ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • yp 4 පරි. 34-41 පි.
  • පියා සහ මව වෙන් වූයේ මන්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පියා සහ මව වෙන් වූයේ මන්ද?
  • යෞවනයන් අසන න—ක්‍රියාවට නැගිය හැකි තුරු
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • දෙමව්පියන් වෙන්වීමට හේතුව
  • ඔබට කළ හැකි දෙය
  • කාලයාගේ ඇවෑමෙන් ඇතිවිය හැකි සුව වීමේ ප්‍රතිඵල
  • ‘ඔවුන් නැවත එක් කිරීමට මට පුළුවන ’
  • ඔබේ දෙමව්පියන් සමඟ සමාදාන වීම
  • ඔබේ හැඟීම් එළිදරව් කරන්න
  • ඔබේ ජීවිතය හොඳින් ගත කිරීම
  • ඇයි අම්මයි තාත්තයි වෙන් වුණේ?
    යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 1වන පොත
  • දෙමාපියන් දික්කසාද වෙන්න යනවා නම් මොකද කරන්නේ?
    යොවුන් සිතේ ගැටලු
  • දික්කසාදය ගැන ඔබ දැනගත යුතු කරුණු හතරක්
    2010 පිබිදෙව්!
  • දික්කසාදය දරුවන්ට දුකක්
    පවුලේ හැමෝටම මඟ පෙන්වීම්
තව තොරතුරු
යෞවනයන් අසන න—ක්‍රියාවට නැගිය හැකි තුරු
yp 4 පරි. 34-41 පි.

පරිච්ඡේද 4

පියා සහ මව වෙන් වූයේ මන්ද?

“මගේ පියා අප හැර ගිය කාලය මට මතක් වේ. සිදු වෙමින් තිබුණේ කුමක් ද කියා අපි ඇත්තෙන් ම දැනගෙන සිටියේ නෑ. මුළු කාලයේ ම අපට තනි ව සිටීමට ඉඩහරිමින් මවට රැකියාවට යාමට සිදු විය. ඇතැම් විට අපි ජනේලය ළඟ හිඳගෙන ඇයත් අප ව දමා ගියා දැයි කල්පනා කරන්නෙමු. . . .”—දික්කසාද වූ පවුලක ගැහැණු ළමයෙක්.

තම දෙමව්පියන්ගේ දික්කසාදය ලෝක අවසානය මෙන් පෙනෙන්නට තිබිය හැකි අතර සදහට ම පැවතිය හැකි තරම් කනගාටුවක් උපදවන මහා විපත්තියක් මෙන් ද පෙනෙන්නට පුළුවන. එය බොහෝ විට ලැජ්ජාවේ හැඟීම්, කෝපය, කාංසාව, අත්හැර දමයි යන බිය, වරද සහිත බව, අසහනය, සම්පූර්ණයෙන් පරාජය වූ හැඟීම—පළිගැනීමට පවා ආශාව, වැනි හදිසියෙන් හටගන්නා හැඟීම් ඇති කරයි.

ඔබේ දෙමව්පියන් වෙන් වූයේ මෑතක දී නම්, ඔබ ද එවන් හැඟීම් අත්දකිමින් සිටිය හැක. එසේ වුවත්, මවක හා පියෙකු විසින් ඔබ ව ඇති දැඩි කිරීමට අපේ මැවුම්කරුවාණන් අරමුණු කළ සේක. (එපීස 6:​1-3) එහෙත්, ඔබ ප්‍රේම කරන ඔබේ දෙමව්පියෙකුගෙන් ඔබ ව ඈත්කර ඇත. තමාට වයස අවුරුදු හතේ දී වෙන් වූ දෙමව්පියන් සිටි පෝල් මෙසේ දුකින් පවසයි: “මම ඇත්තෙන් ම මගේ පියාට ඇලුම් කළා, මට ඔහු සමඟ ඉන්න ඕන වුණා. නමුත් මගේ මව අප ව අයිති කර ගත්තා.”

