ඔබට දැකිය හැකි භාෂාවක්!
ඔබේ මව් භාෂාව ඔබ ඉගෙනගත්තේ කොහොමද? සමහරවිට, ඔබ ළදරුවෙක්ව සිටි කාලයේදි පවුලේ අය හා මිතුරන් කතා කළ දේවලට සවන් දීමෙන් විය හැකියි. බොහෝදෙනෙක් භාෂාව ඉගෙනගන්නේ සවන් දීමෙනුයි. එහි වචන හසුරුවන්න ඉගෙනගන්නේ කතා කිරීමෙනුයි. සංකල්ප හා අදහස් ක්‍රමවත්ව සකස් කරන විට, නිරායාසයෙන්ම සවන් දීමේ හැකියාව තිබෙන පුද්ගලයන් කථික වචන හා වාක්‍යඛණ්ඩ ප්‍රකාශ කරන්න කලින් ඒවා තමන්ගේ මනසින් පුහුණු වෙනවා. කොහොමවුණත්, උපතින්ම බිහිරි දරුවෙක් ගත් කල, වෙනත් ආකාරයකින් අදහස් සකස් කරගැනීමට ඔහුගේ මනසට හැකිද? කිසිම ශබ්දයක් යොදා නොගෙන භෞතික ස්වරූපයක් දිය නොහැකි හා දිය හැකි අදහස්, පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට සම්ප්‍රේෂණය කළ හැකි භාෂාවක් තිබෙනවාද?
දුටුවත් නොඇසෙයි
මිනිස් මනස හා සම්බන්ධ විස්මයන්ගෙන් එකක් නම්, භාෂාවක් ඉගෙනගෙන එයට අනුරූපව සකස් වීමට තිබෙන හැකියාවයි. කොහොමවුණත්, සවන් දීමේ හැකියාව නොමැති විට භාෂාවක් ඉගෙනගැනීම කන් හා නොව, ඇස් හා සම්බන්ධ කාර්යයක් වෙනවා. සන්තෝෂයට කරුණක් නම්, අදහස් හුවමාරු කරගැනීම සඳහා මිනිසා තුළ දැවෙන ආශාවක් තිබෙන නිසා, තිබිය හැකි ඕනෑම බාධාවක් ජයගැනීමට අපට හැකිවීමයි. මෙම අවශ්‍යතාවේ ප්‍රතිඵලයක් හැටියට බිහිරි අය සංඥා භාෂා බොහොමයක් ලොව පුරා බිහි කර තිබෙනවා. බිහිරි පවුල්වල ඉපදුණු අය හැටියට නැත්නම් විශේෂ කාර්යයක් සඳහා පිහිටුවා තිබෙන පාසැල්වල හා ප්‍රජාවක ඇති දැඩි වුණ අය හැටියට ඔවුනොවුන් අතර අදහස් හුවමාරු කරගැනීමේ ප්‍රතිඵලයක් හැටියට ඇස් සඳහාම පිළියෙළ කොට තිබෙන සංකීර්ණ භාෂාවක් බිහි වී තිබෙනවා. එම භාෂාව සංඥා භාෂාවයි.
එක්සත් ජනපදයේ වාසය කරන කාල්ට මෙම භාෂාව ඔහුගේ බිහිරි දෙමාපියන්ගෙන් ලැබුණු තෑග්ගක් වුණා.a උපතින්ම බිහිරි වුණත්, කුඩා කාලයේදීම ඔහුට පුළුවන් වුණා, යම් යම් දේවල් නම් කරන්න, සංඥා එකට සම්බන්ධ කරන්න හා භෞතික ස්වරූපයක් දිය නොහැකි අදහස් අමෙරිකානු සංඥා භාෂාවෙන් (ASL) ප්‍රකාශ කරන්න. සංඥා භාෂාව පාවිච්චි කරන බිහිරි දෙමාපියන්ගේ බිහිරි ළදරුවන් බොහෝදෙනෙක් මාස 10 සිට 12 අතර කාලයේ පසු වෙද්දී, මුල්වරට සංඥාවලින් අදහස් ප්‍රකාශ කරන්න පටන්ගන්නවා. “භාෂාවක් ඉගෙනගැනීමට තිබෙන ස්වාභාවික හැකියාව හා එම හැකියාව දරුවෙකුට ලබා දීම, මොළය තුළ ගැඹුරින් මුල්බැසගෙන තිබෙන බව භාෂාවේදීන් දැන් පිළිගන්නවා” කියා බිහිරි ලොවට ගමනක් (ඉංග්‍රීසියෙන්) යන පොතේ පැහැදිලි කරනවා. “එම හැකියාව තිබෙන්නේ සංඥා භාෂාවේද නැත්නම් කථික භාෂාවේද යන්න එතරම් වැදගත් දෙයක් නොවෙයි.”
