120වෙනි පරිච්ඡේදය
ඇතුල් මළුවේදී නාඳුනන බව කීම
ගෙත්සෙමන උයනේදී යේසුස්ව අත්හැර අනිකුත් ප්‍රේරිතයන් සමඟ බියෙන් පලා ගිය පේතෘස් හා යොහන් මද දුරක් ගොස් නතර වෙනවා. ඔවුන් නැවතත් යේසුස් සිටින තැනට ළඟා වන්නේ ඔහුව අන්නස්ගේ නිවසට රැගෙන යද්දී විය හැකියි. අන්නස් යේසුස්ව උත්තම පූජක කායෆස් වෙතට යවද්දී, පේතෘස් හා යොහන් ටිකක් ඈතින් ඔවුන් පසුපසින් යනවා. පෙනෙන ආකාරයට, තමන්ගේ ජීවිත අවදානමට ලක් වී තිබීම ගැන බියෙන් පසු වන ඔවුන් තමන්ගේ ස්වාමීන්ට සිදු වන්නේ කුමක්ද යන්න ගැනද ගැඹුරු සැලකිල්ලක් දක්වනවා.
ඔවුන් කායෆස්ගේ සුවිසල් මන්දිරයට පැමිණෙද්දී, උත්තම පූජකයාව අඳුනන යොහන්ට ඇතුල් මළුවට යන්න අවසර ලැබෙනවා. පේතෘස් පිටත දොරටුව අසල සිටගෙන සිටිනවා. සුළු මොහොතකට පසු, යොහන් දොරටුපාලිය සමඟ කතා කර පේතෘස්ට ඇතුල් වීමට අවසර ලබාගන්නවා.
දැන් ශීතල දැනෙන නිසා, උත්තම පූජකයාගේ නිවසේ සේවකයන් හා නිලධාරීන් අඟුරු දල්වා ගිනි තපිමින් සිටිනවා. යේසුස්ගේ නඩු තීන්දුව ලැබෙන තුරු පේතෘස්ද ඔවුන් ළඟට යනවා. ගිනි මැලයේ දීප්තිය නිසා පේතෘස්ට ඇතුල් වීමට අවසර දුන් දොරටුපාලියට හැකි වෙනවා ඔහුව වඩාත් හොඳින් දැකගැනීමට. එවිට, “ඔබත් ගලීලයේ යේසුස් සමඟ සිටියේය” කියා ඇය කෑගසනවා.
ඔහුව හඳුනාගත් නිසා කලබලයට පත් වන පේතෘස්, සියල්ලන් ඉදිරියේ පවසන්නේ තමා යේසුස්ව කොහෙත්ම නාඳුනන බවයි. ඔහු පවසන්නේ, “මා ඔහුව හඳුනන්නේවත් ඔබ කියන්නේ කුමක්දැයි මට තේරෙන්නේවත් නැත” කියායි.
එසේ පැවසූ පසු පේතෘස් පිටතට ගොස් දොරටුව ළඟ රැඳී සිටිනවා. එතැනදී තවත් තරුණියක් ඔහුව දැක, එහි සිටින අයට පවසන්නේ මෙසේයි. “මේ මිනිසා නාසරිය යේසුස් සමඟ සිටියේය.” නැවත වරක් පේතෘස් එය ප්‍රතික්ෂේප කරමින් “මම ඒ මිනිසාව නාඳුනමි!” කියා දිවුරනවා.
පේතෘස් ඇතුල් මළුවේ රැඳී සිටින අතරතුර හැකි තාක් දුරට සැඟවී සිටින්නයි වෑයම් කරන්නේ. ඔහු සමහරවිට මේ මොහොතේදී, හිමිදිරි පාන්දර හඬලන කුකුළෙකුගේ හඬට තිගැස්සෙන්නත් ඇති. මේ අතරතුර යේසුස්ගේ නඩු විභාගය පැවැත්වෙනවා. පෙනෙන ආකාරයට, එය පැවැත්වෙන්නේ ඇතුල් මළුවට ඉහළින් පිහිටි යම් ස්ථානයකයි. ඊට පහළින් බලා සිටින පේතෘස්ට හා අනෙකුත් අයට සාක්ෂි දීම සඳහා එතැනට යන එන අයව හොඳින් පෙනෙන බව නිසැකයි.