දෙමව්පියන් වෙන්වීමට හේතුව

බොහෝ විට දෙමව්පියෝ තම ප්‍රශ්න හොඳින් සඟවා තබා ගැනීමට වගබලා ගනිති. තම ළමා වියේ දී දෙමව්පියන් දික්කසාද වූ තැනැත්තියක් වන ලින් මෙසේ පවසන්නී ය: “මගේ දෙමව්පියන් දබර කරනවා මට මතක නැත. මම සිතුවේ ඔවුන් හොඳින් කල් ගෙවනවා කියලයි.” තව ද දෙමව්පියන් දබර කළත්, ඔවුන් ඇත්තට ම වෙන් වෙද්දී එය කම්පනයක් විය හැක!

බොහෝ අවස්ථාවල දී, වෙන්වීම සිදු වන්නේ එක් දෙමව්පියෙක් ලිංගික දුරාචාරයට වැරදිකරුවෙකු ව සිටින නිසා ය. නිර්දෝෂ කලත්‍රයාට දික්කසාදයක් ලබා ගැනීමට දෙවියන් වහන්සේ අවසර දෙන සේක. (මතෙව් 19:9) වෙනත් අවස්ථාවල දී, “උදහසත් කෝලාහලත් අපහාසත්” සැහැසිකම බවට පත් වී, එක් දෙමව්පියෙකු තුළ, ඔහුගේ, ඇගේ හෝ දරුවන්ගේ ශාරීරික සුභ සිද්ධිය ගැන බිය ඇති වීමට සලස්වයි.—එපීස 4:31.

නිසැක ව ම, සමහර දික්කසාදයන් සිදු වන්නේ, ඉතා ම සුළු හේතුවක් නිසා ය. තම ගැටලු විසඳා ගැනීමට වෑයම් කරනවා වෙනුවට, ඔවුන්ට ‘ප්‍රීතියක් නැති බව’ හෝ ‘තවදුරටත් ප්‍රේමයෙන් නොසිටින බව’ කියමින් ඇතැමෙක් ආත්මාර්ථකාමි ලෙස දික්කසාද වෙති. මෙය “දික්කසාදයට ද්වේෂ කරන දෙවියන් වහන්සේ” හට අප්‍රසන්න දෙයකි. (මලාකි 2:​16, NW ) තම සහකරුවන් ක්‍රිස්තියානින් බවට පත් වූ හෙයින් ඇතැමෙකු තම විවාහය බිඳ දමන බව යේසුස් වහන්සේ ද ඇඟ වූ සේක.—මතෙව් 10:​34-36.

තත්ත්වය කෙබඳු වුවත්, ඔබේ දෙමව්පියන් නිශ්ශබ්ද ව සිටීමට තෝරාගෙන සිටිය හැකි වීම හෝ දික්කසාදය සම්බන්ධයෙන් ඔබේ ප්‍රශ්නවලට අනුමාන පිළිතුරු පමණක් දීම යන කාරණාව, ඔවුන් ඔබට ප්‍රේම නොකරන බව අඟවන්නේ නැත.a තමන්ගේ ම වේදනාවෙන් වෙළී සිටින ඔබේ දෙමව්පියන් තම දික්කසාදය ගැන කථා කිරීමට අසීරු තත්ත්වයක සිටිය හැක. (හිතෝපදේශ 24:10) තව ද එකිනෙකාගේ වැරදි පිළිගැනීම නුසුදුසු බවත්, ලැජ්ජාවක් බවත් ඔවුන්ට හැඟිය හැක.

ඔබට කළ හැකි දෙය

ඔබේ සැලකිල්ලට යොමු වන දේ ගැන ඔබේ දෙමව්පියන් සමඟ සන්සුන් ව සාකච්ඡා කිරීමට යෝග්‍ය වේලාව කුමක් දැයි වටහා ගැනීමට උත්සාහ කරන්න. (හිතෝපදේශ 25:11) දික්කසාදය නිසා ඔබ කෙතරම් කනගාටුවෙන් හා වියවුලෙන් සිටින්නේ දැයි ඔවුනට දැනගැනීමට සලස්වන්න. සමහර විට ඔවුන් ඔබට සෑහීම ගෙන දෙන විස්තරයක් දෙනු ඇත. එසේ නොවුවත්, බලාපොරොත්තු නැති කරන්ගොන්න. තම ගෝලයන් තේරුම් ගැනීමට සූදානම් ව නොසිටින බව යේසුස් වහන්සේට හැඟුණ නිසා, උන් වහන්සේ ඔවුන්ට තොරතුරු හෙළි නොකර සිටියේ නැද්ද? (යොහන් 16:12) එමෙන් ම යම් දේවල් පුද්ගලික ව තබා ගැනීමට ඔබේ දෙමව්පියන්ට අයිතියක් නැද්ද?

