පරිච්ඡේද 3
මගේ දෙමව්පියන් විසින් මට වැඩි නිදහසක් දීමට මා ඉඩ සලසා ගන්නේ කෙසේ ද?
ඔබ පවසන්නේ සති අන්තවල රෑ බෝවන තුරු නිවසෙන් පිටත සිටීමට ඔබ ප්‍රමාණවත් වයසක සිටින බවයි. ඔවුන් පවසන්නේ ඔබ කල් ඇති ව නිවසට පැමිණිය යුතු ය කියායි. ඔබ පවසන්නේ සියල්ලෝ ම කථා කරන ඒ අලුත් චිත්‍රපටිය නැරඹීමට ඔබට ඕනෑ බවයි. ඔවුන් පවසන්නේ ඔබට එය නැරඹිය නොහැකි බවයි. ඔබ පවසන්නේ හොඳ ළමුන් සමහරෙක් ඔබට හමු වී තිබෙන බවත් ඔවුන් සමඟ යාමට කැමති බවත් ය. ඔවුන් පවසන්නේ ප්‍රථමයෙන් ඔබේ මිතුරන් ව හමුවීමට ඔවුන් කැමති බවයි.
ඔබ යොවුන් වියේ සිටිය දී, ඔබේ දෙමව්පියන් ඔබේ ජීවිතය හිරකර අල්ලාගෙන සිටිනවා වාගේ යයි ඔබට ඇතැම් විට හැඟෙන්නට පුළුවන. “මට ඕනෑ” යයි ඔබ පවසන සෑම විටක ම අනිවාර්යයෙන් ම “නෑ, ඔබට බෑ,” යයි පවසන බව පෙනෙන්නට තිබේ. ඔබේ දෙමව්පියන්ගේ “සුපරීක්ෂාකාරී ඇස්වලින්” ඔබේ ජීවිතයේ කිසි අංගයක් වැසී නැත. 15 හැවිරිදි ඩෙබි පවසන්නේ: “මගේ පියාට සැමවිට ම ඕනෑ මා ඉන්නේ කොහෙ ද, මා ආපසු නිවසේ ඉන්න යන්නේ කොයි වේලාවේ ද කියලා දැනගන්නයි. දෙමව්පියන් හුඟ දෙනෙක් එසේ කරනවා. ඔවුන් සෑම දෙයක් ම දැනගත යුතු ද? ඔවුන් මට වැඩි නිදහසක් දිය යුතුයි.”
තම දෙමව්පියන් තමන්ට ගෞරව කරන්නේ නැතැයි කියා යෞවනයෝ තවදුරටත් දොස් නගති. විශ්වාස කරනු ලැබීම වෙනුවට, යමක් වැරදුණු විට පරීක්ෂා කර බැලීමක් නැතු ව ම ඔවුහු වරදකරුවන් බවට විනිශ්චය කරනු ලබති. තමන්ට ම තෝරා ගැනීමට ඉඩ දෙනවා වෙනුවට, ඔවුහු නීති රීතිවලින් කොටු වී සිටිති.
“ මානසික පීඩාව”
ඔබේ දෙමව්පියන් ඇතැම් විට ඔබට කුඩා දරුවෙකු මෙන් සලකනවා ද? එසේ නම්, ටික කලකට පෙර ඔබ සැබවින් ම කුඩා දරුවෙකු ව සිටි බව මතක තබා ගන්න. අසරණ කුඩා ළදරුවෙකු ව සිටිය දී තිබුණා වූ ඔබේ රූපය තවමත් ඔබේ දෙමව්පියන්ගේ මනසේ පැහැදිලි ව ඇඳී තිබේ, එය පහසුවෙන් මකා දැමිය නොහැක. ඔබ බොළඳකමින් කළ අත් වැරදි තවමත් ඔවුන්ට මතක තිබෙන අතර ඔබට එවැනි ආරක්ෂාව අවශ්‍ය වුවත්, නැතත්—මෙලෙස ඔබ ව ආරක්ෂා කිරීමට ඔවුන්ට වුවමනා ය.
