51වෙනි පරිච්ඡේදය
උපන් දින උත්සවයකදී මිනී මැරුමක්
යේසුස් තම ප්‍රේරිතයන්ට උපදෙස් දීමෙන් පසු, ඔවුන්ව දෙන්නා දෙන්නා බැගින් පළාත්වලට යවනවා. සහෝදරයන් වන පේතෘස් සහ අන්දෘ සමහරවිට එකට යන්න ඇති. ඒ වගේම යාකොබ් සහ යොහන්, ෆිලිප් සහ බාතොලමෙව්, තෝමස් සහ මතෙව්, යාකොබ් සහ තදියස්, සීමොන් සහ යූදස් ඉස්කාරියොත් එකට යන්නත් ඇති. දෙන්නා දෙන්නා බැගින් ගිය එවැන්ජලිස්තවරු 12දෙනා ඔවුන් යන සෑම තැනකදීම රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කරමින් ආශ්චර්යවත් සුව කිරීම් සිදු කරනවා.
මේ අතරේදී යොහන් බව්තීස්ත තවමත් සිටින්නේ සිරගෙදරයි. ඔහු මේ වන විට වසර දෙකක් පමණ එහි ගත කර තිබෙනවා. හෙරොද් අන්තිපස් තම සහෝදර ෆිලිප්ගේ බිරිඳ වන හෙරෝදියස්ව අයිති කරගැනීම වැරදි දෙයක් බව යොහන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ බව ඔබට සමහරවිට මතක ඇති. තමා ජීවත් වන්නේ මෝසෙස්ට දුන් නීතියට අනුවයි කියා හෙරොද් අන්තිපස් කියා සිටි නිසා, එම සබඳතාව පවත්වාගෙන යෑම මගින් ඔහු පරදාර සේවනයේ යෙදෙන බව යොහන් හෙළි කළා. ඔහු කළ දේ නිවැරදියි. ඒ නිසා, හෙරොද් යොහන්ව හිරගෙට දැමුවේ සමහරවිට හෙරෝදියස්ගේ පෙලඹවීම යටතේ විය හැකියි.
යොහන් ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙකු බව හෙරොද් අන්තිපස් වටහාගන්නවා. ඇත්තෙන්ම ඔහු යොහන් කියන දේවල් අසාගෙන සිටින්නේ කැමැත්තෙනුයි. ඒ නිසා, ඔහුට කුමක් කරන්නද යන දෙගිඩියාවෙන් හෙරොද් පසු වෙනවා. එහෙත් හෙරෝදියස්ට නම් යොහන් කෙරෙහි තිබෙන්නේ දැඩි වෛරයක්. ඇය ඔහුව මරන්න සොයනවා. අන්තිමේදී, ඇය පුල පුලා බලා සිටි අවස්ථාව එළඹෙනවා.
පොදු යුගයේ 32 පාස්කුවට ඔන්න මෙන්න කියා තිබියදී, හෙරොද් තම උපන් දිනය වෙනුවෙන් විශාල උත්සවයක් පිළියෙළ කරනවා. එම උත්සවයට හෙරොද්ගේ සියලුම උසස් නිලධාරීන් හා හමුදා නිලධාරීන් මෙන්ම ගලීලයේ ප්රමුඛ පෙළේ පුරවැසියන්ද එක්රැස්ව සිටිනවා. සැන්දෑව ගෙවී යද්දී, හෙරෝදියස් ඇගේ තරුණ දියණිය වන සලෝමිව යවනවා අමුත්තන් වෙනුවෙන් නැටුමක් ඉදිරිපත් කිරීමට. සලෝමි, හෙරෝදියස් තම කලින් පුරුෂයා වන ෆිලිප්ට දාව බිහි කළ දියණියයි. එතැන සිටි පිරිමින් ඇගේ රංගනයෙන් වසඟයට පත් වෙනවා.
