පරිච්ඡේද 38
අනාගතය මා සඳහා ඉදිරිපත් කරනුයේ කුමන බලාපොරොත්තුවක් ද?
“න්‍යෂ්ටික තර්ජනයෙන් කැපී පෙනෙන ලෝකයක අනාගතය ගැන මං බිය වෙනවා.” මෙලෙස පැවසුවේ යෞවනයෙකු තම ජාතියේ උසස් ම දේශපාලන නිලධාරියා ඇමතූ විට ය.
සමහර විට න්‍යෂ්ටික ගිනි බෝලයකින් නැසීයාම වැනි දර්ශනයක් ඔබේ මනස තුළ ක්‍රියා කරන නිසා, අනාගතය සඳහා ඔබේ දර්ශනය බොහෝ දුරට අහිතකර බියගන්වන සුලු සිතුවිලිවලින් පිරී තිබෙනවා වන්නට පුළුවන. “පංතියේ හොඳින් සමත්වීමට මා කරදර විය යුත්තේ මන්ද? කොහොම වුණත් ලෝකය පිපිරීමටයි යන්නේ,” යයි එක් යෞවනයෙක් පැවසුවේ ය. ඇත්තෙන් ම, පාසල් ළමුන් පිළිබඳ ව කරන ලද සමීක්ෂණයක දී, යෞවන පිරිමි ළමයි, තම ලොකු ම බිය වශයෙන් සඳහන් කළේ න්‍යෂ්ටික යුද්ධය ය. ගැහැණු ළමයි එය දෙවන තැනට දැමූහ, ඔවුන්ට පළමු ව තිබුණේ “මගේ දෙමව්පියන්ගේ මරණය,” පිළිබඳ බිය ය.
කෙසේ වුවද, න්‍යෂ්ටික පිපිරීමකින් ඇති විය හැකි වලාකුළ මිහිපිට තිබෙන එක ම අඳුරු වලාකුළ නොවේ. “අධි ජනගහණයේ, සම්පත් නාස්තියේ සහ පරිසර දූෂණයේ,” තර්ජනය හා සිදු වීමට ආසන්න වෙනත් ව්‍යසනයන් තිබුණු හෙයින් සුප්‍රසිද්ධ මනෝවිද්‍යාඥ බී. එෆ්. ස්කිනර් මෙසේ නිගමනය කළේ ය: “මනුෂ්‍ය වර්ගයා තර්ජනයකට ලක් වී තිබෙන බව දැන් පෙනෙන්නට තිබෙනවා.” ඔහු පසු ව මෙසේ හැඟීම් හෙළි කළේ ය: “මට නම් බලාපොරොත්තු නැති තරම් ය. සැබවින් ම, අපට අපගේ ගැටලු විසඳීමට බැරි වෙයි.”
උගත් නිරීක්ෂකයන් පවා අනාගතය දෙස බලන්නේ චකිතයකිනි, එහෙයින් බොහෝ යෞවනයන් “හෙට මැරෙන බැවින් කමු, බොමු,” යන ආකල්පය විදහා පෑම එතරම් පුදුමයක් නොවේ. (1 කොරින්ති 15:32) ඇත්තෙන් ම, ඔබේ අනාගතය දේශපාලනඥයන්ගේ හා විද්‍යාඥයන්ගේ හැකියාව මත ගමන් කරනවා නම්, සැබවින් ම, එය අඳුරු යමක් මෙන් පෙනෙන්නට තිබේ. මන්ද, යෙරෙමියා 10:23, [NW ] පවසන්නේ මෙසේ ය: “අහෝ, යෙහෝවඃ වහන්ස, මිනිසාට තමාගේ මාර්ගය අයිති නැති බව හොඳින් දනිමි. ඇවිදින මිනිසාට තමාගේ පියවර මෙහෙය වීමටවත් අයිතියක් නැත.”
මනුෂ්‍යයාට තමා ව ම පාලනය කිරීමට හුදෙක් හැකියාව නැතැයි කියනවා නොවේ. එසේ කිරීමට මනුෂ්‍යයාට “අයිතියක්” නැත—එනම් පොළොවේ අනාගතය හැසිර වීමට ඔහුට අයිතියක් නොමැති බව සලකන්න. මෙබැවින් ඔහුගේ ප්රයත්නයන් අසමත් වනවාට සැකයක් නැත. එම හේතුව නිසා, යෙරෙමියා දිව්‍ය මැදිහත්වීම ඉල්ලා මෙසේ යාච්ඤා කළේ ය: “අහෝ, යෙහෝවඃ වහන්ස, කෙසේ හෝ විනිශ්චයකර මා නිවැරදි කළ මැනව.” (යෙරෙමියා 10:24, NW ) මින් අදහස් කරන්නේ අපගේ මැවුම්කරුවාණන් අපගේ අනාගතය තීරණය කරනු ඇති බව ය. එහෙත් එය කුමන අනාගතයක් වනු ඇත් ද?
