86වෙනි පරිච්ඡේදය
නැති වූ පුත්‍රයෙකු පිළිබඳ කතන්දරය
නැති වූ බැටළුවා හා නැති වූ රිදී කාසිය පිළිබඳ උපමා පරිසිවරුන්ට කියා දී අවසන් වීමත් සමඟම යේසුස් තවත් උපමාවක් පවසනවා. මෙය ප්‍රේමණීය පියෙකු හා ඔහුගේ පුත්‍රයන් දෙදෙනාට පියා විසින් දක්වන ලද සැලකිල්ල පිළිබඳ උපමාවක්. මෙම පුත්‍රයන් දෙදෙනාම තුළ බරපතළ දුර්වලතා තිබෙනවා.
මුලින්ම අපට හඳුන්වා දෙන්නේ උපමාවේ ප්‍රධාන චරිතය වන බාල පුත්‍රයාවයි. ඔහුගේ පියා කිසිදු අදිමදි කිරීමකින් තොරව ඔහුට තම උරුමය ලබා දෙන අතර ඔහු එයත් රැගෙන නිවස අත්හැර ඉතා දුරාචාර ජීවිතයක් ගත කරන්න පටන්ගන්නවා. යේසුස් දැන් කතන්දරය කියද්දී, එම චරිත නියෝජනය කරන්නේ කාවද කියා නිශ්චය කිරීමට ඔබට හැකිදැයි බලන්න.
යේසුස් මෙසේ පවසමින් එය ආරම්භ කරනවා. “එක්තරා මිනිසෙකුට පුත්‍රයන් දෙදෙනෙක් සිටියෝය. ඔවුන් දෙදෙනාගෙන් බාලයා තම පියා අමතා, ‘පියාණෙනි, දේපළෙන් මට අයිති කොටස දෙන්න’ යයි කීවේය. එවිට පියා, තම දේපළ ඔවුන්ට බෙදා දුන්නේය.” මෙම බාල පුත්‍රයා තමාට ලැබුණු කොටසින් කරන්නේ කුමක්ද?
“පසුව, වැඩි කල් යන්න මත්තෙන්, බාල පුත්‍රයා සියල්ල රැස් කරගෙන, දුර රටකට ගොස් එහිදී අශිෂ්ට ජීවිතයක් ගත කිරීමෙන් තමාගේ දේපළ නැති නාස්ති කර දැම්මේය” යනුවෙන් යේසුස් පැහැදිලි කරනවා. ඇත්තෙන්ම, ඔහු තම මුදල් නාස්ති කරන්නේ ගණිකාවන් සමඟ ජීවත් වෙමිනුයි. යේසුස් විස්තර කරන පරිදි, කල් යත්ම ඔහුට දුෂ්කර කාලවලට මුහුණ දීමට සිදු වෙනවා.
“ඔහු සියල්ල වියදම් කළ පසු, ඒ මුළු ප්‍රදේශය පුරාම මහත් සාගතයක් ඇති විය. එවිට ඔහුට අගහිඟකම් දැනෙන්න පටන්ගත්තේය. ඔහු ඒ ප්‍රදේශයේ පුරවැසියෙකු ළඟට ගොස් කෙසේ හෝ ඔහු යටතේ කුලී වැඩක් සොයාගත්තේය. ඒ පුරවැසියා ඌරන් බලාගැනීමට තමාගේ තණ බිම්වලට ඔහුව යැවීය. ඌරන් කෑ කැරබ් කරල්වලින් බඩගින්න නිවාගන්න ඔහු සිතුවේය. නමුත් කිසිවෙකු ඔහුට කිසිවක් දුන්නේ නැත.”
නීතියට අනුව ඌරන්ව අපිරිසිදු සත්වයන් ලෙස සැලකූ නිසා ඌරන් බලාගැනීමට සිදුවීම ඇත්තෙන්ම මොන තරම් පහත් දෙයක්ද! එහෙත් ඔහුට වඩාත්ම වේදනාවක් ගෙන දුන්නේ ඉවසන්ට බැරි බඩගින්නයි. එය කොතරම්ද කියනවා නම් ඌරන්ට දෙන කෑම කන්න පවා ඔහු කැමති වුණා. ඔහුට මුහුණ පාන්නට සිදු වූ මේ දරුණු තත්වය නිසා, ඔහු “පියවි සිහියට පැමිණි” බව යේසුස් පැවසුවා.
