50වෙනි පරිච්ඡේදය
පීඩාවලට මුහුණ දීමට සූදානම් වීම
දේශනා කිරීමේ වැඩය දිගටම කරගෙන යන ආකාරය පිළිබඳව තම ප්‍රේරිතයන්ට උපදෙස් දීමෙන් පසු, යේසුස් දැන් ඔවුන්ට අනතුරු අඟවන්නේ විරුද්ධවාදීන් පිළිබඳවයි. ඔහු මෙලෙස පවසනවා. “බලන්න! වෘකයන් මැදට බැටළුවන් මෙන් මම ඔබව යවමි. . . . මිනිසුන්ගෙන් පරෙස්සම් වන්න. මන්ද ඔවුන් ඔබව ප්‍රාදේශීය උසාවිවලට භාර දී ඔවුන්ගේ සිනගෝගවලදී ඔබට කසයෙන් තළනු ඇත. . . . මා නිසා ඔබව ආණ්ඩුකාරයන් හා රජුන් ඉදිරියට ඇදගෙන යනු ලබන්නේය.”
තම අනුගාමිකයන් ඉදිරියේදී දරුණු පීඩාවලට මුහුණ දීමට නියමිතව තිබුණත් යේසුස් ඔවුන්ගේ බිය සැක දුරු කරමින් මෙලෙස පොරොන්දු වෙනවා. “ඔවුන් ඔබව පාවා දෙන කල, ඔබ කෙසේ කතා කළ යුතුද කියාවත් කුමක් කිව යුතුද කියාවත් සිතමින් කනස්සලු නොවන්න. මන්ද ඔබ කිව යුතු දේ ඒ පැයේදී ඔබට දෙනු ලැබේ. මන්ද කතා කරන්නේ ඔබ නොව, ඔබ තුළින් කතා [කරන්නාවූ] ඔබේ පියාණන්ගේ ආත්මයයි.”
යේසුස් තවදුරටත් විස්තර කරන්නේ මෙසේයි. “තවද, සහෝදරයා තම සහෝදරයාවද පියෙක් තම දරුවාවද මරණයට පාවා දෙන්නේය.” ඉන්පසු ඔහු මෙයද එයට එකතු කරනවා. “මාගේ නාමය නිසා සියල්ලෝ ඔබට වෛර කරන්නෝය. නමුත් අවසානය දක්වා විඳදරාගන්නා ගලවනු ලබන්නේය.”
වැදගත්ම දේ වන්නේ දේශනා කිරීමේ වැඩයයි. මේ නිසා, මෙම වැඩය නිදහසේ කරගෙන යෑමට හැකි වන පිණිස සිහිනුවණින් කටයුතු කිරීමේ ඇති අවශ්‍යතාව යේසුස් මෙසේ අවධාරණය කරනවා. “ඔවුන් එක් නුවරකදී ඔබට පීඩා කරන විට, වෙනත් නුවරකට පලා යන්න. මන්ද සැබවින්ම මම ඔබට කියමි, මනුෂ්‍ය පුත්‍රයා එන තෙක්, ඔබට ඊශ්‍රායෙල්හි සෑම නුවරකටම ගොස් සංචාරය කර නිම කිරීමට කිසි සේත් නොහැකි වනු ඇත.”
යේසුස් එම උපදේශය, අනතුරු ඇඟවීම හා දිරිගැන්වීම දුන්නේ තම ප්‍රේරිතයන් 12දෙනාට බව ඇත්තයි. නමුත් ඔහුගේ මරණයෙන් හා නැවත නැඟිටීමෙන් පසු ලෝක ව්‍යාප්ත දේශනා කිරීමේ වැඩයේ හවුල් වන අයටද එය එක සේ අදාළ වෙනවා. දේශනා කිරීම සඳහා යවන ලද තම ගෝලයන්ට ඊශ්‍රායෙල්වරුන් පමණක් නොව, නමුත් ‘සියල්ලෝම වෛර කරනවා’ යනුවෙන් පැවසීමෙන් ඔහු මෙය පෙන්වා දෙනවා. තවදුරටත්, යේසුස් තම ප්‍රේරිතයන්ව ඔවුන්ගේ කෙටි දේශනා කිරීමේ කර්තව්‍යය සඳහා යැවූ විට, ඔවුන්ව ආණ්ඩුකාරයන් හා රජුන් ඉදිරියට ඇදගෙන ගියේ නැති බව පැහැදිලියි. ඒ වගේම, ඒ අවස්ථාවේදී පවුල් සාමාජිකයන් ඇදහිලිවන්තයන්ව මරණයට පත් කිරීම සඳහා පාවා දුන්නේත් නැහැ.
එමනිසා, “මනුෂ්‍ය පුත්‍රයා එන තෙක්” සෑම නුවරකටම ගොස් සංචාරය කර නිම කිරීමට නොහැකි වන බව පවසද්දී යේසුස් අනාවැකියක් පළ කරමිනුයි සිටියේ. එය නම් මහිමයට පත් වූ රජු වන යේසුස් ක්‍රිස්තුස් අර්මගෙදොන්හිදී යෙහෝවාගේ විනිශ්චය ඉටු කරන නිලධරයා වශයෙන් පැමිණීමට පෙර, ඔහුගේ ගෝලයන්ට දෙවිගේ පිහිටුවන ලද රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය මුළු ජනාවාස පොළොවේ සෑම තැනකම දේශනා කර නිම කිරීමට නොහැකි වන බවයි.
