මරණයේ අදහස මරණය වන විට
“මළ සිංහයෙකුට වඩා පණඇති බල්ලෙක් හොඳය. මක්නිසාද ජීවත්වන්නෝ තමුන් නසින්ට ඕනෑ බව දනිති. මළාහු කිසිවක් නොදනිති, ඔවුන්ට තවත් කිසි විපාකයක් නැත; මක්නිසාද ඔවුන් ගැන සිහිවීම නැතිවිය.”—දේශනාකාරයා 9:4, 5.
මරණින් පසු දිගටම ජීවත් වන හෝ පුනර්භවය නමැති චක්‍රයට හසු වන ආත්මයක් පිළිබඳ අපැහැදිලි විශ්වාසයක් බොහෝදෙනෙක් තුළ පවතිනවා. යමෙකු මැරුණු තත්වයකින් ගොඩඒමෙන් පසු නැවතත් ජීවත් වෙන්න පුළුවන් කියා සමහරුන් විශ්වාස කරනවා. මරණින් පසු ජීවිතය සම්බන්ධයෙන් ඔහුගේ අදහස් ගැන, අවමංගල්‍ය කටයුතු සංවිධායකයෙක් වන ටොමස් ලින්ච්ගෙන් මෑතකදී විමසුවා. ඔහු මෙසේ පැවසුවා: “ආලෝකයෙන් නැහැවුණු උමං ආදිය දැක්ක අය මරණයෙන් නැවත ජීවනයට පැමිණියේ නැහැ—ඔවුන්ගේ ජීව ශක්තිය අඟවන ලක්ෂණ මැනීම අපේ හැකියාව ඉක්මවා ගියා. මන්ද ඔබ ‘මැරිලාය’ කියා සැලකෙන්නේ ඔබ ආපසු ප්‍රාණවත් නොවෙනවා නම් පමණයි.”—ද නියූ යෝක් ටයිම්ස් මැගසින්.
බයිබලය එය අවුරුදු දහස් ගණනාවක් පුරා නිවැරදිව සඳහන් කර තිබෙනවා. “මළ සිංහයෙකුට වඩා පණඇති බල්ලෙක් හොඳය. මක්නිසාද ජීවත්වන්නෝ තමුන් නසින්ට ඕනෑ බව දනිති. මළාහු කිසිවක් නොදනිති, ඔවුන්ට තවත් කිසි විපාකයක් නැත; මක්නිසාද ඔවුන් ගැන සිහිවීම නැතිවිය.” (දේශනාකාරයා 9:4, 5) පැරණි සුසාන භූමියකට ගිය විට එහි සත්‍යතාව වැඩි වේලාවක් යන්න කලින් තහවුරු වේවි.
මළවුන්ට කිසිම බලාපොරොත්තුවක් නැති බව එයින් අදහස් කරනවාද? මරණයේදී නොනැසී පවතින අමරණීය ආත්මයක් පිළිබඳ විශ්වාසයක් සඳහා කිසිම පදනමක් බයිබලය සපයන්නේ නැහැ. (උත්පත්ති 2:7; එසකියෙල් 18:4, 20) කෙසේවෙතත්, යළි පිහිටුවනු ලබන පාරාදීස පොළොවක් මතට නැවත නැඟිටීම ගැන යේසුස් ක්‍රිස්තුස් දේශනා කළා. මියගොස් වැඩි කලක් ගත නොවූ ලාසරුස් ගැන, ඔහුගේ සහෝදරිය මෙන්ම යේසුගේ යුදෙව් අනුගාමිකාවක්ද වූ මාර්තා මෙසේ පැවසුවා: “අන්තිම දවසේ නැවත-නැගිටීමේදී ඔහු නැවත නැගිටින බව දනිමි.” එසේ පැවසුවේ ඇය නැවත-නැඟිටීම විශ්වාස කළ නිසයි. (යොහන් 11:24) එයට යේසු මෙසේ උත්තර දුන්නා: ‘නැවත-නැඟිටීමද ජීවනයද මමය. මා කෙරෙහි අදහාගන්නා මළ නුමුත් ජීවත් වන්නේය. ජීවත්ව සිටින කවුරු නුමුත් මා කෙරෙහි අදහන්නේද, ඔහු කිසිකලකත් නොනසින්නේය. මේක විශ්වාස කරනවාද?’ (යොහන් 11:25, 26) ඊට කලින් ඔහු මෙසේ පවසා තිබුණා: “මේ ගැන මවිත නොවෙන්න. මක්නිසාද [සිහිවීමේ, NW] සොහොන්ගෙවල්හි සිටින සියල්ලන්ට ඔහුගේ හඬ ඇසෙන පැය පැමිණ, යහපත්කම් කළාහු ජීවනයේ නැවත-නැගිටීමටත් නපුරුකම් කළාහු විනිශ්චයේ නැවත-නැගිටීමටත් පිටත්ව එන්නෝය.” නමුත්, අමරණීය ආත්මයක් ගැන යේසු කිසිවක් සඳහන් කළේ නැති බව සැලකිල්ලට ගන්න.—යොහන් 5:28, 29; ලූක් 23:43.
[31වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
“ඔබ ‘මැරිලාය’ කියා සැලකෙන්නේ ඔබ ආපසු ප්‍රාණවත් නොවෙනවා නම් පමණයි.” ටොමස් ලින්ච්, අවමංගල්‍ය කටයුතු සංවිධායක