118වෙනි පරිච්ඡේදය
පාවා දුන් පසු අත්අඩංගුවට ගනී
යූදස් දැන් හේවායන්, නායක පූජකයන්, පරිසිවරුන් හා වෙනත් අයගෙන් යුත් විශාල සමූහයක් සමඟ ගෙත්සෙමන උයනට එනවා. මේ වන විට, මැදියම් රාත්‍රියත් පහු වෙලා. ඔවුන්ට යේසුස්ව පාවා දුන්නොත් රිදී කාසි 30ක් ගෙවන බවට පූජකයන් යූදස්ට පොරොන්දු වී තිබුණා.
යේසුස් පාස්කු භෝජනය අතරතුරේදී යූදස්ව පිටත් කර යැවූ පසු ඔහු කෙළින්ම නායක පූජකයන් වෙතට ගිය බව පැහැදිලියි. මොවුන් හැකි ඉක්මනින් නිලධාරීන්ව හා හේවා කණ්ඩායමක් එක්රැස් කරගත්තා. සමහරවිට, යූදස් ඔවුන්ව මුලින්ම ගෙන යන්න ඇත්තේ යේසුස් හා ඔහුගේ ප්‍රේරිතයන් පාස්කුව පවත්වමින් සිටි ස්ථානයට විය හැකියි. ඔවුන් එතැන නොසිටින නිසා, ආයුධ, පහන් සහ පන්දම් අතැතිව යූදස් පසුපස ගමන් කරන විශාල පිරිස යෙරුසලමෙන් පිට වී කිද්‍රොන් මිටියාවත හරහා ගමන් කරනවා.
සමූහයට ඉදිරියෙන් ඔලීව කන්ද උඩට පියමං කරද්දී යූදස්ට නිසැකයි පහසුවෙන්ම යේසුස් සිටින තැන තමාට සොයාගත හැකි බව. පසුගිය සතියේදී බෙතානිය හා යෙරුසලම අතර ගමන් කරද්දී, යේසුස් තම ප්‍රේරිතයන් සමඟ කිහිප වතාවක්ම ගෙත්සෙමන උයනේ නතර වී තිබුණා. ඔවුන් එසේ නතර වුණේ ගිමන් හැරීමට හා කතාබහ කිරීමටයි. දැන් යේසුස් සිටින්නේ ඔලීව ගස් යට විය හැකියි. ඉතිං, රාත්‍රියේ ඝන අන්ධකාරය නිසා හේවායන්ට ඔහුව නොපෙනෙන්න ඉඩ තිබෙනවා. එහෙමනම්, ඔහුව හඳුනාගන්නේ කොහොමද? ඔවුන් යේසුස්ව මීට පෙර කවදාවත් දැක නැතුව ඇති. ඒ නිසා, යූදස් ඔවුන්ට සංඥාවක් දෙනවා. “මා යමෙකුව සිඹගන්නේද, ඒ ඔහුය. ඔහුව අත්අඩංගුවට ගෙන පරෙස්සමෙන් ගෙන යන්න.”
යූදස් මහත් සමූහය උයන වෙතට රැගෙන යනවා. යේසුස් තම ප්‍රේරිතයන් සමඟ සිටිනවා දකිද්දී කෙළින්ම ඔහු වෙතට ගොස්, “රබ්බි, සුබ දවසක් වේවා” යනුවෙන් පවසා ඔහු ඉතා මෘදු ලෙස යේසුස්ව සිඹගන්නවා.
එවිට යේසුස් මෙසේ අසනවා. “යහළුව, ඔබ පැමිණ සිටින්නේ කුමක් සඳහාද?” ඊළඟට යේසුස්ම තම ප්‍රශ්නයට මෙසේ පිළිතුරු දෙනවා. “යූදස්, ඔබ සිඹීමකින් මනුෂ්‍ය පුත්‍රයාව පාවා දෙනවාද?” එහෙත් දැන් ඔහුගේ ද්‍රෝහියා සමඟ කතා කිරීමෙන් පලක් නැහැ! යේසුස් පන්දම් එළිය දෙසට අඩි තබමින් “ඔබ සොයන්නේ කාවද” යනුවෙන් හේවායන්ගෙන් අසනවා.
“නාසරිය යේසුස්ව” කියා ඔවුන් පිළිතුරු දෙනවා.
යේසුස් ඔවුන් සියල්ලන් ඉදිරියෙහි නිර්භීතව සිට, “ඒ මමය” කියා පවසනවා. ඔහුගේ නිර්භීතකමෙන් පුදුමයට පත් වන සෙනඟ කලබල වී පස්සෙන් පස්සට ගොස් බිම වැටෙනවා.
ඉන්පසු යේසුස් ඉතා සන්සුන්ව පවසන්නේ මෙසේයි. “ඒ මමයයි ඔබට කීවෙමි. ඔබ සොයන්නේ මාව නම්, මොවුන්ට යන්න හරින්න.” මීට ටික වේලාවකට කලින් උඩුමහල් කාමරයේදී, “විනාශයේ පුත්‍රයා හැර” ඔහුගේ විශ්වාසවන්ත ප්‍රේරිතයන්ගෙන් එක් කෙනෙක්වත් නැති වුණේ නැහැ කියා යේසුස් තම පියාට යාච්ඤා කළා. ඉතිං, ඔහු පැවසූ එම දේ ඉටු වන පිණිස, ඔහු ඉල්ලා සිටින්නේ තම අනුගාමිකයන්ට යන්න හරින්න කියායි.
