121වෙනි පරිච්ඡේදය
සැන්හෙඩ්‍රිනය ඉදිරියේ, ඉන්පසු පිලාත් වෙතට
රාත්‍රිය නිම වෙන්නත් ළඟයි. පේතෘස් තුන්වන වතාවටත් යේසුස්ව නාඳුනන බව ප්‍රකාශ කර තිබෙනවා. සැන්හෙඩ්‍රිනයේ සාමාජිකයන් ඔවුන් පවත්වමින් සිටි නීති විරෝධී නඩු විභාගය අවසන් කර දැන් විසිර ගිහින්. එහෙත් සිකුරාදා උදේ පාන්දරින්ම ඔවුන් නැවතත් එක්රැස් වෙනවා. මේ වතාවේ ඔවුන් රැස් වන්නේ සැන්හෙඩ්රින ශාලාවේදීයි. ඔවුන් මෙසේ රැස් වන්නේ රාත්රියේදී පැවැත්වූ නඩු විභාගයට යම්කිසි නීත්‍යනුකූල මුහුණුවරක් ලබා දීමට විය හැකියි. යේසුස් ඔවුන් ඉදිරියට පැමිණෙන විට, රාත්රියේදී පැවසූ ලෙසම ඔවුන් දැනුත් පවසන්නේ “ඔබ ක්‍රිස්තුස් නම් අපට කියන්න” යනුවෙනුයි.
“මා ඔබට කීවත් ඔබ එය කිසිසේත් විශ්වාස කරන්නේ නැත. මා ඔබෙන් ප්‍රශ්න කළා නම් ඔබ කිසිසේත් පිළිතුරු දෙන්නේද නැත” කියා යේසුස් පවසනවා. එහෙත් යේසුස් නිර්භීත ලෙස තම අනන්‍යතාව හෙළි කරමින් පවසන්නේ මෙසේයි. “කෙසේවෙතත්, මෙතැන් පටන් මනුෂ්‍ය පුත්‍රයා දෙවිගේ බලවත් දකුණු අත පැත්තේ ඉඳගෙන සිටින්නේය.”
“එසේ නම් ඔබ දෙවිගේ පුත්‍රයාද” කියා ඔවුන් සියලුදෙනාම අසා සිටිනවා.
එවිට, “ඒ තැනැත්තා මමයි කියා ඔබම කියන්නහුය” යයි යේසුස් පිළිතුරු දෙනවා.
ඔහුව කෙසේ හෝ මරණයට පත් කිරීමට අදිටන් කරගෙන සිටින මොවුන්ට එම පිළිතුර හොඳටම සෑහේ. ඔවුන් එය සලකන්නේ දේවඅපහාසයක් ලෙසයි. “අපට තව සාක්ෂි අවශ්‍ය කුමටද? අපි ඔහුගේම කටින් එය අසාගත්තෙමු” කියා ඔවුන් කියා සිටිනවා. ඒ නිසා ඔවුන් යේසුස්ව බැඳ, ඔහුව රෝම ආණ්ඩුකාර පොන්තියුස් පිලාත්ට භාර දෙනවා.
යේසුස්ව පාවා දුන් යූදස්, සැන්හෙඩ්‍රිනය කටයුතු කරන ආකාරය නිරීක්ෂණය කර තිබෙනවා. යේසුස්ට මරණ දණ්ඩනය ලැබී ඇති බව දැනගන්නා විට ඔහු දැඩි සේ ශෝකයට පත් වෙනවා. ඉතිං ඔහු නායක පූජකයන් හා වැඩිමහල්ලන් වෙතට ගොස් රිදී කාසි 30 ආපසු භාර දෙමින් පවසන්නේ මෙලෙසයි. “ධර්මිෂ්ඨ ලේ පාවා දීමෙන් මම පව් කළෙමි.”
ඔවුන් කිසිදු තැකීමකින් තොරව පවසන්නේ මෙසේයි. “එයින් අපට ඇති වැඩේ මොකක්ද? ඔබම එය බලාගත යුතුය!” ඒ නිසා යූදස් රිදී කාසි දේවමාලිගාව ඇතුළට විසි කර එල්ලී මැරීමට උත්සාහ දරනවා. පෙනෙන විදිහට, යූදස් විසින් කඹය ගැට ගසන ලද්දේ අත්තකයි. එම අත්ත කඩා වැටෙන නිසා ඔහු පහත තිබෙන ගල්පර මත වැටී පැළී ඔහුගේ බඩවැල් ටික එළියට වීසි වෙනවා.
රිදී කාසිවලට කුමක් කරන්නද කියා නායක පූජකයන්ට තේරෙන්නේ නැහැ. “මේවා ලේවල මිල නිසා, පරිශුද්ධ භාණ්ඩාගාරයට දැමීම යුතු නැත” කියා ඔවුන් නිගමනය කරනවා. ඒ ගැන සාකච්ඡා කළ පසු ඔවුන් ආගන්තුකයන්ව භූමදානය කිරීම සඳහා කුඹල්කරුගේ පිට්ටනිය මිල දී ගන්නවා. එම පිට්ටනිය පසු කලෙක “ලේ පිට්ටනිය” වශයෙන් හඳුන්වනු ලැබුවා.
යේසුස්ව ආණ්ඩුකාරයාගේ මාලිගයට ගෙන යනු ලබන විට තවමත් එළිය වැටී නැහැ. ඔහු සමඟ සිටින යුදෙව්වරු මාලිගයට ඇතුල් වීමට අකමැතියි. එයට හේතුව වන්නේ අන්‍යජාතීන් සමඟ එවැනි කුලුපග ඇසුරක් පැවැත්වීමෙන් තමන් අපවිත්‍ර වේයයි ඔවුන් විශ්වාස කරන නිසයි. ඉතිං ඔවුන්ව සතුටු කරමින් පිලාත් තම මාලිගාවෙන් පිටතට පැමිණ, “ඔබ මේ මිනිසාට විරුද්ධව ගෙනෙන චෝදනාව කුමක්ද” කියා ඔවුන්ගෙන් අසනවා.
ඔවුන් ප්‍රතිචාරය දක්වන්නේ මෙසේයි. “මේ මිනිසා වරදකරුවෙකු නොවේ නම්, අප ඔහුව ඔබට භාර දෙන්නේ නැත.”
මෙම කාරණාවලට ඇඟිලි ගැසීමට අකමැතිව සිටින පිලාත් මෙසේ පවසනවා. “ඔබම ඔහුව ගෙන ගොස් ඔබේ නීතියට අනුව ඔහුව විනිශ්චය කරන්න.”
යුදෙව්වරු තමන් යේසුස්ව මැරීමට අදිටන් කරගෙන සිටින බව හෙළි කරමින් මෙසේ පවසනවා. “කිසිවෙකුව මරණයට පත් කිරීම අපට තහනම්.” බොහෝදෙනෙක් යේසුස්ව ඉතා ගෞරවයෙන් සලකන නිසා පාස්කු මංගල්‍යයේදී යේසුස්ව මරණයට පත් කළොත් කෝලහාලයක් පටන්ගන්නත් ඉඩ තිබෙනවා. එහෙත් දේශපාලනික කාරණා මත චෝදනා නඟමින් යේසුස්ව මරා දැමීමට රෝමවරුන්ව පෙලඹවිය හැකි නම් ඔවුන් ජනයා ඉදිරියේ ඒ පිළිබඳව වග කිව යුතු නැහැ.
ඒ නිසා, ආගමික නායකයන් කලින් යේසුස් දෙවිට අපහාස කරන්නෙකු බව තීන්දු කර තිබුණත් ඔවුන් දැන් ඒ ගැන සඳහන් නොකරමින් ඔහුට විරුද්ධව වෙනත් බොරු චෝදනා නඟනවා. ඔවුන් චෝදනා කරන්නේ ඔහු කාරණා තුනක් සම්බන්ධයෙන් වරදකරුවෙකු වන බවයි. “මොහු [1] අපේ ජාතිය භේද කරන බවත්, [2] සීසර්ට බදු ගෙවීම තහනම් කරන බවත්, [3] තමාම ක්‍රිස්තුස් නම් රජෙකුයයි කියාගන්නා බවත් අපි දුටිමු” යනුවෙන් ඔවුන් කියා සිටිනවා.
පිලාත් වැඩියෙන්ම සැලකිලිමත් වන්නේ යේසුස් තමා රජෙකුයයි කියාගන්නා බවට වූ චෝදනාව ගැනයි. ඒ නිසා, ඔහු නැවත වරක් මාලිගාවට ගොස් යේසුස්ව තමන් වෙතට කැඳවා මෙසේ අසනවා. “ඔබ යුදෙව්වරුන්ගේ රජද?” වෙනත් ආකාරයකින් පැවසුවොත් ඔහු යේසුස්ගෙන් අසා සිටින්නේ, ඔබ නීතිය කඩ කරමින් සීසර්ට එරෙහිව නැඟී සිටින රජෙකු මෙන් පෙනී සිටිනවාද යන්නයි.
පිලාත් තමා ගැන කොතෙක් දුරට දන්නවාදැයි දැනගැනීමට යේසුස්ට අවශ්‍යයි. ඉතිං ඔහු මෙසේ අසනවා. “මෙය ඔබම කියන දෙයක්ද නැතිනම් අන් අය මා ගැන ඔබට කී දෙයක්ද?”
පිලාත් අඟවන්නේ තමා යේසුස් ගැන කිසිවක් නොදන්න බවයි. ඔහු යේසුස් ගැන තව විස්තර දැනගන්න කැමති බව පෙන්වමින් මෙසේ ප්‍රශ්න කරනවා. “මා යුදෙව්වෙක්ද? ඔබේම ජාතියත් නායක පූජකයෝත් ඔබව මට භාර දුන්නෝය. ඔබ කළේ කුමක්ද?”
යේසුස් රජකම පිළිබඳ විෂය මඟහැරීමට වෑයම් කරන්නේ නැහැ. ඔහු ඊළඟට පවසන දෙයින් පිලාත් පුදුමයට පත් වන බවට කිසිම සැකයක් නැහැ. ලූක් 22:66–23:3; මතෙව් 27:1-11; මාක් 15:1; යොහන් 18:28-35; ක්‍රියා 1:16-20; NW.
▪ සැන්හෙඩ්‍රිනය නැවත වරක් උදේ පාන්දරින්ම එක්රැස් වන්නේ කුමන අරමුණක් සඳහාද?
▪ යූදස් මිය යන්නේ කෙසේද? රිදී කාසි 30ට ඔහු කරන්නේ කුමක්ද?
▪ යුදෙව්වරුන් යේසුස්ව මරණයට පත් කරනවා වෙනුවට, රෝමවරුන් ලවා ඔහුව මරණයට පත් කරවීමට කැමති වන්නේ මන්ද?
▪ යුදෙව්වරුන් යේසුස්ට එරෙහිව එල්ල කරන චෝදනා මොනවාද?