තවදුරටත් දේශනා කිරීම සම්බන්ධයෙන් උපදෙස් දෙමින් යේසුස් මෙසේ පවසනවා. “ගෝලයෙකු තම ගුරුතුමාට වඩාවත් දාසයෙකු සිය ස්වාමියාට වඩාවත් උසස් නොවේ.” එබැවින් දෙවිගේ රාජ්‍යය දේශනා කිරීම නිසා යේසුස් අද්දුටු ආකාරයේම හිංසා පීඩා ඔවුනුත් අද්දකීවි කියා ඔහුගේ අනුගාමිකයන් අපේක්ෂා කළ යුතුයි. එහෙත් ඔහු මෙලෙස අවවාද කරනවා. “ශරීරය නසන නමුත් ජීවය නැසිය නොහැකි අයට බිය නොවන්න. එහෙත් ජීවයද ශරීරයද යන දෙකම ගෙහෙන්නාවෙහි විනාශ කළ හැකි තැනැත්තාට බියව සිටින්න.”
යේසුස් පසු කලෙක මේ කාරණය සම්බන්ධයෙන් ආදර්ශයක් තැබුවා. සියලු බලැති තැනැත්තා වන යෙහෝවා දෙවිට තිබෙන තම පක්ෂපාතකම කඩ කරනවා වෙනුවට ඔහු නිර්භීතව මරණය විඳදරාගත්තා. යේසුස් කලින් පැවසූ වදන්වලින් අදහස් කළේ පුද්ගලයෙකුගේ ‘ජීවිතය’ (ජීවත් වීම සඳහා තමා සතු අනාගත බලාපොරොත්තුව) අහිමි කිරීමට හෝ සදාකාල ජීවිතය භුක්ති විඳීම සඳහා යමෙකුව නැවත නැඟිටුවීමට හැක්කේ යෙහෝවාට පමණක් බවයි. යෙහෝවා මොන තරම් ප්‍රේමණීය, දයානුකම්පිත ස්වර්ගික පියෙක්ද!
තම ගෝලයන් කෙරෙහි යෙහෝවා දක්වන ප්‍රේමණීය සැලකිල්ල අවධාරණය කරන උපමාවක් තුළින් යේසුස් ඊළඟට ඔවුන්ව දිරිගන්වනවා. ඔහු මෙලෙස අසනවා. “ගේ කුරුල්ලන් දෙදෙනෙකු සුළු මුදලකට විකුණනවා නොවේද? එහෙත් ඔබේ පියාණන් නොදැනුවත්ව, උන්ගෙන් එකෙක්වත් බිමට වැටෙන්නේ නැත. ඔබේ සියලු හිසකේ පවා ගණන් කර තිබේ. එබැවින් බිය නොවන්න. ගේ කුරුල්ලන් බොහෝදෙනෙකුට වඩා ඔබ වටින්නහුය.”
යේසුස් තම ගෝලයන්ට ප්‍රකාශ කිරීමට අණ කරන රාජ්‍ය පණිවුඩය නිසා පවුල්වල බෙදීම් ඇති වෙනවා. මන්ද පවුලේ සමහර සාමාජිකයන් එය පිළිගන්නා අතර සමහරුන් එය ප්‍රතික්ෂේප කරන නිසයි. ඔහු එය මෙලෙස පැහැදිලි කරනවා. ‘මම මෙලොවට සාමය දෙන පිණිස ආවෙමියි නොසිතන්න. මා ආවේ කඩුවක් දෙන පිණිස මිස සාමය දීමට නොවේ.’ එබැවින් පවුල් සාමාජිකයෙකුට බයිබල් සත්‍යය පිළිගැනීමට ධෛර්යය අවශ්‍යයි. යේසුස් එය අවධානයට ලක් කරන්නේ මෙහෙමයි. “මට වඩා පියාටවත් මවුටවත් ස්නේහයක් පෙන්වන්නා මට සුදුසු නැත. මට වඩා පුතාටවත් දුවටවත් ස්නේහයක් පෙන්වන්නා මට සුදුසු නැත.”
යේසුස් තම උපදෙස් දීම අවසාන කරමින්, තමන්ගේ ගෝලයන්ව පිළිගන්නා අය තමන්වත් පිළිගන්නා බව මේ අයුරින් පැහැදිලි කරනවා. “යමෙක් මේ කුඩා අයගෙන් එක් කෙනෙකුට, ඔහු ගෝලයෙකු වන නිසා බොන්න ඇල් වතුර කෝප්පයක් දෙන්නේ නම්, සැබවින්ම මම ඔබට කියමි, ඔහුගේ විපාකය කිසි සේත් ඔහුට අහිමි නොවන්නේය.” මතෙව් 10:16-42, NW.
▪ යේසුස් තම ගෝලයන්ට සපයන අනතුරු ඇඟවීම් මොනවාද?
▪ ඔහු ඔවුන්ට කිනම් දිරිගැන්වීමක් හා සැනසිල්ලක් දෙනවාද?
▪ යේසුස්ගේ උපදෙස් නවීන-දින ක්‍රිස්තියානීන්ටත් අදාළ වන්නේ මන්ද?
▪ යේසුස්ගේ ගෝලයෙක් තම ගුරුවරයාට වඩා උතුම් නොවන්නේ කුමන ආකාරයකින්ද?