82වෙනි පරිච්ඡේදය
යේසුස් නැවත වරක් යෙරුසලමට යයි
යේසුස් නැවතත් ගමින් ගමට හා නුවරින් නුවරට ගොස් උගන්වන්න පටන්ගන්නවා. පෙනෙන ආකාරයට, ඔහු සිටින්නේ යුදයේ සිට යොර්දාන් ගඟෙන් එගොඩ වූ විට තිබෙන පෙරයාව නම් දේශයේයි. නමුත් ඔහුගේ ගමනාන්තය යෙරුසලමයි.
“ස්වාමිනි, ගැලවීම ලබන්නේ ස්වල්පදෙනෙකුද” කියා එක්තරා මනුෂ්‍යයෙක් අසනවා. සමහරවිට ඔහු එසේ ඇසීමට පෙලඹෙන්නේ ගැලවීම අත් වන්නේ සීමිත සංඛ්‍යාවකට යන යුදෙව් දාර්ශනික අදහස නිසා වෙන්න ඇති. යේසුස් තම පිළිතුර මගින් ගැලවීම සඳහා අවශ්‍ය කරන දෙය ගැන කල්පනා කිරීමට ජනයාව පොලඹවනවා. “පටු දොරටුවෙන් ඇතුල් වීමට දැඩි උත්සාහයක් දරන්න [එනම්, මහත් පොරබැදීමක් කරන්න, නැතහොත් වේදනා විඳින්න]” කියා ඔහු පවසනවා.
එවැනි මහත් ආයාසයක් දැරිය යුත්තේ ඇයි කියා පැහැදිලි කරමින් “බොහෝදෙනෙකු ඇතුල් වන්න සොයන නමුත් ඔවුන්ට නොහැකි වන්නේය” කියා යේසුස් පවසනවා. ඔවුන්ට ඇතුල් වීමට නොහැකි වන්නේ ඇයි? ‘ගෙහිමියා නැඟිට දොරට අගුලු දමා තිබෙද්දී, පිටත සිටගෙන සිටින අය දොරට තට්ටු කරන්න පටන්ගෙන, “මහත්මයාණෙනි, අපට දොර අරින්න” යයි කියන නමුත් ඔහු, “ඔබ කොහේ සිට ආවේදැයි නොදනිමි. අධර්මිෂ්ඨකම් කරන සියල්ලෙනි, මා වෙතින් අහක්ව යන්න!” යයි කියන්නේය’ යනුවෙන් යේසුස් පැහැදිලි කරනවා.
පෙනෙන ආකාරයට පිටත සිටින අය පැමිණෙන්නේ තමන්ට පහසු වේලාවකදීයි. එහෙත් ඒ වන විට විවෘතව තිබුණු ප්‍රස්තාව ඔවුන්ගෙන් ගිලිහී ගොසින්. ඇතුල් වීම සඳහා යම් අපහසුතාවක් තිබුණත් ඔවුන් කලින් පැමිණිය යුතුව තිබුණා. ඇත්තෙන්ම, යෙහෝවාගේ නමස්කාරය තම ජීවිතයේ ප්‍රමුඛස්ථානයෙහි තැබීමට කල් දමන අයට අත් වන්නේ කනගාටුදායක ප්‍රතිඵලයක්!
යුදෙව්වරුන්ට සේවය කිරීම සඳහා යේසුස්ව එවනු ලැබුවත්, ගැලවීම සඳහා වූ දෙවිගේ සැපයුම පිළිගැනීමට ඔවුන්ට ඇති පුදුමාකාර ප්‍රස්තාව අල්ලාගැනීමට ඔවුන්ගෙන් වැඩිදෙනෙකු අසමත් වෙනවා. ඒ නිසා, යේසුස් පවසන්නේ ඔවුන්ව පිටතට හෙළන විට ඔවුන් අඬමින් හා දත්මිටි කමින් සිටී කියායි. අනික් අතට, “නැඟෙනහිර දෙසින් සහ බස්නාහිර දෙසින්ද උතුරෙන් සහ දකුණෙන්ද,” සියලු ජාතීන්ට අයත් “ජනයා ඇවිත්, දෙවිගේ රාජ්‍යයේ තිබෙන මේසයෙහි ඉඳගන්නෝය.”
යේසුස් තවදුරටත් මෙසේ පවසනවා. “අන්තිමයන්ව සිටින්නෝ [හෙළා දකින ලද අන්‍යජාතිකයන් මෙන්ම පීඩාවට පත් වූ යුදෙව්වරුන්] ප්‍රථමයෝද ප්‍රථමයන්ව සිටින්නෝ [ද්‍රව්‍යමය අතින් හා ආගමික අතින් අනුමැතිය ලත් යුදෙව්වරුන්] අන්තිමයෝද වන්නෝය.” ඔවුන් අන්තිමයන් වීමෙන් අදහස් කරන්නේ, එවැනි අලස, කළගුණ නොසලකන අය දෙවිගේ රාජ්‍යයෙහි කිසිසේත් නොසිටින බවයි.