පොළොව—සහ ඔබේ අනාගතය සඳහා දේව අරමුණ
මිනිසාගේ මැවීමෙන් කෙටි කලකට පසු ව, පළමු මනුෂ්‍ය යුවළට දෙවියන් වහන්සේ මෙසේ කී සේක: “නුඹලා බෝවී වැඩිවෙමින් පොළොව පූර්ණකොට ඒක යටත්කරගනිව්; මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද ආකාශයේ පක්ෂීන් කෙරෙහිද පොළොව පිට හැසිරෙන සියලු සතුන් කෙරෙහිද අධිපතිකම් කරව්.” (උත්පත්ති 1:28) මෙලෙස පාරාදීස පොළොවක ජීවත්වීමේ අපේක්ෂාව මනුෂ්‍යයාට ඉදිරිපත් කොට තිබිණ.
කෙසේ වුවද, පළමු යුවළ, දෙවියන් වහන්සේගේ පාලකත්වයට විරුද්ධ ව කැරලි ගැසුවෝ ය. පසු කලෙක සාලමොන් පැවසූ පරිදි, “දෙවියන්වහන්සේ මනුෂ්‍යයා ඇද නැතුව මැවූසේක; නමුත් ඔවුන් බොහෝ අමුතු උපා” යොදා ගත්හ. (දේශනාකාරයා 7:29) වත්මන් පරම්පරාවට දුකින් පිරි ඉතා අඳුරු වූ බලාපොරොත්තුවක් දානය කරමින්, මනුෂ්‍ය සැලසුම් විනාශදායක වන බවට ඔප්පු වී තිබේ.
දෙවියන් වහන්සේ පොළොව දූෂණය වීමට, විකිරණශීලී වීමට—සමහර විට ජීවීන්ගෙන් තොර ලොවක් වීමට, අත්හැර තිබෙන බවක් මින් අදහස් කරයි ද? කිසිසේත් නැත! “පොළොව මවා සාදා එය පිහිටෙවුවාවූ, එය හිස්කමට නොමවා වාසය පිණිස එය සෑදුවාවූ දෙවියන්වහන්සේ,” උන් වහන්සේ ය. මෙබැවින් පොළොව උදෙසා සඳහන් කරන ලද උන් වහන්සේගේ අරමුණ ඉටුවන බව සහතික ය!—යෙසායා 45:18; 55:10, 11.
එහෙත් කවදා ද—කෙසේ ද? ලූක් 21වන පරිච්ඡේදය ඔබ ම කියවන්න. මෙම ශතවර්ෂය තුළ දී මිනිස් වර්ගයාට පීඩා කර ඇති ගැටලු ම යේසුස් වහන්සේ එහි පුරෝකථනය කළ සේක: ජාත්‍යන්තර යුද්ධ, භූමිකම්පා, ලෙඩ රෝග, ආහාර හිඟයන් සහ පුළුල් ලෙස පැතිරුණු අපරාධ. මෙම සිද්ධීන් අඟවන්නේ කුමක් ද? යේසුස් වහන්සේ ම මෙසේ පැහැදිලි කරන සේක: “මේ දේ සිදුවෙන්ට පටන්ගන්න කල, නුඹලාගේ මිදීම ළංවූ බැවින්, ඉහළ බලා, හිස් ඔසවාපල්ලා . . . මේ දේ සිදුවෙනවා නුඹලා දකින කල, දෙවියන්වහන්සේගේ රාජ්‍යය ළඟ බවත් දැනගනිල්ලා.”—ලූක් 21:10, 11, 28, 31.