අවසන් වශයෙන්, දික්කසාදයට හේතුව කුමක් වුවත්, එය ඔවුන් අතර ඇති වූ ආරවුලක් විනා—ඔබ සමඟ ඇති වූවක් නොවේ ය යන කරුණ අගය කරන්න! දික්කසාද වූ පවුල් 60ක් පිළිබඳ ව වොලර්ස්ටෙයින් හා කෙලි විසින් කරන ලද අධ්‍යයනයේ දී, එම විවාහකයන් දික්කසාදයට හේතුව වශයෙන් එකිනෙකාට, තම ස්වාමිවරුන්ට, පවුලේ සාමාජිකයන්ට හා තම මිතුරන්ට දොස් පැවරූ බව සොයා ගත්හ. එහෙත්, පර්යේෂකයන් පවසන්නේ: “කිසිවෙක්, තම දරුවන්ට දොස් පැවරීමට සූදානම් ව සිටියේ නැත,” කියා ය. ඔබ කෙරෙහි ඔබේ දෙමව්පියන්ගේ හැඟීම් වෙනස් නොවී තිබේ.

කාලයාගේ ඇවෑමෙන් ඇතිවිය හැකි සුව වීමේ ප්‍රතිඵල

“සුව වීමට කාලයක්” ඇත. (දේශනාකාරයා 3:3, NW ) එසේ ම, සැබෑ තුවාලයක්, බිඳුණු ඇටයක්, සම්පූර්ණයෙන් ම සුව වීමට සති හෝ මාස ගණන් පවා ගත විය හැකි ආකාරයෙන් ම චිත්ත වේගීය තුවාලයක් සුව වීමටත් කාලයක් ගත විය හැක.

දික්කසාද පර්යේෂකයන් වන වොලර්ස්ටෙයින් සහ කෙලි සොයා ගත්තේ දික්කසාදයකට වසර කිහිපයකට පසු ව “විශාල ලෙස පැතිරී ගිය භය, ශෝකය, අවිශ්වාසයේ වික්ෂිප්ත භාවය . . . අඩු වී ගිය බව හෝ සම්පූර්ණයෙන් නැති වූ බව ය.” දික්කසාදයකින් පසු වසර තුනක් අතරතුර වඩා නරක ම තත්ත්වය අවසන් වන බව ඇතැම් ප්‍රවීණයන්ට හැඟේ. මෙය දීර්ඝ කාලයක් මෙන් පෙනිය හැකි නමුත්, ඔබේ ජීවිතය ස්ථිර වීමට පෙර සිදු වීමට බොහොමයක් ඇත.

එක් දෙයක් නම්, දික්කසාදයෙන් කඩාකප්පල් වූ—නිවසේ දිනචර්යාව—නැවත සකස් කරගත යුතු ය. ඔබේ දෙමව්පියන්ට නැවතත් චිත්ත වේගී ව, සුවය ලැබීමට කාලයක් ද ගත වනු ඇත. අවසානයේ දී ඔබට අවශ්‍ය උපකාරය දෙන්නට ඔවුන්ට හැකි වන්නේ එවිට පමණි. ඔබේ ජීවිතය නැවතත් යම් ක්‍රමවත් ආකාරයක් ගන්නා බැවින්, ඔබට නැවතත් සාමාන්‍ය බවක් හැඟීමට පටන් ගනු ඇත.