ඔබ ව ආරක්ෂා කිරීමට එම ඕනෑකම බලවත් ලෙස ශක්තිමත් එකකි. ඔබට ඉඳුම් හිටුම් සැපයීමට, ඇඳුම් සැපයීමට, හෝ ඔබට ආහාර සපයා දීමට මව සහ පියා කාර්ය බහුල ව නොසිටින අවස්ථාවන්හි දී, ඔවුහු බොහෝ විට පොර බදමින් සිටින්නේ, උගන්වන්නේ, පුහුණු කරන්නේ, ඔව්, ඔබ ව ආරක්ෂා කරන්නේ කෙසේ ද යන ප්‍රශ්න සමඟ ය. ඔබ කෙරෙහි ඔවුන් දක්වන උනන්දුව අහම්බෙන් දක්වනු ලබන එකකට වඩා වැඩි දෙයකි. ඔබ ව හදාවඩා ගන්නා ආකාරය ගැන ඔවුන් දෙවියන් වහන්සේ ඉදිරියෙහි වගකිව යුතු ය. (එපීස 6 :4) එමෙන් ම ඔබේ ශුභ සිද්ධියට යමක් තර්ජනය කරන බව පෙනෙන්ට තිබෙන විට, ඔවුහු කනස්සලු වෙති.
යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දෙමව්පියන් සලකා බලන්න. යෙරුසලමට ගියායින් පසු ව, ඔවුහු නොදැනුවත් ව ම ඔහු හැර නිවස බලා ගියහ. ඔහු නැති බව ඔවුන් දැනගත් විට, ඔවුහු උත්සාහවන්ත ව—ඉතා කලබලෙන් වාගේ—ඔහු ව සොයා ගියහ! තව ද අවසානයේ දී ඔවුන්ට “ඔහු ව දේවමාලිගාවේ දී සම්බ,” වූ විට යේසුස් වහන්සේගේ මව මෙසේ කීවා ය: “පුත්‍රය, කුමක් නිසා අපට මෙසේ කෙළෙහිද? බලව නුඹේ පියාද මමද සෝකවෙමින් [මානසික ව පීඩා විඳිමින් NW ] නුඹ සෙවුවෙමු.” (ලූක් 2 :41-48) හොඳයි පරිපූර්ණ දරුවෙකු වූ යේසුස් වහන්සේ—තම දෙමව්පියන්ගේ සිතෙහි කැළඹීමක් ඇති කළ සේක් නම්, ඔබ ඔබේ දෙමව්පියන්ගේ සිතේ කෙතරම් කනස්සල්ලක් ඇති කරයි ද කියා සිතා බලන්න!
උදාහරණයක් ලෙස, ඔබ නිවසට පැමිණිය යුත්තේ කිනම් වේලාවක ද යන්න ගැන නොනැවතී පවතින විරෝධය ගැන සලකා බලන්න. මේ අන්දමට තහනම් කරනු ලැබීමට කිසි ම හේතුවක් නොමැති බව ඔබට පෙනෙන්නට පුළුවන. එහෙත් ඔබේ දෙමව්පියන් කාරණා දෙස බලන ආකාරයට ඔබ කාරණා දෙස බලා තිබෙනවා ද? ද කිඩ්ස් බුක් අබව්ට් පේරන්ට්ස් යන පොතේ පාසල් වයසැති කර්තෘවරු එසේ කිරීමට වෑයමක් දැරූහ. “නියමිත වේලාවට තම දරුවන් නිවසෙහි නොසිටී නම් ඔවුන් කුමක් කරමින් සිටින්නේ ද කියා දෙමව්පියන්ගේ මනසෙහි ඇති විය හැකි මනඃකල්පිතයන්” වශයෙන් හැඳින් වූ දේවල් ගැන ලැයිස්තුවක් ඔවුහු සෑදූහ. මෙම ලැයිස්තුවට ‘මත් ද්‍රව්‍ය අත්හදා බැලීම, රිය අනතුරකට අසු වීම, උයන්වල සිටීම, සිරගත වීම, කාමුක චිත්‍රපටි නැරඹීම, මත් ද්‍රව්‍ය විකිණීම, දූෂණය කරනු ලැබීම හෝ මංකොල්ලකෑම, සිරභාරයට ගොදුරු වීම, සහ පවුලේ හොඳ නම කැත කිරීම,’ වැනි දෑ අඩංගු කර තිබුණි.