ඔබේ අනාගතයට ප්‍රධාන මඟ එම රාජ්‍යයයි. කෙටියෙන් කියනවා නම්, එය පොළොව පාලනය කිරීමේ දෙවියන් වහන්සේගේ මාධ්‍යය වන ආණ්ඩු ක්රමයකි. එම රාජ්‍යය ආණ්ඩු ක්‍රමය මගින් මනුෂ්‍ය අත්වලින් පොළොව පාලනය කිරීම බලෙන් උදුරා ගනු ඇත. (දානියෙල් 2:44, 45) මිනිස් දූෂණයේ පහර දීම්වලින්—මිනිස් වර්ගයා හා—පොළොව ගලවා ගන්නා වූ දෙවියන් වහන්සේගේ අත්වලින් “පොළොව විනාශකරන්නවුන්” ම විනාශයට මුහුණ දෙනු ඇත.—එළිදරව් 11:18; දේශනාකාරයා 1:4.
දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ පරිපාලනය යටතේ සුරක්ෂිත ව තිබෙන්නා වූ පොළොව, ක්‍රමක්‍රමයෙන් පාරාදීස පොළොවක් බවට පත් වනු ඇත. (ලූක් 23:43) මෙලෙස පරිපූර්ණ පාරිසරික සමබරතාවයක් නැවත පැමිණෙනු ඇත. ඇයි, මිනිසා සහ වනසතා අතර පවා එකඟත්වයක් තිබෙනු ඇත. (යෙසායා 11:6-9) යුද්ධ සහ යුද්ධෝපකරණ පහ වී යනු ඇත. (ගීතාවලිය 46:8, 9) අපරාධ, සාගින්න, නිවාස හිඟය, අසනීප—මරණය පවා—මුළුමනින් ම පහ කරනු ලැබේ. පොළොවේ වැසියන් “මහත් සමාදානයෙන් ප්‍රීතිමත් වන්නෝය.”—ගීතාවලිය 37:10, 11; 72:16; යෙසායා 65:21, 22; එළිදරව් 21:3, 4.
දෙවියන් වහන්සේගේ පොරොන්දු ‘පරීක්ෂා කිරීම’
පාරාදීසයක සදාකාල ජීවනය—එය ඔබේ අනාගතය විය හැක! එහෙත් එම අදහස සිත්කලු එකක් විය හැකි අතර ම, සමහර විට සියලු යහපත් ජනයා ස්වර්ගයට යන බවට විශ්වාසය හෝ බයිබලය ගැන ම ඔබට තිබෙන අවිශ්වාසයන් අත්හැරීමට ඔබට අසීරුතාවයක් තිබිය හැක. යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් අතර ඇතැම් යෞවනයන් පවා ඔවුන්ගේ ඇදහිල්ල සමහර අවස්ථාවල දී බිය උපදවන ලෙස අස්ථිර වී ඇති බව සොයා ගෙන ඇත. උදාහරණයක් ලෙස, මිෂෙල්, සාක්ෂිකාර දෙමව්පියන් යටතේ හැදී වැඩුණි. බයිබලය සැබෑ බව පිළිගැනීම හරියට රාත්‍රිය පසුකර උදය පැමිණෙන බව පිළිගන්නවා වැනි ය. එහෙත්, දිනක්, ඇය බයිබලය විශ්වාස කළේ මන්දැයි යන්න ඇය දැන සිටියේ නැති බව ඇයට ටිකෙන් ටික තේරුම් යන්නට විය. “මං හිතන විධියට මම ඒ දක්වා එය විශ්වාස කළේ මගේ අම්මයි, තාත්තායි එය විශ්වාස කළ නිසා වෙන්න ඇති,” යයි ඇය පැවසුවා ය.
“ඇදහිල්ල නැතුව [දෙවියන් වහන්සේ ව] ප්‍රසන්නකරන්ට නුපුළුවන,” යයි බයිබලය පවසයි. (හෙබ්‍රෙව් 11:6) එහෙත්, ඇදහිල්ල කියන්නේ ඔබේ මවට සහ පියාට එය තිබෙන නිසා ඔබට උරුම වී තිබෙන දෙයක් නොවේ. ඔබේ අනාගතය සුරක්ෂිත වීමට නම්, ශක්තිමත් සාක්ෂියක් මත—“බලාපොරොත්තුවන දේවල් ගැන සහතිකය”ක් මත—ඔබ ඇදහිල්ලක් ගොඩනැංවිය යුතු ය. (හෙබ්‍රෙව් 11:1) බයිබලය පවසන ආකාරයට, ඔබ ‘සියලු දේවල් ගැන සහතික විය යුතුයි’ නැතහොත් නව අනුවාදය නම් බයිබලයේ එය ප්‍රකාශ කරන ලෙස, “සියල්ල විමසා බලා යහපත් දේ තදින් අල්ලාගන්න.”—1 තෙසලෝනික 5:21.
