74වෙනි පරිච්ඡේදය
මාර්තාට උපදෙස් සහ යාච්ඤා කිරීම සඳහා මඟ පෙන්වීම්
යේසුස් යුදයේ සේවය කරන අතරතුරේදී, බෙතානිය නම් ගමට පැමිණෙනවා. මාර්තා, මරියා හා ඔවුන්ගේ සහෝදර ලාසරුස් ජීවත් වන්නේ මෙම ගමෙයි. සමහරවිට මීට කලින් තම දේවසේවය තුළදී යේසුස්ට මෙම තිදෙනාව මුණගැසුණා විය හැකියි. ඒ නිසා, ඔහු දැනටමත් ඔවුන්ගේ කිට්ටු මිතුරෙක් වී සිටිනවායයි සිතිය හැකියි. ඒ කොහොම වුණත්, යේසුස් දැන් මාර්තාගේ නිවසට යන අතර, ඇය උණුසුම් ලෙස ඔහුව පිළිගන්නවා.
මාර්තා ඉමහත් ආශාවෙන් සිටින්නේ තමාට හැකි හොඳම ආකාරයෙන් යේසුස්ට සංග්‍රහ කිරීමටයි. පොරොන්දු කරන ලද මෙසියස් යමෙකුගේ නිවසට පැමිණීම ඉමහත් ගෞරවයට හේතුවක් බවට කිසිදු සැකයක් නැහැ! ඒ නිසා, මාර්තා, ප්‍රණීත ආහාර වේලක් සූදානම් කිරීමට පටන්ගන්නවා. ඒ වගේම, යේසුස් ඇගේ නිවසේ ගත කරන කාලය වඩාත් ප්‍රීතිමත් හා සැප පහසු එකක් කිරීම සඳහා වෙනත් කාරණා බොහොමයක්ද ඇය බලාකියා ගන්නවා.
අනික් අතට, මාර්තාගේ සහෝදරිය වන මරියා යේසුස්ගේ පාද ළඟ හිඳගෙන ඔහුට සවන් දෙනවා. ටික වේලාවකට පසු මාර්තා පැමිණ, “ස්වාමිනි, මාගේ සහෝදරිය වැඩ කටයුතු මා පිටම දමා තිබෙන එක ගැන ඔබට ගානක් නැද්ද? මට උදව් කරන්න කියා ඇයට කියන්න” යයි පවසනවා.
එහෙත් යේසුස් මරියාට කිසිවක් කියන්නේ නැහැ. ඒ වෙනුවට, ද්‍රව්‍යමය දේවල්වලට වුවමනාවට වඩා අවධානයක් දීම ගැන ඔහු මාර්තාට උපදෙස් දෙනවා. “මාර්තා, මාර්තා, ඔබ බොහෝ දේවල් ගැන කරදර වී නොසන්සුන්ව සිටින්නෙහිය. අවශ්‍යව තිබෙන්නේ කීපයක් පමණි. නැත්නම් එක දෙයකි” කියා ඔහු කාරුණික ලෙස ඇයට අවවාද කරනවා. යේසුස් පවසමින් සිටින්නේ බොහෝ වේලාවක් ගත කරමින් ආහාර වේලක් සඳහා කෑම ජාති බොහොමයක් සූදානම් කිරීම අනවශ්‍ය බවයි. කෑම ජාති දෙකක්, නැතිනම් එකක් ප්‍රමාණවත්.
මාර්තාගේ චේතනාව හොඳයි. ඇයට අවශ්‍ය වන්නේ ඉහළින්ම ආගන්තුක සත්කාරය පෙන්වන්නයි. එහෙත්, ද්‍රව්‍යමය සැපයුම්වලට දැඩි අවධානයක් යොමු කිරීම නිසා, දෙවිගේ පුත්‍රයාගෙන් පෞද්ගලිකව උපදෙස් ලැබීමට ඇති ප්‍රස්තාව ඇයට අහිමි වෙමිනුයි තිබෙන්නේ! ඒ නිසා, “මරියා යහපත් කොටස තෝරාගත්තාය. එය ඇගෙන් පැහැරගනු නොලැබේ” කියා පවසමින් යේසුස් සංවාදය අවසන් කරනවා.
පසුව, වෙනත් අවස්ථාවකදී ගෝලයෙක් යේසුස්ගෙන් මෙසේ ඉල්ලා සිටිනවා. “ස්වාමිනි, යොහන් ඔහුගේ ගෝලයන්ට ඉගැන්වූවාක් මෙන්, යාච්ඤා කරන්නේ කෙසේද කියා අපටත් උගන්වන්න.” මීට වසර එකහමාරකට පමණ පෙර යේසුස් තම කන්ද උඩ දේශනාවේදී ආදර්ශ යාච්ඤාව දුන් විට, මෙම ගෝලයා සමහරවිට එතැන නොසිටියා විය හැකියි. ඒ නිසා, යේසුස් තම උපදෙස් නැවතත් සඳහන් කර, නොකඩවා යාච්ඤා කිරීමේ ඇති අවශ්‍යතාව අවධාරණය කිරීමට උපමාවක් කියනවා.
