122වෙනි පරිච්ඡේදය
පිලාත් වෙතින් හෙරොද් වෙතට ආපසු පිලාත් වෙතට
යේසුස් තමා රජෙකු යන කාරණය පිලාත්ගෙන් සැඟවීමට උත්සාහ කරන්නේ නැහැ. එහෙත් ඔහුගේ රාජ්‍යයෙන් රෝමයට කිසිදු තර්ජනයක් එල්ල නොවන බව පැහැදිලි කරමින් ඔහු මෙසේ පවසනවා. “මාගේ රාජ්‍යය මේ ලෝකයේ කොටසක් නොවේ. මාගේ රාජ්‍යය මේ ලෝකයේ කොටසක් වූවා නම්, මාව යුදෙව්වරුන් අතට පාවා දෙනු නොලබන පිණිස මා යටතේ සිටින්නන් සටන් කරනවා ඇත. නමුත් මාගේ රාජ්‍යය මේ ලෝකයෙන් නොවේ.” මෙසේ, යේසුස් තුන් වතාවක්ම තමාට රාජ්‍යයක් ඇති බව පිළිගන්නවා. එහෙත් ඔහු පෙන්වා දෙන පරිදි එය භූමික එකක් නොවෙයි.
පිලාත් තවදුරටත් ඔහුට පෙරැත්ත කරමින් අසන්නේ “එසේනම්, ඔබ රජෙක්ද” කියායි. වෙනත් ආකාරයකින් පවසනවා නම්, ඔබගේ රාජ්‍යය මේ ලෝකයේ කොටසක් නොවුණත් ඔබ රජෙක්ද යන්නයි.
පිලාත් නිවැරදි නිගමනයකට එළඹී ඇති බව පෙන්වමින් යේසුස් මෙසේ පිළිතුරු දෙනවා. “මා රජෙකුයයි ඔබම කියන්නේය. මා ඉපදුණෙත් ලෝකයට පැමිණියේත් සත්‍යය ගැන සාක්ෂි දැරීමටය. සත්‍යයට පක්ෂව සිටින සියල්ලෝ මාගේ හඬට සවන් දෙන්නෝය.”
ඇත්තෙන්ම, “සත්‍යය” පිළිබඳව සාක්ෂි දැරීමේ අරමුණ ඇතුවයි යේසුස් මෙලොවට ඇවිත් සිටින්නේ. ඔහු විශේෂයෙන්ම අවධානය යොමු කරන්නේ ඔහුගේ රාජ්‍යය පිළිබඳ වූ සත්‍යය වෙතටයි. ජීවිතය පරිත්‍යාග කිරීමට සිදු වුවත් එම සත්‍යයට පක්ෂව සිටීමට යේසුස් සූදානමින් සිටිනවා. “සත්‍යය කියන්නේ කුමක්ද” කියා පිලාත් ඇසුවත් ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන තෙක් ඔහු බලා සිටින්නේ නැහැ. ඔහුට තීන්දුවක් දීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි ලැබී තිබෙනවා.
පිලාත් දැන් තම මාලිගය ඉදිරියේ රැස්ව සිටින සෙනඟ වෙතට යනවා. යේසුස්ද ඔහු ළඟ සිටිනවා ඇති. ඔහු නායක පූජකයන්ට හා ඔවුන් සමඟ සිටින වෙනත් අයට මෙසේ පවසනවා. “මොහු අත කිසි වරදක් මට හමු වූයේ නැත.”
මෙම තීන්දුව නිසා කෝපයට පත් වන සෙනඟ තරයේ කියා සිටින්නේ “ඔහු ගලීලයේ සිට පටන්ගෙන මේ ස්ථානය දක්වාද, යුදය පුරාද උගන්වමින් ජනයාව [අවුස්සන]” බවයි.
යුදෙව්වරුන්ගේ අසාධාරණ මෙන්ම අන්තවාදී ආකල්පය පිලාත්ව පුදුමයට පත් කරන බව නිසැකයි. ඉතින්, නායක පූජකයන් හා වැඩිමහල්ලන් එක දිගට කෑගසද්දී පිලාත් යේසුස් වෙතට හැරී මෙසේ අසනවා. “ඔබට විරුද්ධව ඔවුන් කොපමණ සාක්ෂි දෙනවාද කියා ඔබට ඇසෙන්නේ නැද්ද?” එහෙත් යේසුස් පිළිතුරු දෙන්නේ නැහැ. කිසිම පදනමක් නොමැතිව ඔහුට චෝදනා එල්ල කළත් ඔහු සන්සුන්ව සිටින බව දකින පිලාත් පුදුමයට පත් වෙනවා.
යේසුස් ගලීලයෙක් බව දැනගත් පසු, පිලාත් තම වගකීමෙන් ලිස්සා යෑමට මාර්ගයක් සොයාගන්නවා. (මහා හෙරොද්ගේ පුතා එනම්,) ගලීලයේ පාලකයා වන හෙරොද් අන්තිපස් පාස්කුව සඳහා යෙරුසලමට ඇවිත් සිටිනවා. ඒ නිසා, පිලාත් යේසුස්ව ඔහු වෙතට යවනවා. මීට කලින්, හෙරොද් අන්තිපස්ගේ අණ පිට යොහන් බව්තීස්තගේ හිස ගසා දමනු ලැබුවා. ඉන්පසු, යේසුස් සිදු කරමින් සිටි ආශ්චර්යවත් ක්‍රියා ගැන දැනගන්න ලැබුණ විට යේසුස් මළවුන්ගෙන් නැඟිට සිටින යොහන්යයි සිතමින් ඔහු බියට පත් වුණා.