රුසියාවේ වාසය කරන ස්ෆිʹඑටා ඉපදුණේ තුන්වන පරම්පරාවත් බිහිරි වන පවුලකයි. ඇගේ බිහිරි සහෝදරයා සමඟ ඈ රුසියානු සංඥා භාෂාව ඉගෙනගත්තා. වයස අවුරුදු තුනේදී, බිහිරි දරුවන් සඳහා වන පෙර පාසැලකට ඇතුළත් කරනු ලබන විට, ඈ සහජයෙන්ම ඉගෙනගත් සංඥා භාෂාවේ හොඳ දියුණුවක් ලබා තිබුණා. ස්ෆිʹඑටා මෙසේ පිළිගන්නවා: “අනිත් බිහිරි ළමයි සංඥා භාෂාව දැනගෙන හිටියේ නැහැ. ඒ අයත් ඉගෙනගත්තේ මගෙන්.” බිහිරි ළමුන් බොහෝදෙනෙකුට සංඥා භාෂාව පාවිච්චි නොකරන හොඳින් ඇසෙන දෙමාපියන් සිටිනවා. බොහෝදුරට පාසැල්වල වැඩිහිටි බිහිරි ළමයින් බාල අයට පහසුවෙන් අදහස් හුවමාරු කරගැනීමට හැකි වන පරිදි සංඥා භාෂාව උගන්වනවා.
අදදින, තමන්ගේ දරුවන් සමඟ සංඥා භාෂාවෙන් අදහස් හුවමාරු කරගන්න ඉගෙනගනිමින් සිටින හොඳින් ඇසෙන දෙමාපියන්ගේ සංඛ්‍යාව වැඩි වෙමින් පවතිනවා. එහි ප්‍රතිඵලයක් හැටියට, බාල කාලයේ පසු වන බිහිරි ළමුන්ට පාසැල් යන්න කලින්ම හොඳින් අදහස් හුවමාරු කරගන්න හැකි වෙනවා. කැනඩාවේ ජීවත් වන ඇන්ඩෘ සම්බන්ධයෙන් එය සැබෑවක් වුණා. ඔහුගේ දෙමාපියන්ට හොඳට ඇසෙනවා. ඔවුන් සංඥා භාෂාව ඉගෙනගෙන, ඔහු කුඩා කාලයේදීම එය පාවිච්චි කළා. එමගින් තරුණ වයසට පැමිණෙන විට ඔහුට දියුණු කරගත හැකි භාෂා පදනමක් සැපයෙව්වා. සංඥා භාෂාවෙන් ඕනෑම මාතෘකාවක් ගැන එකිනෙකා සමඟ අදහස් හුවමාරු කරගන්න දැන් මුළු පවුලටම පුළුවන්.
කථික භාෂාවකින් සිතන්නේ නැතුව භෞතික ස්වරූපයක් දිය නොහැකි හා දිය හැකි අදහස් නිර්මාණය කරගන්න බිහිරි අයට පුළුවන්. අපි සෑම කෙනෙක්ම අපේම භාෂාවෙන් අදහස් නිර්මාණය කරන්නාක් මෙන් බිහිරි අය බොහෝදෙනෙක්ද ඔවුන්ගේ සංඥා භාෂාවෙන් සිතනවා.
භාෂාවල විවිධත්වයක්
ලොව පුරා සිටින බිහිරි ජන සමූහයන් එක්කෝ තමන් විසින්ම සාදාගත් සංඥා භාෂාවක් පාවිව්චි කරනවා නැත්නම් වෙනත් සංඥා භාෂාවලින් ඈඳාගත් ඇතැම් දේවල් එකතු කරගෙන සංඥා භාෂාවක් බිහි කරනවා. අද ASLහි තිබෙන වාග් මාලාවෙන් සමහරක් අවුරුදු 180කට කලින් ප්‍රංශ සංඥා භාෂාවෙන් මුලින්ම ලබාගත් ඒවායි. ඒ වන විටත් එක්සත් ජනපදයේ භාවිත කරමින් තිබූ දෙය සමඟ ඒවා සම්බන්ධ කළ අතර, දැන් එය ASL බවට පත් වී තිබෙනවා. සංඥා භාෂා අවුරුදු ගණනාවක් පුරා වර්ධනය වෙමින්, පරම්පරාවෙන් පරම්පරාවට සංශෝධන කිරීම්වලට ලක් වෙනවා.
