96වෙනි පරිච්ඡේදය
යේසුස් සහ ධනවත් තරුණ මුලාදෑනියෙක්
යේසුස් පෙරයාව නමැති ප්‍රදේශය හරහා යෙරුසලම වෙතට ගමන් කරන අතරතුරේදී, තරුණයෙක් දුවගෙන ඇවිත් ඔහු ඉදිරියේ දණින් වැටෙනවා. එම මනුෂ්‍යයාව මුලාදෑනියෙකු ලෙස හඳුන්වන්නේ බොහෝවිට ඔහු එම ප්‍රදේශයේ සිනගෝගයක ඉහළ තනතුරක් දරන නිසා හෝ සැන්හෙඩ්‍රිනයේ සාමාජිකයෙකු වන නිසා හෝ විය හැකියි. ඒ වගේම ඔහු ඉතා ධනවත් කෙනෙක්. “යහපත් ගුරුතුමෙනි, සදාකාල ජීවනය උරුම වීමට නම් මා කුමක් කළ යුතුද” කියා ඔහු අසනවා.
එවිට යේසුස් පිළිතුරු දෙන්නේ මෙලෙසයි. “ඔබ මට යහපත්යයි කියන්නේ මන්ද? එක් කෙනෙකු, එනම් දෙවි මිස, වෙන කිසිවෙක් යහපත් නැත.” තරුණයා “යහපත්” යන වචනය පදවි නමක් සේ භාවිත කරමින් සිටිනවා විය හැකියි. ඉතිං, එවැනි පදවි නමක් අයිති වන්නේ දෙවිට පමණක් බව යේසුස් ඔහුට පෙන්වා දෙනවා.
යේසුස් තවදුරටත් මෙසේ පවසනවා. “ඔබට ජීවනයට ඇතුල් වන්න ඕනෑ නම්, දිගටම ආඥා පවත්වන්න.”
එවිට ඔහු “කුමන ඒවාද” කියා අසනවා.
දස පනතේ ඇති පනත් පහක් සඳහන් කරමින්, “මිනී නොමරන්න, පරදාර සේවනයේ නොයෙදෙන්න, සොරකම් නොකරන්න, බොරු සාක්ෂි නොදෙන්න, ඔබේ පියාටද ඔබේ මවටද ගෞරව කරන්න” කියා යේසුස් පිළිතුරු දෙනවා. ඊට වඩා වැදගත් ආඥාවක් සඳහන් කරමින් යේසුස් මෙසේත් පවසනවා. “ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න.”
ඔහු ඉතා අවංකව පිළිතුරු දෙන්නේ “කුඩා කාලයේ පටන් මම මේ සියල්ල පැවැත්වූයෙමි” කියායි. “ඒත් මට තව අඩු කුමක්ද” කියා ඔහු අසනවා.
ඔහු මෙම ප්රශ්නය ඉතා හැඟීම්බරව හා අවංකව අසන නිසා යේසුස්ට ඔහු කෙරෙහි ප්‍රේමයක් ඇති වෙනවා. එහෙත් ද්‍රව්‍යමය දේපොළවලට ඔහු දැඩි ඇල්මක් දක්වන බව යේසුස් තේරුම්ගෙන ඔහු විසින් කළ යුතු දේ මෙලෙස පෙන්වා දෙනවා. “ඔබට එක දෙයක් අඩුය. යන්න. ඔබට තිබෙන සියල්ල විකුණා දිලිඳුන්ට දෙන්න. එවිට ස්වර්ගයෙහි ඔබට වස්තු ඇති වන්නේය. ඇවිත් මාගේ අනුගාමිකයා වන්න”
එම මනුෂ්‍යයා නැඟිට ඉතා දුකින් හැරී යන හැටි බලා සිටින යේසුස් ඔහුට අනුකම්පා කරන බව නිසැකයි. ඔහුගේ ධනය නිසා සැබෑ වස්තුවල වටිනාකම ඔහුට දැකගත නොහැකියි. යේසුස් ඉතා කනගාටුවෙන් පවසන්නේ මෙසේයි. “මුදල් ඇත්තන්ට දෙවිගේ රාජ්‍යයට ඇතුල් වන්න මොන තරම් අමාරුද!”
යේසුස්ගේ වචනවලින් ගෝලයන් විස්මයට පත් වෙනවා. එහෙත් ඔවුන් ඊටත් වඩා පුදුමයට පත් වන්නේ ඔහු පොදුවේ අදාළ වන මේ ප්‍රතිපත්තිය සඳහන් කරන විටයි. “ධනවතෙකුට දෙවිගේ රාජ්‍යයට ඇතුල් වනවාට වඩා ඔටුවෙකුට ඉදිකටුවක සිදුරෙන් යෑම පහසුය.”
“එසේනම් ගැලවීම ලැබිය හැක්කේ කාටද” යනුවෙන් ගෝලයන්ට දැනගන්න අවශ්‍යයි.
එවිට යේසුස් ඔවුන් දෙස බලමින්, “මිනිසුන්ට එය කෙසේවත් කළ නොහැක. නමුත් දෙවිට එසේ නොවේ. මන්ද දෙවිට සියල්ල කළ හැකිය” කියා පිළිතුරු දෙනවා.
