බයිබලය නිවැරදි අනාවැකිවලින් යුත් ග්රන්ථයක්, 7වෙනි කොටස
“අවසානය පැමිණෙයි”
පිබිදෙව්! සඟරාවේ පළ වන කොටස් අටකින් යුත් මෙම ලිපි පෙළෙන් සාකච්ඡා කරන්නේ බයිබලයේ වැදගත් අංගයක් වන අනාවැකි පිළිබඳවයි. එමගින් මේ ප්‍රශ්නවලට පිළිතුරු ඔබට ලබාගත හැකියි. එනම් බයිබලයේ සඳහන් අනාවැකි ලියැවුණේ මිනිසුන්ගේ නුවණින්ද? එසේත් නැත්නම් දෙවිගේ මඟ පෙන්වීමට අනුවද? මේ පිළිබඳව තිබෙන සාක්ෂි සලකා බලන මෙන් අපි ඔබට ආරාධනා කරමු.
දූෂිත පාලකයන්ගේ අසාධාරණකම් දැක ඔබට කෝපයක් ඇති වෙනවාද? කූට ව්‍යාපාරික ලෝකය, දුප්පතුන්ගෙන් සූරාකමින් ධනවතුන්ගේ මඩිය තර කරන විට දුප්පතා වෙනුවෙන් යුක්තිය ඉටු කර දිය යුතුයි කියා ඔබට සිතෙනවාද? ආගමික නායකයන් ඔවුන්ගේ බැතිමතුන්ගෙන් අයුතු ලාභ ප්‍රයෝජන ලබාගන්නා විට, දෙවියන් ගැන සත්‍යය කියා නොදෙන විට ඔබේ හදවතට වේදනාවක් දැනෙනවාද? බයිබලයේත් එවැනි දුෂ්ටකම් හෙළා දැක තිබේ. මෙම ලිපියෙන් සාකච්ඡා කරන කාරණා දෙකෙන් ඔබට ඒ බව පැහැදිලි වේ. (1) සියලුම දුෂ්ටකම් සහ දුෂ්ට මිනිසුන්ව තුරන් කරන බවට දී තිබෙන අනාවැකි. (2) එම අනාවැකි විශ්වාස කිරීමට තිබෙන හේතු.
දුෂ්ටකමට අවසානයක්!
අප 6වන කොටසින් සාකච්ඡා කළේ වර්තමාන දුෂ්ට සමාජයේ අවසානය ළඟ බවට යේසුස් දුන් ලකුණේ අංගයන්ය. ලකුණේ එක් අංගයක් වූයේ දේවරාජ්‍යය මගින් මිනිසුන්ව පාලනය කරනු ලබන බවට වූ ශුභාරංචිය ලොව පුරා දේශනා කරනු ලැබීමයි. (දානියෙල් 2:44; මතෙව් 24:3, 14) යේසුස් පැවසූ පරිදි ‘අවසානය පැමිණෙන්නේ’ දේශනා කිරීමේ කාර්යය නිමා වූ පසුවයි. අවසානය පැමිණෙන විට යෙහෝවා දෙවියන් තමන් ගැන අසත්‍යය උගන්වන සියලුම ආගම් මුලින්ම විනාශ කරනු ඇත. එවැනි ආගම් බයිබලයෙහි ගණිකාවකට සමාන කර තිබෙන අතර ඒවා හඳුන්වන්නේ “මහ බැබිලෝනිය” ලෙසයි.—එළිදරව් 17:1, 5
1වෙනි අනාවැකිය:
“මරණය, ශෝකය හා සාගතවලින් පහර ලබන ඇයව [මහ බැබිලෝනිය] සම්පූර්ණයෙන්ම ගින්නෙන් දවනු ලැබේ. මන්ද ඇයව විනිශ්චය කළ යෙහෝවා දෙවි බලවත්ය.”—එළිදරව් 18:2, 8.
ඉටු වීම: බයිබලයේ සඳහන් පරිදි යෙහෝවා දෙවි නියමිත කාලයේදී මහ බැබිලෝනිය සම්පූර්ණයෙන්ම විනාශ කරයි. ඔහු එය කරන්නේ දේශපාලනික ආණ්ඩු, මහ බැබිලෝනියට විරුද්ධ වීමට සැලැස්වීමෙනුයි. ඔවුන් ‘ඇයව පාළු කර, නිරුවත් කර, ඇගේ මස් මාංස කා දමන’ බව එහි සඳහන් වේ. (එළිදරව් 17:16) ඉන් අදහස් කරන්නේ දේශපාලනික ආණ්ඩු ඇගේ නින්දාසහගත ක්‍රියා හෙළි කරන බවත් ඇය සතු සියලුම සම්පත් සූරාකන බවත්ය. ඇයට අත් වන විනාශය වේගයෙන් සිදු වන අතර ඇයව සහමුලින්ම විනාශ කර දමයි. කිසි දිනක නැවත ඇයව සොයාගැනීමට ලැබෙන්නේ නැත.—එළිදරව් 18:21.
