ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • gt 80 පරි.
  • බැටළු ගාල් සහ එඬේරා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • බැටළු ගාල් සහ එඬේරා
  • මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • සමාන තොරතුරු
  • යහපත් එඬේරා සහ බැටළු ගාල්
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • සැබෑ නමස්කාරකයන් මහත් සමූහයක්—ඔවුන් පැමිණ සිටින්නේ කොතැනින්ද?
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අපිට සහනය ලැබෙන්නේ කාගෙන්ද?
    උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
  • යේසුස් තමන්ගේ බැටළුවන් ගැන සැලකිලිමත් වෙනවා
    2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
gt 80 පරි.

80වෙනි පරිච්ඡේදය

බැටළු ගාල් සහ එඬේරා

කැප කිරීමේ මංගල්‍යය හෙවත් හනුකා මංගල්‍යය සඳහා යේසුස් යෙරුසලමට පැමිණ සිටිනවා. එම උත්සවයෙන් සමරන්නේ දේවමාලිගාව නැවත යෙහෝවාට කැප කිරීමයි. වසර 200කට පමණ පෙර, එනම් ක්‍රි.පූ. 168දී, IVවන ඇන්ටියෝකස් එපිෆනීස් යෙරුසලම අල්ලාගෙන, දේවමාලිගාව හා එහි පූජාසනය කෙලෙසුවා. එහෙත්, වසර තුනකට පසුව යෙරුසලම ආපසු අත් පත් කරගෙන දේවමාලිගාව නැවත කැප කරනු ලැබුවා. එතැන් පටන් වාර්ෂිකව නැවත කැප කිරීමේ උත්සවයක් පවත්වනු ලබනවා.

මෙම කැප කිරීමේ උත්සවය පවත්වන්නේ කිස්ලෙව් නමැති යුදෙව් මාසයේ 25වනදායි. එය අපගේ නූතන දින දර්ශනයේ නොවැම්බර් අග භාගයට හා දෙසැම්බර් මාසයේ මුල් භාගයට අනුරූප වෙනවා. ඒ නිසා, ක්‍රි.ව. 33දී පවත්වන අතිවැදගත් පාස්කු දිනය සඳහා තව ඇත්තේ දවස් සියයකට වඩා වැඩි කාලයක්. එය ශීත ඍතුව වන බැවින්, ප්‍රේරිත යොහන් එය “ශීත කාලය” වශයෙන් හඳුන්වනවා.

යේසුස් දැන් උපමාවක් කියා දෙනවා. එහිදී ඔහු බැටළු ගාල් තුනක් ගැනත් උතුම් එඬේරා වශයෙන් තමාට හිමි කාර්යභාරය ගැනත් සඳහන් කරනවා. ඔහු කතා කරන පළමු බැටළු ගාල නම් මෝසෙස්ගේ නීතික ගිවිසුමට සම්බන්ධයි. මෙම නීතිය වැටක් මෙන් ක්‍රියා කරමින් දෙවි සමඟ වූ මෙම විශේෂ ගිවිසුමට ඇතුළත් නොවූ මනුෂ්‍යයන්ගේ දූෂ්‍ය කරවන පුරුදුවලින් යුදෙව්වරුන්ව වෙන් කර තැබුවා. යේසුස් මෙසේ පැහැදිලි කරනවා. “සැබවින්ම මම ඔබට කියමි, දොරටුවෙන් බැටළු ගාලට ඇතුල් නොවී වෙන තැනකින් නැඟී එන්නා සොරෙක්ද කොල්ලකන්නෙක්ද වේ. නමුත් දොරටුවෙන් ඇතුල් වන්නා බැටළුවන්ගේ එඬේරාය.”

වෙනත් අය පැමිණ තමන් මෙසියස් හෙවත් ක්‍රිස්තුස් කියා පවසා තිබෙනවා. එහෙත් ඔවුන්ගෙන් කවරෙකුවත් යේසුස් මීළඟට විස්තර කරන සැබෑ එඬේරා නොවෙයි. “දොරටුපාලයා ඔහුට දොර හරියි. බැටළුවෝ ඔහුගේ හඬට ඇහුම්කන් දෙති. ඔහු තම බැටළුවන්ට නම් කියා හඬගසා උන්ව පිටතට ගෙන යයි. . . . උන් කිසි සේත් නාඳුනන්නෙකු පසුපස නොයති. නමුත් උන් නාඳුනන අයගේ හඬ නොදන්නා බැවින් ඔහු වෙතින් පලා යති” කියා යේසුස් පවසනවා.

පළමු ගාලේ “දොරටුපාලයා” වුණේ යොහන් බව්තීස්ත. දොරටුපාලයා වශයෙන් යොහන් යේසුස්ට දොරටුව ‘හැරියේ’ සංකේතවත් බැටළුවන්ව ගොදුරු බිම්වලට ගෙන යන තැනැත්තා ලෙස යේසුස්ව ඔවුන්ට හඳුන්වා දීමෙන්. යේසුස් විසින් නම කියා කතා කරන හා මඟ පෙන්වන මෙම බැටළුවන්ව අන්තිමේදී වෙනත් බැටළු ගාලකට ඇතුල් කරනු ලබනවා. ඔහු එය පැහැදිලි කරන්නේ මෙලෙසයි. “සැබවින්ම මම ඔබට කියමි, බැටළුවන්ගේ දොරටුව මමය.” මෙම දොරටුව අලුත් බැටළු ගාලක දොරටුවයි. යේසුස් තම ගෝලයන් සමඟ අලුත් ගිවිසුම පිහිටුවා, ඉන්පසුව එළඹෙන පෙන්තකොස්ත දිනයේදී ඔවුන් මතට ස්වර්ගයෙන් ශුද්ධාත්මය වගුරුවන විට, මෙම අලුත් බැටළු ගාලට ඔවුන්ව ඇතුල් කරනු ලබනවා.

