119වෙනි පරිච්ඡේදය
මුලින්ම අන්නස් වෙත ඉන්පසු කායෆස් වෙතට
පහත් අපරාධකාරයෙකු වශයෙන් අත්අඩංගුවට ගෙන බැඳ දමා සිටින යේසුස්ව අන්නස් ළඟට ගෙන යනවා. කලින් උත්තම පූජකයාව සිටි අන්නස්ට තවමත් සෑහෙන බලතල තිබෙන බව පැහැදිලියි. යේසුස් අවුරුදු දොළහක් වන විට දේවමාලිගාවේ රබ්බි ගුරුවරුන්ව පුදුමයට පත් කළ අවස්ථාවේදී උත්තම පූජකයාව සිටියේ අන්නස්. පසු කලෙක අන්නස්ගේ පුතුන් කිහිපදෙනෙක්ම උත්තම පූජක තනතුර දැරුවා. දැන් එම තනතුර දරන්නේ ඔහුගේ බෑනා වන කායෆස්.
යේසුස්ව මුලින්ම ගෙන යන්නේ නායක පූජක අන්නස්ගේ නිවසටයි. අන්නස් සෑහෙන කාලයක් පුරා යුදෙව් ආගමික ක්ෂේත්රයෙහි ප්‍රසිද්ධියක් උසුලමින් සිටිනවා. ඔහුව එතැනට රැගෙන යන්නේ ඒ නිසා විය හැකියි. ඔවුන් අන්නස්ගේ නිවසට යන නිසා උත්තම පූජක කායෆස්ට හැකියාවක් ලැබෙනවා සාමාජිකයන් 71දෙනෙකුගෙන් යුත් යුදෙව් මහාධිකරණය වන සැන්හෙඩ්‍රිනය එක්රැස් කිරීමට හා බොරු සාක්ෂිකරුවන්ව සෙවීමට.
දැන් නායක පූජක අන්නස් යේසුස්ගෙන් ඔහුගේ ගෝලයන් පිළිබඳවත් ඔහුගේ ඉගැන්වීම් පිළිබඳවත් ප්‍රශ්න කරන්න පටන්ගන්නවා. එහෙත් යේසුස් ඔහුට උත්තර දෙන්නේ මෙසේයි. “මම ලෝකයට ප්‍රසිද්ධියේම කතා කළෙමි. මා නිතරම ඉගැන්වූයේ යුදෙව්වරුන් සියලුදෙනා එක්රැස් වන සිනගෝගයකදීත් දේවමාලිගාවේදීත්ය. මා කිසිවක් රහසින් කතා කළේ නැත. ඔබ මගෙන් ප්‍රශ්න කරන්නේ මන්ද? මා කී දේ ඇසූ අයගෙන් මා ඔවුන්ට කීවේ කුමක්දැයි ප්‍රශ්න කරන්න. බලන්න! මා පැවසූ දේ මොවුහු දනිති.”
එවිට යේසුස් ළඟින් සිටගෙන සිටින නිලධාරියෙක් ඔහුට කම්මුල් පහරක් දෙමින් මෙසේ අසනවා. “ඔබ නායක පූජකයාට පිළිතුරු දෙන්නේ මෙහෙමද?”
“මා කී දේ වැරදි නම්, ඒ වරද ගැන සාක්ෂි දෙන්න. නමුත් මා කී දේ හරි නම්, ඔබ මට පහර දෙන්නේ ඇයි” කියා යේසුස් පිළිතුරු දෙනවා. මෙම දෙබසින් පසුව අන්නස් බැඳ දමා සිටින යේසුස්ව කායෆස් වෙතට යවනවා.
මේ වන විට, නායක පූජකයන්, වැඩිමහල්ලන් හා ලියන්නන් සියලුදෙනාම, එනම් මුළු සැන්හෙඩ්‍රිනය රැස් වෙන්න පටන්ගන්නවා. පෙනෙන ආකාරයට, ඔවුන් රැස් වෙන්නේ කායෆස්ගේ නිවසෙයි. පාස්කු දින රාත්‍රියකදී එවැනි නඩු විභාගයක් පැවැත්වීම යුදෙව් නීතියට මුළුමනින්ම පටහැනියි. එහෙත් ආගමික නායකයන් මෙය බාධාවක් කර නොගනිමින් දිගටම තමන්ගේ නපුරු චේතනා ඉටු කරගැනීමට කටයුතු කරනවා.
සති කිහිපයකට කලින් යේසුස් ලාසරුස්ව නැවත නැඟිටෙවූ අවස්ථාවේදී ඔහුව මරා දැමිය යුතු බව සැන්හෙඩ්‍රිනය තීරණය කළා. ඒ වගේම දෙදවසකට කලින්, එනම් බදාදා, ප්රයෝගකාරී ලෙස යේසුස්ව අල්ලා මරා දැමීමට ආගමික නායකයන් ඔවුනොවුන් අතරේ කුමන්ත්‍රණය කර තිබුණා. ටිකක් සිතා බලන්න. ඔහු වරදකරුවෙකු බව තීන්දු කර තිබුණේ ඔහුගේ නඩු විභාගයටත් කලිනුයි!
