ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • gt 123 පරි.
  • “මෙන්න! ඒ මිනිසා!”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “මෙන්න! ඒ මිනිසා!”
  • මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • සමාන තොරතුරු
  • “බලන්න! මේ තමයි ඒ මිනිසා”
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • පොන්තියුස් පිලාත් කියන්නේ කවුද?
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පිලාත් වෙතින් හෙරොද් වෙතට ආපසු පිලාත් වෙතට
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • භාර දුන් පසු ඇණ ගසනු ලැබීමට රැගෙන යයි
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
තව තොරතුරු
මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
gt 123 පරි.

123වෙනි පරිච්ඡේදය

“මෙන්න! ඒ මිනිසා!”

යේසුස්ගේ හැසිරීම නිසාත් ඔහු නිදොස් බව වටහාගන්න නිසාත් පිලාත්ට ඔහු ගැන පැහැදීමක් ඇති වී ඔහුව නිදහස් කිරීමට තවත් ක්‍රමයක් සොයනවා. ඔහු සමූහයන්ට මෙසේ පවසනවා. “පාස්කුවේදී මා විසින් ඔබට මිනිසෙකුව නිදහස් කර දීමේ සිරිතක් ඔබ අතර තිබේ.”

මිනීමරුවෙකු ලෙස අපකීර්තියට පත්ව සිටින බරබ්බස්වත් අත්අඩංගුවට ගෙන තිබෙන නිසා, ඔහු මෙසේ අසනවා. “ඔබ කැමති මා කවරෙකු නිදහස් කර දෙනවාටද? බරබ්බස්වද නැත්නම් ක්‍රිස්තුස්යයි කියන ලද යේසුස්වද?”

නායක පූජකයන්ගේ පෙලඹීම යටතේ, බරබ්බස්ව නිදහස් කරන්නත් යේසුස්ව මරණයට පත් කරන්නත් සෙනඟ ඉල්ලා සිටිනවා. පිලාත් තම උත්සාහය අත් හරින්නේ නැහැ. “මේ දෙදෙනාගෙන් කවරෙකුව මා ඔබට නිදහස් කර දෙනවාට ඔබ කැමතිද” කියා ඔහු නැවත වරක් අසනවා.

ඔවුන් කෑගසන්නේ, “බරබ්බස්” කියායි.

අතිශයින්ම පුදුමයට පත්ව “එසේනම්, ක්‍රිස්තුස්යයි කියන ලද යේසුස්ට මා කුමක් කරන්නද” කියා පිලාත් ඔවුන්ගෙන් අසනවා.

ඔවුන් සියල්ලන්ම එකවරම කන් බිහිරි කරවන හඬකින් “ඔහුව කණුවක ඇණ ගසා මරන්න!” “ඔහුව කණුවක ඇණ ගසන්න!” “ඔහුව කණුවක ඇණ ගසන්න!” කියා කෑගසනවා.

ඔවුන් ඉල්ලා සිටින්නේ නිදොස් මනුෂ්‍යයෙකුව මරණයට පත් කිරීමට බව දන්නා පිලාත් මෙසේ කන්නලව් කරනවා. “ඇයි? මොහු කළ වරද කුමක්ද? මරණය ලැබීමට සුදුසු කිසිවක් ඔහු අත මට සම්බ වුණේ නැත. එබැවින් මම ඔහුට දඬුවම් කර ඔහුව නිදහස් කරන්නෙමි”

