73වෙනි පරිච්ඡේදය
කාරුණික සමරිතානුවරයා
යේසුස් සමහරවිට දැන් සිටින්නේ බෙතානියේ වෙන්න ඇති. එය යෙරුසලමේ සිට කිලෝමීටර් තුනක් පමණ දුරින් පිහිටි ගමක්. මෝසෙස්ගේ නීතිය ගැන හසළ දැනුමක් තිබෙන මනුෂ්‍යයෙක් යේසුස් ළඟට පැමිණ මෙලෙස ප්‍රශ්න කරනවා. ‘ගුරුතුමෙනි, සදාකාල ජීවනය උරුම කරගැනීමට මා කළ යුත්තේ කුමක්ද?’
නීතිඥයෙකු වූ එම මනුෂ්‍යයා එසේ අසන්නේ නිකම්ම තොරතුරු දැනගැනීමට නොව, නමුත් තමාව පරීක්ෂා කිරීමට බව යේසුස් තේරුම්ගන්නවා. සමහරවිට නීතිඥවරයාගේ අරමුණ වන්නේ යුදෙව්වරුන්ගේ හැඟීම් පාරන ආකාරයක පිළිතුරක් දීමට යේසුස්ව පෙලඹවීම වෙන්න ඇති. ඒ නිසා, යේසුස් නීතිඥවරයාගෙන්ම පිළිතුර ගැනීම සඳහා මෙසේ අසනවා. “නීතියේ ලියා තිබෙන්නේ කුමක්ද? ඔබ එය තේරුම්ගන්නේ කෙසේද?”
නීතිඥවරයා පුදුමාකාර තීක්ෂ්ණ බුද්ධියක් විදහා පෙන්වමින් ද්විතීය කථාව 6:5 සහ ලෙවී කථාව 19:18හි සඳහන් දෙවිගේ නීතිය උපුටා දක්වනවා. “‘ඔබේ මුළු හදවතින්ද ඔබේ මුළු ජීවිතයෙන්ද ඔබේ මුළු ශක්තියෙන්ද ඔබේ මුළු මනසින්ද ඔබේ දෙවි වන යෙහෝවාට’ සහ ‘ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න’” කියා එහි සඳහන් වන බව ඔහු පවසනවා.
“ඔබ නිවැරදි ලෙස පිළිතුරු දුන්නෙහිය. දිගටම එසේ කරන්න. එවිට ඔබට ජීවනය ලැබෙන්නේය” කියා යේසුස් පිළිතුරු දෙනවා.
නමුත් නීතිඥවරයා සෑහීමකට පත් වන්නේ නැහැ. ඔහු යේසුස්ගෙන් බලාපොරොත්තු වන්නේ ඊට වඩා නිශ්චිත පිළිතුරක්. ඔහුට වුවමනා වන්නේ, තමාගේ මත නිවැරදි බවත්, ඔහු අන්‍යයන්ට සලකන්නේ ධර්මිෂ්ඨ ලෙස බවත් යේසුස්ගෙන්ම තහවුරු කරගැනීමටයි. ඒ නිසා, “ඇත්තටම මාගේ අසල්වැසියා කවුද” කියා ඔහු අසනවා.
ලෙවී කථාව 19:18හි අවට පාඨවලින් ඇඟවෙන පරිදි, යුදෙව්වරුන් විශ්වාස කරන්නේ “අසල්වාසියා” යන යෙදුම සෙසු යුදෙව්වරුන්ට පමණක් අදාළ වන බවයි. ඇත්තෙන්ම, ප්‍රේරිත පේතෘස් පවා පසු කලෙක මෙසේ පැවසුවා. “වෙනත් ජාතියකට අයත් කෙනෙකු හා සම්බන්ධකම් පැවැත්වීමවත් ඔහු ළඟට යෑමවත් යුදෙව්වෙකුට කොතරම් තහනම් දෙයක්දැයි ඔබ හොඳින් දන්නහුය.” ඒ නිසා, නීතිඥවරයා සහ සමහරවිට යේසුස්ගේ ගෝලයන් පවා විශ්වාස කරන්නේ සෙසු යුදෙව්වරුන්ට පමණක් කාරුණිකව සැලකුවොත් තමන් ධර්මිෂ්ඨ බවයි. මන්ද ඔවුන්ගේ මතයට අනුව අන්‍යජාතීන් ඇත්තටම ඔවුන්ගේ අසල්වාසීන් නොවෙයි.
තම සවන් දෙන්නන්ව අමනාප නොකර ඔවුන්ගේ මතය නිවැරදි කිරීමට යේසුස්ට හැක්කේ කෙසේද? ඔහු ඔවුන්ට කතන්දරයක් පවසනවා. සමහරවිට එය සැබෑ සිදුවීමක් මත පදනම් වූ කතාවක් විය හැකියි. යේසුස් මෙලෙස පැහැදිලි කරනවා. “එක්තරා [යුදෙව්වෙක්] යෙරුසලමේ සිට යෙරිකෝව බලා බැස යද්දී කොල්ලකරුවන්ට හසු විය. ඔවුහු ඔහුගේ වස්ත්‍රත් ඔහු සතු සියල්ලත් පැහැරගෙන ඔහුට පහර දී ඔහුව අඩපණ කොට දමා යන්න ගියහ.”
