතු අතපසු වන ආකාරයේ දේවල් කරන්න කියා මගේ ස්වාමියා මගෙන් ඉල්ලා සිටින විට රැකියාව රැකගන්න ඕන නිසා මම ඒ දේවල් කරනවාද?
මගේ සෞඛ්‍යය: මම ඒ ගැන එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැද්ද? මගේ සෞඛ්‍යයට අනතුරක් නොවන ලෙස මම නිතරම පරෙස්සම් වෙනවාද? මගේ කතා බහේදී ප්‍රධාන මාතෘකාව වන්නේ එයද? මම එය රැකගන්න කටයුතු කරන ආකාරයෙන් මගේ පවුලේ අය කෙරෙහි මම සැලකිල්ලක් දක්වන බව පෙනෙනවාද?
මගේම සතුට: මම සැලකිලිමත් වන ප්‍රථම දෙය මෙයද? මගේ කලත්‍රයාගේ හා මගේ දරුවන්ගේ සතුටට වඩා මගේ සතුටට මම මුල් තැනක් දෙනවාද? මම දෙවිගේ සැබෑ නමස්කාරකයෙක් බව මම සතුට සොයන ආකාරයෙන් පැහැදිලි වෙනවාද?
මගේ කලත්‍රයා: මම මගේ කලත්‍රයාව මගේ සහකරු හෝ සහකාරිය ලෙස සලකන්නේ මට අවශ්‍ය අවස්ථාවලදී පමණද? පුද්ගලයෙකු වශයෙන් මගේ කලත්‍රයාට මම නිසි ගෞරවය දෙනවාද? දෙවි කෙරෙහි මට තිබෙන විශ්වාසය මගේ කලත්‍රයා ගැන මම දරන ආකල්පයට බලපානවාද?
මගේ දෙමාපියන්: මා දෙමාපියන් යටතේ සිටින දරුවෙක් නම්, ඔවුන් අහන දේවලට ගෞරවයෙන් යුක්තව උත්තර දීමෙන්ද, පවරන වැඩ කොටස් ඉටු කිරීමෙන්ද, ඔවුන් කියන වේලාවට නිවසට පැමිණීමෙන්ද, ඔවුන් එපායයි කියන අයව ඇසුරු කිරීමෙන් හා ඔවුන් අකමැති දේවල් කිරීමෙන් වැළකී සිටීමෙන්ද මම මගේ දෙමාපියන්ට කීකරු වන බව මම පෙන්වනවාද? මම වැඩිහිටියෙක් නම්, මගේ දෙමාපියන්ට ගෞරවයෙන් යුතුව සවන් දෙනවාද? අවශ්‍ය අවස්ථාවලදී ඔවුන්ට නිසි උපකාරය සපයනවාද? මම ඔවුන් සමඟ කටයුතු කරන්නේ මට පහසු විදිහටද? නැත්නම් දේවවචනයේ දී තිබෙන උපදෙස්වලට එකඟවද?
මගේ දරුවන්: මගේ දරුවන්ට සදාචාරය හා සම්බන්ධ නිසි සාරධර්ම ඉගැන්වීමේ වගකීම මට තිබෙන බව මට හැඟෙනවාද? නැත්නම් එය ගුරුවරුන් උගන්වයි කියා මම සිතනවාද? මගේ දරුවන් සමඟ මම කාලය ගත කරනවාද? නැත්නම් මා ඔවුන්ව භාර දෙන්නේ සෙල්ලම් බඩුවලට, රූපවාහිනියට හෝ පරිගණකයටද? මගේ දරුවන් දෙවිගේ සිහිගැන්වීම් නොසලකාහරින සැමවිටම මම ඔවුන්ව හික්මවනවාද? එහෙම නැත්නම් මම බොහෝවිට එසේ කරන්නේ ඔවුන් මාව කෝපයට පත් කරන අවස්ථාවලදී පමණද?