තවදුරටත් කතන්දරය පවසමින්, යේසුස් මෙසේ පැහැදිලි කරනවා. ඔහු “මෙසේ [කියාගත්තේය]: ‘මාගේ පියාගේ කුලීකරුවන්ගෙන් එපමණ දෙනෙකුට ඕනෑවටත් වඩා කෑම තිබියදී මම මෙහි බඩගින්නේ නසිමි! මම මාගේ පියා වෙත ගොස්, ඔහුට මෙසේ කියමි: “පියාණෙනි, මම ස්වර්ගයට විරුද්ධවත් ඔබට විරුද්ධවත් පව් කළෙමි. මින් මත්තට ඔබේ පුත්‍රයායයි කියනු ලබන්න මම නොවටිමි. ඔබේ කුලීකරුවන්ගෙන් එක් කෙනෙකු මෙන් මාව සලකන්න.”’ ඉන්පසු ඔහු තම පියා වෙතට ගියේය.”
මෙය සැලකිල්ලට ගන්න. පුත්‍රයා නිවසෙන් පිට වී යද්දී, පියා ඔහුට කෝපයෙන් බැණ වැදුණා නම්, තමා කළ යුතු දේ ගැන ඔහුට එතරම් ස්ථිර අධිෂ්ඨානයක් නොතිබෙන්න ඉඩ තිබුණා. සමහරවිට ඔහු ආපසු තම රටට පැමිණ තම පියාට මුහුණ නොදෙන පිණිස වෙනත් ස්ථානයක රැකියාවක් සොයාගැනීම සඳහා තීරණයක් ගැනීමට ඉඩ තිබුණා. එහෙත් එවැනි අදහසක් ඔහුගේ මනසට ආවේ නැහැ. ඔහුට අවශ්‍ය වුණේ ගෙදර යෑමටයි!
පැහැදිලිවම, යේසුස්ගේ උපමාවෙහි පියා නියෝජනය කරන්නේ අපගේ ප්‍රේමණීය, දයාවන්ත, ස්වර්ගික පිය වූ යෙහෝවා දෙවියි. තවද නැති වූ පුත්‍රයාගෙන් හෙවත් අකීකරු පුත්‍රයාගෙන් නියෝජනය වන්නේ පව්කාරයන් බවට ප්‍රසිද්ධ වූ අය බව ඔබ දැනටමත් වටහාගන්න ඇති. එවැනි අය සමඟ ආහාර ගෙන තිබූ නිසා යේසුස් දැන් කතා කරමින් සිටින පරිසිවරුන් ඔහුව විවේචනයට ලක් කර තිබුණා. එහෙම නම් වැඩිමහල් සහෝදරයාගෙන් නියෝජනය වන්නේ කාවද?
නැති වූ පුත්‍රයා සම්බ වන විට
යේසුස්ගේ උපමාවේ සඳහන් වන නැති වූ පුත්‍රයා හෙවත් අකීකරු පුත්‍රයා තම පියාගේ නිවසට ආපසු පැමිණෙන විට, ඔහුව පිළිගනු ලබන්නේ කෙසේද? යේසුස් එය දැන් විස්තර කරන විට ඊට සවන් දෙන්න.
“ඔහු සෑහෙන දුරින් සිටියදී, ඔහුගේ පියා දුර තියාම ඔහුව දැක අනුකම්පාවක් ඇති වී, දුව ගොස් ඔහුගේ බෙල්ල බදාගෙන, ඔහුව ආදරයෙන් සිඹගත්තේය.” ඔහු මොන තරම් දයාවන්ත, උණුසුම් හදවතක් ඇති පියෙක්ද! එය අපගේ ස්වර්ගික පියාණන් වන යෙහෝවාව මොන තරම් හොඳින් නියෝජනය කිරීමක්ද!
බොහෝදුරට, තම පුතාගේ පහත් ක්‍රියාකලාපය ගැන පියාට ආරංචි වෙන්න ඇති. එහෙත් සිදු වූ සෑම දෙයක්ම පැහැදිලි කරන තෙක් බලා නොසිට, ඔහු පුත්‍රයාව සාදරයෙන් පිළිගන්නවා. එම උපමාවේ අකීකරු පුත්‍රයාගෙන් නියෝජනය වන්නාවූ පව්කාරයන් හා බදු එකතු කරන්නන් වෙත පිවිසීමට මුල් පියවර ගැනීම තුළින් යේසුස්ද සාදරයෙන් පිළිගන්නාවූ ස්වභාවයක් විදහාපෙන්වනවා.