සාමාන්‍යයෙන් සංඥා භාෂා, කථික භාෂා සාමාජීය හා භූගෝලීය වශයෙන් විකාශනය වී ඇති ආකාරය අනුව විකාශනය වෙන්නේ නැහැ. උදාහරණයක් හැටියට, පුවටෝ රිකෝවේ ස්පාඤ්ඤ භාෂාව කතා කළත් පාවිච්චි කරන්නේ ASL. එංගලන්තය සහ එක්සත් ජනපදය යන රටවල් දෙකේම ඉංග්‍රීසි භාෂාව කතා කළත්, එංගලන්තයේ පාවිච්චි කරන්නේ බ්‍රිතාන්‍ය සංඥා භාෂාවයි; එය ASLවලට වඩා බෙහෙවින් වෙනස්. ඒ වගේම, ලතින් අමෙරිකාවේ භාවිත කරන සංඥා භාෂා බොහොමයක් මෙක්සිකෝ සංඥා භාෂාවට වඩා වෙනස්.
සංඥා භාෂාවක් ඉගෙනගන්න විට, ප්‍රකාශයන්ගේ සංකීර්ණත්වය හා ඒවායේ විචිත්‍රත්වය කෙරෙහි කෙනෙකුගේ සිත ඇදී යනවා. මාතෘකා, සිතුවිලි හෝ අදහස් වැඩිහරියක්ම සංඥා භාෂාවකින් ප්‍රකාශ කළ හැකියි. සතුටට කරුණක් නම්, කතන්දර කීමට, කවිවලින් අදහස් ප්‍රකාශ කිරීමට, ඓතිහාසික වාර්තා සැපයීමට හා බයිබල් සත්‍යයන් ඉගැන්වීමට ස්වාභාවික සංඥා භාෂාව යොදාගනිමින්, බිහිරි අය සඳහා වීඩියෝ පටි වශයෙන් කෘති නිර්මාණය කිරීම සඳහා වර්ධනය වෙමින් පවතින ප්‍රවණතාවක් තිබීමයි. බොහෝ රටවල සංඥා භාෂාව හා සම්බන්ධ සාක්ෂරතා හැකියාව වැඩි වෙමින් පවතිනවා.
කිසිදා අසා නැති දේවල් කියවීම
කියවන විට, සාමාන්‍යයෙන් හොඳින් ඇසෙන අය වචන මතක් කරගැනීම සඳහා ඔවුන්ගේ මතකයේ තැන්පත් වී තිබෙන වචනවල ශබ්ද ප්‍රයෝජනයට ගන්නවා. එමනිසා, ඔවුන් කියවන දේවලින් බොහොමයක් තේරුම්ගන්නේ ඔවුන් කලින් ඒවා අසා තිබෙන නිසයි. භාෂා බොහොමයක තිබෙන ලිඛිත වචන මගින් නියෝජනය කරන අදහස් බලද්දී, එම වචනවලින් අදහසේ රූපය නිරූපණය වන්නේ නැහැ. හොඳින් ඇසෙන බොහෝදෙනෙක් තේරුම් ඇතුව කියවීම සඳහා කථික භාෂාවේ ශබ්දය ලිඛිත ක්‍රමය සමඟ මුසු කරනවා. එසේ කිරීම මගින් තේරුම සමඟින් කියවන්න පුළුවන්. කොහොමවුණත්, ඔබේ ජීවිත කාලය පුරා කවදාවත් අසා නැති ශබ්දයක්, වචනයක් හෝ භාෂාවක් ගැන සිතා බැලීමට උත්සාහ කරන්න! ශබ්ද පාවිච්චි නොකරන භාෂාවක ලිඛිත ක්‍රමයක් ඉගෙනගැනීම අසීරු දෙයක් මෙන්ම නිෂ්ඵල උත්සාහයක් විය හැකියි. එවැනි භාෂාවක් කියවීම බිහිරි අයට, විශේෂයෙන්ම කුඩා කාලේදීම බිහිරි වූ අයට හෝ කවදාවත් අසා නැති අයට මහත් අභියෝගයක් ඉදිරිපත් කරන බව පුදුමයක් නොවෙයි!