ඔවුන් ධනවත් තරුණ මුලාදෑනියාට වඩා හාත්පසින්ම වෙනස් තේරීමක් කර තිබෙන බව සඳහන් කරමින් පේතෘස් මෙසේ පවසනවා. “බලන්න! අපි සියල්ල අත්හැර ඔබ අනුව ආවෙමු. අපට කුමක් ලැබෙයිද?”
එවිට යේසුස් පොරොන්දු වන්නේ මෙලෙසයි. “නැවත-මැවීමේදී, මනුෂ්‍ය පුත්‍රයා තම තේජවත් සිංහාසනයේ ඉඳගන්නා කල මා අනුව ආ ඔබද සිංහාසන දොළොසක ඉඳගෙන, ඊශ්‍රායෙලයේ ගෝත්‍ර දොළොස විනිශ්චය කරන්නහුය.” යේසුස් මෙහිදී පෙන්වමින් සිටින්නේ අනාගතයේදී පොළොවේ නැවත මැවීමක් සිදු කර එය ඒදන් උයන තිබූ තත්වයටම ආපසු ගෙන එන බවයි. ඒ වගේම, පේතෘස්ටත් අනිත් ගෝලයන්ටත් ක්‍රිස්තුස් සමඟ මෙම පොළොව පුරාම පවතින පාරාදීසය පාලනය කිරීමේ වරප්‍රසාදය හිමි වෙනවා. ඇත්තෙන්ම, එවැනි උදාර වරප්‍රසාදයක් උදෙසා කරන ඕනෑම පරිත්‍යාගයක් වටින්නේ නැද්ද?
එහෙත් යේසුස් ස්ථිර වශයෙන්ම පවසන පරිදි විපාක දැන් පවා ලැබෙනවා. “මා නිසාත් ශුභාරංචිය නිසාත් ගේ දොර හෝ සහෝදරයන් හෝ සහෝදරියන් හෝ මව හෝ පියා හෝ දරුවන් හෝ වතු පිටි හෝ අත්හැර තිබෙන කිසිවෙක්, දැන් මේ කාල පරිච්ඡේදයේදී සිය ගුණයකින් ගෙවල්ද සහෝදරයන්ද සහෝදරියන්ද මව්වරුන්ද දරුවන්ද වතු පිටිද, ඒ සමඟ හිංසා පීඩාද, මතු පැමිණෙන කාලයේදී සදාකාල ජීවනයද නොලැබ නොසිටින්නේය.”
යේසුස් පොරොන්දු වන්නේ, ඔහුගේ ගෝලයන් ලෝකයේ කොතැනකට ගියත් තමන්ගේම පවුලේ සාමාජිකයන් සමඟ භුක්ති විඳින සබඳතාවට වඩා කිට්ටු, අනගි සබඳතාවක් ඔවුන් සෙසු ක්‍රිස්තියානීන් සමඟ භුක්ති විඳින බවයි. පෙනෙන ආකාරයට, ධනවත් තරුණ මුලාදෑනියාට මෙම වරප්‍රසාදයත් දෙවිගේ ස්වර්ග රාජ්‍ය පාලනය තුළ සදාකාල ජීවනයත් අහිමි වෙනවා.
ඉන්පසු යේසුස් තවදුරටත්, “එහෙත්, ප්‍රථමයෝ බොහෝදෙනෙක් අන්තිමයෝද අන්තිමයෝ ප්‍රථමයෝද වන්නෝය” කියා පවසනවා. ඔහු එයින් අදහස් කරන්නේ කුමක්ද?
ධනවත් තරුණ මුලාදෑනියා මෙන් ආගමික වරප්‍රසාද භුක්ති විඳීමේදී ‘ප්‍රථමයන්’ වන බොහෝදෙනෙකු රාජ්‍යයට ඇතුල් නොවන බවයි. ඔවුහු “අන්තිමයෝ” වෙනවා. එහෙත් ආත්ම-ධර්මිෂ්ඨ පරිසිවරුන් විසින් පහත් කොට සලකමින් දූවිල්ලේ මනුෂ්‍යයන් හෙවත් අම්හාආරෙට්වරුන් ලෙස හඳුන්වනු ලබන යේසුස්ගේ යටහත් පහත් ගෝලයන් ඇතුළු බොහෝදෙනෙක් “ප්‍රථමයෝ” වේවි. ඔවුන් ‘ප්‍රථමයන්’ වීමෙන් අදහස් වන්නේ රාජ්‍යය තුළ ක්‍රිස්තුස් සමඟ හවුල් පාලකයන් වීමේ වරප්‍රසාදය ඔවුන් ලබන බවයි. මාක් 10:17-31; මතෙව් 19:16-30; ලූක් 18:18-30; NW.
▪ ධනවත් තරුණ මනුෂ්‍යයා කුමන ආකාරයේ මුලාදෑනියෙක් බව පැහැදිලි වේද?
▪ යහපත්ය කියා හඳුන්වනු ලබනවාට යේසුස් අකමැති වන්නේ ඇයි?
▪ ධනවත් වීමේ අවදානම තරුණ මුලාදෑනියාගේ අද්දැකීමෙන් පැහැදිලි වන්නේ කෙසේද?
▪ යේසුස් තම අනුගාමිකයන්ට දීමට පොරොන්දු වන විපාක කවරේද?
▪ ප්‍රථමයන් අන්තිමයන් වන්නෙත්, අන්තිමයන් ප්‍රථමයන් වන්නෙත් කෙසේද?