ඔබේ දෙනෙත්වලින් සවන් දීම
බිහිරි කෙනෙකු සමඟ බලපෑමෙන් යුත් අදහස් හුවමාරුවක් ඇති කරගැනීමෙහිලා සාර්ථක වීමට බලපාන ප්‍රධාන සාධකයක් වන්නේ කුමක්ද? පැහැදිලි හා නිසි දෘෂ්ටි සම්බන්ධයයි. බිහිරි අය කතා කරන විට, එය තිබිය යුතුමයි. ඇත්තෙන්ම, පුද්ගලයන් දෙදෙනෙක් සංඥා භාෂාවෙන් අදහස් හුවමාරු කරගනිමින් සිටින විට, එක් කෙනෙක් අහක බැලීම නිසා සිදු වන දෘෂ්ටි සම්බන්ධය බිඳ දැමීම සලකන්නේ අවිනීත ක්‍රියාවක් හැටියටයි. ඔබ බිහිරි කෙනෙකුගේ අවධානය ලබාගන්නේ කොහොමද? පුද්ගලයාගේ නම පාවිච්චි කරනවා වෙනුවට, වඩාත් යෝග්‍ය දෙය වන්නේ, සෙමින් උරහිසට හෝ අතට තට්ටුවක් දැමීම, ඔහුගේ හෝ ඇයගේ දෘෂ්ටි පථයට හසු වන දේවල් සෙලවීම හෝ දුර සිටිනවා නම්, පුද්ගලයාගේ අවධානය ලබාගැනීම සඳහා තවත් කෙනෙකුට ඇඟවීමක් කිරීම යනාදියයි. තත්වයන් සැලකිල්ලට ගනිමින් ඔබට පුළුවන් පාදය පොළොවට වද්දන්න, නැත්නම් ආලෝක ස්විචය කිහිප වතාවක් නිවා නැවත දමන්න. අවධානය ලබාගැනීමේ මෙම ක්‍රම හා යෝග්‍ය වෙනත් ක්‍රම බිහිරි කෙනෙකුගේ තත්වයට ගැළපෙන අතර, එය බිහිරි සංස්කෘතියේ කොටසක් වෙනවා.
භාෂාවේ එක්සත් කරවන බැඳීම
බිහිරි කෙනෙකුව තමන්ට හමු වන අවස්ථාවකදී, තොල් සෙලවීමෙන් පවසන දේවල් තේරුම්ගැනීම ලෙහෙසි දෙයක් කියා සමහරුන් වැරදි නිගමනයකට එළඹෙනවා. කොහොමවුණත්, අදහස් හුවමාරු කිරීමේදී, එය සෑහෙන සීමා සහිත ක්‍රමයක් හැටියට බිහිරි අය බොහෝදෙනෙක් සලකනවා. කතා කරන දේවල් තේරුම්ගැනීමට සමහර පුද්ගලයන් ඉතාමත් දක්ෂ වන නිසා එය සැබෑවක් නොවන විශේෂ තත්වයන්ද තිබෙනවා. ඒ වුණත්, පොදුවේ ගත් කල ඔබ තොල්වලින් පවසන දේවල් වෙනත් කෙනෙකුට පහසුවෙන් තේරුම්ගත හැකියි කියා අනුමාන කිරීම කාරුණික දෙයක් නොවෙයි. ඇතැම්විට අර්ථය පහදාදෙන්නෙකුව යොදාගනිමින් හෝ ඔබට පවසන්න වුවමනා කරන දෙය කඩදාසියක ලිවීමෙන් යම් තාක් දුරකට අර්ථවත් අදහස් හුවමාරුවක් කිරීමට ඉඩ කඩ සැලසෙනවා.
කොහොමවුණත්, ඔබට නිතර නිතර බිහිරි අයව හමු වෙනවා නම් සංඥා භාෂාව ටිකක් ඉගෙනගැනීම අනිත් අය කෙරෙහි සැලකිල්ල දැක්වීමක් නොවේද? එමගින් මොනතරම් මවිතකර බැඳීමක් ඇති කරනවාද! විශේෂයෙන්ම එකම ඇදහිල්ලේ සිටින අය අතර මෙය මොනතරම් සැබෑවක්ද! එය හරියට භාෂා දෙකක් කතා කරන සංස්කෘතියක ජීවත් වෙන විට අනිත් භාෂාවේ මූලික දේවල් ඉගෙනගැනීම හා සමානයි. යෙහෝවා දෙවි ගැන තොරතුරු සියලුදෙනාටම දැනගැනීමට සැලැස්වීම සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන් බොහෝ කාලයක සිට උනන්දුවක් දක්වා තිබෙනවා. සාමාන්‍ය විදිහට සවන් දීම ඉගෙනගන්න බිහිරි අයට බැරි බව අපි තේරුම්ගත් විට, සංඥා භාෂාව භාවිත කරන්න ඉගෙනගැනීමෙන් ඔවුන්ගේ තත්වය අනුව සකස් වීම මොනතරම් යහපත් දෙයක්ද!—1 කොරින්ති 9:20-22.
ඉතාලියේ පැවැත්වෙන ක්‍රිස්තියානි රැස්වීම්වලට යන්න පටන්ගත් කාලයේ මුල් දවස්වලදී, “සවන් දීමේ හැකියාව තිබෙන සහෝදරයන් සමඟ කතා බහ කිරීමෙන් ක්‍රියාශීලී ආකාරයකින් දිරිගැන්වීමේ හුවමාරුවක් සිදු වුණේ නැහැ. එකිනෙකාව තේරුම්ගන්න අපිට බැරි වුණු හින්දා, මං තනි වෙලා ඉන්න බවක් මට දැනුණා” කියා ආන්ටෝනියෝ සඳහන් කරනවා. ඉතාලි සංඥා භාෂාව ඉගෙනගැනීමෙන් (LIS) සභාවේ සිටි සහෝදරයන් බොහෝදෙනෙක් එයට ප්‍රතිචාරයක් දැක්වුවා. උනන්දුව දක්වන බිහිරි අය බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. ඒ වගේම LIS රැස්වීම්ද පැවැත්වූවා. ආන්ටෝනියෝ දිරිගැන්වීමක් ලැබුවා. ඔහුගේ වත්මන් ආශාව ගැන ඔහු මෙසේ පැවසුවා: “අපේ රැස්වීම් ගැනත් යෙහෝවාගේ සෙනඟ අතරේ තියෙන උණුසුම් ප්‍රේමය ගැනත් මගේ බිහිරි යාළුවන් හැම කෙනෙක්ටම කියන්න ඕනෙ.”
යෙහෝවාගේ සාක්ෂිකරුවන් ලොව පුරා සංඥා භාෂාවෙන් රැස්වීම් පවත්වන සභාවන් පිහිටුවමින් සිටිනවා. එහිදී එකිනෙකා සමඟ උණුසුම් හා ප්‍රේමනීය මිත්‍රත්වයක් භුක්ති විඳින්න බිහිරි අයට පුළුවන්. ස්පාඤ්ඤයේ අවුරුදු 20කට වැඩි කාලයක් පුරා බිහිරි අය සඳහා සංඥා භාෂාවෙන් රැස්වීම් පවත්වන කණ්ඩායම් ක්‍රියාත්මක වී තිබෙනවා. වර්තමානයේ එක්සත් ජනපදයේ බිහිරි අය සඳහා ක්‍රියාකාරි සභාවන් 19ක් හා කුඩා කණ්ඩායම් 47ක් තිබෙනවා.
පූර්ණ-කාලීන දේවසේවකයන් (පුරෝගාමීන්), උපස්ථායක සේවකයන් හා වැඩිමහල්ලන් හැටියට සේවය කරන්න වගේම සමුළුවලදී කතා ඉදිරිපත් කරන්නත්, පුරෝගාමී සේවා පාසැල්වලදී උගන්වන්නත්, විවිධාකාරවලින් පෙරමුණු ගෙන කටයුතු කරන්නත් බිහිරි අයට හැකියාව තිබෙනවා. මෙම පසුබිම තුළ සීමාවන් කිසිවක් නැහැ; තිබෙන්නේ යමෙකුගේ හැකියාවන් අනුව යෙහෝවාට ප්‍රශංසා කිරීමට ප්‍රස්තාවන් පමණයි.
මිත්‍රත්වයක් භුක්ති විඳීම සඳහා මෙන්ම අදහස් හුවමාරු කරගැනීම සඳහා තිබෙන අපේ සහජ අවශ්‍යතාව ලොව පුරා බොහෝ සංස්කෘතීන් හා භාෂා මගින් ප්‍රකාශ කරනු ලබනවා. අඩුපාඩුකම් තිබෙන අය හැටියට බිහිරි අයව දකිනවා වෙනුවට, අප සියලුදෙනාවම මිනිසුන් බවට පත් කරන සමර්ථකම්, හැකියාවන් හා ලක්ෂණ දෙස අපි බලන විට, එය මොනතරම් යහපත් දෙයක්ද! අනිත් අය කෙරෙහි ගෞරවය දැක්වීමෙන් හා තත්වයන්ට අනුව සකස් වීමට අපි කැමැත්තෙන් සිටීමෙන්, විවිධත්වයක් තිබුණත් එක්සත් මිනිස් පවුලක් හැටියට කටයුතු කරන්න අපි සියලුදෙනාම දායක වෙමු.
[24වන පිටුවේ පින්තූරය]
සංඥා භාෂාවෙන් අදහස් හුවමාරු කරගන්නා විට දෘෂ්ටි සම්බන්ධය නිසියාකාරව පවත්වාගන්න
[24වන පිටුවේ පින්තූරය]
බිහිරි අය පූර්ණ-කාලීන දේවසේවකයන් හැටියට ප්‍රීතියෙන් සේවය කරයි
[25වන පිටුවේ පින්තූරය]
ස්පාඤ්ඤ සංඥා භාෂාවෙන් රාජ්‍ය ගීතිකා ගායනා කිරීම
[25වන පිටුවේ පින්තූරය]
සමුළුවකදී කොරියානු සංඥා භාෂාවෙන් කතාවක් ඉදිරිපත් කිරීම
[25වන පිටුවේ පින්තූරය]
බයිබල් ප්‍රකාශන ASLවලින් වීඩියෝ පටිවල ඉදිරිපත් කරයි