කෙසේ වුවද, සාලමොන් මෙම අනතුරු ඇඟවීම දුන්නේ ය: “පළමු දවස් මේවාට වඩා හොඳව තිබුණේ මොන කාරණයක් නිසාදැයි නොකියන්න; මක්නිසාද නුඹ මේ ගැන ප්‍රඥාවෙන් යුක්තව විමසනවා නොවේ.” (දේශනාකාරයා 7:10) අතීතය ගැන සිතමින් සිටීමෙන් වර්තමානය කෙරෙහි ඔබ ව අන්ධ කළ හැක. දික්කසාදයට පෙර ඔබේ පවුලේ තත්ත්වය කෙබඳු වී ද? “බොහෝ දබර—කෑගැසීම සහ නරක වචන කියා බැණ වැදීම—සැමවිට ම සිදු විය,” යයි ඇනට් ඒත්තු ගත්තා ය. ඔබ දැන් ගෘහස්ථ සාමය භුක්ති විඳිනවා විය හැකි ද?

‘ඔවුන් නැවත එක් කිරීමට මට පුළුවන ’

සමහර විට තම දෙමව්පියන් නැවත විවාහ වූවාට පසු ව පවා, එවන් මනඃකල්පිත අදහස්වල එල්බ ගනිමින් ඇතැම් යෞවනයෝ තම දෙමව්පියන් නැවත එක් කිරීමට සිහින මවමින් සිටිති!

කෙසේ වෙතත්, දික්කසාදය ප්‍රතික්ෂේප කිරීමෙන් කිසි වෙනසක් සිදු නොවේ. එසේ ම, සියලු කඳුළු ද, කන්නලව් ද, උපක්‍රම යෙදීම ද, යන සියල්ල කිසිසේත් ඔබේ දෙමව්පියන් ව නැවත එක් කරන්නේ නැත. එමනිසා සිදු විය නොහැකි දේවල් ගැන සිතමින් ඔබ ව වේදනාවට පත් කරගන්නේ මන්ද? (හිතෝපදේශ 13:12) “නැතිවීමට අරින්ට කාලයක්ය,” යයි සාලමොන් පැවසී ය. (දේශනාකාරයා 3:6) එබැවින් දික්කසාදයේ යථාර්ථය හා ස්ථිරත්වය පිළිගන්න. මෙය, ඔබට එයින් ගොඩ ඒමට මහත් පියවරක් වේ.

ඔබේ දෙමව්පියන් සමඟ සමාදාන වීම

ඔබේ ජීවිතය කඩාකප්පල් කිරීම නිසා ඔබ සාධාරණ ලෙස ඔබේ දෙමව්පියන් සමඟ කෝප විය හැකි ය. එක් යෞවනයෙක් ඒ ගැන ඉමහත් වේදනාවකින් සඳහන් කළේ මේ අයුරිනි: “මගේ දෙමව්පියෝ ආත්මාර්ථකාමි වූහ. ඔවුන් සැබවින් ම අප ගැනවත්, ඔවුන් කළ දේ අපට බලපාන ආකාරය ගැනවත් සිතුවේ නැත. ඔවුහු නොනවත්වා තම අදහස් ක්‍රියාත්මක කරගෙන ගියහ.” මෙය සැබෑ විය හැක. එහෙත් ඔබට ම අනතුරක් කර නොගෙන, මහත් කෝපයක් හා වේදනාවක් උසුලා ගෙන ඔබට ජීවිතය පවත්වා ගෙන යා හැකි ද?

බයිබලය මෙසේ උපදෙස් දෙයි: “සියලු තික්තකමත් කෝපයත් උදහසත් . . . නුඹලා කෙරෙන් පහකරනු ලැබේවා. නුඹලා එකිනෙකා කෙරෙහි ගුණවන්තව අනුකම්පා ඇතුව සිට, . . . එකිනෙකාට [නොමසුරු ව NW ] කමාවෙයල්ලා.” (එපීස 4:​31, 32) ඔබට ඉමහත් වේදනාවක් දී ඇති කෙනෙකුට සමාව දීමට ඔබට හැක්කේ කෙසේ ද? ඔබේ දෙමව්පියන් වරදින සුලු, අසම්පූර්ණ මනුෂ්‍යයන් බැවින් ඔවුන් ගැන යථාර්ථානුරූපි ආකාරයකින් කල්පනා කිරීමට වෑයම් කරන්න. එසේ ය, දෙමව්පියෝ පවා ‘පව්කොට දෙවියන් වහන්සේගේ මහිමයෙන් හීන ව සිටිති.’ (රෝම 3:23) මෙය තේරුම් ගැනීම ඔබේ දෙමව්පියන් සමඟ සමාදාන වීමට ඔබට උපකාරයක් විය හැක.

