79වෙනි පරිච්ඡේදය
ජාතියක් අත්හරිනු ලැබුවද සියල්ලන්වම නොවේ
පරිසිවරයෙකුගේ නිවස ළඟ එක්රැස්ව සිටි අයත් සමඟ යේසුස් කතා කර වැඩි වේලාවක් ගත වෙන්න කලින්, “[රෝම ආණ්ඩුකාර පොන්තියුස්] පිලාත් ගලීලයන්ගේ ලේ ඔවුන්ගේම පූජා හා මිශ්‍ර කළ” බව ඇතැම් අය ඔහුට පවසනවා. යෙරුසලමට ජලය සැපයීම සඳහා වාරි මාර්ගයක් තැනීමට පිලාත් දේවමාලිගා භාණ්ඩාගාරයේ මුදල් භාවිත කිරීම ගැන විරෝධය දැක්වූ යුදෙව්වරුන් දහස් ගණනක්ව ඝාතනය කරනු ලැබුවා. සමහරවිට මොවුන් ඒ ගලීලයන් වෙන්නට ඇති. සමහරවිට, මෙම කාරණය යේසුස්ට පවසන අය අඟවමින් සිටිනවා ඇත්තේ, ඒ ගලීලයන්ගේම දුෂ්ට ක්‍රියා නිසා ඔවුන්ට එම විපත සිදු වූ බවයි.
එහෙත් යේසුස් ඔවුන්ගේ වැරදි මතය නිවැරදි කරමින් මෙසේ අසනවා. “ඒ ගලීලයන් ඒ දේ අත් දුටු හෙයින් ඔවුන් අන් සියලු ගලීලයන්ට වඩා පව්කාරයන්ව සිටි බව ඔප්පු වුණේයයි ඔබ සිතනවාද?” ඉන්පසු, ඔහු පිළිතුරු දෙන්නේ, “කිසි සේත් එසේ නොවේ” කියායි. ඒ වගේම, එම සිද්ධිය ප්‍රයෝජනයට ගනිමින් ඔහු යුදෙව්වරුන්ට මෙසේ අවවාද කරනවා. “ඔබ පසුතැවිලි නොවන්නහු නම්, ඔබ සැමෝමත් එලෙසම විනාශ වන්නෝය.”
සමහරවිට එම වාරි මාර්ග ඉදි කිරීමට සම්බන්ධ වුණා විය හැකි ඒ පළාතේ සිදු වූ තවත් විපතක් යේසුස් මතක් කර දෙනවා. ඔහු මෙසේ අසනවා. “නැතහොත් සිලෝම්හි ටැඹ වැටී, ඊට යට වී මරණයට පත් වූ දසඅටදෙනා, යෙරුසලමේ වසන අන් සියලුම මිනිසුන්ට වඩා පව්කාරයන්ව සිටි බව ඔප්පු වුණේයයි ඔබ සිතනවාද?” නැහැ, ඔවුන් මිය ගියේ ඔවුන්ගේ දුෂ්ටකම නිසා නොවේ කියා යේසුස් පැහැදිලි කරනවා. ඒ වෙනුවට, එවැනි විපත්ති සඳහා සාමාන්‍යයෙන් හේතු වන්නේ ‘කාලයත් හදිසි කාරණාත්.’ එහෙත්, නැවත වරක් අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන ඔහු ඔවුන්ට මෙසේ අවවාද කරනවා. “ඔබ පසුතැවිලි නොවන්නහු නම්, ඔබ සැමෝමත් එලෙසම විනාශ වන්නෝය.”
යේසුස් ඊළඟට ඔබින උපමාවක් මෙලෙස විස්තර කරනවා. “එක්තරා මිනිසෙක් තම මිදිවත්තේ අත්තික්කා ගසක් සිටෙව්වේය. එහි පල තිබේදැයි බැලීමට ඔහු පැමිණි නමුත් ඔහුට එකක්වත් සම්බ නොවීය. එවිට ඔහු මිදිවත්තේ වැඩ කරන්නා අමතා, ‘මා දැන් අවුරුදු තුනක්ම මේ අත්තික්කා ගසේ පල සොයා ආ නමුත් මට එකක්වත් සම්බ නොවීය. එය කපා දමන්න! එය නිසා පොළොවෙන් කිසි ප්‍රයෝජනයක් නොගන්නේ ඇයි?’ කියා ඇසීය. වැඩ කරන්නා ඔහුට මෙසේ උත්තර දුන්නේය: ‘ස්වාමිනි, මා එය වට කර හාරා පොහොර දමන තෙක් මේ අවුරුද්දෙත් එය තිබෙන්න ඉඩහරින්න. එය අනාගතයේදී පල දැරුවොත් හොඳය. නැත්නම් ඔබ එය කපා දමන්න.’”