ලස්සන නිවසක්, වටිනා ඇඳුම්: මගේ පෙනුමට හා මා සතු දේවලට මා දක්වන උනන්දුවේ තරම තීරණය වන්නේ කුමකින්ද? මා ගැන මගේ අසල්වැසියන් තුළ ඇති කිරීමට මා බලාපොරොත්තු වන හැඟීම මගින්ද? නැත්නම් මගේ පවුලේ අයගේ යහපතට හේතු වන දේවල් මගින්ද? නැත්නම් මම දෙවිගේ නමස්කාරකයෙකු යන කාරණය මගින්ද?
මම කරන ඕනෑම දෙයක් අතිවිශිෂ්ට ලෙස කිරීම: දේවල් හොඳින් කිරීම වැදගත් කියා මම සිතනවාද? මා දැඩි පරිශ්‍රමයක් දරන්නේ අතිවිශිෂ්ටයා වීමටද? යම් කෙනෙක් මට වඩා හොඳට යම් දෙයක් කරන විට මම ඒ ගැන සිත්තැවුලට පත් වෙනවාද?
දෙවිට කරන නමස්කාරය: මට වඩාත්ම වැදගත් වන්නේ මගේ කලත්‍රයාගේ, මගේ දරුවන්ගේ, මගේ දෙමාපියන්ගේ හා මගේ ස්වාමියාගේ අනුමැතිය ලැබීමට වඩා දෙවිගේ අනුමැතිය ලැබීමද? සැප පහසු ජීවිතයක් ගත කිරීමට මඟ සලසාගැනීම සඳහා දෙවිට කරන සේවය දෙවෙනි තැනට දමන්න මම කැමතිද?
බයිබලය සපයන පහත සඳහන් උපදෙස් හොඳින් සිතට ගන්න
ඔබේ ජීවිතයේ දෙවිට හිමි වන්නේ කුමන ස්ථානයද?
දේශනාකාරයා 12:13: “දෙවිට භය වෙමින් ඔහුගේ ආඥාවන් රක්ෂා කරන්න; මනුෂ්‍යයාගේ මුළු යුතුකම නම් මේකය.”
ඔබෙන්ම මෙසේ අසාගන්න: මම කාරණා දෙස බලන්නේ ඉහත බයිබල් පාඨයට අනුව බව මම ජීවත් වන ආකාරයෙන් දකින්න පුළුවන්ද? මම නිවසේදී, රැකියාවේදී හෝ පාසැලේදී වගකීම් ඉටු කරන අයුරු තීරණය වන්නේ මම දෙවිගේ ආඥාවලට කීකරු වන ආකාරය අනුවද? එහෙම නැත්නම් දෙවිට නමස්කාර කිරීම සඳහා කොයි තරම් කාලයක් වෙන් කරනවාද කියා මම තීරණය කරන්නේ මම උනන්දුව දක්වන වෙනත් දේවලට යොමු කරන කාලය අනුව හෝ මට ජීවිතයේ මුහුණ දීමට සිදු වන නොයෙකුත් පීඩන අනුවද?
දෙවි සමඟ ඔබට තිබෙන්නේ මොන වගේ සබඳතාවක්ද?
හිතෝපදේශ 3:5, 6: “ඔබේම බුද්ධියෙහි නොපිහිටා මුළු සිතින් යෙහෝවා කෙරෙහි විශ්වාස කරන්න; ඔබේ සියලු මාර්ගවලදී ඔහු සලකන්න; ඔහු ඔබේ මාවත් සමතලා කරන්නේය.”
මතෙව් 4:10: “ඔබ නමස්කාර කළ යුත්තේ ඔබේ දෙවි වූ යෙහෝවාටය. පරිශුද්ධ සේවය පිරිනැමිය යුත්තේ ඔහුට පමණය.”