ඔහු කොපමණ උත්සාහ කළත් වැඩක් වන්නේ නැහැ. ආගමික නායකයන්ගේ පෙලඹීම යටතේ කෝපයට පත්ව සිටින සෙනඟ මහා හයියෙන් කෑගසන්නේ “ඔහුව කණුවක ඇණ ගසා මරන්න” කියායි. පූජකයන්ගේ උසිගැන්වීම හේතුවෙන් වියරු වැටී සිටින සෙනඟ සිටින්නේ ලේ පිපාසයකිනුයි. ඇත්තෙන්ම කියනවා නම්, දවස් පහකට විතර කලින් මේ අයගෙන් සමහරෙක් යේසුස්ව රජු වශයෙන් යෙරුසලමට පිළිගන්නත් ඇති! මේ සියල්ල සිදු වන අතරේදී යේසුස්ගේ ගෝලයන් එහි සිටිනවාද නැද්ද යන්න නිශ්චිත නැහැ. ඒත් ඔවුන් එතැන සිටිනවා නම් කාටත් හඳුනාගත නොහැකි වන පරිදි ඔවුන් නිශ්ශබ්දව සිටිනවා ඇති.

පිලාත් තමාගේ කන්නලව් නිෂ්ඵල බවත් කෝලහාලයක් ඇතිවීමට ඉඩ තිබෙන බවත් දැක, වතුර ගෙන සෙනඟ ඉදිරිපිට තම අත් සෝදා මෙසේ කියනවා. “මම මේ මිනිසාගේ ලෙයින් නිදොස් වෙමි. ඔබම එය බලාගත යුතුය.” එවිට, සෙනඟ මෙසේ පිළිතුරු දෙනවා. “ඔහුගේ ලේ අප පිටද අපගේ දරුවන් පිටද පැමිණේවා!”

ඉතින්, හරි දේ කරනවාට වඩා සෙනඟ සතුටු කරන්න කැමතිව සිටින පිලාත් ඔවුන්ගේ ඉල්ලීම්වලට යටත් වී බරබ්බස්ව නිදහස් කරනවා. ඔහු යේසුස්ව අත්අඩංගුවට ගෙන ඔහුගේ ඇඳුම් ඉවත් කර ඔහුට කස පහරින් තැළීමට අණ කරනවා. මෙය සාමාන්‍ය කසයකින් දුන් පහර දීමක් නොවෙයි. රෝමවරුන් කසයෙන් තැළූ ආකාරය එක්තරා වෛද්‍යමය සඟරාවක (The Journal of the American Medical Association) විස්තර කරන්නේ මෙසේයි.

“සාමාන්‍යයෙන් යොදාගත්තේ විවිධ දිග ප්‍රමාණයන්ගෙන් යුත් තනි හෝ ගොතන ලද හම් පටි කිහිපයකින් සමන්විත කොට කසයකි. හම් පටිවල තැනින් තැන කුඩා යකඩ බෝල හෝ බැටළු අස්ථිවලින් කඩා ලබාගත් තියුණු කටු ගැටගසා තිබිණ. . . . රෝම හේවායන් මුළු වැරෙන් එක දිගටම පහර දුන් විට, යකඩ බෝලවලින් පහර කෑ තැනැත්තාගේ පිටෙහි ගැඹුරු තුවාල ඇති විය. හම් පටිවලින් හා බැටළු කටුවලින් ඔහුගේ සමත් සමට යටින් තිබෙන මාංසයත් කැපී ගියේය. ඉන්පසු, දිගින් දිගටම පහර දෙද්දී, මස් යටින් පිහිටා තිබෙන අස්ථිමය පේශීන් ඉරී යෑම නිසා මස් තීරු තීරු ගැලවී රුධිරය ගලා හැළුණි.”