යේසුස් තම කාර්යභාරය තවදුරටත් පැහැදිලි කරමින් පවසන්නේ මෙසේයි. “දොරටුව මමය. මා තුළින් ඇතුල්වන්නාව ගලවනු ලබන්නේය. ඔහු ඇතුලටත් පිටතටත් යන අතර, ඔහුට තණ බිම් සම්බ වන්නේය. . . . මා ඇවිත් සිටින්නේ ඔවුන්ට ජීවනය ලැබෙන පිණිසත්, එය අධික ලෙස ලැබෙන පිණිසත්ය. . . . උතුම් එඬේරා මමය. මම මාගේ බැටළුවන් හඳුනමි. මාගේ බැටළුවෝද මාව හඳුනති. එය හරියට පියාණන් මාව හඳුනන්නාක් මෙන්ද මා පියාණන්ව හඳුනන්නාක් මෙන්ද වේ. බැටළුවන් උදෙසා මම මාගේ ජීවිතය දෙන්නෙමි.”

“කුඩා රැළ, බිය නොවන්න. මන්ද, ඔබට රාජ්‍යය දීමට ඔබේ පියාණන් අනුමැතිය දී තිබේ” කියා පවසමින් යේසුස් මෑතකදී තම අනුගාමිකයන්ව සනසා තිබෙනවා. අන්තිමේදී සංඛ්‍යාවෙන් 1,44,000ක් බවට පත් වන මෙම කුඩා රැළ, මෙම නව හෙවත් දෙවන ගාල තුළට ඇතුල් වෙනවා. නමුත් යේසුස් තවදුරටත් පවසන්නේ මෙලෙසයි. “මේ ගාලට අයිති නැති වෙනත් බැටළුවන්ද මට සිටියි. මා උන්වද ගෙන ආ යුතුය. එවිට උන් මාගේ හඬට ඇහුම්කන් දෙති. මෙසේ උන් එක එඬේරෙකු යටතේ සිටින එක රැළක් වන්නෝය.”

“වෙනත් බැටළුවන්” “මේ ගාලට අයිති නැති” නිසා ඔවුන් වෙනත් ගාලකට, එනම් තුන්වන ගාලට අයිති විය යුතුයි. අන්තිමට සඳහන් කළ මෙම බැටළු ගාල් දෙකට තිබෙන ඉරණම එකිනෙකට වෙනස්. එක් ගාලක සිටින “කුඩා රැළ” ක්‍රිස්තුස් සමඟ ස්වර්ගයෙහි පාලනය කරන අතර, අනික් ගාලට අයත් “වෙනත් බැටළුවන්” පාරාදීස පොළොවක් මත සදහටම ජීවත් වෙනවා. ගාල් දෙකක සිටියත්, ඊර්ෂ්‍යාසහගත හැඟීමක්වත් අසාධාරණ ලෙස තමන් එකිනෙකාගෙන් වෙන් කර තබා තිබෙන බවක්වත් බැටළුවන්ට හැඟෙන්නේ නැහැ. මන්දයත් යේසුස් පවසන පරිදි, “උන් එක එඬේරෙකු යටතේ සිටින එක රැළක් වන්නෝය.”

උතුම් එඬේරා වන යේසුස් ක්‍රිස්තුස් තම ජීවිතය කැමැත්තෙන්ම දෙන්නේ ගාල් දෙකේම සිටින බැටළුවන් වෙනුවෙනුයි. “මාගේම කැමැත්තෙන් මම එය දෙමි. එය දීමට මට අයිතියක් තිබෙන්නා සේම එය නැවත ලැබීමටද මට අයිතියක් තිබේ. මා මේ සම්බන්ධයෙන් ආඥාව ලැබුවේ මාගේ පියාණන්ගෙනි” කියා ඔහු පවසනවා. යේසුස් මෙය පවසන විට යුදෙව්වරුන් අතරෙහි භේදයක් හටගන්නවා.

සමූහයාගෙන් බහුතරයක්ම පවසන්නේ, “ඔහුට භූතයෙකු වැහී ඔහු ඔල්මාදව සිටියි. ඔබ ඔහුට සවන් දෙන්නේ මන්ද” කියායි. එහෙත් තවත් සමහරු ප්‍රතිචාරය දක්වන්නේ මෙසේයි. “මේවා භූතාවේශ වූ මිනිසෙකුගේ කියමන් නොවේ.” ඉන්පසු, මාස කිහිපයකට පෙර ඔහු උපතෙන්ම අන්ධයෙක් වූ මිනිසෙකුව සුව කළ බව මතක් කරමින් ඔවුන් මෙසේත් පවසනවා. “භූතයෙකුට අන්ධයන්ගේ ඇස් පාදන්න පුළුවන්ද?” යොහන් 10:1-22; 9:1-7; ලූක් 12:32; එළිදරව් 14:1, 3; 21:3, 4; NW; ගීතාවලිය 37:29.

▪ කැප කිරීමේ මංගල්‍යය යනු කුමක්ද? එය පවත්වනු ලබන්නේ කවදාද?

▪ පළමු බැටළු ගාල කුමක්ද? එහි දොරටුපාලයා කවුද?

▪ දොරටුපාලයා එඬේරාට දොර අරින්නේ කෙසේද? ඉන්පසු බැටළුවන්ව ඇතුල් කරනු ලබන්නේ කුමකටද?

▪ උතුම් එඬේරාගේ ගාල් දෙකට අයත් වන්නේ කවුරුන්ද? ඔවුන් රැළවල් කීයක් බවට පත් වෙනවාද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න