යේසුස් එය ආරම්භ කරන්නේ මෙසේ පවසමිනුයි. “ඔබ අතරේ යමෙක් මධ්‍යම රාත්රියේදී මිත්‍රයෙකු වෙතට ගොස්: ‘මිත්‍රය, මට රොටි තුනක් ණයට දෙන්න. මන්ද, ගමනක් යන මාගේ මිතුරෙක් මේ දැන් මා වෙතට ඇවිත් සිටී. ඔහුට දෙන්න මා ළඟ කිසිවක් නැත’ යයි කියන්නේ නම්, ඒ තැනැත්තා ගේ ඇතුලේ සිට උත්තර දෙමින්, ‘මට කරදර කරන්න එපා. දැනටමත් දොරේ අගුලු දමා තිබේ. මගේ කුඩා දරුවෝද මා සමඟ ඇඳේ නිදා සිටිති. නැඟිට ඔබට කිසිවක් දෙන්න මට පුළුවන්කමක් නැත’ යයි කියන්නේය. ඔහු තම මිත්‍රකම සලකා නැඟිට ඔහුට කිසිවක් නොදෙතත්, ඔහුගේ එඩිතර අඛණ්ඩ උත්සාහය නිසා නැඟිට ඔහුට අවශ්‍ය සියල්ල දෙන්නේයයි මම ඔබට කියමි.”
මෙම සැසඳීමෙන් යේසුස් අදහස් කරන්නේ මෙම කතන්දරයේ මිත්‍රයා මෙන්, කන්නලව්වලට ප්‍රතිචාරය දැක්වීමට යෙහෝවා දෙවි අකමැත්තෙන් සිටින බව නොවෙයි. නමුත් ඔහු පැහැදිලි කරමින් සිටින්නේ, උදව්වක් කිරීමට අකමැත්තෙන් සිටින මිත්‍රයෙකු පවා අඛණ්ඩව කරන කන්නලව්වලට ප්‍රතිචාරය දක්වනවා නම්, අපගේ ප්‍රේමණීය ස්වර්ගික පියා ඊට වඩා කොපමණ වැඩියෙන් එසේ කරාවිද යන්නයි! එහෙයින් යේසුස් තවදුරටත් මෙලෙස පවසයි. “මම ඔබට කියමි, නොකඩවා ඉල්ලන්න. එවිට ඔබට දෙනු ලැබේ. නොකඩවා සොයන්න. එවිට ඔබට සම්බ වේ. නොකඩවා තට්ටු කරන්න. එවිට ඔබට [එය] විවෘත කර දෙනු ලැබේ. මන්ද, ඉල්ලමින් සිටින සියල්ලන්ට ලැබේ. සොයමින් සිටින සියල්ලන්ට සම්බ වේ. තට්ටු කරමින් සිටින සියල්ලන්ට [එය] විවෘත කර දෙනු ලැබේ.”
ඊළඟට යේසුස් අසම්පූර්ණ, පව්කාර මනුෂ්‍ය පියවරුන් ගැන සඳහන් කරමින් කියන්නේ මෙසේයි. “තමාගේ පුත්‍රයා මාළුවෙකු ඉල්ලුවොත්, මාළුවා වෙනුවට සර්පයෙකු දෙන්නේ ඔබ අතරෙන් කවර පියෙක්ද? නැත්නම්, ඔහු බිත්තරයක් ඉල්ලුවොත් ඔහුට ගෝනුස්සෙක් දෙයිද? එබැවින්, ඔබ දුෂ්ට වුවත්, ඔබේ දරුවන්ට හොඳ තෑගි දෙන්නේ කෙසේද කියා ඔබ දන්නවා නම්, ස්වර්ගයෙහි සිටින පියාණන්, තමන්ගෙන් ඉල්ලන්නන්ට ඊටත් වඩා කොපමණ වැඩියෙන් ශුද්ධාත්මය දෙන්නේ නැද්ද?” ඇත්තෙන්ම, නොකඩවා යාච්ඤා කිරීම සම්බන්ධයෙන් යේසුස් ලබා දෙන්නේ මොන තරම් පොලඹවනසුලු දිරිගැන්වීමක්ද! ලූක් 10:38–11:13, NW.
▪ යේසුස් වෙනුවෙන් මාර්තා ගොඩක් දේවල් සූදානම් කරන්නේ ඇයි?
▪ මරියා කරන්නේ කුමක්ද? යේසුස් මාර්තාට ප්‍රශංසා නොකර මරියාට ප්‍රශංසා කරන්නේ ඇයි?
▪ යාච්ඤාව පිළිබඳ තම උපදෙස් නැවතත් පැවසීමට යේසුස් පෙලඹෙන්නේ කුමක් නිසාද?
▪ යාච්ඤාවෙහි නොකඩවා යෙදීමේ ඇති අවශ්‍යතාව යේසුස් පැහැදිලි කරන්නේ කොහොමද?