යේසුස් කතන්දරය දිගටම කියා දෙන්නේ මෙලෙසයි. “එකල එක්තරා පූජකයෙක් අහම්බෙන් ඒ මාර්ගයේ බැස යන විට ඔහුව දැක, අනෙක් පැත්තෙන් ගියේය. එලෙසම, ලෙවීවරයෙක්ද එතැනින් බැස යන විට ඔහුව දැක, පාරේ අනෙක් පැත්තෙන් ගියේය. නමුත් ඒ මඟ දිගේ ගමන් කරමින් සිටි එක්තරා සමරිතානුවරයෙක් ඔහු වෙතට පැමිණ, ඔහුව දුටු විට අනුකම්පාවෙන් [පෙලඹුණේය].”
බොහෝ පූජකයන් සහ ඔවුන්ට පූජා ඔප්පු කිරීමෙහි සහය වන ලෙවීවරුන් ජීවත් වන්නේ යෙරිකෝවේ. ඒ දක්වා දිවෙන මාර්ගය ඔවුන් සේවය කරන යෙරුසලමේ දේවමාලිගාවේ සිට කිලෝමීටර් 23ක් දුරින් පිහිටි අතර, එය මීටර් 900ක බෑවුමක් සහිත අනතුරුදායක පාරක්. පූජකවරයා හා ලෙවීවරයා විපතට පත් වී සිටින සෙසු යුදෙව්වරුන්ට උපකාර කරාවි කියා කවුරුත් බලාපොරොත්තු වේවි. නමුත් ඔවුන් එසේ කරන්නේ නැහැ. ඒ වෙනුවට, සමරිතානුවරයෙක් ඔහුට උපකාර කරනවා. යුදෙව්වරුන් සමරිතානුවන්ට කොතරම් වෛර කරනවාද කිව්වොත් ඔවුන් මීට ටික කලකට කලින් යේසුස්ට “සමරිතානුවරයෙකු” යයි පවසමින් පරුෂ විදියට නින්දා කළා.
යුදෙව්වාට උපකාර කිරීම සඳහා සමරිතානුවරයා කරන්නේ කුමක්ද? යේසුස් මෙලෙස පවසනවා. “ඒ මිනිසා ළඟට ඇවිත් ඔහුගේ තුවාලවලට තෙල් සහ වයින් වත් කර බැන්දේය. ඉන්පසු ඔහු ඒ මිනිසාව තමාගේම මෘගයා පිට නංවා තානායමකට ගෙන ගොස් ඔහුව බලාගත්තේය. පසුවදා, ඔහු ඩිනාරි දෙකක් [දින දෙකක් වැඩ කිරීමෙන් ලැබෙන වේතනය] ගෙන ඒවා තානායම්කරුට දී, ‘මොහුව බලාගන්න. මීට වඩා යමක් ඔබට වියදම් වුණොත් මම නැවත ආ විට ඔබට එය ගෙවන්නෙමි’ යි කීවේය.”
කතන්දරය පැවසීමෙන් පසු යේසුස් නීතිඥවරයාගෙන් මෙසේ අසනවා. “කොල්ලකරුවන්ට හසු වූ මිනිසාට මොවුන් තුන්දෙනාගෙන් අසල්වැසියා වූයේ කවුරුන් කියාද ඔබ සිතන්නේ?”
සමරිතානුවෙකු සම්බන්ධයෙන් හොඳක් පැවසීමට අකමැතිව නීතිඥවරයා නිකම්ම මෙසේ පිළිතුරු දෙනවා. “ඔහු කෙරෙහි දයාන්විතව ක්‍රියා කළ තැනැත්තාය.”
“ගොස්, ඔබත් එසේම කරන්න” කියා පවසමින් යේසුස් සාකච්ඡාව අවසන් කරනවා.
අන්‍යජාතීන් පවා ඔහුගේ අසල්වැසියන් වන බව යේසුස් ඍජුව නීතිඥවරයාට පැවසුවා නම්, එය ඔහු ප්‍රතික්ෂේප කරනවා පමණක් නොව යේසුස්ගේ සාකච්ඡාවට සවන් දෙමින් සිටි අයගෙන් වැඩි පිරිසක් ඔහුගේ පැත්ත ගැනීමටද ඉඩ තිබුණා. එහෙත්, සැබෑ ජීවිතයට සමීප මෙම කතන්දරය පැවසීමෙන් යේසුස් කිසිවෙකුට ප්‍රතික්ෂේප කළ නොහැකි ආකාරයකින් ගෙනහැර දැක්වූයේ, අපගේම වර්ගයට හා ජාතියට අයත් නොවන මනුෂ්‍යයන්ද අපගේ අසල්වැසියන් වන බවයි. යේසුස්ට ඇත්තේ මොන තරම් පුදුමාකාර ඉගැන්වීමේ කලාවක්ද! ලූක් 10:25-37; ක්‍රියා 10:28; යොහන් 4:9; 8:48; NW.
▪ නීතිඥවරයා යේසුස්ගෙන් අසන ප්‍රශ්න මොනවාද? පැහැදිලිවම, ඔහු එසේ ඇසීමේ අරමුණ කුමක්ද?
▪ යුදෙව්වරුන් විශ්වාස කරන ආකාරයට ඔවුන්ගේ අසල්වැසියන් වන්නේ කවුරුන්ද? ගෝලයන්ට පවා මෙම මතය තිබෙන බව විශ්වාස කිරීමට තිබෙන පදනම කුමක්ද?
▪ නීතිඥවරයාට ප්‍රතික්ෂේප කළ නොහැකි ආකාරයකින් යේසුස් නිවැරදි මතය ඉදිරිපත් කරන්නේ කෙසේද?