දේශපාලනික නායකයන් සිතන්නේ එය ඔවුන්ගේ සිතුවිල්ලක් කියායි. නමුත් එම අනාවැකිය ඉටු වූ විට එය දෙවිගේ අරමුණක් බව සනාථ වේ. ඊට හේතුව “දෙවි තමන් අරමුණු කරන දේ ඉටු කිරීමට ඔවුන්ගේ මනස් තුළට යම් අදහසක්” දමන බව බයිබලයේ සඳහන් වීමයි.—එළිදරව් 17:17.
2වෙනි අනාවැකිය:
‘ඒ රජුන්ගේ දවස්වලදී ස්වර්ගයේ දෙවි කිසිදාක විනාශ නොවන රාජ්‍යයක් පිහිටුවයි. එම රාජ්‍යය ඒ සියලු රාජ්‍යවල් පොඩි කර නැති කර දමයි. නමුත් එය සදහටම පවතියි.’—දානියෙල් 2:44.
ඉටු වීම: අසත්‍යය උගන්වන සියලුම ආගම් විනාශ කිරීමෙන් පසු දෙවිගේ අවධානය යොමු වන්නේ දේශපාලනයට, ව්‍යාපාරික සංවිධානවලට හා දුෂ්ට මිනිසුන් වෙතටයි. (හිතෝපදේශ 2:22; එළිදරව් 19:17, 18) උදාහරණයකට නිවසක අයිතිකරුවෙක් තම නිවස විනාශ කරන කුලී නිවැසියන්ව ඉවත් කරනවා හා සමානව දෙවියන්ද ‘පොළොව විනාශ කර දමන අයව විනාශ කරයි.’ එමෙන්ම පිළිකුල්සහගත ලිංගික ආශාවන් තෘප්තිමත් කරගන්නා අයවත් දුෂ්ටයන්වත් දෙවි විනාශ කරයි.—එළිදරව් 11:18; රෝම 1:18, 26-29.
එසේනම් ඉතිරි වන්නේ කවුද? බයිබලය ඊට මෙසේ පිළිතුරු දෙයි. “නිහතමානී අය පොළොව උරුම කරගන්නෝය. දසත පැතිරී තිබෙන සාමය නිසා ඔවුහු මහත් සේ ප්‍රීති වන්නෝය.”—ගීතාවලිය 37:11; 72:7.
බයිබලයේ සඳහන් එවැනි අනාවැකි අපට විශ්වාස කළ හැකිද? යෙහෝවා දෙවියන් සියලුම දුෂ්ටකම් මෙන්ම දුක් පීඩාවන් නැති කර ධර්මිෂ්ඨයාට සහනයක් සලසයි කියා අපට නිසැක විය හැකිද? ඊට පිළිතුරු අපි සොයා බලමු.
බයිබල් අනාවැකි විශ්වාස කිරීමට තිබෙන හේතු
බයිබලයේ කර්තෘ යෙහෝවා දෙවියන් බවත් බයිබලයේ සඳහන් සෑම පොරොන්දුවක්ම ඔහු ඉටු කරන බවත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් තරයේ විශ්වාස කරයි. (2 තිමෝති 3:16) එසේ විශ්වාස කිරීමට සාධාරණ හේතු තිබෙනවාද කියා සොයා බලමු.
ඔබ කාලයක් පුරා හඳුනන, ඔබට ඇත්තටම ආදරය කරන මිත්‍රයෙක් සිටිනවා කියා සිතන්න. ඔහු කවදාවත් ඔබට බොරුවක් කියා නැත. ඔහු දෙන පොරොන්දු ඉටු කිරීමට හැකියාවද තිබේ. එසේනම් ඔබ ඔහුව විශ්වාස කරන්නේ නැද්ද? අනිවාර්යෙන්ම විශ්වාස කරයි. මිනිසෙකුව එතරම් විශ්වාස කරනවා නම් “කිසි බොරුවක් නොපවසන” යෙහෝවා දෙවිව අපට කොතරම් විශ්වාස කළ හැකිද!—තීතස් 1:2.
එහෙත් අන්ධ විශ්වාසයකින් ඔහුට නමස්කාර කරනවාට දෙවි අකමැතියි. ඔහු තමන්ට පමණක් ඉටු කළ හැකි පොරොන්දු බයිබලයේ සඳහන් කිරීමට බයිබල් ලේඛකයන්ව පෙලඹුවේ ඒ නිසයි. දෙවියන් පැවසූ අනාවැකි ඉටු වී තිබෙන ආකාරය ගැන මෙම ලිපි මාලාවේ ලිපි හයකින් සලකා බැලුවෙමු. ඒ නිසා අපේ අනාගතය සම්බන්ධයෙන් කියා තිබෙන අනාවැකිත් එලෙසින්ම ඉටු කරයි කියා අපට නිසැක විය හැකියි.
දෙවියන් ගැන අසත්‍ය උගන්වන සියලුම ආගම්, දූෂිත දේශපාලන, වංචනික ව්‍යාපාර අපගේ නිර්මාතෘ සම්පූර්ණයෙන්ම විනාශ කර දමයි. ඉන්පසු සිදු වන්නේ කුමක්ද කියා දැනගැනීමට ඔබ කැමතිද? මෙම ලිපි මාලාවේ ඊළඟ ලිපියෙන් ඊට පිළිතුරු දැනගත හැකියි.