යුදෙව් ජාතිය අතරෙහි ඇදහිල්ල වර්ධනය කිරීමට යේසුස් වසර තුනකට වඩා වැඩි කාලයක් උත්සාහ කර තිබෙනවා. එහෙත් ඔහුගේ ශ්රමයට ලැබුණු පලදාව වශයෙන් ගණන් ගත හැක්කේ ගෝලයන් සීයක් දෙසීයක් වැනි සුළු පිරිසක් පමණයි. දැන්, තම සේවාවේ මෙම සතරවන අවුරුද්දේදී, ඔහු තමා දරන උත්සාහය තව තවත් වැඩි කරනවා. යුදයේ සහ පෙරයාවෙහි ජ්වලිතව දේශනා කිරීමෙන් හා ඉගැන්වීමෙන් ඔහු සංකේතවත් ලෙස යුදෙව් අත්තික්කා ගස වටා හාරමින් හා පෝර දමමින් සිටිනවා. එහෙත් ඉන් කිසිදු ප්‍රයෝජනයක් නැහැ! එම ජාතිය පසුතැවිලි වීම ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා, ඔවුන්ට නියම වී ඇත්තේ විනාශයයි. ඔහුට ප්‍රතිචාරය දක්වන්නේ එම ජාතියට අයත් අතළොස්සක් පමණයි.
එයින් දවස් කීපයකට පසු යේසුස් සබත් දවසකදී සිනගෝගයක උගන්වනවා. එහිදී, භූතයෙකු අතින් හිරිහැර විඳීම නිසා 18 අවුරුද්දක් කුදුව සිටින ස්ත්‍රියක්ව ඔහුගේ නෙත ගැටෙනවා. යේසුස් දයානුකම්පිත ලෙස ඇයව අමතමින්, “ස්ත්‍රිය, ඔබේ දුර්වලකමින් ඔබව නිදහස් කර තිබේ” කියා පවසනවා. එවිට ඔහු ඇය පිට අත් තබන අතර සැණෙකින් ඇය කෙළින් වී දෙවිට ප්‍රශංසා කිරීමට පටන්ගන්නවා.
එහෙත්, සිනගෝගයේ මුලසුන භාර නිලධාරියාට නම් කේන්ති යනවා. “වැඩ කිරීමට දවස් හයක් ඇත. ඒ නිසා සබත් දවසේදී නොව, ඒ දවස්වල ඇවිත් සුව කරගන්න” කියා ඔහු විරෝධය පළ කරනවා. මෙලෙස, සුව කිරීමට යේසුස්ට බලය ඇති බව නිලධාරියා පිළිගන්නා නමුත් මිනිසුන් සබත් දවසේදී සුවය ලබාගැනීමට පැමිණීම ඔහු හෙළා දකිනවා!
යේසුස් පිළිතුරු දෙන්නේ මෙසේයි. “කුහකයෙනි, සබත් දවසේදී ඔබ සැමෝම, තමාගේ ගොනා හෝ බූරුවා හෝ ගාලෙන් ලිහා ඌට වතුර පොවන්න ගෙන යන්නේ නැද්ද? එසේනම්, බලන්න! අවුරුදු දහඅටක් පුරා සාතන් විසින් බැඳ සිටි, ආබ්‍රහම්ගේ දියණියක් වන මේ ස්ත්රියව සබත් දවසේදී මේ බැම්මෙන් නිදහස් කළ යුතුව තිබුණා නොවේද?”
මෙය ඇසූ විට, යේසුස්ට විරෝධය දැක්වූ අය ලජ්ජාවට පත් වෙනවා. එහෙත් යේසුස් කරන තේජාන්විත දේවල් සියල්ල දැක සමූහයා ප්‍රීති උද්දාමයට පත් වෙනවා. ඊට ප්‍රතිචාරයක් වශයෙන්, යේසුස් වසරකට පමණ කලින් ගලීල මුහුදේදී බෝට්ටුවක ඉඳන් කියා දුන් දෙවිගේ රාජ්‍යය පිළිබඳ අනාවැකිමය උපමා දෙකක් දැන් නැවතත් කියා දෙනවා. ලූක් 13:1-21, NW; දේශනාකාරයා 9:11; මතෙව් 13:31-33, NW.
▪ මෙහි සඳහන් වන විපත්ති කවරේද? යේසුස් ඒවායෙන් උගන්වන පාඩම කුමක්ද?
▪ පල නොදරන අත්තික්කා ගස සහ එය පල දරන තත්වයට පත් කිරීමට ගන්නා උත්සාහය පිළිබඳ උපමාව කුමකට සමාන කළ හැකිද?
▪ යේසුස්ගේ සුව කිරීමේ හැකියාව මුලසුන භාර නිලධාරියා පිළිගන්නේ කෙසේද? නමුත් ඔහුගේ කුහකකම යේසුස් හෙළි කරන්නේ කෙසේද?