පෙනෙනාකාරයට සියලු ම දෙමව්පියෝ අදාළ නොවන මෙවැනි නිගමනවලට එළඹීමට හදිසි නොවෙති. එහෙත් බොහෝ තරුණ අය එවන් දේවලට සම්බන්ධ වී සිටින බව සත්‍යයක් නොවේ ද? එමනිසා ප්‍රමාද වීම හෝ වැරදි ආශ්‍රයන් තබා ගැනීම හානිදායක විය හැකි ය යන යෝජනාවට ඔබ අකමැති විය යුතු ද? යේසුස් වහන්සේගේ දෙමව්පියන්ට පවා උන් වහන්සේ ආගිය තැන් දැනගැනීමට අවශ්‍ය වූයේ මන්ද!
ඔවුන් විසින් යටත් කර තැබීමට හේතුව
උපද්‍රවයක් ඇති විය හැකියි යන වැරදි වැටහීම තුළින් ඔවුන්ට අනතුරක් පැමිණේ කියා තම දෙමව්පියන් බියවන බව ඇතැම් යෞවනයෝ පවසති! එහෙත් මතක තබාගන්න, බොහෝ කාලය හා චිත්ත වේගය ඔබ තුළ තැන්පත් කර තිබේ. ඔබ වැඩී අවසානයේ දී හැර දමා යයි යන සිතුවිල්ල ඔබේ දෙමව්පියන් කැළඹිය හැක. “මගේ එක ම දරුවාට, පුතාට, දැන් අවුරුදු දහනවයකි, ඔහුගේ පිට වී යාම ගැන කල්පනා කරන විට මට දරාගන්න බෑ,” යයි එක් දෙමව්පියෙක් ලීවේ ය.
මෙලෙස ඇතැම් දෙමව්පියන් තම දරුවන් ව යටත් කර තැබීමට හෝ වුවමනාවට වඩා ආරක්ෂා කිරීමට නැඹුරු වේ. එහෙත්, ඔබ ප්‍රමාණයට වඩා ආපසු ප්‍රතික්‍රියා කිරීම සැබෑ වරදක් වන්නේ ය. එක් යෞවන ස්ත්‍රියක් මෙසේ නැවත සිහිපත් කළා ය: “මා වයස අවුරුදු 18ට පමණ පැමිණෙන තෙක්, මගේ මව සහ මා ඉතා කිට්ටුවෙන් සිටියා. . . . [නමුත්] මා වයසින් වැඩුණ විට අප අතර ප්‍රශ්න ඇති වන්නට පටන් ගත්තා. යම් නිදහසක් පවත්වා ගැනීමට මට වුවමනා වුණත්, ඇය මෙය දකින්නට ඇත්තේ අපේ සබඳතාවයට සිදුවන තර්ජනයක් වශයෙනි. අනතුරුව, මා ව වඩා තදින් කොටු කර තබා ගැනීමට ඈ වෑයම් කළා, එයට මගේ ප්‍රතික්‍රියාව වුණේ වැඩියෙන් අහක් වී යෑමට වෑයම් කිරීම ය.”
