කාන්තාවන් හා ඔවුන්ගේ වැඩ අගය කිරීම
අවුරුදු තුන්දාහකට පෙර, ලෙමුවෙල් නම් මනුෂ්‍යයෙක් දක්ෂ බිරිඳක් සම්බන්ධයෙන් ප්රශස්ත විස්තරයක් ලිව්වා. මෙය බයිබලයේ හිතෝපදේශ 31වන පරිච්ඡේදයෙහි වාර්තා වී ඇත. ඔහු කාන්තාවගේ ක්‍රියා ඉහළින් වර්ණනා කළ අතර ඇය ඇත්තෙන්ම කාර්යබහුලව සිටියා. ඇය තම පවුල රැකබලාගත්තා; වෙළඳපොළේ වෙළඳාම් කළා; ඉඩම් මිල දී ගැනීම හා විකිණීම කළා; තම නිවැසියන්ට ඇඳුම් සකස් කළා; එමෙන්ම වතුපිටිවල වැඩ කළා.
මේ කාන්තාවව අගය නොකර සිටියේ නැහැ. ‘ඇගේ දරුවන් ඇයට ආශීර්වාද කළ අතර ඇගේ සැමියා ඇයට ප්‍රශංසා කළා.’ එවැනි බිරිඳක් අගනා වස්තුවක්. බයිබලය මෙසේ පවසයි—“ඇය රතුකැටවලටත් වඩා වටී.”—හිතෝපදේශ 31:10-28, නියූ ඉන්ටනැෂනල් ව’ෂන්.
ලෙමුවෙල්ගේ කාලයේ පටන්, කාන්තාවන්ගේ වැඩ සෑහෙන සංකීර්ණ වී තිබේ. ඔවුන්ගේ 20වන-සියවසේ කාර්යභාරය ඉටු කිරීමට බොහෝවිට බිරිඳන්, මව්වරුන්, හෙදියන්, ගුරුවරියන්, පවුල නඩත්තුකරන්නියන් හා ගෙවිලියන් වීම අවශ්‍යයි—මේ සියල්ලම එකවිට අවශ්‍යයි. ගණන් කළ නොහැකි කාන්තාවන් සංඛ්‍යාවක් තම දරුවන්ට කන්න ප්‍රමාණවත්ව තිබෙනවාදැයි සහතික වීමට පමණක්ම ඉමහත් පරිත්‍යාගයන් කරනවා. මේ සියලු කාන්තාවනුත් අගය හා ප්‍රශංසාව ලබන්න වටින්නේ නැද්ද?
කාන්තාවන් පවුල රකින්නන් හැටියට
තම පවුල නඩත්තු කිරීම සඳහා උපකාර වීමට හෝ තම පවුලේ සම්පූර්ණ නඩත්තුව සඳහා පෙර නොවූවිරූ ලෙස කාන්තාවන්ට අදදින නිවසෙන් පිට රැකියා කරන්න සිදු වී තිබේ. විමෙන් ඇන්ඩ් ද ව’ල්ඩ් ඉකනොමික් ක්‍රයිසිස් (කාන්තාවන් හා ලෝක ආර්ථික අර්බුදය) නම් පොත මෙවැන්නක් සඳහන් වූ වාර්තාවක් සටහන් කරයි: “කාන්තාවන් කරන්නේ ගෙදර දොරේ වැඩ පමණක් නොවෙයි. ‘ගෘහණියක් පමණයි’ කියා කිව හැකි කාන්තාවන්, සාපේක්ෂ වශයෙන් ගත් කල ලෝකයේ සිටින්නේ ස්වල්පදෙනයි.” එමෙන්ම කාන්තාවන්ගේ වැඩ විශිෂ්ට ලෙස සලකන්නේ කලාතුරකින්. සඟරා හෝ රූපවාහිනී වෘත්තාන්ත කාන්තාවන්ව උසස් කාර්යාලවල විධායක නිලධාරිනියන් හැටියට වර්ණනා කළ හැකි වුණත්, යථාර්ථය සාමාන්‍යයෙන්ම ඉතා වෙනස්. ලෝකයේ කාන්තාවන්ගෙන් වැඩිදෙනