95වෙනි පරිච්ඡේදය
දික්කසාදය සහ දරුවන්ට දක්වන ප්‍රේමය පිළිබඳ පාඩම්
ක්‍රිස්තු වර්ෂ 33 පාස්කු උත්සවයට සහභාගි වීම සඳහා යේසුස් සහ ඔහුගේ ගෝලයන් යෙරුසලමට ගමන් කරමින් සිටිනවා. ඔවුන් යොර්දාන් ගඟෙන් එගොඩ වී ගමන් කරන්නේ පෙරයාව නමැති ප්‍රදේශය හරහායි. සති කීපයකට පෙර යේසුස් සිටියේ පෙරයාවේයි. එහෙත් ඔහුගේ මිත්‍ර ලාසරුස් අසනීපව සිටි නිසා යුදයට එන මෙන් ඔහුගෙන් ඉල්ලා සිටියා. පෙරයාවේ සිටිද්දී, යේසුස් පරිසිවරුන්ට දික්කසාදය පිළිබඳව කතා කළා. එහෙත් දැන් ඔවුන් නැවත වරක් මේ කාරණය ගැන ප්‍රශ්න කරනවා.
පරිසිවරුන් අතරෙහි දික්කසාදය පිළිබඳ විවිධ මත තිබෙනවා. ස්ත්‍රියකගේ ‘යම් නොහොබිනාකමක්’ නිසා ඇයව දික්කසාද කළ හැකියයි මෝසෙස් පැවසුවා. ඇතැම් අය විශ්වාස කරන්නේ මෙය දුරාචාරයට පමණක් යොමු දක්වනවා කියායි. එහෙත් තවත් අය ‘යම් නොහොබිනාකමක්’ යන්නට ඉතා සුළු වැරදි පවා ඇතුළත් වන බව සිතනවා. ඒ නිසා, යේසුස්ව පරීක්ෂා කිරීම සඳහා පරිසිවරුන් අසන්නේ, “කවර හේතුවක් නිසා හෝ මිනිසෙකු තම බිරිඳව දික්කසාද කිරීම නීත්‍යනුකූලද” කියායි. යේසුස් කුමන පිළිතුරක් දුන්නත් ඔවුන්ට එය එතරම් වැදගත් නැහැ. ඔහු දෙන ඕනෑම පිළිතුරකින් වෙනස් මත දරන පරිසිවරුන් සමඟ ඔහු ගැටීමක් ඇති කරගනී කියා ඔවුන්ට නිසැකයි.
යේසුස් ඉතා දක්ෂ ලෙස මෙම ප්රශ්නය හසුරුවනවා. ඔහු කිසිදු මිනිස් මතයකට අනුමැතිය නොදී අවධානය යොමු කරන්නේ විවාහයේ මුල් සැලැස්ම වෙතටයි. “ඔවුන්ව මැවූ තැනැත්තා පටන්ගැන්මේ සිට පුරුෂයෙකු සහ ස්ත්‍රියක වශයෙන් ඔවුන්ව මැවූ බවත්, ‘ඒ නිසා, මිනිසෙක් තම පියාගෙන්ද මවගෙන්ද වෙන් වී, තම බිරිඳට ඇලුම් වන්නේය කියාද, ඒ දෙදෙනා එක මාංසයක් වන්නෝය’ කියාද පැවසූ බවත් ඔබ කියවා නැද්ද” යනුවෙන් ඔහු අසනවා. ඔහු තවදුරටත් පවසන්නේ මෙසේයි. “මෙසේ ඔවුහු එතැන් පටන් දෙදෙනෙකු නොව එක මාංසයක් වන්නෝය. එහෙයින් දෙවි එක් කළ දෙය කිසිවෙක් වෙන් නොකෙරේවා!”
දෙවිගේ මුල් අරමුණ වූයේ විවාහක කලත්‍රයන් එක්ව සිටීම මිස දික්කසාද වීම නොවන බව යේසුස් පෙන්වා දෙනවා. එසේනම්, “අත්හැරීමේ පත්‍රයක් දී ඇයව දික්කසාද කළ හැකි බව මෝසෙස් පැවසුවේ මන්ද” කියා පරිසිවරු අසනවා.
“මෝසෙස් ඔබේ භාර්යාවන් දික්කසාද කිරීමට ඉඩ දුන්නේ ඔබගේ සිත් දැඩිකම නිසාය. නමුත් පටන්ගැන්මේ සිට එසේ නොවීය” යනුවෙන් යේසුස් පිළිතුරු දෙනවා. ඇත්තෙන්ම දෙවි ඒදන් උයනේදී විවාහය සඳහා නියම ප්‍රමිතිය පිහිටෙවූ විට ඔහු කොයිම විදිහකින්වත් දික්කසාදය සඳහා ඉඩ දුන්නේ නැහැ.
යේසුස් තවදුරටත් පරිසිවරුන්ට මෙසේ පවසනවා. “මම ඔබට කියමි, [පෝර්නියා යන ග්‍රීක වචනයෙන් යොමු දැක්වෙන] වේශ්‍යාකම නිසා මිස වෙන හේතුවකට තම බිරිඳව දික්කසාද කර වෙන ස්ත්‍රියක විවාහ කරගන්න කවරෙක් නමුත් පරදාර සේවනයේ යෙදෙන්නේය.” මෙසේ, දික්කසාදය සඳහා දෙවි ඉඩ දෙන එකම පදනම වන්නේ පෝර්නියා හෙවත් බරපතළ පාපයක් වන ලිංගික දුරාචාරය බව ඔහු පෙන්වා දෙනවා.