යම් ප්‍රමාණයක නිදහසක් සුදුසු වන නමුත්, ඔබේ පවුල් සබඳතාවන්ට හානියක් කර එය ලබා ගැනීමට වෑයම් නොකරන්න. අන්‍යෝන්‍ය වටහා ගැනීම, ඉවසීම හා ගෞරවය මත පදනම් වූ, වඩා දැනුම් තේරුම් ඇති තත්ත්වයක් මත ඔබේ දෙමව්පියන් සමඟ ඔබට ඔබේ සබඳතාවය පවත්වාගත හැක්කේ කෙසේ ද? එක් දෙයක් නම්, ගෞරවය, ගෞරවය උපදවයි. වරක් ප්‍රේරිත පාවුල් මෙසේ සිහිපත් කළේ ය: “අපට දඬුවම් කළාවූ මාංසයේ පියවරු අපට සිටියෝ ය. අපි ඔවුන්ට ගෞරවකළෙමුව.” (හෙබ්‍රෙව් 12 :9) මෙම මුල් ක්‍රිස්තියානින්ගේ දෙමව්පියෝ නොවරදින සුලු අය නොවූ හ. (10වන ඡේදයේ) පාවුල් තවදුරටත් මෙසේ පැවසුවේ ය: “ඔවුහු ඇත්තෙන් ම . . . තමුන්ට යහපත්ව පෙණුනු ලෙස කළෝ ය.”—පොදු නව අනුවාදය.
ඇතැම් අවස්ථාවල මෙම මනුෂ්‍යයෝ තම විනිශ්චයේ දී වැරදි කළහ. එසේ වුවත් තම දරුවන්ගේ ගෞරවයට ඔවුහු සුදුස්සන් වූහ. එසේ ම ඔබේ දෙමව්පියෝ ද සුදුස්සන් වෙති. ඔවුන් යටත්කර තබා ගන්නට කැමැත්තක් දක්වන ආකාරයේ අය ය යන කරුණ හිතුවක්කාර වීමට හේතුවක් නොවේ. ඔබට අවශ්‍ය වන එම ගෞරවය ඔවුන්ට දෙන්න.
වැරදි වටහා ගැනීම්
ඔබේ පාලනය ඉක්මවන තත්ත්වයන් හේතුවෙන් ඔබ කවදා හරි ප්‍රමාද වී නිවසට පැමිණ තිබේ ද? ඔබේ දෙමව්පියෝ ප්‍රමාණය ඉක්මවා ප්‍රතික්‍රියා කළෙහු ද? එවන් වැරදි වැටහීම් ඔබට ගෞරවය දිනා ගැනීම සඳහා තවත් අවස්ථාවක් සලස්වයි. යෞවන යේසුස් වහන්සේ ඇතැම් ගුරුවරුන් සමඟ අහිංසක ලෙස දේවමාලිගාවේ දේව වචනය සාකච්ඡා කරමින් සිටිනවා උන් වහන්සේගේ දෙමව්පියන්ට සම්බ වූ විට යෞවන යේසුස් වහන්සේ තමා ව හසුරුවා ගත්තේ කෙසේ දැයි මතක් කරගන්න. තමන් වහන්සේගේ අදහස් ගැන චෝදනා කිරීම කෙතරම් නුසුදුසු ද කියා බලවත් හැඟීමෙන් යුතු ව පරුෂ වචන කීමට, හැඬීමට, හෝ කන්කෙඳිරිගෑමට යේසුස් වහන්සේ පටන්ගත් සේක් ද? උන් වහන්සේගේ සන්සුන් උත්තරය සලකා බලන්න: “නුඹලා මා සෙවුවේ මක්නිසාද? මාගේ පියාණන්වහන්සේගේ ගෘහයෙහි මා සිටින්ට ඕනෑ බව නුඹලා දැන සිටියේ නැද්ද?” (ලූක් 2 :49) නිසැක ව ම මෙහි දී උන් වහන්සේ පෙන් වූ මේරූ භාවය ගැන යේසුස් වහන්සේගේ දෙමව්පියෝ විස්මයට පත් වූහ. “මෘදු උත්තරයකින් කෝපය පහවෙනවා,” පමණක් නොව නමුත් ඔබේ දෙමව්පියන්ගේ ගෞරවය දිනා ගැනීමට ද උපකාරවත් විය හැක.—හිතෝපදේශ 15 :1.