ඔබේ හැඟීම් එළිදරව් කරන්න

“මගේ දෙමව්පියන්ගේ දික්කසාදය ගැන මට හැඟුණේ කෙසේ ද කියා මං ඇත්තෙන් ම කිසි දවසක සාකච්ඡා කළේ නෑ,” යයි අප විසින් සම්මුඛ සාකච්ඡාවකට කැඳවනු ලැබූ විට යෞවනයෙක් පැවසී ය. මුලින් චිත්ත වේගී ව වෙනසක් නොදැක්වුවත්, තම දෙමව්පියන්ගේ දික්කසාදය ගැන කථා කරන විට යෞවනයාගේ සිතේ හැඟීම් බලවත් වී කඳුළු පවා ආවේ ය. බොහෝ කලකට වැළලී තිබුණා වූ හැඟීම් හෙළි කරනු ලැබී ය. මේ ගැන පුදුමයට පත් වූ ඔහු මෙසේ පිළිගත්තේ ය: “ඒ ගැන කථා කිරීම සැබවින් ම මට උපකාරයක් වුණා.”

එසේ ම, ඔබ ම තනි වෙනවා වෙනුවට, යමෙකු කෙරෙහි විශ්වාසය තබා සියල්ල පැවසීම උපකාරවත් වන බව ඔබ දැනගනු ඇත. ඔබට හැඟෙන්නේ කෙසේ ද, ඔබ භය වන්නේ කුමක් ගැන ද එමෙන් ම ඔබේ කාංසාවන් ගැන ද, ඔබේ දෙමව්පියන්ට දැනගැනීමට සලස්වන්න. (හිතෝපදේශ 23:​26 සසඳන්න.) මේරූ ක්‍රිස්තියානින්ට ද උපකාරවත් වීමට හැක. උදාහරණයක් ලෙස, දික්කසාදයකින් වෙන් වී තිබුණු තම පවුලෙන් කීත්ට උපකාරයක් නොලැබුණු තරම් ය. එහෙත් ඔහුට වෙනත් තැනකින් උපකාර ලැබිණ. කීත් මෙසේ පවසයි: “ක්‍රිස්තියානි සභාව මගේ පවුල බවට පත්විය.”

සියල්ලට ම වඩා, “යාච්ඤා අසන තැනැන්වහන්ස,” වන ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ, ඔබට සවන් දෙන බව ඔබට දැනගන්නට පුළුවන් වේ. (ගීතාවලිය 65:2) පෝල් නමැති තරුණයෙක් තම දෙමව්පියන්ගේ දික්කසාදයෙන් ගොඩ එන්නට තමාට උපකාර වූ දේ ගැන මෙසේ සිහිපත් කරයි: “මම සැමවිට ම යාච්ඤා කළ අතර සැමවිට ම හැඟුණේ යෙහෝවඃ වහන්සේ සැබෑ පුද්ගලයෙකු කියලයි.”

ඔබේ ජීවිතය හොඳින් ගත කිරීම

දික්කසාදයකින් පසු, දේවල් තිබුණු තත්ත්වයට ම කිසිදා නොපවතින්නට පුළුවන. එහෙත්, ඔබේ ජීවිතය ඵලදායී, සතුටුදායක එකක් නොවිය හැකි බව මින් අදහස් නොකරයි. බයිබලය මෙසේ අවවාද කරයි, “උත්සාහවන්තකමේදී මැළි නොවෙල්ලා;” (රෝම 12:11) එසේ ය, දුකෙන්, වේදනාවෙන්, හෝ කෝපයෙන් ඔබ ව ක්‍රියා කළ නොහැකි වීමට ඉඩහරිනවා වෙනුවට, ඔබේ ජීවිතය හොඳින් ගත කරන්න! ඔබේ පාසල් කටයුතුවල නිරත වන්න. විනෝදාංශයක යෙදී සිටින්න. “ස්වාමීන්වහන්සේගේ මෙහෙයෙහි වඩ වඩා” පවතින්න.—1 කොරින්ති 15:58.