සලෝමිගේ රංගනය ගැන හෙරොද්ට දැනෙන්නේ ඉමහත් සතුටක්. “ඔබට කැමති ඕනෑම දෙයක් මාගෙන් ඉල්ලන්න. මම ඔබට එය දෙන්නෙමි” කියා ඔහු පවසනවා. ඒ විතරක් නොවෙයි, ඔහු දිවුරුමක් පවා කරනවා. “ඔබ මාගෙන් ඉල්ලන ඕනෑම දෙයක්, එනම් මාගේ රාජ්‍යයෙන් අඩක් වුවත්, මම ඔබට දෙන්නෙමි.”
පිළිතුරු දීමට පෙර, මේ ගැන තම මවගෙන් විමසීමට සලෝමි අමතක කරන්නේ නැහැ. “මා කුමක් ඉල්ලන්නද” කියා ඇය අසනවා.
මෙන්න, හෙරෝදියස්ට ඇගේ ආශාව ඉටු කරගන්න දැන් අවස්ථාව උදා වෙලා! “බව්තීස්ම කරන්නාවූ යොහන්ගේ හිස” කියා ඇය කිසිදු පසුබට වීමකින් තොරව පවසනවා.
සලෝමි ඉක්මනින්ම හෙරොද් වෙතට ගොස් ඉල්ලන්නේ මෙලෙසයි. “ඔබ යොහන් බව්තීස්තගේ හිස තැටියක තබා දැන්ම මට දෙනවාට කැමැත්තෙමි.”
එය අසා හෙරොද් බොහෝ සෙයින් දුකට පත් වෙනවා. එහෙත් අහිංසක මිනිසෙකුව ඝාතනය කිරීමට සිදු වුවත් ඔහුගේ අමුත්තන් ඉදිරියේ ඔහු දී ඇති දිවුරුම නිසා, එය ඉටු නොකර ලජ්ජාවට පත්වීමට ඔහු අකමැතියි. ප්‍රතිඵලයක් ලෙස, වධකයෙකු වහාම හිරගෙට පිටත් වෙනවා එම ඉතා කුරිරු භය උපදවන අණ ක්‍රියාත්මක කිරීමට. කෙටි වේලාවකින් ඔහු යොහන්ගේ හිස තැටියක ලා ගෙනැවිත් සලෝමිට දෙනවා. ඇය එය රැගෙන යනවා ඇගේ මව වෙතට. සිදු වී තිබෙන දෙය යොහන්ගේ ගෝලයන් දැනගත් විට, ඔවුන් පැමිණ ඔහුගේ දේහය ගෙන ගොස් එය භූමදාන කරනවා. ඉන්පසු ඔවුන් යේසුස්ට සිද්ධිය පිළිබඳව දැනුම් දෙනවා.
යේසුස් සුව කිරීම් කරන බව හා භූතයන් දුරු කරන බව හෙරොද්ට පසුව දැනගන්න ලැබෙන විට, යේසුස් ඇත්තටම මළවුන්ගෙන් නැඟිට සිටින යොහන් කියා සිතන ඔහු බියෙන් තැතිගන්නවා. එතැන් සිට යේසුස්ව දැකගැනීමට ඔහු සිටින්නේ ඉමහත් ආශාවකිනුයි. ඔහුට අවශ්‍ය වන්නේ යේසුස්ගේ දේශනා අසන්න නොවෙයි නමුත් තමාගේ සැකයන්ට ස්ථිරසාර පදනමක් තිබෙනවාද යන්න සහතික කරගැනීමටයි. මතෙව් 10:1-5; 11:1; 14:1-12; මාක් 6:14-29; ලූක් 9:7-9; NW.
▪ යොහන් හිරගෙදර සිටින්නේ මන්ද? ඔහුව මරණයට පත් කිරීමට හෙරොද් කැමති නොවන්නේ ඇයි?
▪ යොහන්ව මරා දැමීමට අන්තිමේදී හෙරෝදියස්ට හැකි වන්නේ කෙසේද?
▪ යොහන්ගේ මරණයෙන් පසු යේසුස්ව දැකගැනීමට හෙරොද්ට වුවමනා වන්නේ ඇයි?