නීති රීති සහ තහංචි
ඔබේ දෙමව්පියන්ගේ වේගවත් ඉල්ලීම්වලට ඔබ ප්‍රතික්‍රියා කරන අන්දම ඔබට සලකනු ලබන අන්දම කෙරෙහි ද බලපායි. ඇතැම් යෞවනයෝ බුම්මාගෙන, බොරු කියමින් හෝ ප්‍රසිද්ධියේ අකීකරු වෙමින් සිටිති. වඩා වැඩිහිටි ස්වභාවයක් පෙන්නුම් කරන්න. ප්‍රමාද වන තෙක් පිටත සිටීමට ඔබට අවශ්‍ය නම්, අනුවණ වේගවත් ඉල්ලීම් හෝ “අනිත් ළමයි හැම දෙනාට ම ප්‍රමාද වෙන තුරු පිටත සිටීමට හැකියි” කියමින් කන්කෙඳිරිගෑම හෝ නොකරන්න. ලේඛක ඇන්ඩ්‍රියා ඊගන් උපදෙස් දෙන්නේ: “ඔබට කිරීමට වුවමනා වන්නේ කුමක් ද යන්න ගැන ඔබට හැකි තරමින් ඔවුන්ට [කියන්න]. ඔබ සිටිනු ඇත්තේ කොතැන ද, කා සමඟ ද, සහ ප්‍රමාද වෙන තුරු පිටත රැඳීමට ඔබට වුවමනා මන්ද යන සියල්ල ඔබ ඔවුන්ට පවසනවා නම් . . . , එවිට ඔවුන් තත්ත්වය සැබවින් ම තේරුම් ගෙන . . . , ඔව් ඔබට හැක යයි සමහර විට කියනු ඇත.”
නැතහොත් ඔවුන් අනතුරට නොවැටී ආරක්ෂිත ව සිටිය යුතු ආකාරයට ම—ඔබේ මිතුරන්ගෙන් ඔබ ව ආරක්ෂා කරගැනීමට ඔබේ දෙමව්පියන්ට අවශ්‍ය වේ නම්—කුඩා දරුවෙකු මෙන් ඉකිබිඳින්න එපා. සෙවන්ටීන් සඟරාවේ උපදෙස් දී තිබෙන්නේ මෙසේ ය: “විටින් විට ඔබේ මිතුරන් නිවසට කැටුව එන්න. එවිට ඔබ බිල් සමඟ චිත්‍රපටියක් නැරඹීමට යනවා යයි පවසන විට, අනිත් කාමරයේ සිට ‘බිල්? බිල් කව්ද?’ කියා ඔබේ පියාට මොර දීමට කිසි ම හේතුවක් නොමැත.”
“වඩා දෙනු ඇත”
තම බාල සොහොයුරා වූ රොන් ගැන කථා කරද්දී ජිම් මදහසක් පායි. “අප අතර පරතරය වන්නේ මාස 11ක් පමණි, නමුත් අපේ දෙමව්පියන් අපට සැලකුවේ ඉතා වෙනස් ආකාරයකටයි. ඔවුන් මට වැඩි නිදහසක් දුන්නා. පවුලේ මෝටර් රථය පාවිච්චි කරන්න මට අවසර තිබුණා. බාල සොහොයුරෙකු කැටුව න්යූ යෝක් නගරයට චාරිකාවක යාමට පවා එක් අවුරුද්දක දී ඔවුන් මට ඉඩ දුන්නා,” යයි ඔහු පවසයි.
“එහෙත්, රොන්ට ඊට වඩා වෙනස් තත්ත්වයකි,” යයි කියමින් ජිම් තවදුරටත් මෙසේ පවසයි, “ඔහුට කොහෙත් ම වැඩි නිදහසක් දීලා තිබුණේ නෑ. ඔහුට සුදුසු වයස පැමිණි විට රිය පදවන ආකාරය ඉගැන්වීමට පවා පියා කරදර වුණේ නෑ. ඒ වගේ ම පූර්ව විවාහ ඇසුර සඳහා ඔහු සුදුසු වයසක සිටින බව ඔහුට හැඟුණු විට, මගේ දෙමව්පියන් ඔහුට එයට ඉඩ දුන්නේ නෑ.”
අනිසි අනුග්‍රහයක් ද? නැත. ජිම් මෙසේ පැහැදිලි කරයි: “රොන් එයාගේ වගකීම් වැදගත් ලෙස සැලකුවේ නෑ. ඔහු මන්දෝත්සාහි කෙනෙකු ව සිටියා. ඔහුට නියම කර තිබූ දේවල් කිරීමට ඔහු බොහෝ විට අතපසු කළා. තව ද මං කිසිදාක මගේ දෙමව්පියන් සමඟ එකට එක කථා කළේ නැතත්, රොන් එයා එකඟ නොවූ බව ඔවුන්ට දැනගැනීමට සලස්වනවා. මෙය නිත්‍ය වශයෙන් ම ඔහු බලාපොරොත්තු වූවාට වඩා විරුද්ධ ප්‍රතිඵලයක් ඇති කළා.” මතෙව් 25 :29 හි යේසුස් වහන්සේ මෙසේ පැවසූ සේක: “ඇති තැනැත්තාට දෙනු ලබන්නේය. ඔහුට බොහෝ වන්නේය. නමුත් නැති තැනැත්තාගෙන් ඔහුට ඇති දේත් පහ කරනු ලබන්නේය.”
ඔබට වැඩි නිදහසක් සහ වගකීමක් අවශ්‍ය ද? එසේ නම් ඔබ වගකීම් භාරගත හැකි කෙනෙකු බව ඔප්පු කරන්න. ඔබේ වැඩිහිටියන් ඔබට පවරන ඕනෑ ම කාර්යයක් බැරෑරුම් ලෙස සලකන්න. යේසුස් වහන්සේගේ එක් උපමාවක සඳහන් වූ තරුණයා මෙන් නොවන්න. තම පියා විසින් “පුත්‍රය; ගොස් අද මිදි වත්තේ වැඩකරපන්න,” යයි කියනු ලැබුවාට පසු ව ඔහු “ස්වාමිනි යමි,” යයි කීවේ ය. නමුත් ඔහු “ගියේ නැත.” (මතෙව් 21 :28-30) ඔබේ දෙමව්පියන් ඔබට යමක් කරන්න යයි කිවහොත්, එය කෙතරම් සුළු දෙයක් වුවත්, එය හැකි හොඳ ම අයුරින් කරන බවට ඒත්තු ගන්වන්න.
“වගකීම් උසුලන්න මට පුළුවන් බව මම මගේ දෙමව්පියන්ට පෙන්නුවා,” යයි ජිම් සිහි කරයි. “ඔවුන් මා ව බැංකුවට යැව්වා, අපේ අයබදු බිල්පත් ගෙවන්නටත්, සුපිරි වෙළෙඳ සලට ගිහින් බඩු මිල දී ගන්නටත් මට ඉඩ හැරියා. තවත් මවට රැකියාවට පිටට යන්නට සිදු වුණා ම, මම පවුලේ ආහාරය පවා පිළියෙල කළා.”