දරුවෙකුට භාෂාවක් ඉගෙනගැනීමට හැකියාව තිබෙන මුල් කාලයේ පටන්ම සංඥා භාෂාව පාවිච්චි කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන, ලොව පුරා බිහිරි ළමුන් සඳහා තිබෙන අධ්‍යාපනික මධ්‍යස්ථාන බොහොමයක් මගින් සොයාගෙන තිබෙනවා. (පිටු 20 සහ 22හි තිබෙන කොටු බලන්න.) බිහිරි දරුවෙක් ස්වාභාවික සංඥා භාෂාවක් පාවිච්චි කරන පරිසරයක ඇති දැඩි වීමෙන් හා මෙලෙසින් භාෂාවක් ඉගෙනගැනීමට අඩිතාලමක් දැමීමෙන්, අධ්‍යාපනික හා සමාජීය වශයෙන් වඩාත් ඉහළ සාර්ථකත්වයන් මෙන්ම පසු කලකදී ලිඛිත භාෂාවකට වුණත් හුරුවීම සඳහා පදනමක් දැමෙන්න යන බව එවැනි මධ්‍යස්ථාන මගින් සොයාගෙන තිබෙනවා.
බිහිරි අය සඳහා වන අධ්‍යාපනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය මෙසේ සඳහන් කළා: “සංඥා භාෂාව නොසලකා හැරීම හෝ බිහිරි අය සඳහා වන අධ්‍යාපනික වැඩසටහන්වල දියණුව සඳහා ක්‍රියාකාරි මෙහෙවරක් ඉටු කිරීමෙන් වැළකීම තවදුරටත් පිළිගත නොහැකි දෙයකි.” කොහොමවුණත්, මෙය කිව යුතුයි; එනම් තම බිහිරි දරුවන් සඳහා දෙමාපියන් තෝරාගන්න අධ්‍යාපන ක්‍රමය කුමක් වුවත්, තම දරුවාගේ දියුණුව සඳහා දෙමාපියන් පූර්ණ ලෙස එයට හවුල් වීම අතිශයින්ම වැදගත් දෙයක්.—“මගේ දරුවා වෙත ළඟාවීම සඳහා මම තවත් භාෂාවක් ඉගෙනගත්තා” යනුවෙන් 1996 නොවැම්බර් 8, පිබිදෙව්! (ඉංග්‍රීසියෙන්) සඟරාවේ පළ වූ ලිපිය බලන්න.
බිහිරි ලෝකය තේරුම්ගැනීම
බිහිරි දරුවන් වැඩිහිටියන් බවට පත් වූ විට, තම දෙමාපියන්ගෙන් තමන්ට වැඩියෙන්ම වුවමනා කළ දෙය වුණේ අදහස් හුවමාරු කරගැනීමයි කියා බොහෝ අවස්ථාවලදී පවසනවා. බිහිරි කෙනෙකු වන ජැක් පණ අදිමින් සිටි තම මහලු මව සමඟ කතා කරන්න උත්සාහ කළා. ඔහුට යමක් කියන්න ඈ විශාල වෙහෙසක් දැරුවත් එය ලියල පෙන්වන්න බැරි වුණා; ඈ සංඥා භාෂාව දැනගෙන හිටියේ නැහැ. ටික වේලාවකට පසු ඇයට සිහි නැති වුණා; පසුව ඈ මියගියා. ඒ මොහොතේ සිදු කළ ව්‍යර්ථ වූ අංග චලනයන් ජැක්ට මැවිලා පෙනෙනවා. බිහිරි දරුවන් සිටින දෙමාපියන්ට මෙම අවවාදය දීමට එම අද්දැකීම ඔහු තුළ පෙලඹීමක් ඇති කළා: “ව්‍යක්ත ලෙස අදහස් හුවමාරු කරගන්නත් අදහස්, හැඟීම්, සිතුවිලි හා ආදරය යන දේවල් ඔබේ බිහිරි දරුවා එක්ක අර්ථාන්විතව බෙදාගන්නත් ඔබට ඕනෑ නම් සංඥා භාෂාවෙන් එය කරන්න. . . . මම ඒකට ප්‍රමාද වැඩියි. ඔබ එය කරන්න ප්‍රමාද වැඩිද?”
