ස්ත්‍රීන්ට වෙනස්කම් කිරීම
බටහිර අප්‍රිකාවේ ව්‍යාපාරිකයෙක් නව-හැවිරිදි ළමයෙක්ව මිලයට ගනියි. ආසියාවේ අලුත උපන් බිළින්දියක් කාන්තාර වැල්ලේ සඟවා තිබේ. ප්‍රාචීන රටක, කුඩා දැරියක් අනත්දරු නිවසක අත්හැර දමා නොසලකා හැර තිබෙන අතර හාමතේ සිටියි. මෙම ඛේදවාචකයන්ට සම්බන්ධ කර තිබෙන පොදු තේමාවක් මෙන්න: ගොදුරු වී සිටින හැමෝම ගැහැනු ළමයි. ඔවුන් ස්ත්‍රීන් වී සිටීමෙන් අදහස් වුණේ ඔවුන්ව අවශ්‍ය නැහැ කියා සැලකීමයි.
මේවා කලාතුරකින් දකින්න තිබෙන සිද්ධීන් නොවෙයි. අප්‍රිකාවේ, ඩොලර් 15ක් වැනි සුළු මුදලකට ගැහැනු ළමුන් හා තරුණ කාන්තාවන් දහස් ගණනක් දාසකමට විකුණයි. එමෙන්ම හැම වසරකම තරුණ ගැහැනු ළමුන්ව වේශ්‍යාකමට විකුණන බව නැත්නම් එහි යෙදීමට ඔවුන්ට බල කරන බව වාර්තා වී තිබේ; වැඩිහරියක් මෙසේ වන්නේ ආසියාවෙයි. ඊටත් වඩා දරුණු දෙයක් නම්, රටවල් ගණනාවක ජනගහන සංඛ්‍යා ලේඛනවලින් අඟවන පරිදි ගැහැනු ළමුන් මිලියන 100ක පමණ ප්‍රමාණයක් “අතුරුදහන් වී” තිබීමයි. පැහැදිලිවම මෙසේ වන්නේ ගබ්සාව, ළදරු ඝාතනය හෝ ස්ත්‍රීන්ව දැඩි ලෙස නොසලකා හැර තිබීම නිසයි.
දිගු කලක්—සියවස් ගණනාවක්—පුරා බොහෝ දේශවල ස්ත්‍රීන්ව සලකා තිබෙන්නේ මෙයාකාරයෙන්. තවද සමහර ප්‍රදේශවල ඔවුන්ට තවමත් සලකන්නේ මේ විදිහටයි. මන්ද? එවැනි දේශවල පිරිමි ළමුන් මත වැඩි වටිනාකමක් තබා තිබෙන නිසයි. එහි, පවුල් පෙළපත ගෙන යෑමට, වතු පිටි උරුම කරගැනීමට එමෙන්ම මේ දේශවල බොහෝවිට මහලු අයට රජයේ විශ්‍රාම වැටුප් නොගෙවන නිසා දෙමාපියන් මහලු වෙද්දී ඔවුන්ව රැකබලා ගැනීමට පිරිමි ළමයෙකුට හැකි බව හැඟී තිබේ. “ගැහැනු ළමයෙකු ඇති දැඩි කිරීම හරියට ඔබේ අසල්වැසියාගේ වත්තේ පැළයකට වතුර දානවා වගේ” වැඩක් කියා ආසියානු කියමනක් තිබේ. ඇය වැඩෙන විට, විවාහ වීමට පිට වී යයි; නැත්නම් වේශ්‍යාවක් වීමට පවා ඇයව විකිණිය හැකියි; මේ හේතුවෙන් මහලු දෙමාපියන් රැකබලා ගැනීමට උපකාරයක් නැති තරම්.