යේසුස්ට විරුද්ධව සාක්ෂි ගොනු කිරීම සඳහා බොරු සාක්ෂි සැපයීමට එකඟ වන අයව සෙවීමට දැන් උත්සාහ දරනවා. එහෙත් එකිනෙකට ගැළපෙන ආකාරයෙන් සාක්ෂි ඉදිරිපත් කරන අයව සොයාගත නොහැකියි. අන්තිමේදී දෙදෙනෙක් ඉදිරියට පැමිණ මෙසේ චෝදනා කරනවා. “‘අතින් සෑදූ මෙම දේවමාලිගාව කඩා දමා, අතින් නොසෑදූ වෙනෙකක් දවස් තුනකින් මම ගොඩනඟන්නෙමි’ කියා මොහු කියනවා අපට ඇසුණි.”
එවිට කායෆස් අසන්නේ මෙසේයි. “ඔබ කිසි උත්තරයක් දෙන්නේ නැද්ද? මොවුන් ඔබට විරුද්ධව දෙන මේ සාක්ෂි මොනවාද?” එහෙත් යේසුස් නිහඬව සිටිනවා. එම බොරු සාක්ෂි ඉදිරිපත් කිරීමේදී පවා සාක්ෂිකරුවන්ගේ චෝදනා පරස්පර විරෝධීයි. සැන්හෙඩ්‍රිනයට මොන තරම් නින්දාවක්ද! දැන් උත්තම පූජකයා වෙනත් උපක්‍රමයක් යොදාගන්නවා.
යමෙකු තමා දෙවිගේ පුත්‍රයායයි කියා සිටින විට යුදෙව්වන්ට මොන තරම් කෝපයක් දැනෙනවාද කියා කායෆස් දන්නවා. මීට කලින් දෙවතාවකදී, වග විභාගයකින් තොරව ඔවුන් යේසුස්ව හංවඩු ගසා තිබුණේ දෙවිට අපහාස කරන, මරණය ලැබිය යුතු කෙනෙකු ලෙසයි. ඉන් එක් වතාවකදී ඔහු තමා දෙවිට සමානයයි ප්‍රකාශ කළ බව ඔවුන් වරදවා වටහාගත්තා. කායෆස් දැන් කපටි උපායකින් මෙසේ බල කර සිටිනවා. “ඔබ දෙවිගේ පුත්‍රයා වන ක්‍රිස්තුස්ද කියා අපට කියන ලෙස ජීවමාන දෙවිගේ නාමයෙන් මම ඔබව දිවුරුවමි!”
යුදෙව්වරුන් මොනවා සිතුවත් යේසුස් ඇත්තටම දෙවිගේ පුත්‍රයායි. ඔහු නිහඬව සිටියොත් ඔහු ක්‍රිස්තුස් නොවන බවක් ඉන් ඇඟවිය හැකියි. ඉතිං යේසුස් නිර්භීතව පිළිතුරු දෙන්නේ මෙසේයි. “මම ඔහුය. තවද, මනුෂ්‍ය පුත්‍රයා බලවත් තැනැත්තාගේ දකුණු පැත්තේ ඉඳගෙන සිටිනවාත්, ආකාශයේ වලාකුළු සහිතව එනවාත් ඔබ දකින්නහුය.”
එවිට කායෆස්, සියල්ලන්ට පෙනෙන සේ තම වස්ත්‍ර ඉරාගෙන මෙසේ කෑ ගසනවා. “ඔහු දැන් කළේ දේවඅපහාසයකි! අපට තව සාක්ෂිකාරයන් කුමටද? බලන්න! දේවඅපහාසය ඔබට දැන් ඇසිණ. ඔබ සිතන්නේ කුමක්ද?”
සැන්හෙඩ්‍රිනය ප්‍රකාශ කරන්නේ, “ඔහු මරණයට සුදුසුය” කියායි. ඉන්පසු ඔවුන් ඔහුට කවටකම් කරමින් ඔහුට බොහෝ සෙයින් අපහාස කරනවා. ඔහුගේ මුහුණට පහර දී කෙළ ගසනවා. තවත් අය ඔහුගේ මුහුණ සම්පූර්ණයෙන්ම වසා, අත මිට මොළවා ඔහුට පහර දෙන අතර උපහාසාත්මක ලෙස පවසන්නේ මෙසේයි. “ක්‍රිස්තුස්නි, ඔබට පහර දුන්නේ කවුද කියා අපට දිවැසින් කියන්න.” මෙම නින්දිත මෙන්ම නීති විරෝධී හැසිරීම සිදු වන්නේ රාත්‍රි කාලයේ පැවැත්වූ නඩු විභාගයේදීයි. මතෙව් 26:57-68; 26:3, 4; මාක් 14:53-65; ලූක් 22:54, 63-65; යොහන් 18:13-24; 11:45-53; 10:31-39; 5:16-18; NW.
▪ යේසුස්ව මුලින්ම ගෙන යන්නේ කොතැනටද? එහිදී ඔහුට සිදු වන්නේ කුමක්ද?
▪ ඊළඟට යේසුස්ව ගෙන යන්නේ කොතැනටද? කිනම් අරමුණක් සඳහාද?
▪ යේසුස් මරණයට සුදුස්සෙක් බව ප්‍රකාශ කිරීමට කායෆස් සැන්හෙඩ්‍රිනය පොලඹවන්නේ කෙසේද?
▪ නඩු විභාගයේදී දක්නට ලැබෙන නින්දිත, නීති විරෝධී හැසිරීම කුමක්ද?