අවුරුදු ගණනාවක් තිස්සේ බොහෝදෙනෙක් බිහිරි අයගේ තත්වය නිසියාකාරව අවබෝධ කරගෙන නැහැ. බිහිරි අයට කිසිම දෙයක් ඇසෙන්නේ නැති නිසා ඔවුන් කිසිම දෙයක් දන්නේ නැහැ කියා සමහරු සිතනවා. දෙමාපියන් තමන්ගේ බිහිරි දරුවන්ව ඕනෑවට වඩා ආරක්ෂා කරනවා; නැත්නම් අනිත් අයත් එක්ක ඇසුරු කරන්න ඉඩහැරීම ගැන බියක් දක්වනවා. සාමාන්‍යයෙන් බිහිරි අයගේ ශබ්ද කිරීමේ ආබාධයක් නැති වුණත් සමහර සමාජවල ඔවුන්ව “ගොළු අය” ලෙස වැරදි විදිහට හඳුන්වා තිබෙනවා. ඔවුන්ට ඇසෙන්නෙ නැති එක විතරයි තිබෙන්නේ. තවත් අය සංඥා භාෂාව සලකන්නේ කථික භාෂාව තරම් දියුණු නැති, එයට වඩා පහත් දෙයක් හැටියටයි. එසේ සුළුකොට සැලකීම හේතුවෙන් තමන්ව පීඩාවට පත් කර තිබෙන බවක් හා වරදවා වටහාගෙන තිබෙන බවක් සමහර බිහිරි අයට හැඟී ගොස් තිබීම පුදුම දෙයක් නොවෙයි.
එක්දහස් නවසිය තිස්ගණන්වලදී, කුඩා දරුවෙක් හැටියට එක්සත් ජනපදයේ ඇති දැඩි වෙමින් සිටියදී, ජෝසෆ්ව බිහිරි ළමුන් සඳහා වන විශේෂ පාසැලකට ඇතුල් කළා. සංඥා භාෂාව පාවිච්චි කිරීම එහි තහනම් කළා. ඔහු හා ඔහුගේ පන්තියේ මිතුරන් සංඥා භාෂාව පාවිච්චි කළ නිසා ඔවුන්ට නිතරම දඬුවම් කළා. ඔවුන්ගේ ගුරුවරුන් කතා කරන දේවල් ඔවුන්ට තේරුම්ගන්න නොහැකි වූ අවස්ථාවලදී පවා ඔවුන්ට දඬුවම් කළා. කියන දේවල් තේරුම්ගන්නත් ඔවුන්ව තේරුම්ගන්නවා දකින්නත් ඔවුන් මොනතරම් ආශාවකින් බලා සිටින්න ඇද්ද! බිහිරි දරුවන් සඳහා අධ්‍යාපනය සීමිත මට්ටමක පවතින රටවල සිටින සමහර බිහිරි දරුවන්, විධිමත් අධ්‍යාපනයක් ඉතාමත් සුළු වශයෙන් තිබෙන පරිසරයක් තුළ වැඩෙනවා. උදාහරණයක් හැටියට, බටහිර අප්‍රිකාවේ සිටින පිබිදෙව්! වාර්තාකරුවෙක් මෙසේ පැවසුවා: “අප්‍රිකාවේ සිටින බිහිරි අය වැඩිදෙනෙකුට ජීවිතය දුෂ්කර මෙන්ම දුක්ඛදායකයි. සියලුම ආබාධිතයන් අතුරින් වැඩියෙන්ම නොසලකා හරින්නෙත් අඩුවෙන්ම තේරුම්ගන්නෙත් බිහිරි අයව විය හැකියි.”
අනිත් අය විසින් තේරුම්ගනු ලැබීමේ අවශ්‍යතාව අපි සෑම කෙනෙකුටම තිබෙනවා. සමහරුන් බිහිරි කෙනෙකුව දකින විට, කිසි දෙයක් “බැරි” කෙනෙකු හැටියට ඔහුව සැලකීම කනගාටුදායකයි. බිහිරි කෙනෙකුට ඇතැයි කියා සිතන අසමර්ථ වීම් මගින් එවැනි කෙනෙකුගේ සැබෑ හැකියාවන් බොඳ වී යා හැකියි. ඊට වෙනස්ව බිහිරි අය බොහෝදෙනෙක් තමන්වම සලකන්නේ යමක් කරන්න “පුළුවන්” අය හැටියටයි. එකිනෙකා සමඟ ව්‍යක්තව අදහස් හුවමාරු කරගැනීමටත් ආත්ම-ගරුත්වයක් වර්ධනය කරගැනීමටත්, අධ්‍යාපනික, සමාජීය හා ආත්මික වශයෙන් සාර්ථකත්වයක් ලැබීමටත් ඔවුන්ට පුළුවන්. අභාග්‍යයකට මෙන්, බිහිරි අය බොහෝදෙනෙක් අද්දැක ඇති අනිසි සැලකිලි, හොඳින් ඇසෙන අය කෙරෙහි තිබෙන විශ්වාසය බිඳී යෑමට හේතු වී තිබෙනවා. කොහොමවුණත්, සවන් දීමේ හැකියාව තිබෙන අය බිහිරි අයගේ සංස්කෘතිය හා ස්වාභාවික සංඥා භාෂාව තේරුම්ගැනීමට අවංක උනන්දුවක් දක්වමින්, යමක් කරන්න “පුළුවන්” අය හැටියට බිහිරි අයව සලකන විට සියලුදෙනාම එයින් ප්‍රයෝජන ලබනවා.
