81වෙනි පරිච්ඡේදය
යේසුස්ව මරා දැමීමට දැරූ තවත් වෑයම්
දැන් ශීත කාලය වන නිසා යේසුස් ඇවිදින්නේ සලමොන්ගේ සක්මන් මළුව වශයෙන් ප්රකටව ඇති ආවරණය කරන ලද පෙදෙසෙයි. එය දේවමාලිගාවට යාබදව තිබෙනවා. මෙහිදී යුදෙව්වරුන් ඔහුව වට කරගෙන, “ඔබ කොපමණ කල් අපව දෙගිඩියාවෙන් තබන්නේද? ඔබ ක්‍රිස්තුස් නම් කෙළින්ම අපට කියන්න” කියා පවසනවා.
“මම ඔබට කීවෙමි. ඒත් ඔබ විශ්වාස කරන්නේ නැත” කියා යේසුස් පිළිතුරු දෙනවා. යේසුස් ළිඳ ළඟ සිටි සමරිතානු ස්ත්‍රියට පවසා තිබූ පරිදි තමන් ක්‍රිස්තුස්යයි ඔවුන්ට ඍජුවම පවසා නැහැ. එහෙත් තමා ඉහළ තැන්වලින් පැමිණි බවත් ආබ්‍රහම්ට පළමුවෙන් තමන් සිටි බවත් ඔවුන්ට පැහැදිලි කර තිබෙන නිසා ඔහු තම අනන්‍යතාව හෙළි කර ඇති බව පැවසිය හැකියි.
නමුත් යේසුස්ට අවශ්‍ය වන්නේ, ක්‍රිස්තුස් ඉටු කරන දේවල් පිළිබඳව බයිබලයේ පුරෝකථනය කර ඇති දේ ඔහුගේ ක්‍රියාකාරකම් සමඟ සසඳා බලමින් ඔහු ක්‍රිස්තුස්ය යන නිගමනයට මිනිසුන්ම එළඹෙනවා දකින්නයි. තමා ක්‍රිස්තුස් බව කිසිවෙකුට නොපවසන මෙන් ඔහු තම ගෝලයන්ට කලින් අවවාද කළේ ඒ නිසයි. ඒ නිසාම තමයි යේසුස් විරෝධය පාන මෙම යුදෙව්වරුන්ට දැන් මෙසේ පවසන්නේ. ‘මාගේ පියාණන්ගේ නාමයෙන් මා කරන දේවල්ම මා ගැන සාක්ෂි දරන්නේය. නමුත් ඔබ විශ්වාස කරන්නේ නැත.’
ඔවුන් ඔහුව විශ්වාස නොකරන්නේ ඇයි? යේසුස්, පොරොන්දු වූ ක්‍රිස්තුස් බව ඔප්පු කිරීමට සාක්ෂි මදි නිසාද? නැහැ. යේසුස් එයට හේතුව මෙසේ පැහැදිලි කර දෙනවා. “ඔබ මාගේ බැටළුවන් [නොවෙයි.] . . . මාගේ බැටළුවෝ මාගේ හඬට ඇහුම්කන් දෙති. මම ඔවුන්ව හඳුනමි. ඔවුහුද මා පසුපස එන්නෝය. මම ඔවුන්ට සදාකාල ජීවනය දෙන්නෙමි. ඔවුන් කිසි කලක විනාශ නොවන අතර, කිසිවෙක් මාගේ අතින් ඔවුන්ව උදුරාගන්නේද නැත. මාගේ පියාණන් මට දී තිබෙන දේ අන් සියලු දේට වඩා උතුම්ය. පියාණන්ගේ අතින් ඔවුන්ව උදුරාගන්න කාටවත් බැරිය.”
යේසුස් ඊළඟට පියා සමඟ තමාට තිබෙන කිට්ටු සබඳතාව විස්තර කරමින් පවසන්නේ මෙසේයි. “මාද පියාණන්ද එක්සත්ව සිටින්නේය.” යේසුස් පොළොවේත්, ඔහුගේ පියා ස්වර්ගයෙහිත් සිටින නිසා, ඔහු හා ඔහුගේ පියා වචනාර්ථයෙන්ම හෝ ශාරීරිකව එක් තැනැත්තෙකු කියා මෙහිදී ඔහු පවසමින් නොසිටින බව පැහැදිලියි. ඒ වෙනුවට, ඔහු අදහස් කරන්නේ ඔවුන් එකම අරමුණක් උදෙසා වැඩ කරන බව සහ ඔවුන් එකමුතුව සිටින බවයි.
යේසුස්ගේ වචන නිසා කෝපයට පත් වන යුදෙව්වරුන් ඔහුට ගල් ගසන්න සූදානම් වෙනවා. මීට පෙරත් කූඩාරම් මංගල්‍යයේදී ඔවුන් එවැනි උත්සාහයක් දරා තිබුණා. තමාව ඝාතනය කිරීමට වෑයම් කරන මේ අයට එඩිතරව මුහුණ දෙමින් යේසුස් මෙසේ අසනවා. “මම පියාණන්ගෙන් වූ යහපත් ක්‍රියා බොහොමයක් ඔබට දැක්වීමි. ඒවායින් කුමන ක්‍රියාව නිසා ඔබ මට ගල් ගසන්නහුද?”