දැන් යේසුස්ව දැකගැනීමට හෙරොද් ඉමහත් ආශාවකින් සිටිනවා. ඒ, යේසුස්ගේ ශුභසිද්ධිය ගැන සැලකිලිමත් වන නිසාවත් ඔහුට එල්ල කර තිබෙන චෝදනා සත්‍යයද නැද්ද කියා දැනගැනීමට තිබෙන අවංක උනන්දුව නිසාවත් නොවෙයි. ඇත්තෙන්ම ඔහුට යේසුස්ව දැකගන්න අවශ්‍ය වී තිබෙන්නේ ඔහු තුළ තිබෙන කුතුහලය නිසයි. යේසුස් යම් ප්රාතිහාර්යයක් සිදු කරාවි කියා ඔහු බලාපොරොත්තු වෙනවා.
එහෙත් යේසුස් හෙරොද්ගේ අභිප්‍රාය ඉටු කර දීමට උත්සුක නොවෙයි. හෙරොද් ඔහුගෙන් ප්‍රශ්න කරද්දී පවා ඔහු නිහඬව සිටිනවා. බලාපොරොත්තු වන දේ ඉටු නොවන නිසා හෙරොද් සහ ඔහුගේ මුර සෙබළුන් යේසුස්ට අවමන් කරනවා. ඔහුට දීප්තිමත් වස්ත්‍රයක් පළඳවා ඔහුව සමච්චලයට ලක් කරනවා. ඔවුන් ඊළඟ ඔහුව ආපසු යවන්නේ පිලාත් වෙතටයි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, කලින් සතුරන්ව සිටි හෙරොද් හා පිලාත් දැන් හොඳ මිතුරන් බවට පත් වෙනවා.
යේසුස් ආපසු පිලාත් වෙතට පැමිණෙද්දී, පිලාත් නායක පූජකයන්ව, යුදෙව් පාලකයන්ව සහ සෙනඟ කැඳවා මෙසේ පවසනවා. “ඔබ මේ මිනිසා ජනයාව කැරලිගැසීමට පොලඹවන්නෙක්යයි කියා මා වෙතට ගෙන ආවහුය. බලන්න! මා ඔබ ඉදිරියෙහි ඔහුව පරීක්ෂා කළ නමුත් ඔබ ඔහුට විරුද්ධව ගෙන එන චෝදනාවලට කිසි පදනමක් මට මොහු අත සම්බ නොවීය. ඇත්තෙන්ම, හෙරොද්ටවත් සම්බ වුණේ නැත. හෙරොද් මොහුව නැවත අප වෙතට එව්වේ ඒ නිසාය. බලන්න! මරණය ලැබීමට සුදුසු කිසිවක් ඔහු කර නැත. එබැවින් මම ඔහුට දඬුවම් කර, නිදහස් කොට හරිමි.”
මෙසේ යේසුස් නිදොස් බව පිලාත් දෙවතාවක්ම ප්‍රකාශ කර තිබෙනවා. පූජකයන් යේසුස්ව භාර දී ඇත්තේ ඔවුන්ගේ ඊර්ෂ්‍යාව නිසයි කියා වටහාගන්නා පිලාත් ඔහුව නිදහස් කිරීමට කැමතියි. යේසුස්ව නිදහස් කිරීමට පිලාත් උත්සාහ දරමින් සිටින අතරතුරේදී ඔහුට ලැබෙන ආරංචියක් නිසා ඔහු ඒ සඳහා දැඩි උත්සාහයක් ගන්නවා. ඔහු විනිශ්චය ආසනයෙහි සිටින විට, ඔහුගේ භාර්යාව පණිවිඩයක් එවමින් ඔහුගෙන් ප්‍රබල ඉල්ලීමක් කරනවා. “ඒ ධර්මිෂ්ඨ මිනිසා සම්බන්ධ කාරණයට කිසිසේත් හවුල් නොවන්න. මන්ද අද මම ඔහු නිසා සිහිනයකින් [පෙනෙන විදිහට දෙවිගෙන් ලද සිහිනයකින්] බොහෝ දුක් වින්දෙමි.”
පිලාත් දන්නවා ඔහු මෙම අහිංසක මිනිසාව නිදහස් කළ යුතු බව. එහෙත් ඔහුට එය කළ හැක්කේ කෙසේද? යොහන් 18:36-38; ලූක් 23:4-16; මතෙව් 27:12-14, 18, 19; 14:1, 2; මාක් 15:2-5; NW.
▪ යේසුස් තම රජකම පිළිබඳ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නේ කෙසේද?
▪ යේසුස් පොළොව මතදී සාක්ෂි දැරුවේ කුමන ‘සත්‍යයක්’ ගැනද?
▪ පිලාත්ගේ තීන්දුව කුමක්ද? සෙනඟ ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද? පිලාත් යේසුස් සම්බන්ධයෙන් කරන්නේ කුමක්ද?
▪ හෙරොද් අන්තිපස් යනු කවරෙකුද? යේසුස්ව දැකීමට ඔහු මහත් ආශාවකින් සිටින්නේ මන්ද? යේසුස් සම්බන්ධයෙන් ඔහු කරන්නේ කුමක්ද?
▪ යේසුස්ව නිදහස් කිරීමට පිලාත් කැමැත්තෙන් සිටින්නේ මන්ද?