බයිබලය සැබෑ බව ඔබට ම ඔප්පු කර ගැනීම
බයිබලය සැබවින් ම “දේවානුභාවයෙන්,” ද යන්න පළමුවෙන් සෝදිසි කර බැලීමට ඔබට සිදුවිය හැක. (2 තිමෝති 3:16) එසේ කිරීමට ඔබට හැක්කේ කෙසේ ද? අසමත් නොවී ‘මුල පටන් අන්තිමය දක්වා පැවසිය’ හැක්කේ සර්වබලධාරී දෙවියන් වහන්සේට පමණකි. (යෙසායා 43:9; 46:10) තව ද උන් වහන්සේ බයිබලයේ නැවත නැවත එසේ කියන සේක. යෙරුසලමේ වැටීම සම්බන්ධයෙන් ලූක් 19:41-44 සහ 21:20, 21 හි වාර්තා වී ඇති අනාවැකි කියවන්න. නැතහොත් බබිලෝනියේ වැටීම ගැන යෙසායා 44:27, 28 සහ 45:1-4 හි සඳහන් අනාවැකි බලන්න. මෙම සිද්ධීන් බයිබලයේ කොතරම් නොවරදින ලෙස පුරෝකථනය කර තිබෙන්නේ ද යන්න බාහිර ඉතිහාසය ඔප්පු කරයි! “එහි අනාවැකිවලින් සමහරක් පරීක්ෂා කිරීමෙන් පසු ව,” 14-හැවිරිදි ජැනීන් මෙසේ පැවසුවා ය, “එහි සඳහන් වූ සියල්ල කලින් කීමට එයට හැකි වූ අයුරු දැකීමෙන් මම ඇත්තට ම පුදුමයෙන් පුදුම වුණා.”
බයිබලයේ ඓතිහාසික නිරවද්‍යතාවය, අවංක භාවය, නොවළහා තොරතුරු සැපයීම සහ පරස්පර විරෝධී බවක් නොතිබීම, බයිබලය කෙරෙහි ඇදහිල්ල තැබීමට වැඩිමනත් හේතු වේ.a එහෙත් යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් බයිබලය තේරුම් ගන්නා ආකාරය නිවැරදි බව ඔබ දන්නේ කෙසේ ද? පැරණි බෙරීයයේ ජනාවාසීන් බයිබලය ගැන ප්‍රේරිත පාවුල්ගේ පැහැදිලි කිරීම ප්‍රශ්න කිරීමෙන් තොර ව පිළිගත්තේ නැත. ඒ වෙනුවට, ඔවුහු ‘මේ කාරණා මෙසේ දැයි දැනගන්නා පිණිස දවස් පතා ලියවිලි පරීක්ෂා කර බැලූහ.’—ක්‍රියා 17:11.
එලෙස ම බයිබලයේ ඉගැන්වීම්වල ගැඹුරු අධ්‍යයනයක් කිරීමට අපි ඔබෙන් උදක් ම ඉල්ලා සිටිමු. පාරාදීස පොළොවක සදාකල් ජීවත්වන්ට ඔබට හැක සහ එකම සැබෑ දෙවියන් වහන්සේගේ නමස්කාරයෙහි එක්සත්වීම යන ප්රකාශනවල (වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් න්යූ යෝර්ක්, ඉන්ක්. මගින් ප්‍රකාශයට පත් කර ඇත.) මෙම ඉගැන්වීම් පැහැදිලි අයුරකින් ඉදිරිපත් කොට තිබේ. ඔබේ දෙමව්පියන් යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් නම්, ඔබට තිබිය හැකි ඕනෑ ම ප්‍රශ්නයක දී ඔබට උපකාර කිරීමට නිසැක ව ම ඔවුන්ට හැකි වනු ඇත. “මේ සම්බන්ධයෙන් ඔබට යම් ගැටලු තිබේ නම් ඔබේ දෙමව්පියන් සමඟ කාරණා අවංක ව කථා කරගන්න” යයි යෞවන ස්ත්‍රියක් වන ජානෙල් යෝජනා කරන්නී ය. “විශ්වාස කිරීමට අමාරු දෙයක් තිබෙන බව ඔබට දැනෙනවා නම් ප්‍රශ්න අසන්න.” (හිතෝපදේශ 15:22) කාලයාගේ ඇවෑමෙන් ඇත්තෙන් ම යෙහෝවඃ වහන්සේ ස්වකීය සාක්ෂිකරුවන් ව බයිබල් සත්‍යයන් ගැන මවිතාකාර තේරුම් ගැනීමකින් ආශීර්වාද කර තිබෙන බවට වූ කාරණය ඔබ අගය කරනවා නොඅනුමාන ය!