වැඩ කිරීම, අධිෂ්ඨානය, සහ කාලය පසු වී යෑම එයට අවශ්‍ය වනු ඇත. එහෙත් අවසානයේ දී ඔබේ දෙමව්පියන්ගේ විවාහය බිඳවැටීම තවදුරටත් ඔබේ ජීවිතයේ ප්‍රධාන දෙය නොවනු ඇත.

[අධෝලිපි]

a  “අධ්‍යයනය කරන ලද [දික්කසාද වූ දෙමව්පියන්ගේ] බාල ම දරුවන්ගෙන් පහෙන්-හතරකට ම ප්‍රමාණවත් පැහැදිලි කිරීමක් හෝ දිගට ම සැලකිල්ලක් දක්වන බවට සහතිකයක් දී නොතිබුණි. ප්‍රතිඵලයක් වශයෙන්, එක් උදෑසනක ඔවුන් නැගිට බලන විට එක් දෙමව්පියෙකු ගොස් සිටි බව දැනගැනීමට ලැබුණි” ලෙසට පර්යේෂක වොල්ස්ටෙයින් හා කෙලි සොයා ගත්තේ ය.

සාකච්ඡා කිරීම සඳහා ප්‍රශ්න

◻ දෙමව්පියන් වෙන් වන්නේ මන්ද යන්නට ඇතැම් හේතු මොනවා ද?

◻ ඒ ගැන කථා කිරීමට ඔබේ දෙමව්පියන්ට දුෂ්කර විය හැක්කේ මන්ද? ඔවුන් කථා කිරීමට එබඳු පසුබෑමක් දක්වන විට කුමක් කිරීමට ඔබට හැකි ද?

◻ අතීතය ගැන සිතමින් සිටීම හෝ ඔබේ දෙමව්පියන් නැවත එක් කළ හැකි යයි සිහින මැවීම නිරර්ථක වන්නේ මන්ද?

◻ දික්කසාදයෙන් ගොඩ ඒමට ඔබට ම උපකාරවත් විය හැකි ඇතැම් ඒකාන්ත දේවල් මොනවා ද?

◻ ඔබේ දෙමව්පියන් කෙරෙහි ඔබට ඇති විය හැකි කෝපය සමඟ ක්‍රියා කිරීමට ඔබට හැක්කේ කෙසේ ද?

[36 සහ 37 පිටුවල ඇති කොටුව]

‘දික්කසාදය මගේ ජීවිතය විනාශ කරයි ද?’

තම දෙමව්පියන් දික්කසාද වූ අවධියේ දී, ඇතැම් යෞවනයෝ සැබවින් ම තම ජීවිත විනාශ කරගනිති. ඇතැමෙක් පාසලෙන් පිට වීම වැනි හදිසි තීරණ ගනිති. දික්කසාද වීම නිසා තම දෙමව්පියන්ට දඬුවම් කිරීමට යන්නාක් මෙන්—වෙනත් අය අනිසි ලෙස හැසිරෙමින් තමාට හැඟෙන නිෂ්ඵල භාවය හා කෝපය හෙළි කරති. ඩෙනි මෙසේ සිහියට නඟයි: “මගේ දෙමව්පියන්ගේ දික්කසාදයෙන් පස්සෙ මම අසතුටට හා දොම්නසට පත් වී සිටියා. පාසලේ දී මට ප්‍රශ්න ඇති වෙන්නට පටන් ගත් අතර එක් වසරක අසමත් වුණා. ඊට පස්සෙ . . . මං පංතියේ විකටයා බවට පත්වී බොහෝ දබරවලට පටලැවුණා.”