සංඥා භාෂාව ඉගෙනගන්න ඔබ කැමති නම්, අප කල්පනා කරන ආකාරය හා අදහස් සකස් කරන ආකාරය භාෂා මගින් නියෝජනය කරන බව මතක තබාගන්න. සංඥා භාෂාව හොඳින් ඉගෙනගැනීම සඳහා එම භාෂාවෙන් සිතීම අවශ්‍යයි. ඇත්තෙන්ම එම භාෂාව හොඳින් හැසිරවීම සඳහා සංඥා භාෂා ශබ්ද කෝෂයකින් සංඥා ඉගෙනගැනීම උපකාරවත් නොවන්නේ ඒ නිසයි. තම දෛනික ජීවිතයේදී සංඥා භාෂාව පාවිච්චි කරන අයගෙන්, එනම් බිහිරි අයගෙන් එය ඉගෙනගැනීම හොඳ අදහසක් නොවෙයිද? දෙවන භාෂාවක් ඉගෙනගැනීමේදී එය පාවිච්චි කරන අයගෙන් එය ඉගෙනගැනීමෙන්, වෙනස් වුවත් ස්වාභාවික ආකාරයකින් සිතන්න හා අදහස් සකස් කරන්න ඔබට උපකාරවත් වෙනවා.
ලොව පුරා සිටින බිහිරි අය විවිධත්වයකින් යුත් සංඥා භාෂාවක් යොදාගනිමින් ඔවුන්ගේ හැකියාවන් දියුණු කරගනිමින් සිටිනවා. ඔවුන් පාවිච්චි කරන සංඥා භාෂාව ඇවිත් බලන්න.
[පාදසටහන]
a එක්සත් ජනපදයේ පමණක් බිහිරි අය දශලක්ෂයක් සිටිනවා කියා ගණන් බලා තිබෙනවා. ඔවුන්ට “අද්විතීය භාෂාවක් හා සංස්කෘතියක්” තිබෙනවා. සාමාන්‍යයෙන් ඔවුන් උපතින්ම බිහිරියි. ඊට අමතරව, ශ්‍රවණාබාධ තිබෙන මිනිසුන් දශලක්ෂ 20ක් සිටින බව ගණන් බලා තිබෙනවා; ඒත් ඔවුන් වැඩි වශයෙන් තමන්ගේ මව් භාෂාවේ කථික ස්වරූපයෙන් අදහස් හුවමාරු කරගන්නවා.—බිහිරි ලොවට ගමනක්, හාලන් ලේන්, රොබට් හොෆිමයිස්ට’ සහ බෙන් බේහැන් යන අය විසින් සම්පාදිතයි.
[20වන පිටුවේ කොටුව]
“නියූ යෝක් නගරය බිහිරි අයට මුලින්ම සංඥා භාෂාවද පසුව ඉංග්‍රීසිද උගන්වන්න යයි”
එම සිරස්තලය පළ වුණේ, 1998 මාර්තු 5වනදා ද නියූ යෝක් ටයිම්ස් සඟරාවෙයි. ෆිලීෂියා ආර්. ලී මෙසේ ලිව්වා: “බිහිරි අය සඳහා නගරයේ තිබෙන එකම පොදු පාසැලේ කටයුතු සංශෝධනය කරන්න යනවා. ඒ අනුව සියලුම ගුරුවරුන් සංකේත හා අංග චලනයන් මත පදනම් වූ සංඥා භාෂාවක් මූලිකව යොදාගන්න යනවා. මෙය බිහිරි සිසුන්ගේ අධ්‍යාපනයේ සුවිශේෂ වෙනස්කමක් ලෙසයි හඳුන්වා තිබෙන්නේ.” “බිහිරි අයගේ ප්‍රධාන භාෂාව වාචික එකක් නොව, දෘෂ්ටිය හා සම්බන්ධ එකක් බවත් අමෙරිකානු සංඥා භාෂාව ලෙස හඳුන්වනු ලබන, බිහිරි අය වැඩි කැමැත්තක් දක්වන ක්‍රමය යොදාගන්නා පාසැල් වෙනත් පාසැල්වලට වඩා සිසුන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන බවත් පර්යේෂණ මගින් පෙනී යන බව [බොහෝ අධ්‍යාපනවේදීන්] පවසනවා” කියා ඈ පැහැදිලි කරනවා.