මෙම අමානුෂික තැළීමෙන් පසු, යේසුස්ව ආණ්ඩුකාරයාගේ මාලිගයට ගෙන යන අතර මුළු හේවා කණ්ඩායමම එතැනට කැඳවනවා. එහිදී හේවායෝ කටු ඔටුන්නක් සාදා, එය ඔහුගේ හිස මත තබා තද කරමින් ඔහුට තවත් වද දෙනවා. ඔහුගේ දකුණතට බට දණ්ඩක් දී, රජවරුන් විසින් අදින ලද දම් පාට වස්ත්‍රයක් ඔහුට අන්දවනවා. ඊළඟට ඔවුන් ඔහුට සමච්චල් කරමින් කියන්නේ මෙසේයි. “යුදෙව්වරුන්ගේ රජ්ජුරුවෙනි, ඔබට සුබ දවසක් වේවා!” ඔවුන් ඔහුට කෙළ ගසා ඔහුගේ මුහුණට අතුල් පහරත් ගහනවා. ඉන්පසු, ඔහුගේ අතින් බට දණ්ඩ රැගෙන එයින් ඔහුගේ හිසට පහර දෙනවා. ප්‍රතිඵලයක් ලෙස ඔහුව නින්දා කිරීමට පළඳවා ඇති ‘ඔටුන්නේ’ තියුණු කටු හිස තුළට තව තවත් කිඳා බසියි.

මෙම වධ හිංසා හමුවේ යේසුස් තම ගෞරවය රැකගනිමින් අධිෂ්ඨානපූර්වකව සිටින බව දකින විට පිලාත්ට කොයි තරම් පැහැදීමක් ඇති වෙනවාද කිව්වොත් ඔහු නැවත වතාවක් යේසුස්ව මුදාගැනීමට උත්සාහ කරනවා. ඔහු සෙනඟට පවසන්නේ මේ ආකාරයටයි. “මොහු තුළ කිසි වරදක් මට නොපෙනෙන බව ඔබ දැනගන්නා පිණිස, මෙන්න! මම ඔහුව ඔබ වෙතට ගෙනෙන්නෙමි.” වධ හිංසාවට ලක් වී සිටින යේසුස්ගේ තත්වය දකිද්දී ඔවුන්ගේ හදවත් උණු වී යයි කියා ඔහු සිතනවා ඇති. කටු ඔටුන්නක් සහ දම් පැහැති වස්ත්‍රයක් පැළඳ සිටින යේසුස්ගේ මුහුණින් ලේ වැගිරෙනවා. ඔහු දැඩි වේදනාවකින් සිටින බව පෙනේ. හිතක් පපුවක් නැති සෙනඟ ඉදිරියේ ඔහු මෙසේ සිටගෙන සිටිද්දී පිලාත්, “මෙන්න, ඒ මිනිසා” යනුවෙන් ප්‍රකාශ කරනවා.

තැළීම්, පහර දීම්වලට ලක්ව සිටියත් මේ මිනිසා තරම් විශිෂ්ට චරිතයක් මෙලොවේ ජීවත් වී නැහැ. ඔහු ඇත්තෙන්ම, මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයායි! යේසුස් නිහඬව විදහාපෙන්වන ගෞරවනීය, සන්සුන් ස්වභාවය ඔහුගේ ශ්‍රේෂ්ඨත්වය පිළිබඳ කදිම සාක්ෂියක්. ගෞරවය හා අනුකම්පාව මුසු වූ හැඟීමකින් යුක්තව පිලාත් පැවසූ වචනවලින් පැහැදිලි වන්නේ ඔහුටත් එය පිළිගැනීමට සිදු වන බවයි. යොහන් 18:39–19:5; මතෙව් 27:15-17, 20-30; මාක් 15:6-19; ලූක් 23:18-25; NW.

▪ යේසුස්ව නිදහස් කිරීමට පිලාත් උත්සාහ කරන්නේ කෙසේද?

▪ පිලාත් තම වගකීමෙන් නිදහස් වීමට වෑයම් කරන්නේ කෙසේද?

▪ කසයෙන් පහර ලැබීම කෙබඳු අද්දැකීමක්ද?

▪ කසයෙන් පහර ලැබීමෙන් අනතුරුව යේසුස්ව සමච්චලයට ලක් කරන්නේ කෙසේද?

▪ යේසුස්ව නිදහස් කිරීමට පිලාත් තවදුරටත් වෑයම් කරන්නේ කෙසේද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න