දරුණු හැසිරීමට ඇත්තෙන් ම තම දෙමව්පියන්ගේ අවධානය ඇදගන්නට පුළුවන. එහෙත් දැනටමත් පීඩාකාරී තත්ත්වයකට තවත් පීඩා එකතු වෙනවා හැරෙන්න, සැබවින් ම ඉටු වන්නේ කුමක් ද? සැබවින් ම, වැරදි කිරීමෙන් දඬුවම් ලබන්නේ වැරදි කරන පුද්ගලයාමයි. (ගලාති 6:7) ඔබේ දෙමව්පියන් ද වේදනා විඳින බවත් ඔවුන් ඔබ ව නොසලකා හැරියා යයි පෙනෙන්නට තිබීම නපුරු අදහසකින් කරන ලද එකක් නොවන බවත් තේරුම් ගැනීමට වෑයමක් දරන්න. ඩෙනිගේ මව මෙසේ වරද පිළිගත්තා ය: “මම ස්ථිර වශයෙන් ම මගේ දරුවන් ව නොසලකා හැරියා. දික්කසාදයෙන් පස්සෙ, මම එතරම් ම අවුල් ව සිටිය නිසා, ඔවුන්ට උපකාර කිරීමට මට නොහැකි වුණා.”

හෙබ්‍රෙව් 12:13 හි බයිබලය මෙසේ උපදෙස් දෙයි: “කොර කකුල් අහක් කරනු නොලැබ, සුවවෙන පිණිස, නුඹලාගේ පාදවලට සමතලා පාරවල් සාදාගනිල්ලා.” දෙමව්පියන්ගේ හික්මවීම නොතිබෙන අවස්ථාවක දී වුවත්, අනිසි හැසිරීමට සමාවක් නැත. (යාකොබ් 4:17) ඔබේ ක්‍රියාවලට වගකිව යුතු බව පිළිගන්න, ආත්ම ශික්ෂණය පවත්වාගන්න.—1 කොරින්ති 9:27.

උදාහරණයක් ලෙස, නිවස හැර යාම වැනි හදිසි තීරණ ගැනීමෙන් ද වළකින්න. “බුද්ධිමත් මනුෂ්‍යයා තමාගේ පියවර හොඳට බලාගනියි” (හිතෝපදේශ 14:15) මෙම අවස්ථාවේ දී ඔබට සවන් දිය නොහැකි තරමට ම ඔබේ දෙමව්පියන් වික්ෂිප්ත ව සිටිනවා නම්, තරමක් වයසින් වැඩි මිතුරෙකු සමඟ ඔබේ තීරණ ගැන කථා නොකරන්නේ මන්ද?

තවමත්, ඔබේ අනාගතය ගැන බලාපොරොත්තු ගණනාවක් ඔබට තිබිය හැක. විවාහයේ දී ඔබේ දෙමව්පියන් අසමත් වූ බැවින්, සාර්ථක විවාහයක් භුක්තිවිඳීමේ ඔබේ ම අපේක්ෂාව ගැන ඔබ කනස්සලු විය හැකි බව තේරුම් ගත හැක. භාග්‍යයකට, විවාහ අසතුට—ලප මෙන්—ඔබේ දෙමව්පියන්ගෙන් උරුම කරගන්නා දෙයක් නොවේ. ඔබ අද්විතීය පුද්ගලයෙකු වන අතර, අනාගතයේ දී ඔබේ විවාහය කුමන එකක් වේ දැයි රඳා පවතින්නේ, ඔබේ දෙමව්පියන්ගේ අසමත් භාවය මත නොව, නමුත් ඔබ සහ ඔබේ කලත්‍රයා දේව වචනය කෙතරම් දුරකට අදාළ කරගන්නවා ද යන්න මත ය.

ඔබ කලින් ඇත්ත වශයෙන් ම පිළිගත් දේවල් වන—ආහාර, ඇඳුම් පැළඳුම්, ඉඳුම් හිටුම්, මුදල් ගැන ඔබ කනස්සලු වෙමින් සිටින බව ද ඔබ දැනගන්නවා ඇත. කෙසේ වෙතත්, බාහිර රැකියාවක් කිරීමට මවට සිදුවන විට පවා, දෙමව්පියෝ බොහෝ විට දික්කසාදයකින් පසු ව තම දරුවන්ට උපකාර කිරීමේ යම් මාධ්‍යයක් සොයා ගනිති. එහෙත්, සවයිවිං ද බ්රේක්අප් නමැති පොත යථාර්ථානුරූපී ව මෙසේ අනතුරු අඟවයි: “සෑම පවුල් සාමාජිකයෙකු ම ජීවන මට්ටමෙන් පහතට ඇද දමමින්, විටෙක එක පවුල් ඒකකයකට උපකාර කළ කෙනෙකු හට දැන් පවුල් දෙකකට උපකාර කළ යුතු ව ඇත.”