යේසුස්ගේ උපමාවේ සිහි නුවණ ඇති පියා ශෝකයෙන් හෙම්බත් වූ කලකිරුණු ස්වභාවයකින් තමා වෙතට ආපසු පැමිණි පුත්‍රයා දුටු විට ඔහු පසුතැවිලි වී ඇති බව වටහාගන්නට ඇති බව ඇත්තයි. එහෙත් යේසුස් විස්තර කරන පරිදි, පියා ප්‍රේමණීය ලෙස මුල් පියවර ගෙන තිබෙන නිසා පුත්‍රයාට වඩාත් පහසු වෙනවා තමාගේ පාප ප්‍රකාශ කරන්න. “එවිට පුත්‍රයා, ‘පියාණෙනි, මම ස්වර්ගයට විරුද්ධවත් ඔබට විරුද්ධවත් පව් කළෙමි. මින් මත්තට ඔබේ පුත්‍රයායයි කියනු ලබන්න මම නොවටිමි. ඔබේ කුලීකරුවන්ගෙන් එක් කෙනෙකු මෙන් මාව සලකන්න’ යයි ඔහුට පැවසීය.”
එහෙත් පුත්‍රයා එම වදන් පැවසූ සැණින්ම පියා තම දාසයන්ට අණ කරමින්, “ඉක්මන් කරන්න! හොඳම සළුව ගෙනැවිත් මොහුට අන්දවා ඔහුගේ ඇඟිල්ලෙහි මුද්දක් පළඳවා පාදවලට වහන් දමන්න. තර කළ වස්සාව ගෙනැවිත් ඌව මරා, අපි කමින් ප්‍රීති වෙමු. මන්ද මේ මාගේ පුත්‍රයා මිය ගොස් සිටි නමුත්, නැවත ජීවත් වූයේය. ඔහු නැති වී සිටි නමුත් නැවත සම්බ වූයේය” කියා පැවසුවා. ඉන්පසු, “ඔවුහු ප්‍රීති වන්න පටන්ගත්හ.”
මේ අතරතුරේදී පියාගේ “වැඩිමහල් පුත්‍රයා කෙතෙහි සිටියේය.” කතාවේ ඉතිරි කොටසට සවන් දෙන විට ඔහුගෙන් නියෝජනය කරන්නේ කාවද කියා හඳුනාගැනීමට ඔබට පුළුවන්දැයි බලන්න. වැඩිමහල් පුත්‍රයා පිළිබඳව යේසුස් මෙසේ පවසනවා. “ඔහු ගෙට ළඟා වූ විට, ඔහුට සංගීතයද නැටීමේ හඬද ඇසිණ. ඔහු සේවකයෙකුව කැඳවා, මේ කුමක්දැයි ඇසීය. ‘ඔබේ සහෝදරයා ඇවිත් සිටී. හොඳ සුවයෙන් ඔබේ පියාට ඔහුව ආපසු ලැබුණු හෙයින් තර කළ වස්සාව මැරුවේය’ යි සේවකයා ඔහුට කීවේය. නමුත් ඔහු උදහස් වී, ඇතුළට යන්න අකමැති විය. එවිට ඔහුගේ පියා පිටතට ඇවිත් ඔහුට බැගෑපත් ලෙස කතා කළේය. ඔහු උත්තර දෙමින් තම පියාට මෙසේ කීවේය: ‘මම මෙපමණ අවුරුදු ගණනාවක් ඔබට දාසයෙකු මෙන් සේවය කළෙමි. කවදාවත් ඔබේ ආඥාවක් උල්ලංගනය නොකළෙමි. එහෙත් මාගේ මිත්‍රයන් සමඟ ප්‍රීති වන පිණිස කිසි දිනක ඔබ මට එළු පැටවෙකුවත් දුන්නේ නැත. නමුත් ඔබේ දේපළ ගණිකාවන් සමඟ නැති නාස්ති කළ මේ ඔබේ පුත්‍රයා ආ විගස ඔබ ඔහු වෙනුවෙන් තර කළ වස්සා මැරුවේය.’”
වැඩිමහල් පුත්‍රයා මෙන්, පව්කාරයන්ට පෙන්වන ලද දයාව හා අවධානය ගැන විවේචනය කර ඇත්තේ කවුද? ලියන්නන් සහ පරිසිවරුන් නොවේද? යේසුස් මෙම උපමාව පැවසීමට පෙලඹුණේ ඔහු පව්කාරයන්ව පිළිගන්නා බැවින් ඔවුන් ඔහුව විවේචනය කරන නිසයි. වැඩිමහල් පුත්‍රයාගෙන් නියෝජනය වන්නේ ඔවුන් බව දැන් පැහැදිලියි.
