76වෙනි පරිච්ඡේදය
පරිසිවරයෙකු සමඟ කෑම වේලක් ගැනීම
කතා කිරීමට නොහැකි මනුෂ්‍යයෙකුව සුව කිරීමට ඔහුට බලය ලැබුණේ කුමන උල්පතකින්ද යන්න ගැන ප්‍රශ්න කළ විවේචකයන්ට යේසුස් පිළිතුරු දුන් පසු, පරිසිවරයෙක් යේසුස්ට ආරාධනා කරනවා කෑමකට එන්න කියා. කෑම ගැනීමට පෙර, පරිසිවරුන් වැලමිට දක්වා අත් සේදීම නමැති චාරිත්‍රයෙහි යෙදෙනවා. ආහාර ගැනීමට පෙරත් ඉන්පසුවත් ඒ අතරතුරේදීත් ඔවුන් මෙසේ කරනවා. මෙම සම්ප්රදායේ යෙදීමෙන් දෙවිගේ ලිඛිත නීතිය උල්ලංගනය නොවුණත්, එය පිරිසිදුකම පිළිබඳව දෙවි නියම කර තිබෙන දේ ඉක්මවා යනවා.
යේසුස් එම සම්ප්රදාය නොපවත්වන විට, පරිසිවරයා පුදුමයට පත් වෙනවා. සමහරවිට, ඔහු පුදුමයට පත් වූ බවක් වාචිකව ඇඟෙව්වේ නැතත් යේසුස් එය වටහාගන්නවා. “පරිසිවරුනි, ඔබ කුසලානයත් දීසියත් පිටතින් පවිත්‍ර කරන නමුත් ඔබේ ඇතුලත කොල්ලකෑමෙනුත් දුෂ්ටකමිනුත් පිරී තිබේ. අසාධාරණ තැනැත්තෙනි! පිට පැත්ත සෑදූ තැනැත්තාම ඇතුල් පැත්තත් සෑදුවා නොවේද?”
යේසුස් එසේ පවසමින් හෙළි කරන්නේ චාරිත්‍රානුකූලව අත් සෝදන නමුත් තම හදවත්වලින් දුෂ්ටකම සෝදා නොහරින පරිසිවරුන්ගේ කුහකකමයි. යේසුස් දැන් මෙසේ උපදෙස් දෙනවා. “එසේනම්, ඔබ දයාන්විත ලෙස කරන පරිත්‍යාග ඔබේ ඇතුලත තිබෙන දෙයින්ම දෙන්න. එවිට, බලන්න! ඔබ අන් සියලු දේ සම්බන්ධයෙන් පවිත්‍ර වන්නහුය.” යමක් දීමට ඔවුන්ව පෙලඹවිය යුත්තේ ප්‍රේමණීය හදවතක් මිසක බොරු ධර්මිෂ්ඨකමක් අඟවමින් අන්‍යයන්ගේ සිත් ඇදගැනීමට තිබෙන ආශාව නොවෙයි.
යේසුස් තවදුරටත් මෙසේ පවසයි. “පරිසිවරුනි, ඔබට දුක් වේ. මන්ද ඔබ සුවඳ තලාවලින්ද අරුදුවලින්ද අන් සියලුම පලා ගස්වලින්ද දසයෙන් කොටස දෙන නමුත්, ඔබ යුක්තියද දෙවි කෙරෙහි ප්‍රේමයද මඟහරින්නහුය! මේවා පිළිපදින්න ඔබ බැඳී සිටින්නහුය. නමුත් අනෙක් දේවල්ද අත්නෑර ඉටු කළ යුතුය.” කෙතේ පලදාවෙන් දසයෙන් කොටසක් දීමට දෙවිගේ නීතියෙන් ඊශ්‍රායෙල්වරුන්ට නියම වී තිබුණා. සුවඳ තලා සහ අරුදු, ආහාර රසවත් කිරීම සඳහා යොදාගනු ලබන කුඩා පැළෑටි. ඒ තරම් වැදගත්කමක් නැති මේ පැළෑටිවලින් පවා දසයෙන් කොටසක් පරිසිවරුන් නොවරදවාම ගෙවනවා. නමුත් ප්‍රේමය දැක්වීම, කරුණාව පෙන්වීම හා නිහතමානී ලෙස හැසිරීම වැනි වඩා වැදගත් නියමයන් නොසලකා හැරීම ගැන යේසුස් ඔවුන්ව හෙළා දකිනවා.
තවදුරටත් ඔවුන්ව හෙළා දකිමින් යේසුස් පවසන්නේ මෙසේයි. “පරිසිවරුනි, ඔබට දුක් වේ. මන්ද, සිනගෝගවලදී ඉදිරි ආසනවලටද වෙළඳපොළවලදී ආචාර ලැබීමටද ඔබ ආශා වන්නහුය! ඔබට දුක් වේ. මන්ද ඔබ, නොපෙනෙන සොහොන් ගෙවල් මෙනි. මිනිස්සු ඒවා ඇති බව නොදැන ඒ මත ඇවිදිති!” ඔවුන්ගේ අපවිත්‍රකම බැලූ බැල්මට පෙනෙන්නේ නැහැ. පරිසිවරුන්ගේ ආගමට පිටාතර ඔපයක් තිබුණත් අභ්‍යන්තර වටිනාකමක් නැහැ! එය පදනම් වන්නේ කුහකකම මතයි.
