49වෙනි පරිච්ඡේදය
ගලීලයේ තවත් දේශනා කිරීමේ සංචාරයක්
අවුරුදු දෙකක පමණ කාලයක් පුරා මහත් පරිශ්‍රමයක් දරමින් දේශනා සේවයේ නිරත වී ඇති යේසුස් දැන් එය අතහැර දමා මදක් පහසුගනියිද? නැහැ. ඔහු ඊට හාත්පසින් වෙනස්ව, තම දේශනා සේවය පුළුල් කරගනිමින් ගලීලයේ තුන්වන වතාවටත් අලුත් සංචාරයක් අරඹනවා. ඔහු සෑම නගරයක් පාසාම හා සෑම ගමක් පාසාම ගොස් එහි සිනගෝගවල උගන්වනවා. ඒ වගේම, රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කරනවා. මෙම සංචාරයේදී ඔහු දකින දේ නිසා, මහත් පරිශ්‍රමයක් දරමින් දේශනා වැඩයෙහි යෙදීමේ ඇති අවශ්‍යතාව වෙන කවරදාටත් වඩා ඔහුට ඒත්තු යනවා.
යේසුස් කොතැනට ගියත් ඔහු දකින්නේ සමූහයාට ආත්මික සුවය හා සැනසිල්ල අවශ්‍ය බවයි. ඔවුන් දරුණු ලෙස හිරිහැර විඳිමින් විසිර ගොස් සිටින එඬේරෙකු නැති බැටළුවන් වාගෙයි. ඔවුන් ගැන අනුකම්පාවක් ඔහුට දැනෙනවා. ඔහු තම ගෝලයන්ට පවසන්නේ, “අස්වැන්න නම් බොහෝය, නමුත් වැඩ කරන්නෝ ස්වල්පදෙනෙක්ය. එහෙයින් තම අස්වැන්න නෙළීමට වැඩ කරන්නන් එවන ලෙස අස්වැන්නේ ස්වාමියාගෙන් අයැදින්න” කියායි.
යේසුස් පිළියමක් වශයෙන් සැලසුමක් යොදනවා. ඔහු වසරකට පමණ ඉහතදී තෝරාගත් ප්‍රේරිතයන් 12දෙනාව කැඳවනවා. ඔහු ඔවුන්ව දෙන්නා දෙන්නා බැගින් වෙන් කරමින් කණ්ඩායම් හයක් සාදා, ඔවුන්ට උපදෙස් දෙන්නේ මේ ආකාරයටයි. “අන්‍යජාතීන්ට අයත් මාවතට නොයන්න. සමරිතානු නුවරකට ඇතුල් නොවන්න. ඒ වෙනුවට, ඊශ්‍රායෙල් වංශයේ නැති වූ බැටළුවන් වෙතට නොකඩවා යන්න. ඔබ යද්දී, ‘ස්වර්ග රාජ්‍යය ළං වී තිබේ’ යයි දේශනා කරන්න.”
දේශනා කිරීමේදී හඳුන්වා දෙන මෙන් පැවසූ මෙම රාජ්‍යය යේසුස් ඔවුන්ට ආදර්ශ යාච්ඤාවේදී ඉගැන්වූ රාජ්යයමයි. රාජ්‍යය ළංව තිබෙන්නේ දෙවි විසින් පත් කරන ලද රජු වන යේසුස් ක්‍රිස්තුස් පැමිණ සිටින නිසයි. මනුෂ්‍ය උල්පතකින් නොවූ එම ආණ්ඩුවේ නියෝජිතයන් වශයෙන් තම ගෝලයන්ගේ සුදුසුකම් සනාථ කිරීම සඳහා රෝගීන් සුව කිරීමට හා මළවුන්ව පවා නැඟිටුවීමට යේසුස් ඔවුන්ට බලය දෙනවා. මෙම සේවාවන් නොමිලේ සපයන ලෙසයි ඔහු ඔවුන්ට උපදෙස් දෙන්නේ.
ඔවුන්ගේ දේශනා සංචාරය සඳහා ද්‍රව්‍යමය දේවල් සූදානම් කර නොගන්නා ලෙස ඔහු ඊළඟට තම ගෝලයන්ට පවසනවා. “ඔබේ ඉඟටි පටියේ පසුම්බිවල රන් හෝ රිදී හෝ තඹ හෝ ගෙන නොයන්න. ගමන සඳහා කෑම මල්ලක්වත් ඇතුල් වස්ත්‍ර දෙකක්වත් පාවහන්වත් සැරයටියක්වත් සපයා නොගන්න. මන්ද වැඩ කරන්නා තමාගේ ආහාර ලබන්න වටින්නේය.” පණිවුඩය අගය කරන අය හොඳ ප්‍රතිචාරයක් දක්වමින් ආහාර සහ ඉඳුම් හිටුම් පරිත්‍යාග කරාවි. ඒ නිසා යේසුස් පවසන්නේ, “ඔබ කවර නුවරකට හෝ ගමකට හෝ ඇතුල් වූ කල, එහි සුදුස්සන් කවුදැයි සොයාගන්න. පිටත්ව යන තුරු එහි නවතින්න” කියායි.
රාජ්‍ය පණිවුඩය සමඟින් ගෙවැසියන් වෙතට පිවිසෙන ආකාරය පිළිබඳව ඔහු ඊළඟට උපදෙස් දෙන්නේ මේ ආකාරයටයි. “ඔබ නිවසකට ඇතුල් වෙද්දී, ගෙයි වැසියන්ට ආචාර කරන්න. ගෙයි වැසියන් සුදුසු නම්, ඔබ පතන සාමය ඔවුන් පිට පැමිණේවා! නමුත් ඔවුන් නුසුදුසු නම්, ඔබ පැතූ සාමය නැවත ඔබ වෙත පැමිණේවා! කොතැනක හෝ වේවා, යමෙක් ඔබව පිළිනොගන්නේ නම් හෝ ඔබේ වදන්වලට සවන් නොදෙන්නේ නම්, ඒ නිවසින් හෝ ඒ නුවරින් හෝ ඔබ පිට වූ විට, ඔබේ පාදවල දූවිලි ගසා දමන්න.”
යම් නුවරක් ඔවුන්ගේ පණිවුඩය ප්‍රතික්ෂේප කරනවා නම් එයට ලැබෙන විනිශ්චය සැබවින්ම බරපතළ වන බව යේසුස් හෙළි කරනවා. ඔහු එය පැහැදිලි කරන්නේ මෙසේයි. “සැබවින්ම මම ඔබට කියමි, විනිශ්චය දවසේදී ඒ නුවරට වඩා සොදොම් සහ ගොමෝරා දේශයට විඳදරාගැනීමට පහසු වනු ඇත.” මතෙව් 9:35–10:15; මාක් 6:6-12; ලූක් 9:1-5.
▪ යේසුස් තුන්වන වරට ගලීලයේ දේශනා සංචාරය ආරම්භ කරන්නේ කවදාද? එහිදී ඔහුට ඒත්තු යන්නේ කුමක්ද?
▪ දේශනා කිරීම සඳහා තම ප්‍රේරිතයන් 12දෙනාව පිටත් කර යවන විට, ඔහු ඔවුන්ට දෙන්නේ කිනම් උපදෙස්ද?
▪ ස්වර්ග රාජ්‍යය ළංව තිබේය කියා ගෝලයන් දේශනා කිරීම නිවැරදි වන්නේ ඇයි?