කලබලයට පත් වී සිටි හේවායන් දැන් සන්සුන් වී සිටගන්නවා. ඔවුන් යේසුස්ගේ අත් දෙක බඳින විට සිදුවීමට යන්නේ කුමක්ද කියා ප්‍රේරිතයන් වටහාගන්නවා. ඉතිං ඔවුන් මෙසේ අසනවා. “ස්වාමිනි, අප කඩුවෙන් පහර දෙන්නද?” එහෙත් යේසුස් පිළිතුරු දීමටත් කලින් පේතෘස් ප්‍රේරිතයන් ළඟ තිබෙන කඩු දෙකෙන් එකක් අතට ගෙන උත්තම පූජකයාගේ දාසයෙකු වන මැල්කස්ට පහර දෙනවා. පේතෘස් එල්ල කරන පහර දාසයාගේ හිසට වදින්නේ නැහැ. එහෙත් ඔහුගේ දකුණු කන වෙන් වන සේ කැපී යනවා.
යේසුස් මැදිහත් වී පවසන්නේ “නතර කරන්න” කියායි. ඔහු මැල්කස්ගේ කන ස්පර්ශ කර එය සුව කරනවා. ඊළඟට ඔහු වැදගත් පාඩමක් උගන්වමින් පේතෘස්ට අණ කරන්නේ මෙසේයි. “ඔබේ කඩුව තිබුණ තැනට ආපසු දමන්න. මන්ද කඩුව ගන්න සෑම කෙනෙක්ම කඩුවෙන්ම නසින්නෝය. මේ මොහොතේදී, දේවදූත සේනාංක දොළොසකට වඩා මට එවන ලෙස මාගේ පියාණන්ගෙන් ඉල්ලන්ට මට නොහැකියි කියා ඔබ සිතනවාද?”
යේසුස් තමාව අත්අඩංගුවට ගැනීමට කැමැත්තෙන්ම ඉඩහරිනවා. ඊට හේතුව ඔහු මෙසේ පැහැදිලි කරනවා. “එය මේ ආකාරයෙන් සිදු විය යුතුයි [කියා පැවසූ] ශුද්ධ ලියවිලි ඉටු වන්නේ කෙසේද?” ඔහු මෙසේද ප්‍රකාශ කරනවා. “පියාණන් මට දී තිබෙන කුසලානෙන් මා බිව යුතුම නොවේද?” දෙවි තමා වෙනුවෙන් නියම කර ඇති දෙයට යේසුස් මුළු හදින්ම එකඟ වෙනවා!
ඉන් අනතුරුව යේසුස් සමූහය අමතමින් පවසන්නේ, “කොල්ලකරුවෙකුට විරුද්ධව එන්නාක් මෙන් කඩු මුගුරු රැගෙන මා අත්අඩංගුවට ගැනීමට ආවේද? මම දවස්පතා දේවමාලිගාවේ ඉඳගෙන උගන්වමින් සිටියෙමි. එහෙත් ඔබ මා අත්අඩංගුවට ගත්තේ නැත. නමුත් මේ සියල්ල සිදු වී තිබෙන්නේ අනාගතවක්තෘවරුන්ගේ ලියවිලි ඉටු වන පිණිසය.”
එවිට හේවා කණ්ඩායමත් හමුදාපතිත් යුදෙව්වන්ගේ නිලධාරීනුත් යේසුස්ව අල්ලා බඳිනවා. මෙය දකින විට ප්‍රේරිතයන් යේසුස්ව අත්හැර පලා යනවා. එහෙත් එක්තරා තරුණයෙක් සමූහය අතරෙහි රැඳී සිටිනවා. ඔහු යේසුස්ගේ ගෝලයෙකු වන මාක් වෙන්න ඇති. ඔහු සමහරවිට යේසුස් පාස්කුව පැවැත්වූ නිවසේ සිටින්න ඇති. පසුව, මේ සමූහය සමඟ මෙතැනට ආවා විය හැකියි. එහෙත් දැන් සමූහයා ඔහුව හඳුනාගන්නා අතර ඔහුව අල්ලාගැනීමට වෑයම් කරනවා. එහෙත් ඔහු තමාගේ හණ වස්ත්‍රය අත්හැර පලා යනවා. මතෙව් 26:47-56; මාක් 14:43-52; ලූක් 22:47-53; යොහන් 17:12; 18:3-12; NW.
▪ යේසුස් ගෙත්සෙමන උයනේ සිටිනු ඇතැයි කියා යූදස්ට නිසැකකමක් තිබෙන්නේ මන්ද?
▪ යේසුස් තම ප්‍රේරිතයන් කෙරෙහි සැලකිල්ල දක්වන්නේ කෙසේද?
▪ යේසුස්ව ආරක්ෂා කිරීමට පේතෘස් ගන්නා පියවර කුමක්ද? එහෙත් යේසුස් පේතෘස්ට ඒ ගැන පවසන්නේ කුමක්ද?
▪ දෙවි තමා වෙනුවෙන් නියම කර ඇති දෙයට යේසුස් මුළුමනින්ම එකඟ වන බව පෙන්නුම් කරන්නේ කෙසේද?
▪ ප්‍රේරිතයන් යේසුස් අත්හැර යන විට එතැන රැඳී සිටින්නේ කවුද? ඔහුට කුමක් සිදු වෙනවාද?