ඔබෙන්ම මෙසේ අසාගන්න: දෙවි ගැන මට හැඟෙන්නේ ඒ විදිහටද? මගේ එදිනෙදා කටයුතුවලදී වගේම මම මුහුණ දෙන දුෂ්කර තත්වයන්වලදී මට දෙවි කෙරෙහි එවැනි විශ්වාසයක් හා භක්තියක් තිබෙන බව මම පෙන්වනවාද?
බයිබලය කියවීම හා අධ්‍යයනය කිරීම ඔබට කොතරම් වැදගත්ද?
යොහන් 17:3: “සදාකාල ජීවනය නම් මේය. ඔවුන් විසින් එකම සැබෑ දෙවි වන ඔබ ගැනත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ගැනත් දැනුම ලබාගැනීමය.”
ඔබෙන්ම මෙසේ අසාගන්න: මම ඇත්තටම එම වදන් විශ්වාස කරන බව දේවවචනය කියවීමට හා ඒ ගැන ගැඹුරින් සිතා බැලීමට මගේ ජීවිතයේ හිමි ස්ථානයෙන් දකින්න පුළුවන්ද?
ක්‍රිස්තියානි සභාවේ රැස්වීම්වලට පැමිණීම ඔබට කොතරම් වැදගත්ද?
හෙබ්‍රෙව් 10:24, 25: “ප්‍රේමයට හා යහපත් ක්‍රියාවලට පොලඹවන පිණිස එකිනෙකා ගැන සැලකිලිමත් වෙමු. . . . අපේ රැස්වීම අත් නෑර, එකිනෙකාව දිරිගන්වමු. ඒ දවස ළං වන බව ඔබට පෙනෙද්දී, වැඩි වැඩියෙන් එසේ කරමු.”
ගීතාවලිය 122:1: “යෙහෝවාගේ ගෘහයට යන්නෙමුයයි ඔවුන් මට කී විට මම සන්තෝෂ වීමි.”
ඔබෙන්ම මෙසේ අසාගන්න: දේවවචනයේ සඳහන් එම උපදේශය අගය කිරීමෙන් යුතුව මා පිළිගන්නා බව මා ජීවත් වන ආකාරයෙන් පෙනෙන්න තිබෙනවාද? වෙනත් දේවල් වඩාත් වැදගත් ලෙස සැලකීම නිසා පසුගිය මාසයේදී සමහර ක්‍රිස්තියානි රැස්වීම්වලට යෑම මා අතපසු කළාද?
දෙවි ගැනත් ඔහුගේ අරමුණු ගැනත් අන් අයට පැවසීමේ කාර්යයෙහි මා උද්යෝගයෙන් සහභාගි වෙනවාද?
මතෙව් 24:14: “රාජ්‍යයේ මේ ශුභාරංචිය . . . සාක්ෂියක් පිණිස මුළු ජනාවාස පොළොව පුරාම දේශනා කරනු ලබන්නේය. එවිට අවසානය පැමිණෙන්නේය.”
මතෙව් 28:19, 20: “එබැවින් ගොස් සියලු ජාතීන්ට අයත් මිනිසුන්ව ගෝලයන් කරන්න. . . . මා ඔබට අණ කළ සියලු දේ පවත්වන්න ඔවුන්ට උගන්වන්න.”
ගීතාවලිය 96:2: “යෙහෝවාට ගී කියමින් ඔහුගේ නාමයට ආශීර්වාද කරන්න; ඔහු දෙන ගැලවීම දිනෙන් දින ප්‍රකාශ කරන්න.”
ඔබෙන්ම මෙසේ අසාගන්න: මගේ ජීවිතයේ මෙම කාර්යයට හිමි විය යුතු තැන ඇත්තටම එයට හිමි වී තිබෙනවාද? අප ජීවත් වෙන කාලයේ බැරෑරුම්කම මම ඒත්තුගෙන තිබෙන බව එම කාර්යයෙහි හවුල් වීමට මම දරන වෑයමෙන් දකින්න පුළුවන්ද?