දික්කසාදය සඳහා තිබෙන එකම පදනම එය බවත් විවාහය සදාකාලික බැඳීමක් විය යුතු බවත් වටහාගන්නා ගෝලයෝ මෙසේ පැවසීමට පෙලඹෙනවා. “මිනිසෙකු හා තම බිරිඳ අතර තත්වය මෙසේනම්, විවාහ නොවී සිටීම වඩා හොඳය.” නිසැකවම, විවාහ වීමට බලාපොරොත්තු වන කෙනෙක් විවාහය ඉතා බැරෑරුම් ලෙස සලකා බැලිය යුතු අතර එය නොබිඳිය යුතු බන්ධනයක් බව වටහාගත යුතුයි.
යේසුස් දැන් තනිකඩභාවය ගැන කතා කරනවා. ලිංගික අවයව වර්ධනය නොවීම නිසා විවාහ විය නොහැකි ඇතැම් පිරිමි දරුවන් උපතෙන්ම නපුංසකයන් වන බව ඔහු පැහැදිලි කරනවා. වෙනත් අයව නපුංසකයන් බවට පත් කර ඇත්තේ මිනිසුන් විසින්මයි. එසේ කරන්නේ ඔවුන්ගේ ලිංගික අවයවවලට ඉතා කෲර ලෙස හානි පමුණුවීමෙනුයි. අන්තිම වශයෙන්, සමහරු ස්වර්ග රාජ්‍යය හා සම්බන්ධ කාරණාවල වඩා පූර්ණ ලෙස යෙදී සිටීමට හැකි වන පිණිස, විවාහ වීමේ හා ලිංගික සබඳතා භුක්ති විඳීමේ ආශාව මැඩපවත්වා ගන්නවා. යේසුස් අවසන් වශයෙන් පවසන්නේ, “එම තත්වයට [තනිකඩභාවයට] ඉඩ සලසාගත හැකි තැනැත්තා එසේ කරාවා” කියායි.
ජනයා දැන් තම කුඩා දරුවන්ව යේසුස් වෙතට රැගෙන එනවා. එහෙත් ගෝලයන් දරුවන්ට බැණවැද ඔවුන්ව එතනින් යැවීමට උත්සාහ කරනවා. ඔවුන් එසේ කරන්නේ යේසුස් අනවශ්‍ය ලෙස වෙහෙසට පත් වෙනවා දකින්න ඔවුන් අකමැති වූ නිසා විය යුතුයි. එහෙත් යේසුස් මෙසේ පවසනවා. “කුඩා දරුවන්ට මා ළඟට එන්න ඉඩහරින්න. ඔවුන්ව වළක්වන්න උත්සාහ නොකරන්න. මන්ද, දෙවිගේ රාජ්‍යය අයිති එවැනි අයටය. සැබවින්ම මම ඔබට කියමි, කුඩා දරුවෙකු මෙන් දෙවිගේ රාජ්‍යය පිළි නොගන්නා කිසිවෙක් කිසිසේත් ඊට ඇතුල් නොවන්නේය.”
යේසුස් මෙහිදී උගන්වන්නේ මොන තරම් කදිම පාඩම්ද! දෙවිගේ රාජ්‍යය අත් කරගැනීමට නම් කුඩා දරුවන්ගේ යටහත් පහත්කම හා උගන්වන දේ පිළිගැනීමට ඔවුන් දක්වන කැමැත්ත අපත් අනුකරණය කළ යුතුයි. එහෙත් විශේෂයෙන්ම දෙමව්පියන් තම දරුවන් සමඟ කාලය ගත කිරීම කොතරම් වැදගත්ද යන කාරණයත් යේසුස්ගේ ආදර්ශයෙන් පැහැදිලි වෙනවා. යේසුස් දැන් කුඩා දරුවන්ව වඩාගෙන ඔවුන්ට ආශීර්වාද කිරීමෙන් ඔවුන්ට තමන් කොතරම් ප්‍රේම කරනවාදැයි පෙන්වනවා. මතෙව් 19:1-15, NW; ද්විතීය කථාව 24:1; ලූක් 16:18; මාක් 10:1-16; ලූක් 18:15-17; NW.
▪ දික්කසාදය පිළිබඳව පරිසිවරුන්ට තිබෙන වෙනස් මත මොනවාද? ඔවුන් යේසුස්ව පරීක්ෂා කරන්නේ කෙසේද?
▪ තමාව පරීක්ෂා කිරීමට පරිසිවරුන් ගන්නා උත්සාහය හමුවේ යේසුස් කටයුතු කරන්නේ කෙසේද? දික්කසාදය සඳහා තිබෙන එකම පදනම හැටියට ඔහු සඳහන් කරන්නේ කුමක්ද?
▪ විවාහ නොවී සිටීම වඩා හොඳයි කියා යේසුස්ගේ ගෝලයන් පවසන්නේ ඇයි? යේසුස් ඒ සම්බන්ධයෙන් දෙන නිර්දේශය කුමක්ද?
▪ කුඩා දරුවන් සමඟ කටයුතු කරන ආකාරයෙන් යේසුස් අපට උගන්වන්නේ කුමක්ද?