මේ ලෝකය ගමන් කරන්නේ කොයිබටද?
බරපතළ ගැටලු හා සිත් කම්පා කරවන සිද්ධීන් ලොව දස දෙසින් සෑම දවසකම අසන්න ලැබෙනවා. මේ දේවලින් කියාපාන්නේ කුමක්ද?
පෞද්ගලික ආරක්ෂාව: වෙළඳසැල්වල බෝම්බ පුපුරවාහැරේ. ගුරුවරුන්ට හා සිසුන්ට පාසැලේදී වෙඩි ප්‍රහාර එල්ල වේ. දෙමාපියන්ගේ අවධානය දරුවන්ගෙන් ගිලිහී ගිය සැණින් ඔවුන්ව පැහැරගනී. මහ දවල් කාන්තාවන්ට හා මහලු පුරුෂයන්ට පහර දී වටිනා දෑ සොරාගනී.
ආගමික වාතාවරණය: යුද්ධ වදින කණ්ඩායම්වලට පල්ලිවලින් සහයෝගය. විවිධ ජන පිරිස් සමූලඝාතනය කිරීම සම්බන්ධයෙන් පූජකයන්ට චෝදනා. පූජකයන්ගෙන් ළමුන්ට ලිංගික හිරිහැර; පල්ලිය අපකීර්තිය වසාලීමට තැත් කරයි. පල්ලි යන්නෝ අඩු වෙයි. පල්ලි විකිණීමට ඇත.
පරිසරය: වාණිජ්‍ය කටයුතු නිසා වනාන්තර වැනසී යයි. දර සොයා යන දුප්පතුන් අතින් ගස් වැල් විනාශ වෙයි. භූගත ජලය දූෂිත වී ඇත; පානය කිරීම අනතුරුදායකයි. කර්මාන්ත ශාලාවලින් ජලයට බැහැර කරන අපද්‍රව්‍යය හා නවීන ධීවර ආම්පන්න නිසා මත්ස්‍ය සම්පත තර්ජනයට ලක් වේ. වායු දූෂණය නිසා හුස්ම ගැනීමේ අපහසුතා.
ජීවිකාව: වාර්තාවලට අනුව සහරා කාන්තාරයට දකුණින් පිහිටි අප්‍රිකානු රටවල වාර්ෂික ඒක පුද්ගල ආදායම පහළ මට්ටමක පවතී. නිලධාරීන්ගේ ගිජුකම නිසා ව්‍යාපාර බිඳ වැටෙයි. ප්‍රතිඵලයක් ලෙස දහස් ගණනකට රැකියා අහිමි වෙයි. ජීවිත කාලය පුරා ආයෝජකයන් ඉතිරි කරගත් මුදල් ගසා කයි.
ආහාර හිඟකම්: ලොව පුරා 80,00,00,000 පමණ ජනයා සෑම දිනකම නින්දට යන්නේ කුසට ආහාරයක් නැතුවයි.
යුද්ධ: විසිවන සියවසේදී යුද්ධ නිසා අහිමි වූ ජීවිත ගණන 10,00,00,000කට වඩා වැඩියි. මුළු මිනිස් සංහතියම බොහෝ වාර ගණනක් විනාශ කර දැමිය හැකි න්‍යෂ්ටික අවි ගබඩා කර ඇත. සිවිල් යුද්ධ. ත්‍රස්තවාදය මුළු ලෝකයම බියෙන් වෙළාගනී.
වසංගත හා වෙනත් ලෙඩ රෝග: වර්ෂ 1918 පටන් ස්පාඤ්ඤ උණ නිසා මිය ගිය ගණන 2,10,00,000කි. දැන් “මිනිස් ඉතිහාසයේ දරුණුතම වසංගතය” වී තිබෙන්නේ ඒඩ්ස්. පිළිකා හා හෘද රෝග ලොව පුරා ජනයාගේ දුක් වේදනා වැඩි කරයි.