“බිහිරි සිසුන්ට සැලකිය යුත්තේ භාෂා දෙකක් භාවිත කරන සිසුන්ට සලකනවා හා සමානව මිස ආබාධිත අය හැටියට නොවෙයි කියා ඔවුන් පවසනවා.”
බොස්ටන්හි පිහිටි ඊසානදිග විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හාලන් ලේන් මෙසේ පැවසුවා: “මේ කර්තව්‍යයේ පෙරමුණ ගෙන සිටින්නේ [නියූ යෝක් පාසැල] කියා මම සිතනවා.” අවසාන ඉලක්කය වන්නේ දෙවන හා කියවිය හැකි භාෂාවක් හැටියට ඉංග්‍රීසි ඉගැන්වීමයි කියා ඔහු පිබිදෙව්! වාර්තාකරුට පැවසුවා.
[21වන පිටුවේ කොටුව⁄පින්තූර]
එය භාෂාවක්!
සංඥා භාෂාව අභිරූපණ රංගනයක සංකීර්ණ ස්වරූපයක් හැටියට සමහරුන් වැරදි ලෙස නිගමනය කර තිබෙනවා. චිත්‍ර භාෂාවක් ලෙසද එය විස්තර කර තිබෙනවා. සංඥා භාෂාවේදී මුහුණ, සිරුර, අත් හා තමන් අවට ඉඩ බලපෑමෙන් යුක්තව යොදාගත්තත්, සංඥා බොහොමයක් මගින් සම්ප්‍රේෂණය කරන අදහස් එම සංඥා මගින් නිරූපණය කරන්නේ අල්ප වශයෙනුයි; එහෙම නැත්නම් කොහොමවත් සමානකමක් දක්වන්නේ නැහැ. උදාහරණයක් හැටියට, අමෙරිකානු සංඥා භාෂාවට (ASL) අනුව, “සාදනවා” යන අදහස සංඥා මගින් ඉදිරිපත් කිරීමේදී, අත් දෙක මිට මොළවාගෙන, එකක් අනිත් එක මත සිටින සේ කරකවයි. මෙම සංඥාව බහුලව යොදාගත්තත්, සංඥා භාෂාව පාවිච්චි නොකරන කෙනෙකුට එමගින් පැහැදිලි ලෙස අදහස් කරන දෙය විස්තර කෙරෙන්නේ නැහැ. රුසියානු සංඥා භාෂාවට (RLS) අනුව “අවශ්‍යයි” යන අදහස නියෝජනය කරන සංඥාව ඉදිරිපත් කිරීමේදී අත් දෙකම යොදාගනියි; එහිදී මාපටැඟිලි දෙකෙන් තුන්වන ඇඟිලි ස්පර්ශ කරමින් එකිනෙකට සමාන්තරව වටේට චලනය කරයි. (මේ පිටුවේ තිබෙන ඡායාරූප බලන්න.) භෞතික ස්වරූපයක් දිය නොහැකි අදහස් බොහොමයක් සිතේ පින්තූරයක් මවාපාමින් ඉදිරිපත් කළ නොහැකියි. මීට වෙනස්ව භෞතික ස්වරූපයක් දිය හැකි අදහස් සඳහා යොදන සංඥා සිතේ පින්තූරයක් මවාගත හැකි ආකාරයකින් විස්තර කළ හැකියි. මීට නිදසුන් ලෙස “නිවස” හෝ “ළදරුවා” යන සංඥා දැක්විය හැකියි.—මේ පිටුවේ තිබෙන ඡායාරූප බලන්න.