මුලපිරීම
එවන් වැඩ කටයුතු කිරීමට ඔබේ දෙමව්පියන් තවමත් ඔබට පවරා නැත්නම් කුමක් ද? විවිධ මුලපිරීම් ක්රියාවේ යොදවන්න. සෙවන්ටීන් සඟරාව මෙසේ යෝජනා කරන ලදි: “ඔබේ පවුලේ අය සඳහා භෝජනයක් පිළියෙල කිරීමට ඉදිරිපත් වී, පිළියෙල කරන භෝජනය කුමක්දැයි කල්පනා කර, සිල්ලර බඩු ලැයිස්තුව සාදා, වැයවන මුදල සැලකිල්ලට ගෙන, ගොස් බඩු මිල දී ගන්න, උයා පිහා, පිරිසිදු කරන්න—සියල්ල ම ඔබට කිරීමට අවශ්‍ය බව ඔබේ වැඩිහිටියන්ට කියන්න.” තව ද ආහාර පිසීමට විශේෂ සමර්ථකමක් ඔබට නැත්නම්, වට පිට බලා කරන්න වෙනත් යමක් තිබේ දැයි සෝදිසි කරන්න. දීසි සේදීමට, අතුගෑමට, හෝ කාමර පිළියෙල කිරීමට, තිබෙන විට ඒවා ඉටු කිරීම සඳහා ඔබේ දෙමව්පියන්ගෙන් ඔබට විශේෂ නියමයක් අවශ්‍ය නොවේ.
පාසල් නිවාඩු කාලයේ දී හෝ සති අන්තයන්හි දී බොහෝ යෞවනයෝ අර්ධ-කාලීන රැකියා කරති. ඔබ සම්බන්ධයෙන් මෙය සැබෑ වේ නම්, ඔබේ මුදල් ඉතිරි කිරීම හා පාලනය කිරීම සඳහා දක්ෂකම, ඔබට තිබෙන බව ඔබ ඔප්පු කර තිබේ ද? ඔබේ කාමරයට හා කෑම සඳහා සම්මාදමක් දීමට ඔබ කැමැත්තෙන් ඉදිරිපත් වී තිබේ ද? (ඔබේ සමාජය තුළ කාමරයක් කුලියට ගැනීමේ දී යන වියදම සම්බන්ධයෙන් ඔබ පුදුමයට පත්විය හැක.) එසේ කිරීමෙන් සුළු සුළු වියදම්වලට ඔබට ලැබෙන මුදල අඩු වීමක් අදහස් විය හැකි නමුත්, මුදල් පාලනය කරන ආකාරය සම්බන්ධයෙන් ඔබේ මේරූ භාවය ඔබේ වැඩිහිටි අය දුටු විට නිසැක ව ම ඔබට වැඩි නිදහසක් දීමට ඔවුන් කැමති වනු ඇත.
බැඳීම් ලිහිල් කිරීම
දෙමව්පියන් අපේ රහසිගත මිතුරන් විය යුතු අතර, උපදෙස් සහ අවවාදයන් සම්බන්ධයෙන් අනර්ඝ උල්පත් ද විය යුතුයි. (යෙරෙමියා 3 :4 සසඳන්න.) කෙසේ වුවද, සෑම සුළු තීරණයක් ම ගැනීමට ඔබ ඔවුන් කෙරෙහි බලාපොරොත්තු විය යුතු යයි මින් අදහස් නොවේ. තීරණ ගැනීමට ඇති ඔබේ හැකියාව කෙරෙහි ඔබට විශ්වාසය ලැබෙන්නේ ඔබේ “අවබෝධාත්මක හැකියාවන්” භාවිතා කිරීමෙන් පමණි.—හෙබ්‍රෙව් 5 :14, NW.