යේසුස් තම කතන්දරය නිමාවට පත් කරන්නේ පියා තම වැඩිමහල් පුත්‍රයාට කාරුණිකව කරන මෙම ඉල්ලීම සමඟිනුයි. “දරුව, ඔබ සැමදා මා සමඟ සිටියේය. මා සතු සියල්ල ඔබගේය. නමුත් අපට ප්‍රීති සන්තෝෂ නොවී සිටිය නොහැක. මන්ද ඔබේ මේ සහෝදරයා මිය ගොස් සිටි නමුත් නැවත ජීවත් වූයේය. ඔහු නැති වී සිටි නමුත් නැවත සම්බ වූයේය.”
වැඩිමහල් සහෝදරයා අන්තිමේදී කරන්නේ කුමක්දැයි යේසුස් පැහැදිලි කරන්නේ නැහැ. ඇත්තෙන්ම පසු කාලයකදී, යේසුස්ගේ මරණයෙන් හා නැවත නැඟිටීමෙන් පසුව, “පූජකයන්ගෙන් මහත් සමූහයක්ද ඇදහිල්ලට කීකරු වූහ.” යේසුස් මෙහි කතා කරන ‘වැඩිමහල් පුත්‍ර’ පංතියට අයත් මොවුන්ගෙන් ඇතමෙකුද ඇදහිල්ලට කීකරු වන්න ඇති.
එහෙත් නවීන කාලවලදී පුත්‍රයන් දෙදෙනා නියෝජනය කරන්නේ කාවද? යෙහෝවාගේ අරමුණු ගැන ප්‍රමාණවත් දැනුමක් තිබෙන නිසා ඔහු සමඟ සබඳතාවක් ඇති කරගැනීමට තරම් හොඳ පදනමක් තිබෙන අය විය යුතුයි. වැඩිමහල් පුත්‍රයා නියෝජනය කරන්නේ ‘කුඩා රැළේ’ සමහර සාමාජිකයන්ව එනම්, “ස්වර්ගයෙහි නම් ලියා ඇති කුලුඳුලන්ගේ සභාව.” මොවුන් වැඩිමහල් පුත්‍රයාට සමාන ආකල්පයක් ඇති කරගත්තා. “වෙනත් බැටළුවන්” වන භූමික පංතියක් පිළිගැනීමට ඔවුන්ට කිසිදු ආශාවක් තිබුණේ නැහැ. ඔවුන්ට හැඟුණේ ඒ අය මොවුන්ට වඩා ප්‍රසිද්ධියක් ලබන බවයි.
අනික් අතට, අකීකරු පුත්‍රයාගෙන් නියෝජනය වන්නේ ලෝකය ඉදිරිපත් කරන සැපසෙල්ලම භුක්ති විඳීම සඳහා දෙවිගේ ජනයාගෙන් ඉවත් වී යන අයවයි. එහෙත් මොවුන් පසුතැවිලි වී ආපසු පැමිණ, නැවත වරක් දෙවිගේ ක්‍රියාශීලී සේවකයන් බවට පත් වෙනවා. ඇත්තෙන්ම, සමාව ලබාගැනීමේ තම අවශ්‍යතාව වටහාගෙන, ඔහු වෙතට ආපසු පැමිණෙන අය සමඟ පියා කටයුතු කරන්නේ මොන තරම් ප්‍රේමණීයව හා දයාවන්ත ලෙසද! ලූක් 15:11-32, NW; ලෙවී කථාව 11:7, 8; ක්‍රියා 6:7; ලූක් 12:32; හෙබ්‍රෙව් 12:23; යොහන් 10:16; NW.
▪ මෙම උපමාව යේසුස් පවසන්නේ කාටද? ඒ ඇයි?
▪ කතන්දරයේ ප්‍රධාන චරිතය කවුද? ඔහුට සිදු වන්නේ කුමක්ද?
▪ යේසුස්ගේ දවසේදී පියාගෙන් සහ බාල පුත්‍රයාගෙන් නියෝජනය වූයේ කාවද?
▪ තම උපමාවේ දයානුකම්පිත පියාගේ ආදර්ශය යේසුස් අනුකරණය කරන්නේ කෙසේද?
▪ තම සහෝදරයාව පිළිගැනීම ගැන වැඩිමහල් සහෝදරයාගේ ආකල්පය කුමක්ද? පරිසිවරුන් වැඩිමහල් පුත්‍රයා මෙන් කටයුතු කරන්නේ කෙසේද?
▪ අපගේ දවසට යේසුස්ගේ උපමාව අදාළ වන්නේ කෙසේද?