බඩු මිල දරාගන්න බැරිද?
තියෙන ගාණ පරෙස්සමින් පාවිච්චි කරන්න
ජීවන වියදම ඉහළ යද්දී අපි හැමෝටම ඒක ලේසි නැහැ. එහෙමයි කියලා ‘දැන් නං ඉතින් කාලා ඇඳලත් ඉවරයි’ කියලා හිතන්න එපා. මොකද ඒ වෙනුවෙන් ඔයාට තාමත් දෙයක් කරන්න පුළුවන්.
ඒක වැදගත් ඇයි?
ඔයාට ලැබෙන සල්ලි අරපිරිමැස්මෙන් පාවිච්චි කළේ නැත්නම් දන්නෙම නැතුව ඒ ටික ඉවර වෙයි. ඒකෙන් වෙන්නේ තියෙන ප්‍රශ්න දෙගුණ තෙගුණ වෙන එක. ඔයාගේ අතට එන්නේ පොඩි ගාණක් වුණත් ඔයා මොළේ කල්පනා කරලා දේවල් කළොත් කරදරයක් නැතුව ඔයාගේ වැඩ ටික කරගන්න පුළුවන් වෙයි.
ඔයාට කරන්න පුළුවන් මොනවාද?
ලැබෙන ගාණට වඩා වියදම් කරන්න එපා. එතකොට මාසේ දුවාගන්න සල්ලි මදි වෙයිද කියලා බය වෙන්න ඕනෙ නැහැ. හදිස්සියේවත් හිතපු නැති වියදමක් ආවත් ඔයා හිර වෙන්නෙත් නැහැ.
බජට් එකක් හදාගන්න. ඒ කියන්නේ ඔයාට ලැබෙන ගාණයි, තියෙන වියදමුයි ලියාගන්න. එතකොට ලැබෙන ගාණට වඩා වියදම් නොකර ඉන්න ඔයාට පුළුවන්. බජට් එක හදද්දී අත්‍යවශ්‍යම දේවල් ඒකට දාගන්න. ඒකේ නැති දේවල්වලට වියදම් කරන්න එපා. බඩුවල මිල ගණන්, ඔයාගේ ආදායම අඩු වැඩි වෙද්දී ඒකට අනුව වෙනස්කම් කරගන්න. ඔයා විවාහ වෙලා නම් දෙන්නාම එකතු වෙලා බජට් එක හදන්න.
මෙහෙම කරලා බලන්න. ගෙවීමේ ක්‍රමයට හරි ක්‍රෙඩිට් කාඩ්වලින් හරි බඩු ගන්නේ නැතුව පුළුවන් නම් අතේ තියෙන මුදලට බඩු ගන්න. ලැබෙන ගාණට වඩා වියදම් කරන්නේ නැතුව ඉන්නත් ණය උගුලට අහු නොවී ඉන්නත් ඒක උදව් වෙනවා කියලා සමහරු කියනවා. බැංකුවට ලැබෙන ගාණයි, ඒකෙන් ඔයා එළියට අදින ගාණයි බැංකු වාර්තාවේ පෙන්නනවා. මාසේ අන්තිමට ඒක බලන්න. ඇත්තටම ඔයාගේ අතේ කීයක් තියෙනවාද කියලා දැනගෙන ඉන්න එක ඔයාට ලොකු සහනයක් වෙයි.
ඔයාවම පාලනය කරගෙන අනවශ්‍ය දේට වියදම් නොකර ඉන්න එක ලේසි නැහැ තමයි. හැබැයි ඔයාට හොඳ බජට් එකක් තියෙනවා නම් ඒක කරන එක අමාරුත් නැහැ. එතකොට ඔයාට සල්ලි ගැන හිතහිත වධ වෙන්න ඕනෙ නැහැ.
රස්සාව රැකගන්න මහන්සි වෙන්න. ඒකට ඔයාට කරන්න පුළුවන් දේවල් මොනවාද? වෙලාවට වැඩට යන්න. ඔයා කරන වැඩේ ආසාවෙන් කරන්න. අනිත් අයටත් උදව් කරන්න. මහන්සි වෙලා වැඩ කරන්න. අනිත් අයට ගරු කරන්න. වැඩපොළේ නීතිරීතිවලට කීකරු වෙන්න. වැඩේ තව දක්ෂ විදිහට කරන්නත් ඉගෙනගන්න.
සල්ලි නාස්ති කරන්න එපා. ඔයාගෙන්ම මෙහෙම අහගන්න. ‘වැඩකට නැති දේවල්වලට, මට හානියක් වෙන දේවල්වලට මං සල්ලි වියදම් කරනවාද?’ උදාහරණයකට, දුක් මහන්සි වෙලා හම්බ කරපු සල්ලි හුඟක් අය මත්ද්‍රව්‍යවලට, සූදුවට, සිගරට්වලට, වෙරි වෙන කල් බොන එකට වියදම් කරනවා. මේ පුරුදු නිසා ජොබ් එක ගහලා යන්න, ජීවිතේට අනතුරක් වෙන්න වුණත් පුළුවන්.
හදිස්සියකට කීයක් හරි ඉතුරු කරගන්න. එතකොට හිතුවේ නැති දෙයක් වුණොත් ඔයාගේ අතේ සල්ලි තියෙනවා. උදාහරණයකට, පවුලේ කෙනෙක් අසනීප වෙන්න පුළුවන්. ඔයාගේ ජොබ් එක නැති වෙන්න පුළුවන්. ඒත් කීයක් හරි ඉතුරු කරලා තිබුණොත් බය වෙන්න දෙයක් නැහැ.