ඔබේ අවධානය එක පුවතකට පමණක් සීමා නොකරන්න. මෙම සිද්ධීන් හුදෙක් තනි සිද්ධීන් පමණද? නැත්නම් මේවා සුවිශේෂ අර්ථයකින් යුත් ලොව පුරාම දක්නට ලැබෙන අංග ලක්ෂණ සමූහයක කොටස්ද?
[5වන පිටුවේ කොටුව⁄පින්තූරය]
දෙවි අප ගැන ඇත්තටම සැලකිල්ලක් දක්වනවාද?
සිත් කම්පා කරවන දේවලට මුහුණ දීම නිසා හෝ තමන් සතු වටිනා දේපොළ හා තමන් ආදරය කරන අය අහිමි වීම නිසා අද බොහෝදෙනෙක් සිටින්නේ මහත් වේදනාවකින්. මෙවැනි දේවල් වළක්වාලන්න දෙවි මැදිහත් නොවන්නේ ඇයි කියා එවැනි අයට සිතෙයි.
දෙවි නිසැකවම සැලකිල්ලක් දක්වයි. ඔහු විශ්වාසය තැබිය හැකි මඟ පෙන්වීම් සපයන අතර මේ කාලයේදී සැබෑ සහනයක්ද ලබා දෙයි. (මතෙව් 11:28-30; 2 තිමෝති 3:16) ප්‍රචණ්ඩකාරී ක්‍රියා, ලෙඩ රෝග හා මරණය සදහටම නැති කර දැමීම සඳහා ඔහු දැනටමත් පියවර ගෙන හමාරයි. ඔහු ගෙන තිබෙන පියවරවලින් පැහැදිලිව පෙනී යන්නේ ඔහු එක ජාතියක් ගැන පමණක් නොව, සියලුම ජාති, ගෝත්‍ර හා භාෂාවලට අයත් සෑම ජන පිරිසක් ගැනම සැලකිල්ලක් දක්වන බවයි.—ක්‍රියා 10:34, 35.
අපි දෙවි ගැන කොතරම් සැලකිල්ලක් දක්වනවාද? අහසෙහි හා පොළොවෙහි මැවුම්කරු කවුද කියා ඔබ දන්නවාද? ඔහුගේ නම කුමක්ද? ඔහුගේ අරමුණ කුමක්ද? ඔහු මේ ප්‍රශ්නවලට උත්තර බයිබලයේ සපයා තිබේ. ප්‍රචණ්ඩකාරී ක්‍රියා, ලෙඩ රෝග හා මරණය සදහටම නැති කර දැමීමට ඔහු ගන්නා පියවර මොනවාද කියා බයිබලය තුළින් ඔහු අපට පවසයි. එම පියවරවලින් ප්‍රයෝජන ගන්න නම් අප කළ යුත්තේ මොනවාද? අපි ඔහු ගැනත් ඔහුගේ අරමුණ ගැනත් ඉගෙනගන්න අවශ්‍යයි. ඔහු කෙරෙහි අපට ඇදහිල්ල තිබෙන බව අප පෙන්වන්නේ නැත්නම්, ඔහුගේ සැපයුම්වලින් ප්‍රයෝජන ගන්න අපට පුළුවන් වෙයිද? (යොහන් 3:16; හෙබ්‍රෙව් 11:6) ඔහු අපෙන් බලාපොරොත්තු වන දේවල් කරන්නත් අවශ්‍යයි. (1 යොහන් 5:3) දෙවිට කීකරුව ඒ දේවල් කරන්න තරම් ඔබ ඒවා ගැන සැලකිලිමත්ද?
වර්තමානයේ ලෝකයේ පවතින තත්වයන් මෙතෙක් පැවතීමට දෙවි ඉඩහැරීමට හේතුව තේරුම්ගැනීමට නම් අපි වාදයට ලක් වී තිබෙන අතිවැදගත් ප්‍රශ්නයක් තේරුම්ගත යුතුයි. බයිබලයේ මේ ප්රශ්නය ගැන පැහැදිලි කර තිබෙනවා. වාදයට ලක් වී තිබෙන මේ අතිවැදගත් ප්රශ්නය කුමක්ද කියා දැනගැනීමට මේ ප්රකාශනයේ 15වන පිටුව කියවීමට ඔබට හැකියි.