දෙවිගේ නීතිය ගැන හසළ දැනුමක් තිබෙන නීතිඥවරයෙක් එම හෙළා දැකීම අසා මෙසේ පැමිණිලි කරනවා. “ගුරුතුමෙනි, ඔබ මේ දේවල් කීමෙන් අපටත් නින්දා කරන්නෙහිය.”
නීතිය පිළිබඳව හසළ දැනුමක් තිබෙන මොවුන්ද ගණන් දිය යුතු බව යේසුස් පවසන්නේ මෙහෙමයි. “නීතිය ගැන මනා දැනුමක් ඇති තැනැත්තෙනි, ඔබටත් දුක් වේ. මන්ද, උසුලන්න අමාරු බර ඔබ මිනිසුන් පිට පටවන නමුත් ඒ බරට ඔබේ ඇඟිල්ලක්වත් තබන්නේ නැත! ඔබට දුක් වේ. මන්ද, ඔබ අනාගතවක්තෘවරුන්ගේ සොහොන් ගෙවල් ගොඩනඟන්නහුය. නමුත් ඔවුන්ව මරණයට පත් කළේ ඔබේම මුතුන්මිත්තන්ය!”
යේසුස් මෙහිදී වාචික සම්ප්‍රදායන් නමැති බර ගැනයි කතා කරන්නේ. එහෙත්, මෙම නීතිඥවරුන් ජනයාගේ බර සැහැල්ලු කිරීමට එක කුඩා නියමයක්වත් ඉවත් කරන්නේ නැහැ. ඔවුන් අනාගතවක්තෘවරුන්ව මරා දැමීම පවා අනුමත කරන බව යේසුස් හෙළි කරනවා. ඔහු අනතුරු අඟවන්නේ මෙලෙසයි. “‘ලෝකය පිහිටුවීමේ සිට වගුරුවන ලද සියලු අනාගතවක්තෘවරුන්ගේ ලේ මේ පරම්පරාවෙන් අය කෙරේ. එනම්, ආබෙල්ගේ ලේ පටන්, පූජාසනය හා ගෘහය අතර මරන ලද සෙකරියාගේ ලේ දක්වා’ මේ පරම්පරාවෙන් අය කෙරේයයි සැබවින්ම මම ඔබට කියමි.”
ගලවාගත හැකි මනුෂ්‍යයන්ගෙන් යුත් ලෝකය ආරම්භ වුණේ ආදම් සහ ඒව දරුවන් බිහි කිරීමත් සමඟයි. එලෙස බැලූ කල, ආබෙල් ජීවත් වුණේ “ලෝකයේ පිහිටුවීමේ” සිටයි. සෙකරියාව කුරිරු ලෙස ඝාතනය කිරීමෙන් පසු සිරියානු හමුදාවක් විසින් යුදය කොල්ලකනු ලැබුවා. එහෙත් තමාගේම පරම්පරාව ඊටත් වඩා දුෂ්ට බැවින්, ඔවුන්ව වඩා භයානක ලෙස කොල්ලකෑමට ලක් වන බව යේසුස් පුරෝකථනය කරනවා. මෙම කොල්ලකෑම සිදු වන්නේ, වසර 38කට පමණ පසුව ක්‍රි.ව. 70දීයි.
යේසුස් දිගින් දිගටම හෙළා දකිමින් මෙසේ පවසනවා. “නීතිය ගැන මනා දැනුමක් ඇති තැනැත්තෙනි, ඔබට දුක් වේ. මන්ද, ඔබ දැනගැන්මේ යතුර පැහැරගත්තහුය. ඔබ ඇතුල් වුණේ නැත. ඇතුල් වෙමින් සිටි අයටද ඔබ බාධා කළහුය!” දේවවචනයේ අර්ථය නොසඟවා හෙළි කරමින් එහි අර්ථය ජනයාට පැහැදිලි කිරීමට නීතිය ගැන මනා දැනුමක් තිබෙන අය බැඳී සිටිනවා. එහෙත් මෙය කිරීමට ඔවුන් අසමත් වෙනවා පමණක් නොවෙයි, එය තේරුම්ගැනීමට තිබෙන ප්‍රස්තාවත් ඔවුන් මනුෂ්‍යයන්ගෙන් පැහැරගන්නවා.
යේසුස් තමන්ගේ වැරදි හෙළි කරන නිසා පරිසිවරුන් හා නීතිය උගන්වන අය ඔහු සමඟ හොඳටම කුපිත වී සිටිනවා. ඔහු නිවසෙන් පිට වෙද්දී, ඔවුන් ඔහුට දරුණු ලෙස විරෝධය පාමින් වැල නොකැඩී ඔහුගෙන් ප්‍රශ්න අසන්න පටන්ගන්නවා. ඔහුව අත්අඩංගුවට ගැනීමට හැකි වන පිණිස යමක් කීමට පොලඹවමින් ඔහුව හසු කරගැනීමටයි ඔවුන් වෑයම් කරන්නේ. ලූක් 11:37-54, NW; ද්විතීය කථාව 14:22; මීකා 6:8; 2 ලේකම් 24:20-25.
▪ යේසුස් පරිසිවරුන්ව හා නීතිය පිළිබඳව හසළ දැනුමක් ඇති අයව හෙළා දකින්නේ මන්ද?
▪ නීතිය උගන්වන්නන් ජනයා මත පටවන්නේ කුමන බරද?
▪ ‘ලෝකය පිහිටුවීම’ සිදු වූයේ කවදාද?