එමනිසා, බොහෝ දුරට ඔබ භුක්ති වින්දා වූ අලුත් ඇඳුම් වැනි දේවල් නොමැති ව සිටීම සඳහා ඔබට පුරුදු වන්නට සිදු වෙනු ඇත. එහෙත් බයිබලය අපට මෙසේ සිහි ගන්වයි: “අප මේ ලෝකයට කිසිවක් ගෙනාවේ නැත, එයින් අපට කිසිවක් ගෙනයන්ටත් බැරිය. තවද කෑම ඇඳීම අපට ඇත්නම් එයින් සතුටුවන්නෙමුව.” (1 තිමෝති 6:​7, 8) ඇතැම් විට අලුත් පවුල් අයවැය ලේඛනයක් පිළියෙල කිරීමෙන් උපකාර කිරීමට පවා ඔබට හැක. යෙහෝවඃ වහන්සේ “පියා නැත්තන්ට පියෙක්” වන බව ද මතක තබාගන්න. (ගීතාවලිය 68:5) උන් වහන්සේ ඔබේ අවශ්‍යතා ගැන ඉමහත් සේ සැලකිලිමත් ව සිටින බව ඔබට නිසැක විය හැක.

යෙරෙමියා මෙසේ නිරීක්ෂණය කළේ ය: “තමාගේ බාල වයසේ දී විය ගහ දැරීම මනුෂ්‍යයෙකුට යහපත.” (විලාප ගී 3:27) දෙමව්පියන් භේද වෙනවා දැකීම එතරම් “ප්‍රසන්න” නොවන බව සැබෑ ය. එහෙත් මෙම නිෂේධාත්මක අත්දැකීම ඔබේ ප්‍රයෝජනයට පවා හැරවිය හැකි ය.

පර්යේෂක ජූඩිත් වොලර්ස්ටෙයින් මෙසේ නිරීක්ෂණය කළේ ය: “පවුල් අර්බුදය මගින් ගෙන එනු ලබන්නා වූ [දික්කසාද වූ දෙමාපියන්ගේ දරුවන් අතර] චිත්ත වේගී හා බුද්ධිමය වර්ධනය, සිත්ගන්නා හා ඇතැම් විට හැඟීම් අවුස්සන්නක් ද විය. යෞවනයෝ . . . සන්සුන් ව තම දෙමව්පියන්ගේ අත්දැකීම් සලකා බලා තම අනාගතය සඳහා කල්පනාකාරී නිගමනයන්ට එළඹුණෝ ය. තම දෙමව්පියන් සිදු කළ වැරදිවලින් වැළකී සිටීම සඳහා මාර්ග සෙවීමට ඔවුහු සැලකිලිමත් ව සිටියහ.”

ඔබේ දෙමව්පියන්ගේ, වෙන්වීම ඔබගේ ජීවිතයේ වෙනසක් ඇති කරන බවට සැකයක් නැත. නමුත් එම වෙනස පහ වී යන කැලැලක් වේ ද නැතහොත් පැසවන තුවාලයක් වේ ද යන්න බොහෝ දුරට බාර ව තිබෙන්නේ ඔබට ය.

[35 පිටුවෙහි ඇති පින්තූරය]

ඔබේ දෙමව්පියන්ගේ විවාහය කැඩී බිඳී යනවා දැකීම සිතාගත හැකි ඉතා ම වේදනාකාරී අත්දැකීම්වලින් එකකි

[38 පිටුවෙහි ඇති පින්තූර]

ජීවිතය පැවති ආකාරය පිළිබඳ මතකයන් සිත සිතා සිටීමෙන් සිදු වන්නේ ඔබ ව කනස්සල්ලට පත්වීම පමණකි

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න