ඔබ විනිශ්චය කරන්නේ පිටාතර පෙනුමෙන්ද?
ඔබ පොතක පිටකවරයෙන්ද පොත මනින්නේ? ඔබ රැවටෙන්න ඉඩ තියෙනවා. එයින් වැළකීම සඳහා ඔබ පළමුව එහි පටුන කියවන්න යනවා. තුර්කීය ජන වහරේ එන ප්‍රසිද්ධ චරිතයක් වන, නාස්රඩින් හෝෂ්ගේ (හෝෂ් යන තුර්කීය වචනයෙන් අදහස් වන්නේ “ගුරුවරයා” යන්නයි.) සිද්ධියෙන් මෙය නිදර්ශනය වෙනවා. ඔහු “කපටි මෙන්ම අහිංසක වන අතර, ඥානවන්ත මෙන්ම මෝඩද වේ . . . ඔහු දැහැමි කෙනෙක් වන නමුත් මානුෂික අසමත් වීම් ඔහුට ඇත.” “ජීවිතයේ අනපේක්ෂිත සිද්ධීන්වලින් අපරාජිතව සිටින” තැනැත්තා ඔහුයි.—ජෝන් නුනන් විසින් රචිත, ටේල්ස් ඔෆ් ද හෝෂ් (හෝෂ්වරුන්ගේ කතාන්තර), ඇරැම්කෝ ලෝකය, 1997 සැප්තැම්බර්-ඔක්තෝබර්.
ඔහු ඔටෝමන් නිලධාරියෙකු හමු වී ඔහු සමඟ රාත්‍රි ආහාර ගැනීමට කළ ගමන ගැන එක් කතාන්තරයක කියවෙනවා. “[නාස්රඩින්] මහත් ආයාසයකින් බැස ඉදිරියේ ඇති මහා දොරටුවට තට්ටු කළා. එය විවෘත කළායින් පසුව මංගල්‍ය ඒ වෙන විටත් අරඹා ඇති බව ඔහුට දැකගන්න ලැබුණා. නමුත් තමාවම අඳුන්වලා දෙන්න අවස්ථාවක් ලැබෙන්න පෙර, ඔහුට සත්කාර කරන තැනැත්තා ගමනින් කිලිටි වූ ඔහුගේ ඇඳුම් දැක, හිඟන්නන්ව පිළිගන්නේ නැහැයි කියා කොටින් පැවසුවා.”
නාස්රඩින් පිටත් වී ඔහුගේ සැදෑලය ළඟට ගිය අතර, “ඔහුට තිබෙන හොඳම ඇඳුම් ආයිත්තම වන ලොම් සහිත හමකින් සැරසූ විශිෂ්ට සේද සළුවක් මෙන්ම දිගු සේද තලප්පාවක් පැළඳගත්තා. එසේ සැරසී ඔහු නැවත ඉදිරි දොරටුවට ගොස් එයට තට්ටු කළා.
“මේ වතාවේදී, සත්කාර කරන තැනැත්තා ඔහුව උණුසුම්ව පිළිගත්තා . . . සේවකයන් ප්‍රණීත ආහාර ඔහු ඉදිරියේ තැබුවා. නාස්රඩින් හෝෂ් ඔහුගේ සළුවේ එක් සාක්කුවකට සුප් දීසියක් වක් කළා. වෙනත් අමුත්තන්ව මවිතයට පත් කරමින්, ඔහු ඔහුගේ තලප්පාවේ නැමිවලට බැදපු මස් කෑලි ඇතුල් කළා. ඉන්පසුව, ඔහුගේ තැතිගත් සත්කාර කරන්නා ඉදිරිපිට, ඔහු ඔහුගේ සළුවේ ලොම් ස්තරය පිඟාන තුළට තල්ලු කරමින් මෙසේ කොඳුරයි ‘කන්න, ලොම්, කන්න!’
“‘මේකෙ තේරුම මොකද්ද?’ සත්කාරකරන්නා තදින් ඇසුවා.
“‘මගේ හිතවත් මහතාණෙනි’ කියා කියමින් හෝෂ් මෙසේ පැවසුවා, ‘මම මගේ ඇඳුම්වලට කවනවා. පැය භාගයකට ඉස්සෙල්ලා මට ලැබුණ සැලකිල්ලට අනුව, ඔබේ ආගන්තුක සත්කාරය ලබන දේවල් වන්නේ මා නොව, මගේ ඇඳුම් කියන එක පැහැදිලියි!’”
පෙනුම මගින් පමණක් අපි කොපමණ වාරයක් නිෂේධාත්මකව හෝ ඒකාන්තව විනිශ්චය කරනවාද! ඉශ්රායෙල්හි ඊළඟ රජ සඳහා යෙහෝවාගේ තේරීම වන්න ඇත්තේ දාවිත්ගේ සහෝදර වූ එලියාබ් කියා ප්‍රොපේත සාමුවෙල් සිතූ විට, යෙහෝවා ඔහුට මෙසේ පැවසුවා: ‘ඔහුගේ පෙනීම දෙසවත් ශරීරයේ උස දෙසවත් නොබලන්න; මක්නිසාද මම ඔහු එපා කෙළෙමි. යෙහෝවා මනුෂ්‍යයා බලන්නාක්මෙන් නොබලන්නේය. මනුෂ්‍ය තෙමේ පිටාතර පෙනීම බලන්නේය. නුමුත් යෙහෝවා හෘදය බලන්නේය.’ (1 සාමුවෙල් 16:7) ඔව්, පෙනුම මත නොව, යෙහෝවා ඇත්තෙන්ම හෘදයේ තත්වය මත විනිශ්චය කරයි. ඔබ කරන්නේ කුමක්ද?
[31වන පිටුවේ පින්තූරය]
පිටාතර පෙනුමෙන් නොරැවටෙන්න කියා යෙහෝවා සාමුවෙල්ට අනතුරු ඇඟෙව්වා