භාෂාවක තවත් ලක්ෂණයක් නම් යම් ප්‍රජාවක් විසින් පිළිගත් පැහැදිලි සැකැස්මක් තිබෙන වාග් මාලාවක් භාවිත කිරීමයි. සංඥා භාෂා මගින් එවැනි ව්‍යාකරණමය සැකැස්මක් නිරූපණය කරනවා. උදාහරණයක් හැටියට, සාමාන්‍යයෙන් ASL වාක්‍යයක විෂය මුලින් සඳහන් කර, පසුව ඒ ගැන අදහස් දැක්වීමක් කරනවා. ඒ වගේම, දේවල් සිදු වන කාලයට අනුව ඒවා සකස් කිරීමත් සංඥා භාෂා බොහොමයක මූලික ලක්ෂණයක් වෙනවා.
අණ දීමකින්, අසම්භාව්‍ය වාක්‍යඛණ්ඩයකින් හෝ සරල ප්‍රකාශයකින් ප්‍රශ්නයක් වෙන් කොට හඳුනාගැනීමට උපකාර කරමින් මුහුණේ ඉරියව් බොහොමයක් ව්‍යාකරණ මගින් සිදු වන කාර්යයන් ඉටු කරනවා. සංඥා භාෂාවේ දෘෂ්ටිය හා සම්බන්ධ ස්වභාවය හේතුවෙන් මේවා සහ වෙනත් සුවිශේෂ අංග බොහොමයක වර්ධනයට මඟ සැලසී තිබෙනවා.
[පින්තූර]
“සාදනවා” ASLවලින්
“අවශ්‍යයි” RLSවලින්
“නිවස” ASLවලින්
“ළදරුවා” ASLවලින්
[22වන පිටුවේ කොටුව]
සැබෑ භාෂා
“ජනප්‍රිය වැරදි මතවලට පටහැනිව, සංඥා භාෂා කියන්නේ අභිරූපණ රංගන, අංග චලන, භාෂාවේදීන්ගේ නිර්මාණ නැත්නම් අවට ප්‍රජාව භාවිත කරන කථික භාෂාවේ සංකේත යනාදිය නොවෙයි. බිහිරි ප්‍රජාවක් සිටින ඕනෑම තැනක එය සොයාගත හැකියි. ඒ වගේම ඒ හැම එකක්ම විශිෂ්ටයි. එය ලොව පුරා භාවිත කරන කථික භාෂාවල තිබෙන ව්‍යාකරණවලට සමාන ආකාරයේ ව්‍යාකරණ යොදාගන්න සම්පූර්ණ භාෂාවක්.”
නිකරගුවාහි, “[බිහිරි] ළමුන්ට වෙනත් අය කතා කරද්දී ඔවුන්ගේ තොල්වල චලනය අනුව කියවීමටත්, කතා කිරීමටත් ඉගැන්වීම කෙරෙහි පාසැල් දැඩි අවධානයක් යොමු කළා. එසේ කරන්න උත්සාහ කළ සෑම අවස්ථාවකදීම එහි ප්‍රතිඵල අසතුටුදායක වුණා. ඒ වුණත්, අදහස් හුවමාරු කරගැනීමේදී ඒක ඒ තරම් ගැටලුවක් වුණේ නැහැ. සෙල්ලම් පිට්ටනිවලදී හා පාසැල් බස්වලදී ළමයින් තමන්ට පමණක් තේරුම්ගත හැකි සංඥා ක්‍රමයක් බිහි කරමිනුයි සිටියේ . . . වැඩි කලක් යන්න කලින්, එම ක්‍රමය ලෙන්වාචේ ඩෙ සිග්නෝස් නිකාරාග්වෙන්සෙ යනුවෙන් දැන් හඳුන්වනු ලබන භාෂාව බවට පත් වුණා.” බිහිරි ළමුන්ගෙන් සෑදුණු තරුණ පරම්පරාව වඩාත් ව්‍යක්ත භාෂාවක් වර්ධනය කර තිබෙනවා. එය ඉඩියොමා ඩෙ සිග්නෝස් නිකාරාග්වෙන්සෙ යනුවෙන් හඳුන්වනු ලබනවා.—සහජ භාෂා හැකියාව, ස්ටීවන් පිංක’ විසිනි.
[23වන පිටුවේ පින්තූර]
ASLවලින් “ඔහු කඩයට ගියාට පසු, වැඩට යයි” කියා සංඥා භාෂාවෙන් පවසන එක් විදිහක්
1 කඩයට
2 ඔහු
3 යනවා
4 පසුව
5 යනවා
6 වැඩට