දැන් පරිසිවරු යේසුස් වෙතට පැමිණ, “මෙතැනින් පිටත්ව යන්න. මන්ද හෙරොද්ට ඔබව මරන්න අවශ්‍යව තිබේ” කියා පවසනවා. එම ප්‍රදේශයෙන් යේසුස්ව පිටමං කිරීම සඳහා සමහරවිට හෙරොද්ම මෙම කටකතාව පතුරුවන්නට ඇති. යොහන් බව්තීස්තව ඝාතනය කිරීමට හවුල් වුණාක් මෙන්, දෙවිගේ තවත් අනාගතවක්තෘවරයෙකුව මැරීමට හවුල් වීමට සිදු වේයයි හෙරොද් භය වුණා විය හැකියි. එහෙත් යේසුස්, “ගොස් ඒ හිවලාට මෙසේ කියන්න. ‘බලන්න! මම අදත් හෙටත් භූතයන් දුරු කර රෝග සුව කරමි. තුන්වන දින සියල්ල සම්පූර්ණ කරන්නෙමි’” කියා පරිසිවරුන්ට පවසනවා.
එම ප්‍රදේශයේ තම සේවය අවසන් කිරීමෙන් පසු, යේසුස් යෙරුසලම වෙත නැවතත් ගමන් අරඹනවා. ඊට හේතුව පැහැදිලි කරමින් ඔහු පවසන්නේ, “අනාගතවක්තෘවරයෙකු යෙරුසලමෙන් පිටතදී මරණයට පත් කරනු ලැබීම පිළිගත හැකි දෙයක් නොවේ” කියායි. යේසුස්ව යෙරුසලමේදී මරණයට පත් කරයි කියා අපේක්ෂා කළ හැක්කේ ඇයි? අගනුවර වන්නේ යෙරුසලමයි. සාමාජිකයන් 71දෙනෙකුගෙන් යුත් සැන්හෙඩ්‍රිනය නම් වූ මහාධිකරණය පිහිටා තිබෙන්නෙත් එතැනයි. ඒ වගේම, සත්ව පූජා ඔප්පු කරනු ලබන්නෙත් එහිදීයි. ඒ නිසා, යෙරුසලමේ හැර වෙන ස්ථානයකදී “දෙවිගේ බැටළු පැටවාණෝ” මරා දැමීම සුදුසු වන්නේ නැහැ.
“යෙරුසලම, යෙරුසලම, අනාගතවක්තෘවරුන්ව මරන්නාවූ, තමන් වෙතට එවූ අයට ගල් ගසන්නාවූ නුවර—කිකිළියක් ඇගේ පැටවුන් රංචුව තම පියාපත් යටට එකතු කරගන්නාක් මෙන්, ඔබේ දරුවන්ව එකතු කරගන්න මා කී වරක් කැමති වූයෙම්ද! නමුත් ඔබ ඊට කැමති වූයේ නැත! බලන්න! ඔබේ ගෘහය ඔබට අත්හරිනු ලැබේ” කියා පවසමින් යේසුස් දුක් වෙනවා. දෙවිගේ පුත්‍රයාව ප්‍රතික්ෂේප කිරීම නිසා ජාතිය විනාශයට නියම කර තිබෙනවා!
යේසුස් යෙරුසලම වෙත ගමන් කරමින් සිටිද්දී, පරිසිවරුන්ගේ ප්‍රධානියෙක් තම නිවසට ඔහුව ආරාධනා කරනවා. එය සබත් දවසක්. ජනයා ඔහු දෙස දෙනෙත් අයාගෙනයි බලා සිටින්නේ. මන්ද අත් පාවල දියර එකතු වීමෙන් ඇති වන රෝගයක් වන දිය උදර රෝගය වැලඳුණ මිනිසෙකු එහි සිටිනවා. යේසුස් දැන් එහි සිටින පරිසිවරුන් හා නීතිය පිළිබඳව මනා දැනුමක් ඇති අයව අමතා, “සබත් දවසේදී සුව කිරීම නීත්‍යනුකූලද, නැද්ද” කියා අසනවා.
කිසිවෙක් වචනයක්වත් පවසන්නේ නැහැ. ඒ නිසා, යේසුස් එම මිනිසාව සුව කර, පිටත් කර යවනවා. ඉන්පසු ඔහු මෙසේ අසනවා. “සබත් දවසේදී තම පුත්‍රයා හෝ ගොනා හෝ ළිඳකට වැටුණු වහාම, ගොස් ඔහුව හෝ ඌව පිටතට ඇද නොගන්නේ ඔබ අතරෙන් කවරෙකුද?” නැවතත් කිසිවෙකු පිළිතුරු දෙන්නේ නැහැ. ලූක් 13:22–14:6; යොහන් 1:29; NW.
▪ ගැලවීම සඳහා අවශ්‍ය වන්නේ කුමක් කියාද යේසුස් පෙන්වන්නේ? බොහෝදෙනෙකු පිටත සිටින්නේ ඇයි?
▪ ප්‍රථමයෝ බවට පත් වන “අන්තිමයන්” කවුරුන්ද? අන්තිමයෝ බවට පත් වන “ප්‍රථමයන්” කවුරුන්ද?
▪ යේසුස්ව මැරීමට හෙරොද්ට වුවමනාය කියා පැවසීමට හේතුව කුමක් විය හැකිද?
▪ යෙරුසලමෙන් පිටතදී අනාගතවක්තෘවරයෙකු විනාශ කිරීම සුදුසු නොවන්නේ ඇයි?