75වෙනි පරිච්ඡේදය
සන්තෝෂයේ උල්පත
ගලීලයෙහි සේවය කරද්දී යේසුස් ප්‍රාතිහාර්යයන් සිදු කළා. දැන් ඔහු යුදයේද එවැනිම ප්‍රාතිහාර්යයන් සිදු කරනවා. උදාහරණයක් ගෙනහැර දැක්වුවොත්, එක්තරා මනුෂ්‍යයෙකුව ගොළුවෙකු බවට පත් කර තිබූ භූතයෙකුව ඔහු දුරු කරනවා. මෙය දැක සෙනඟ මවිතයට පත් වුණත්, ඒ දෙස වපර ඇහෙන් බලන අය ගලීලයේ අය හා සමානව විරෝධය පානවා. “ඔහු භූතයන් දුරු කරන්නේ භූතයන්ගේ පාලකයා වන බෙල්සෙබුබ් මාර්ගයෙන්ය” කියා ඔවුන් පවසනවා. තවත් අය යේසුස්ගේ අනන්‍යතාව ඔප්පු කිරීමට තවත් සාක්ෂි ඉල්ලන අතර, අහසෙන් ලකුණක් ඉල්ලමින් ඔහුව පරීක්ෂා කිරීමට වෑයම් කරනවා.
ඔවුන් කල්පනා කරමින් සිටින දේ දැන සිටින යේසුස් යුදයේ සිටින ඔහුගේ විවේචකයන්ට ගලීලයේ අයට දුන් පිළිතුරම දෙනවා. යම් රාජ්‍යයක් තුළ භේද ඇත්නම් එය පාළු වන බව ඔහු පවසනවා. “එබැවින් සාතන් තමන්ටම විරුද්ධව භේද වී සිටින්නේ නම්, ඔහුගේ රාජ්‍යය පවතින්නේ කෙසේද” කියා ඔහු අසනවා. ඔහුව විවේචනය කරන අය කොතරම් භයානක තත්වයක සිටිනවාද යන්න පැහැදිලි කරමින් ඔහු මෙසේ පවසනවා. “මා භූතයන් දුරු කරන්නේ දෙවිගේ ඇඟිල්ල මාර්ගයෙන් නම්, සැබවින්ම දෙවිගේ රාජ්‍යය ඔබෙන් ගිලිහී ගොස් ඇත.”
යේසුස්ගේ ප්‍රාතිහාර්යයන් දකින අය ප්‍රතිචාරය දැක්විය යුත්තේ මීට සියවස් ගණනකට පෙර මෝසෙස් ප්‍රාතිහාර්යයක් සිදු කරනවා දුටු අය ප්‍රතිචාරය දැක්වුවා හා සමානවයි. ඔවුන් පැවසුවේ “මේක දෙවිගේ ඇඟිල්ල” කියායි. ගල්ලෑලි මත දස පනත ලියනු ලැබුවේත් “දෙවිගේ ඇඟිල්ල මාර්ගයෙන්.” එලෙසම භූතයන් දුරු කිරීමට හා රෝගීන් සුව කිරීමට යේසුස්ට හැකියාව ලබා දෙන්නෙත් ‘දෙවිගේ ඇඟිල්ලයි.’ එසේත් නැත්නම් ඔහුගේ ශුද්ධාත්ම බලය හෙවත් ක්‍රියාකාරී බලයයි. දෙවිගේ රාජ්‍යයේ නියම කරන ලද රජු ඔවුන් අතරේම සිටින නිසා, දෙවිගේ රාජ්‍යය ඇත්ත වශයෙන්ම මෙම විවේචකයන්ගෙන් ගිලිහී ගොස් පැමිණ තිබෙනවා.
භූතයන් දුරු කිරීමට ඇති තම හැකියාව, සාතන් කෙරෙහි තමාට බලය ඇති බවට සාක්ෂියක් බව යේසුස් ඊළඟට නිදර්ශනයකින් පෙන්නුම් කරනවා. එය හරියට තමාගේ මන්දිරය රැකවල් කරමින් සිටින හොඳින් සන්නද්ධ වූ මනුෂ්‍යයෙකුව වඩාත් බලවත් මිනිසෙකු පැමිණ යටත් කරගැනීම හා සමානයි. ඒ වගේම, ඔහු නැවත වරක් අශුද්ධ ආත්මයක් පිළිබඳව ගලීලයේදී පැවසූ උපමාව සඳහන් කරනවා. එම ආත්මය තමා ආවේශ වී සිටි මිනිසෙකුව අත්හැර යනවා. නමුත් එම මිනිසා යහපත් දේවලින් එම අඩුව පුරවාගන්නේ නැති නිසා එම ආත්මය තවත් සත්දෙනෙකු කැටුව ආපසු පැමිණෙනවා. ඊට පස්සේ, එම මිනිසාගේ තත්වය මුල් තත්වයට වඩා දරුණු වෙනවා.
මෙම ඉගැන්වීම්වලට සෙනඟ සවන් දෙමින් සිටිද්දී, ඔවුන් මැද සිටින එක්තරා ස්ත්‍රියක් ශබ්ද නඟා මෙසේ පවසනවා. “ඔබව දැරූ කුසද ඔබට කිරි දුන් පියයුරුද සන්තෝෂවත්ය!” සෑම යුදෙව් ස්ත්‍රියකගේම ආශාව වන්නේ අනාගතවක්තෘවරයෙකුගේ සහ විශේෂයෙන්ම මෙසියස්ගේ මව වෙන්නයි. ඒ නිසා, මෙම ස්ත්‍රිය මෙසේ පැවසීමට හේතුව තේරුම්ගත හැකියි. මරියා යේසුස්ගේ මව වන නිසා ඇයට විශේෂයෙන්ම සන්තෝෂ විය හැකි බව මෙම ස්ත්‍රිය කල්පනා කරන්න ඇති.
නමුත්, සැබෑ සන්තෝෂයේ උල්පත සම්බන්ධයෙන් යේසුස් ඉක්මනින්ම ස්ත්‍රියව නිවැරදි කරනවා. ඔහු පිළිතුරු දෙන්නේ මෙලෙසයි. “එසේ නොව, දෙවිගේ වචනය අසා එය පවත්වන අය සන්තෝෂවත්ය!” ඔහුගේ මව වන මරියාට විශේෂ ගෞරවයක් දිය යුතු බවක් යේසුස් කොයිම අවස්ථාවකදීවත් ඇඟෙව්වේ නැහැ. ඊට වෙනස්ව, ඔහු පෙන්වූයේ සැබෑ සන්තෝෂය ලැබෙන්නේ යම් මාංසික සබඳතා හෝ සමර්ථ වීම්වලින් නොව, නමුත් දෙවිගේ විශ්වාසවන්ත සේවකයෙකු වීමෙන් බවයි.
යේසුස් ගලීලයේදී කළාක් මෙන්, ස්වර්ගයෙන් ලකුණක් ඉල්ලීම ගැන යුදයේ මනුෂ්‍යයන්ටත් ඔහු තරවටු කරනවා. ඔහු පවසන්නේ යෝනාගේ ලකුණ හැර වෙන කිසිදු ලකුණක් ඔවුන්ට නොදෙන බවයි. මත්ස්‍යයාගේ බඩ තුළ දවස් තුනක් සිටීමෙන් හා නිනිවයේ මනුෂ්‍යයන්ට පසුතැවිලි වීමට මඟ පෑදූ ඔහුගේ නිර්භීත දේශනා කිරීමෙන් යෝනා ලකුණක් බවට පත් වුණා. “නමුත් බලන්න! යෝනාටත් වඩා උතුම් කෙනෙක් මෙහි සිටියි” කියා යේසුස් පවසනවා. ඒ හා සමානව, ෂෙබායේ බිසවද සලමොන්ගේ ප්‍රඥාව ගැන පුදුමයට පත් වුණා. “නමුත් බලන්න! සලමොන්ටත් වඩා උතුම් කෙනෙක් මෙහි සිටියි” කියාත් යේසුස් පවසනවා.
යමෙක් පහනක් දල්වා, ජනයාට එළිය ලැබෙන පිණිස එය පහන් රුකක් මත තබනවා මිස, ගබඩාවක තබන්නේවත් බඳුනකින් එය වසන්නේවත් නැති බව යේසුස් පැහැදිලි කරනවා. ඔහුට සවන් දෙන්නන් අතරේ සිටින මෙම මුරණ්ඩු මනුෂ්‍යයන් ඉදිරියෙහි ඉගැන්වීම හා ප්‍රාතිහාර්යයන් කිරීම හරියට පහනක එළිය සඟවා තැබීමකට සමාන බව ඔහු සමහරවිට පෙන්වා දෙනවා විය හැකියි. යේසුස්ගේ ප්‍රාතිහාර්යයන් දෙස බලා සිටින එවැනි අයගේ ඇස් සරල නැහැ. ඒවා නිසි ලෙස නාභිගත කර නැහැ. ඒ නිසා, ප්‍රාතිහාර්යයන් සිදු කිරීමෙන් අපේක්ෂා කරන අරමුණ ඉටු නොවෙයි.
යේසුස් මේ දැන් භූතයෙකු දුරු කර, ගොළු මනුෂ්‍යයෙකුට කතා කිරීමේ හැකියාව ලබා දුන්නා. සරල ඇසක් එනම්, නිසි ලෙස නාභිගත කළ ඇස් ඇති මනුෂ්‍යයන් මෙම පුදුමාකාර ක්‍රියාව ප්‍රශංසාවට ලක් කිරීමටත් ශුභාරංචිය ප්‍රකාශ කිරීමටත් පෙලඹිය යුතුයි! නමුත් මෙම විවේචකයන් තුළ එවැනි පෙලඹවීමක් ඇති නොවෙයි. ඒ නිසා, යේසුස් මෙසේ අවසන් කරනවා. “එහෙයින් සෝදිසියෙන් සිටින්න. සමහරවිට ඔබ තුළ තිබෙන ආලෝකය අඳුරක් විය හැක. එබැවින් ඔබේ ශරීරයේ කිසිම කොටසක් අඳුරු නොවී සියල්ල දීප්තිමත් වේ නම්, පහනක් එහි කිරණවලින් ආලෝකය දෙන්නාක් මෙන් එයද දීප්තිමත් වන්නේය.” ලූක් 11:14-36, NW; නික්මයාම 8:18, 19; 31:18; මතෙව් 12:22, 28, NW.
▪ යේසුස් මනුෂ්‍යයාව සුව කළ විට ලැබෙන ප්‍රතිචාරය කුමක්ද?
▪ “දෙවිගේ ඇඟිල්ල” යනු කුමක්ද? දෙවිගේ රාජ්‍යය යේසුස්ගේ සවන් දෙන්නන්ගෙන් ගිලිහී ගොස් ඇත්තේ කිනම් අර්ථයෙන්ද?
▪ සැබෑ සන්තෝෂයේ උල්පත කුමක්ද?
▪ පුද්ගලයෙකුට සරල ඇසක් තබාගත හැක්කේ කෙසේද?