87වෙනි පරිච්ඡේදය
ප්‍රායෝගික ප්‍රඥාව ඇතුව අනාගතය සැලසුම් කරන්න
තම ගෝලයන්, වංක බදු එකතු කරන්නන්, වෙනත් ප්‍රසිද්ධ පව්කාරයන්, ලියන්නන් හා පරිසිවරුන් ඇතුළු සමූහයකට යේසුස් අකීකරු පුත්‍රයාගේ කතාව කියා නිම කළේ දැන් ටික වේලාවකට කලිනුයි. දැන් තම ගෝලයන්ව අමතමින් ඔහු උපමාවක් කියා දෙනවා. එය තම නිවසේ වැඩ කටයුතු භාරව සිටි සේවකයෙක් පිළිබඳ අහිතකර වාර්තාවක් ලැබුණු ධනවත් මිනිසෙකු පිළිබඳ උපමාවක්.
යේසුස් විස්තර කරන පරිදි, ධනවතා තම සේවකයාව කැඳවමින් ඔහුව සේවයෙන් අයින් කරන බව පවසනවා. “සේවකයා තමන්ටම මෙසේ කියාගත්තේය: ‘මාගේ ස්වාමියා මා කෙරෙන් නිවසේ භාරකාරකම ඉවත් කරන්න යන නිසා මා කුමක් කරන්නද? බිම කොටන්න තරම් මා ශක්තිමත් නැත, හිඟා කන්න ලජ්ජා වෙමි. ආ! කළ යුතු දේ මම දනිමි. එසේ කළොත්, මාව නිවසේ භාරකාරකමෙන් අහක් කළ විට, ජනයා තම නිවෙස්වලට මා පිළිගනු ඇත.’”
සේවකයාගේ සැලැස්ම කුමක්ද? ඔහු තම ස්වාමියාට ණයව සිටින අයව අඬගසා, “ඔබ මාගේ ස්වාමියාට කොපමණ ණයද” කියා අසනවා.
පළමුවැන්නා පිළිතුරු දෙන්නේ, ‘ඔලීව තෙල් ලීටර් 2,200ක්’ කියායි.
‘ඔබේ ලිඛිත ගිවිසුම රැගෙන මෙහි වාඩි වී, ඉක්මන් කර 1,100ක් කියා ලියන්න’ යනුවෙන් සේවකයා ඔහුට පවසනවා.
ඔහු තවත් කෙනෙකුගෙන් අසනවා, “ඔබ කොපමණක් ණයද” කියා.
‘තිරිඟු ලීටර් 22,000ක්’ කියා ඔහු පවසනවා.
‘ඔබේ ලිඛිත ගිවිසුම රැගෙන 18,000ක් කියා ලියන්න.’
සේවකයා තවමත් ස්වාමියාගේ මූල්‍යමය කටයුතු භාරව සිටින නිසා ඔහුට අයිතියක් තිබෙනවා ස්වාමියාට හිමි ණය අඩු කිරීමට. එසේ ණය අඩු කිරීම මගින් රැකියාව අහිමි වූ විට තමාට උදව් උපකාර පිරිනැමිය හැකි අයව ඔහු මිතුරන් බවට පත් කරගන්නවා.
සිදු වී තිබෙන දෙය ස්වාමියා දැනගත් විට ඔහු පුදුමයට පත් වෙනවා. ඇත්තෙන්ම, “සේවකයා අධර්මිෂ්ඨ වුවත් ඔහු ප්‍රායෝගික ප්‍රඥාවෙන් ක්‍රියා කළ හෙයින් ඔහුගේ ස්වාමියා ඔහුට ප්‍රශංසා කළේය.” සැබවින්ම, “ආලෝකයේ පුත්‍රයන්ට වඩා, මේ සමාජ ක්රමයේ පුත්‍රයෝ තමුන්ගේ පරම්පරාව සමඟ ප්‍රායෝගික ලෙස කටයුතු කරන්න දන්නෝය” කියා යේසුස් තවදුරටත් පවසනවා.
යේසුස් දැන්, තම ගෝලයන්ට ගත හැකි පාඩම පෙන්වා දෙමින් දිරිගන්වන්නේ මෙලෙසයි. “අධර්මිෂ්ඨ වස්තුවෙන් ඔබත් මිත්‍රයන් ඇති කරගන්නැයි මම ඔබට කියමි. එසේ කළොත්, ඒවා නැති වූ කල, ඔවුහු ඔබව සදාකාල වාසස්ථානවලට පිළිගන්නවා ඇත.”