එබැවින් සුළු පීඩාවක ලකුණක් පහළ වන විට ම ඔබේ දෙමව්පියන් වෙතට යනවා වෙනුවට, ප්‍රථමයෙන් ඔබේ ම මනසෙන් ගැටලුව විසඳා ගැනීමට උත්සාහ කරන්න. කාරණා සම්බන්ධයෙන් “ඉක්මන්,” හෝ කලබල සහිත වෙනවාට වඩා, පළමු ව “දැනගැන්ම තේරුම්ගැනීම” සඳහා බයිබලයේ උපදේශය පිළිපදින්න. (යෙසායා 32 :4) විශේෂයෙන් ම බයිබල් ප්‍රමිති හා සම්බන්ධ වී ඇත්නම් තොරතුරු විමසා බැලීමක් කරන්න. සන්සුන් ව කාරණා සලකා බලා, ඉන් පසු ඔබේ දෙමව්පියන් වෙත යන්න. සැමවිට ම ‘තාත්තේ, මා කළ යුත්තේ කුමක් ද?’ නැතහොත්, ‘අම්මේ, ඔබ කරන්නේ කුමක් ද?’ යනුවෙන් පවසනවා වෙනුවට තත්ත්වය පැහැදිලි කරන්න. ඔබ තත්ත්වය සලකා බලා තිබෙන අන්දම ඔවුන්ට දැනගැනීමට සලස්වන්න. ඉන් පසු ඔවුන්ගේ නිරීක්ෂණයන් අසන්න.
ඔබ දැන් දරුවෙකු මෙන් නොව නමුත් වැඩිහිටියෙකු මෙන් කථා කරන බව ඔබේ දෙමව්පියෝ දකිති. ඔබ දැන් යම් ප්‍රමාණයක නිදහසක් සුදුසු වන වැඩිහිටියෙක් බවට පත්වෙමින් සිටින බව ඔප්පු කිරීමට ඔබ මහත් පියවරක් රැගෙන තිබේ. ඔබ ව වැඩිහිටියෙකු මෙන් සැලකීමට ඔබේ දෙමව්පියන් දැන් පටන් ගන්නවා විය හැක.
සාකච්ඡා කිරීම සඳහා ප්‍රශ්න
◻ තම දරුවන් ව ආරක්ෂා කිරීමට හා ඔවුන් යන එන තැන් දැනගැනීමට බොහෝ විට දෙමව්පියන් එතරම් සැලකිලිමත් වන්නේ මන්ද?
◻ ඔබ ගෞරවයෙන් යුතු ව ඔබේ දෙමව්පියන්ට සැලකීම වැදගත් වන්නේ මන්ද?
◻ ඔබේ දෙමව්පියන් සමඟ ඇති වැරදි වැටහීම් සුදුසු ම ආකාරයෙන් හැසිරවිය හැක්කේ කෙසේ ද?
◻ ඔබේ දෙමව්පියන්ගේ නීති රීති සහ තහංචි සම්බන්ධයෙන් ඔබ සහයෝගී ව ක්‍රියා කරන අතර තවමත් තරමක නිදහසක් පවත්වා ගැනීමට ඔබට හැක්කේ කෙසේ ද?
◻ ඔබ වගකීම් ඉසිලිය හැකි කෙනෙකු බව ඔබේ දෙමව්පියන්ට ඔප්පු කළ හැකි ඇතැම් මාර්ග මොනවා ද?
[29 පිටුවෙහි හුවා දැක්වීම]
“මා ඉන්නේ කොහෙ ද, මා නිවසේ ආපසු ඉන්න යන්නේ කොයි වේලාවේ ද කියලා දැනගැනීමට මගේ පියාට සැමවිට ම අවශ්‍යයයි. . . . ඔවුන් සෑම දෙයක් ම දැනගත යුතු ද?”
[27 පිටුවෙහි ඇති පින්තූරය]
ඔබේ දෙමව්පියන් ඔබ ව කොටු කර තිබේ යයි ඔබට හැඟෙනවා ද?
[30 පිටුවෙහි ඇති පින්තූරය]
වරදවා තේරුම් ගැනීම් ඇති වී තිබෙන විට සන්සුන් ව සිටීම ගෞරවය ලබා ගැනීමට එක් මාර්ගයකි