ප්‍රෙන්ටිස් නමැති යෞවනයෙක් මෙසේ පවසයි: “ලෝකය පවතින ආකාරය ගැන සමහර විට මට කලකිරීමක් ඇති වේ. මම එළිදරව් 21:4, වැනි ශුද්ධ ලියවිලි පද බලන විට, එය මට බලාපොරොත්තුවක් තබා ගැනීමට යම් පදනමක් දෙයි.” එසේ ය, දෙවියන් වහන්සේගේ පොරොන්දු කෙරෙහි ශක්තිමත් ඇදහිල්ලක් තබා ගෙන සිටීම ඔබේ බලාපොරොත්තුවට බලපාන බව සහතික ය. ඔබ අනාගතය දෙස බලන්නේ ශෝකයෙන් නොව, සතුටින් පිරි බලාපොරොත්තුවෙනි. ඔබේ වත්මන් ජීවිතය ඉලක්කයක් නැති පොර බැදීමක් නොව, නමුත් ‘සැබෑ ජීවනය අල්ලා ගන්නා පිණිස අනාගතය සඳහා ස්ථිර පදනමක් ඔබට ම ප්‍රවේසමෙන් රැස්කර ගැනීමේ’ මාධ්‍යයකි.—1 තිමෝති 6:19.
එහෙත් එම “සැබෑ ජීවනය” අත්කර ගැනීමට, හුදෙක් බයිබලයේ ඉගැන්වීම් ඉගෙනීමට සහ ඒවා විශ්වාස කිරීමට වඩා වැඩි යමක් කිරීමට තිබේ ද?
[අධෝලිපි]
a බයිබලයේ නිරවද්‍යතාවය සම්බන්ධයෙන් වැඩි විස්තර සඳහා රීසනිං ෆ්‍රොම් ද ස්ක්‍රිප්චර්ස් නම් (වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් න්යූ යෝර්ක්, ඉන්ක්. මගින් ප්රකාශිතය.) ප්රකාශනයේ පිටු 58-68 දක්වා බලන්න.
සාකච්ඡාව සඳහා ප්‍රශ්න
◻ තම අනාගතය සම්බන්ධයෙන් බොහෝ යෞවනයන් තුළ ඇත්තේ කුමන බියක් ද?
◻ පොළොව සඳහා දෙවියන් වහන්සේගේ මුල් අරමුණ කුමක් වී ද? දෙවියන් වහන්සේගේ අරමුණ වෙනස් වී නැති බවට සහතික වීමට අපට හැක්කේ මන්ද?
◻ පොළොව සඳහා දෙවියන් වහන්සේගේ අරමුණ ඉටු කිරීමේ දී රාජ්‍යය මගින් ඉටු කරනුයේ කුමන කාර්ය භාරය ද?
◻ බයිබලයේ ඉගැන්වීම්වල සත්‍යතාවය ඔබ විසින් සෝදිසි කර බැලීම අවශ්‍ය වන්නේ මන්ද, එමෙන් ම එසේ කිරීමට ඔබට හැක්කේ කෙසේ ද?
◻ බයිබලය දේවානුභාවයෙන් ලියා තිබෙන බව ඔබට ම ඔප්පු කර ගැනීමට ඔබට හැක්කේ කෙසේ ද?
[306 පිටුවෙහි හුවා දැක්වීම]
“ මට නම් බලාපොරොත්තු නැති තරම් ය. සැබවින් ම, අපට අපගේ ගැටලු විසඳීමට බැරි වෙයි.”—මනෝවිද්‍යාඥ බී. එෆ්. ස්කිනර්
[307 පිටුවෙහි ඇති පින්තූර]
මිනිසාට අපගේ ග්‍රහලෝකය විනාශ කිරීමට පොළොවේ මැවුම්කරුවාණන් ඉඩ නොදෙනු ඇත
[309 පිටුවෙහි ඇති පින්තූර]
බයිබලයේ සත්‍යතාවය ගැන ඔබ ඔබට ම නිසැක වී තිබේ ද?