යේසුස් සේවකයාට ප්‍රශංසා කරන්නේ ඔහුගේ අධර්මිෂ්ඨකම නිසා නොව නමුත් ඔහු දූරදර්ශීව හා ප්‍රායෝගික ප්‍රඥාවෙන් ක්‍රියා කළ නිසයි. බොහෝවිට “මේ සමාජ ක්රමයේ පුත්‍රයෝ” තමන්ට ආපසු උදව් උපකාර පිරිනැමිය හැකි අය සමඟ මිත්‍රත්වයක් ඇති කරගැනීම සඳහා තම මුදල් හෝ තත්වය හෝ නුවණක්කාර ලෙස යොදාගන්නවා. එලෙසම, තමන්ට ප්‍රයෝජන අත් කරගැනීම සඳහා ‘ආලෝකයේ පුත්‍රයන්ද’ තමන්ගේ ද්‍රව්‍යමය සම්පත් එනම් “අධර්මිෂ්ඨ වස්තු” ඥානවන්ත ආකාරයකින් භාවිත කළ යුතුයි.
එහෙත් යේසුස් පවසන පරිදි, ඔවුන් මෙම වස්තුවලින් මිත්‍රයන් ඇති කරගත යුත්තේ ඔවුන්ව “සදාකාල වාසස්ථානවලට පිළිගන්න” පුළුවන් අය සමඟයි. කුඩා රැළේ සාමාජිකයන් සඳහා මෙම වාසස්ථානය වන්නේ ස්වර්ගයයි. “වෙනත් බැටළුවන්” සඳහා එයින් අදහස් වන්නේ පාරාදීස පොළොවයි. මේ ස්ථානවලට මනුෂ්‍යයන්ව පිළිගත හැක්කේ යෙහෝවා දෙවිට හා ඔහුගේ පුත්‍රයාට පමණයි. ඒ නිසා, අප සතුව ඇති ඕනෑම ‘අධර්මිෂ්ඨ වස්තුවක්’ රාජ්‍යයේ කටයුතුවල උන්නතිය තකා යොදාගනිමින්, ඔවුන් සමඟ මිත්‍රත්වය ගොඩනැඟීමට අප උත්සුක විය යුතුයි. එවිට, යම් දවසක ද්‍රව්‍යමය වස්තු අපෙන් ගිලිහී ගියත් අපගේ සදාකාල අනාගතය ගැන අපට ස්ථිර විය හැකියි.
වැදගත්කමින් අඩු මෙම ද්‍රව්‍යමය දේවල් භාරව කටයුතු කිරීමේදී විශ්වාසවන්තව කටයුතු කරන පුද්ගලයන්, වඩාත් වැදගත් කාරණාවලදීද විශ්වාසවන්තව සිටින බව යේසුස් තවදුරටත් පවසනවා. එසේම යේසුස් මෙසේද කියනවා. “එබැවින්, ඔබ අධර්මිෂ්ඨ වස්තූන් සම්බන්ධයෙන් ඔබේ විශ්වාසවන්තභාවය ඔප්පු කර නැතිනම්, සැබෑ දේ [ආත්මික දේවල්, එනම් රාජ්‍යයට සම්බන්ධ දේවල්] විශ්වාසයෙන් යුතුව ඔබට භාර දෙන්නේ කවුද? තවද, ඔබ වෙන කෙනෙකුගේ දේ [දෙවි තම සේවකයන්ට විශ්වාසයෙන් භාර දෙන රාජ්‍ය කටයුතු] සම්බන්ධයෙන් ඔබේ විශ්වාසවන්තභාවය ඔප්පු කර නැතිනම්, ඔබට ලැබිය යුතු දේවත් [සදාකාල වාසස්ථානවල ජීවනය නමැති විපාකය] ඔබට දෙන්නේ කවුද?”
යේසුස් අන්තිමට පවසන පරිදි, අපට දෙවිගේ සැබෑ සේවකයන් වන අතරේම අධර්මිෂ්ඨ වස්තුවලට, එනම් ද්‍රව්‍යමය වස්තුවලට දාසයෙකුද විය නොහැකියි. “ස්වාමිවරුන් දෙදෙනෙකුගේ දාසයෙකු වීමට නිවසෙහි වැඩ කරන කිසි සේවකයෙකුට නොහැක. මන්ද ඔහු එක් කෙනෙකුට වෛර වී අනික් තැනැත්තාට ප්‍රේම කරනවා ඇත. නැතහොත් ඔහු එක් කෙනෙකුට ඇලුම් වී අනික් තැනැත්තාව හෙළා දකිනවා ඇත. ඔබට මුදලටත් දෙවිටත් දාසයෙකු විය නොහැක.” ලූක් 15:1, 2; 16:1-13; යොහන් 10:16; NW.
▪ යේසුස්ගේ උපමාවෙහි සඳහන් වන සේවකයා, තමාට පසු කලෙක උපකාර කළ හැකි අයව මිතුරන් බවට පත් කරගන්නේ කෙසේද?
▪ “අධර්මිෂ්ඨ වස්තු” යනු කුමක්ද? ඒවා යොදාගෙන අපට මිත්‍රයන් ඇති කරගත හැක්කේ කෙසේද?
▪ “සදාකාල වාසස්ථානවලට” අපව පිළිගත හැක්කේ කාටද? එම වාසස්ථාන මොනවාද?