“අප ඔබට ගල් ගසන්නේ යහපත් ක්‍රියාවක් නිසා නොව, ඔබ කළ දේව අපහාසය නිසාය. මිනිසෙකු වන ඔබ දෙවි කෙනෙකු වෙන්න උත්සාහ කරන නිසාය” කියා ඔවුන් පිළිතුරු දෙනවා. යේසුස් කිසි විටක තමා දෙවි කෙනෙක් කියා පවසා නැහැ. එහෙම නම්, යුදෙව්වරුන් එසේ පවසන්නේ ඇයි?
පැහැදිලිවම, ඔවුන් එසේ පවසන්නේ දෙවිට පමණක් සීමා වන බව ඔවුන් විශ්වාස කරන බලයන් තමාට තිබෙනවා කියා යේසුස් පවසන නිසයි. උදාහරණයක් වශයෙන්, ඔහු දැන් ටිකකට ඉස්සෙල්ලා “බැටළුවන්” ගැන පැවසුවේ, “මම ඔවුන්ට සදාකාල ජීවනය දෙන්නෙමි” කියායි. එය කිසිම මනුෂ්‍යයෙකුට කළ හැකි දෙයක් නොවෙයි. එහෙත්, යේසුස් තමා බලය ලබන්නේ ඔහුගේ පියාගෙන් කියා පිළිගන්නා බවට වූ කාරණය යුදෙව්වරුන් නොසලකාහරිනවා.
තමා දෙවිට වඩා පහත් බව පිළිගන්නවායයි පෙන්වමින් යේසුස් ඊළඟට මෙසේ පවසනවා. “‘“ඔබ දෙවිවරුය” යි මම කීවෙමි’ කියා ඔබේ නීතියේ [ගීතාවලිය 82:6හි] ලියා තිබෙනවා නොවේද? . . . ඔහු ‘දෙවිවරු’ ලෙස හැඳින්වූයේ දෙවිගේ වචනයේ හෙළා දැක තිබෙන අයව නම්, පියාණන් විසින් විශුද්ධ කරනු ලැබ, ලෝකයට එවන ලද තැනැත්තා වන මා, මම දෙවිගේ පුත්‍රයා වෙමියි කී නිසා, ‘ඔබ දෙවිට අපහාස කරන්නෙහිය’ යි ඔබ මට කියන්නහුද?”
අසාධාරණ මනුෂ්‍ය විනිශ්චයකරුවන්ව පවා ශුද්ධ ලියවිලිවල “දෙවිවරු” ලෙස හඳුන්වා තිබෙනවා නම්, “මම දෙවිගේ පුත්‍රයා වෙමි” කියා යේසුස් පැවසීමෙහි ඇති වරද කුමක්ද? යේසුස් තවදුරටත් මෙසේ පවසනවා. “මා මාගේ පියාණන්ගේ ක්‍රියා නොකරයි නම්, මාව විශ්වාස නොකරන්න. නමුත් මා ඒවා කරනවා නම්, ඔබ මාව විශ්වාස නොකරතත්, පියාණන් මා සමඟ එකඟත්වයෙන් සිටින්නාක් මෙන්ම මා පියාණන් සමඟ එකඟත්වයෙන් සිටින බව දැනගන්නා පිණිසද, තවදුරටත් නොකඩවා දැනගෙන සිටින පිණිසද එම ක්‍රියා විශ්වාස කරන්න.”
යේසුස් මෙය පවසන විට, ඔහුව අල්ලාගැනීමට යුදෙව්වරුන් තැත් කරනවා. එහෙත් කලින් කූඩාරම් මංගල්‍යයේදී කළාක් මෙන්, ඔහු ඔවුන්ගෙන් බේරී පලා යනවා. ඔහු යෙරුසලමෙන් පිට වී යොර්දාන් ගඟෙන් එගොඩ වී ගමන් කරන්නේ මීට වසර සතරකට පමණ පෙර යොහන් බව්තීස්ම කිරීමට පටන්ගත් ස්ථානයටයි. පෙනෙන ආකාරයට, මෙම ස්ථානය පිහිටා තිබෙන්නේ ගලීල මුහුදේ දකුණු වෙරළේ සිට වැඩි ඈතක නොවෙයි. එය යෙරුසලමේ සිට දින දෙකක පමණ ගමනක්.
මෙම ස්ථානයේදී, මනුෂ්‍යයන් බොහෝදෙනෙක් යේසුස් වෙතට පැමිණ මෙසේ පවසනවා. “යොහන් නම් එක ලකුණක්වත් සිදු කළේ නැත. නමුත් මේ මිනිසා ගැන යොහන් කී සියල්ල සැබෑය.” ඉතිං, එහි සිටි බොහෝදෙනෙක් යේසුස් කෙරෙහි ඇදහිල්ල තබනවා. යොහන් 10:22-42; 4:26; 8:23, 58; මතෙව් 16:20; NW.
▪ මනුෂ්‍යයන් තමා ක්‍රිස්තුස් බව කුමනාකාරයෙන් හඳුනාගන්නවාටද යේසුස් කැමති?
▪ යේසුස් හා ඔහුගේ පියා එක්සත්ව සිටිනවා යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
▪ යේසුස් තමාව දෙවි කෙනෙකු බවට පත් කරගන්නවායයි යුදෙව්වරුන් පවසන්නේ ඇයි?
▪ දෙවිට සමාන වීමට යේසුස් අදහස් නොකරන බව ඔහු ගීතාවලියෙන් කරන උපුටා දැක්වීමෙන් පැහැදිලි වන්නේ කෙසේද?