සුළු පංගුකාරකමක්
දිළිඳුබවෙන් පහර ලැබ තිබෙන රටවල, මේ ආකල්පයේ ප්‍රතිඵලය වන්නේ පවුලේ ගැහැනු ළමුන්ට ආහාර, සෞඛ්‍ය සැලකිලි හා පාසැල් යෑම අඩුවෙන් ලැබීමයි. සියයට 14ක් මන්දපෝෂණයෙන් පෙළෙන ගැහැනු ළමුන් හා සසඳද්දී, එසේ පිරිමි ළමුන් සිටින්නේ සියයට 5ක් පමණක් බව එක් ආසියාතික රටක පර්යේෂකයන් සොයාගෙන තිබේ. සමහර රටවල සෞඛ්‍ය සායනවලට ගැහැනු ළමුන් මෙන් දෙගුණයක් පිරිමි ළමුන් ගෙනෙනු ලබන බවට එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (යුනිසෙෆ්) මගින් වූ වාර්තාවක් පැහැදිලි කරයි. තවද අප්‍රිකාවේ මෙන්ම දකුණු හා බටහිර ආසියාවේ තරුණ කාන්තාවන්ගෙන් සියයට 40කට වඩා අකුරු දන්නේ නැහැ. “සංවර්ධනය වෙමින් පවතින ලෝකයෙහි දරුණු ලිංග භේදයක් පවතිනවා” කියා මෑතකදී මියගිය, යුනිසෙෆ්හි කලින් තානාපතිනි ඕඩ්‍රි හෙප්බ’න් කනගාටුවෙන් ප්‍රකාශ කළා.
මෙම “ලිංග භේදය” ගැහැනු ළමුන් වැඩිහිටි වියට පත් වුණ විට අතුරුදහන් වන්නේ නැහැ. දිළිඳුකම, ප්‍රචණ්ඩත්වය හා තොරක් නැති වෙහෙසීම බොහෝවිට කාන්තාවකගේ ඉරණම වී තිබෙන්නේ, කොටින්ම කියතොත් ඇය කාන්තාවක් නිසයි. ලෝක බැංකුවේ සභාපති මෙසේ පැහැදිලි කළා: “ලෝකයේ වැඩවලින් තුනෙන්-දෙකක් කරන්නේ ස්ත්‍රීන්. . . . නමුත් ඔවුන් උපයන්නේ ලෝකයේ ආදායමෙන් දහයෙන්-එකක් පමණක් වන අතර, හිමිව තිබෙන්නේ ලෝකයේ දේපොළවලින් සියයට එකකටත් අඩුවෙන්. ඔවුන් සිටින්නේ ලෝකයේ දුප්පතුන්ගෙන් දුප්පත්ම අය අතරෙයි.”
එක්සත් ජාතීන්ගේ වාර්තාවකට අනුව, ලෝකයේ දිළිඳුබවෙන් ජීවත් වන බිලියන 1.3ක ජනතාවකින් සියයට 70කට වඩා කාන්තාවන්. “එය තවත් දරුණු වෙයි” කියා වාර්තාව ඊට යමක් එකතු කළා. “තනිකරම දිළිඳුබවෙන් ජීවත් වන ගම්බද කාන්තාවන්ගේ ගණන පසුගිය දශක දෙකේදී 50%කට ආසන්නව වැඩි වුණා. මූලික වශයෙන් දිළිඳුබවෙන් ජීවත් වන්නේ කාන්තාවන්.”
බොහෝ කාන්තාවන්ගේ ජීවිතවලට වින කරන ප්‍රචණ්ඩත්වය දරුණු දිළිඳුකමටත් වඩා කම්පිත කරවන්නක්. තක්සේරුවකට අනුව ගැහැනු ළමුන් මිලියන සියයක්, ප්‍රධාන වශයෙන් අප්‍රිකාවේ, ස්ත්‍රී ලිංගේන්ද්‍ර විච්ඡේදනයෙන් වේදනා විඳ තිබෙනවා. සමහර දේශවල කාන්තාවන් 6කින් 1කෙනෙකු ඇගේ ජීවිත කාලයේදී දූෂණය කර ඇති බවට අධ්‍යයනයන් පෙන්නුම් කළත්, සමහර ප්‍රදේශවල ලිඛිතමය සාක්ෂි නොමැතිව පවතින පුළුල්ව පැතිරුණ දෙයක්, ස්ත්‍රී දූෂණය. යුද්ධවලින් ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම පීඩා විඳින නමුත් සිය නිවෙස්වලින් පලායෑමට බල කරනු ලබන සරණාගතයන්ගෙන් වැඩිදෙනෙක් කාන්තාවන් හා දරුවන්.
මව්වරුන් හා සපයන්නන්
පවුල රැකබලා ගැනීමේ බර බොහෝවිට මව පිට පැටවෙන දැඩි බරක් වී තිබේ. ඇයට වැඩි කාලයක් වැඩ කරන්න සිදු වන බව පෙනෙන්න තිබෙන අතර එකම සපයන්නියද ඇයයි. අප්‍රිකාවේ ඇතැම් ගම්බද පළාත්වල, පවුල්වලින් අඩක පාලනය දරන්නේ කාන්තාවන්. බටහිර ලෝකයේ ඇතැම් ස්ථානවල, පවුල්වලින් විශාල කොටසක් පාලනය කරන්නේ කාන්තාවන්.
තවදුරටත්, විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල, ජලය හා දර එකතු කිරීම වැනි ඉතා වෙහෙසකර වැඩවලින් සමහරක් සම්ප්‍රදායානුකූලව හසුරුවන්නේ කාන්තාවන්. වනනාශනය හා පාළු වන තරමට තණ බුදීම හේතුවෙන් මේ කාර්යයන් තවත් දුෂ්කර වී තිබේ. ඉඩෝරයෙන් පහර ලැබ ඇති සමහර රටවල, කාන්තාවන් දර සොයමින් සෑමදාම පැය තුනක් හෝ ඊට වැඩි ගණනක්ද, ජලය එකතු කිරීම සඳහා දිනකට පැය හතරක්ද ගත කරනවා. නිවසේ හෝ පිටත ඔවුන්ගෙන් අපේක්ෂා කෙරෙන වැඩ පටන්ගත හැක්කේ මේ දාසකම කළායින් පසුව පමණයි.
දිළිඳුකම, කුසගින්න හෝ සතුරුවාදිකම ඇති රටවල ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේම දෛනික අද්දැකීම දුක් විඳීම බව පැහැදිලියි. නමුත් ස්ත්‍රීන් අසමාන ලෙස දුක් විඳියි. මේ තත්වය කවදා හෝ වෙනස් වේවිද? යම් දවසක සෑම තැනකම සිටින කාන්තාවන්ට ගෞරවයෙන් හා සැලකිල්ලෙන් සලකනු ලබයි කියා යම් සැබෑ අපේක්ෂාවන් තිබේද? තමන්ගේ ඉරණම හොඳ අතට හරවාගැනීමට කාන්තාවන්ට යමක් කළ හැකිද?
[5වන පිටුවේ කොටුව⁄පින්තූරය]
වේශ්‍යා ගැහැනු ළමුන්—වරද කාගේද?
සෑම අවුරුද්දකම දරුවන් මිලියනයක්—වැඩි වශයෙන් ගැහැනු ළමුන්ව—වේශ්‍යාකමේ යෙදීමට බල කරනු ලබන බව නැතහොත් විකුණන බව තක්සේරු කර තිබේ. දකුණු ආසියාවේ අරාය,a තමාගේ පංති කලත්‍රයන් සමහරෙකුට සිදු වූ දෙය සිහියට නඟයි. “කුල්වාඩීට වයස 13දී විතර, ඇය වේශ්‍යාවක් වුණා. ඇය හොඳ ළමයෙක් වුණත් ඇගේ අම්මා ගොඩක් වෙලාවට මත් වෙලා, පෝකර් සූදු සෙල්ලමේ යෙදුණා; ඒ නිසා ඇගේ දුව ගැන බලන්න ඇයට වෙලාවක් තිබුණේ නැහැ. මිනිස්සු එක්ක ගිහින් සල්ලි හම්බ කරගන්න කියලා කුල්වාඩීගේ අම්මා ඇයට දිරිගැන්නුවා; වැඩි කල් යන්න ඉස්සෙල්ලා ඇය වේශ්‍යාවක් වුණා.
“රටේ උතුරෙන් ආව තවත් ශිෂ්‍යාවක්, මගේ පංතියේ හිටිය සිවූන්. වේශ්‍යාවක් හැටියට වැඩ කරන්න කියා ඇගේ දෙමාපියන් ඇයව අගනුවරට යවද්දී ඇගේ වයස 12යි. ඇගේ දෙමාපියන් අත්සන් කළ ගිවිසුම හමාර කිරීමට ඇයට අවුරුදු දෙකක් වැඩ කරන්න සිද්ධ වුණා. සිවූන් හා කුල්වාඩී අසාමාන්‍ය නැහැ—මගේ පංතියේ 15දෙනාගෙන් 5දෙනෙක් වේශ්‍යාවන් බවට පත් වුණා.”
සිවූන් හා කුල්වාඩී මෙන් තරුණ තරුණියන් මිලියන ගණනක් සිටියි. “ලිංගික කර්මාන්තය ඊටම ආවේණික වේගයකින් ගමන් කරන විශාල වෙළඳපොළක්” බව යුනෙස්කෝහි (එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය) වාසීලා ටාම්සාලි ශෝකයෙන් පවසයි. “දාහතර-හැවිරිදි ගැහැනු ළමයෙකු විකිණීම කොයිතරම් පොදු දෙයක් වෙලාද කියනවා නම්, එය ගණන් ගන්නේවත් නැහැ.” එමෙන්ම මේ ගැහැනු ළමයින්ව ලිංගික වහල්කමට විකුණූ පසු, ඔවුන්ව දී ලබාගත් මුදල ගෙවීමට බැරි වී යයි. මාන්ජූගේ පියා ඇයට 12දී ඇයව විකුණූ නමුත් වේශ්‍යාකමේ යෙදී අවුරුදු හතක් ගෙවිලත් තවමත් ඩොලර් 300ක් (එ.ජ.) ණයයි. “මට කරන්න වෙන කිසි දෙයක් තිබුණේ නැහැ—මාව උගුලට අහු වෙලා” කියා ඈ පැහැදිලි කරනවා.
ගැහැනු ළමුන්ට, තමන්ව වහල්කමට විකුණන පිම්පියන්ගෙන් බේරෙන එක අමාරු වගේම ඒඩ්ස් රෝගයෙන් බේරෙන එකත් අමාරුයි. මේ ළමා වේශ්‍යාවන්ගෙන් සියයට 33ක් ඒඩ්ස් වෛරසයෙන් ආසාදනය වී සිටින බව දකුණු ආසියාවේ සිදු කළ සමීක්ෂණයකින් පෙන්වා තිබේ. ඩොලර් බිලියන-පහක වේශ්‍යා කර්මාන්තය සමෘද්ධිමත් වන තාක් කල්, මේ ගැහැනු ළමයි දිගටම දුක් විඳීමට ඇති ඉඩ කඩ වැඩියි.
මේ භයානක වැඩය සඳහා වරද තැබිය යුත්තේ කාටද? නිසැකවම, ගැහැනු ළමයින්ව වේශ්‍යාකමට මිල දී ගන්නා හා විකුණන අය වරදෙන් විශාල කොටසක් දරයි. නමුත් ලිංගික ආශාවන් සන්තර්පණය කරගැනීමට ගැහැනු ළමයින්ව පාවිච්චි කරන අධම මිනිසුන්වත් හෙළාදැකිය යුතුයි. මන්ද එවැනි දුරාචාර ක්‍රියාවල යෙදුණේ නැත්නම්, මේ ගැහැනු ළමයින්ව වේශ්‍යාකමට යොදාගැනීමත් නොපවතින නිසයි.
[පාදසටහන]
a නම් වෙනස් කර තිබේ.