යේසුස්ගේ ආශ්‍රිතයෙකු වශයෙන් පේතෘස්ව හඳුනාගෙන දැන් පැයක් පමණ ගත වෙලා. දැන් අවට සිටින කිහිපදෙනෙකුම ඔහුට මෙසේ පවසනවා. “සැබවින්ම ඔබත් ඔවුන්ගෙන් එක් කෙනෙක්ය. මන්ද ඒ බව ඔබේ කතා විලාසයෙන් පෙනේ.” ඔවුන් අතරේ සිටින එක් කෙනෙක් පේතෘස් කන කැපූ මැල්කස්ගේ ඥාතියෙක්. “ඔබ ඔහු සමඟ උයනේ සිටිනවා මා දුටුවා නොවේද” යනුවෙන් ඔහු අසනවා.
එහෙත් පේතෘස් තරයේම කියා සිටින්නේ “මම ඒ මිනිසාව නාඳුනමි” කියායි. ඔවුන්ට වැරදී ඇතැයි කියා ඔවුන්ට ඒත්තුගැන්වීම සඳහා තමා බොරුවක් කියනවා නම් තමා පිට ශාප පැමිණේවායයි කියන්නාක් මෙන් ඔහු ශාප කරන්න හා දිවුරන්න පවා පටන්ගන්නවා.
මෙලෙස, පේතෘස් තුන්වන වරටත් යේසුස්ව නාඳුනන බව කියද්දී කුකුළෙක් හඬලනවා. ඒ මොහොතේදී, ඇතුල් මළුවට ඉහළින් ඇති සඳලුතලයට පැමිණ සිටින යේසුස් ඔහු දෙස හැරී බලනවා. එවිට පේතෘස්ට විගස මතක් වන්නේ පැය කීපයකට කලින් උඩුමහල් කාමරයේ සිටි විට යේසුස් ඔහුට පැවසූ දෙයයි. “කුකුළෙකු දෙවතාවක් හඬලන්න කලින්, ඔබ පවා මා හඳුනන්නේ නැතැයි තුන් වතාවක් කියන්නේය.” ඔහුගේ පාපය කොයි තරම් බරපතළද කියා වටහාගනිමින් පේතෘස් අතිශයින් ශෝකයට පත් වී පිටතට ගොස් දරාගත නොහැකි වේදනාවකින් හඬනවා.
මෙවැනි දෙයක් සිදු වුණේ ඇයි? තම ආත්මිකත්වය ගැන එතරම්ම නිසැකකමකින් සිටි පේතෘස් තුන් වරක්ම තම ස්වාමියාව නාඳුනන බව ප්‍රකාශ කරන තත්වයට පත් වුණේ කොහොමද? සෑම දෙයක්ම සිදු වන්නේ පේතෘස් බලාපොරොත්තු නොවන ආකාරයටයි. සත්‍යය විකෘති කර තිබෙනවා. ජනයාට ප්‍රකාශ කර තිබෙන්නේ යේසුස් දුෂ්ට අපරාධකරුවෙක් කියායි. හරි දේ වැරදි බවත් නිර්දෝෂ තැනැත්තා වරදකරුවෙකු බවත් පෙන්වා තිබෙනවා. මෙවැනි පීඩනයක් යටතේ පේතෘස්ගේ ස්ථාවරය බිඳී යනවා. පක්ෂපාතකම දැක්විය යුත්තේ කාටද යන්න පිළිබඳව ඔහුට තිබූ නිවැරදි දෘෂ්ටිය බොඳ වී යනවා. මනුෂ්‍යයන්ට භය වන ඔහු පසුව ඒ ගැන බොහෝ සෙයින් දුකට පත් වෙනවා. එවැනි දෙයක් කිසිවිටෙක අපට සිදු නොවන බවට අපි වගබලා ගනිමු! මතෙව් 26:57, 58, 69-75; මාක් 14:30, 53, 54, 66-72; ලූක් 22:54-62; යොහන් 18:15-18, 25-27; NW.
▪ උත්තම පූජකයාගේ ඇතුල් මළුවට යෑමට පේතෘස්ට හා යොහන්ට අවසර ලැබෙන්නේ කොහොමද?
▪ පේතෘස් හා යොහන් ඇතුල් මළුවේ සිටින විට නිවස තුළ සිදු වන්නේ කුමක්ද?
▪ කුකුළා කී වරක් හඬලනවාද? ක්‍රිස්තුස්ව නාඳුනන බව පේතෘස් කී වරක් කියා සිටිනවාද?
▪ පේතෘස් ශාප කරනවා හා දිවුරනවා යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
▪ යේසුස්ව නාඳුනන බව කීමට පේතෘස් පෙලඹෙන්නේ ඇයි?