[පින්තූරය]
සෑම අවුරුද්දකම ගැහැනු ළමුන් මිලියනයකට පමණ වේශ්‍යාකමේ යෙදීමට බල කෙරේ
[6වන පිටුවේ කොටුව⁄පින්තූරය]
මධ්‍යම අප්‍රිකාවේ කාන්තාවකගේ වැඩදිනය
කාන්තාව හයට නැඟිට පවුලට සහ තමාට උදේ කෑම පිළියෙළ කරන අතර, ඉන්පසු ඔවුන් උදේ වරුවේ එය ආහාරයට ගන්නවා. ළඟපාත ගඟකින් ජලය ගෙන ආවාට පස්සේ ඇය ඇගේ බිම් කැබැල්ල වෙත පියමනියි—එයට පැයක විතර දුරක් ඇවිදීමට තිබේ.
සවස හතර පමණ වන තෙක්, ඇය ගොවිතැන් කරයි; වල් පැළ උදුරා දමයි; එහෙමත් නැත්නම් වතුර දමයි; මෙය සුළු වෙලාවකට නවතා දමන්නේ ඇය රැගෙන විත් තිබෙන ආහාර ගැනීමට පමණයි. දිවා ආලෝකය තිබෙන ඉතිරි පැය දෙක පාවිච්චි වන්නේ දර කපන්න හා පවුලට අවශ්‍ය මඤ්ඤොක්කා හෝ වෙනත් එළවළු එකතු කිරීමටයි—මේ සියල්ල රැගෙන ඈ නිවසට යයි.
සාමාන්‍යයෙන්ම, ඇය නිවසට පැමිණෙන්නේ ඉර බැස යද්දියි. දැන් ඇයට රෑ කෑම පිළියෙළ කිරීමට තිබෙන අතර, එය පැය දෙකක හෝ ඊට වැඩි කාලයක් ගත වන කාර්යයක්. ඉරිදා දවස් ගත වන්නේ අසල පිහිටි ගඟකට ගොස් රෙදි සේදීමට හා ඒවා වේළුණාට පස්සේ මැදීමටයි.
ඇගේ සැමියා මේ වෙහෙසකර වැඩ සියල්ල අගේ කරන්නේ, එසේත් නැත්නම් ඇගේ යෝජනාවලට සවන් දෙන්නේ කලාතුරකින්. වගා කිරීම සඳහා ඇයට භූමිය සකස් කිරීමට හැකි වන පරිදි ඔහු ගස් කපා දැමීම හෝ කැලෑ පඳුරු පුලුස්සා දැමීම කරන නමුත් ඊට වඩා දෙයක් ඔහු කරන්නේ නැති තරම්. ඉඳහිට, ඔහු දරුවන්ව ගඟට ගෙනියන අතර ඔවුන් සෝදා පවිත්‍ර වෙයි; සමහරවිට ඔහු දඩයම් කිරීමේ හා මාළු ඇල්ලීමේ ස්වල්ප වශයෙන් නිරත වෙයි. නමුත් ඔහුගේ දවසෙන් වැඩිහරියක් ගත වන්නේ ගමේ මිනිස්සු එක්ක කතා කර කර සිටීම සඳහායි.
සැමියාට නඩත්තු කිරීමට හැකිකමක් තිබේ නම්, අවුරුදු කීපයකට පසුව ඔහු අලුත්, වඩාත් තරුණ බිරිඳක් නිවසට ගෙන එන අතර, ඇය ඔහුගේ ආදරයේ කේන්ද්‍රය බවට පත් වෙයි. කෙසේනමුත්, වැඩක් පළක් කරගන්න බැරි වන තෙක් හෝ මියයන තෙක්ම තමා කරමින් සිටි වැඩ සියල්ල සුපුරුදු පරිදි කරගෙන යෑම සිය මුල් බිරිඳගෙන් අපේක්ෂා කරයි.
අප්‍රිකාවේ කාන්තාවන් විශාල වැඩ කන්දරාවක් උසුලයි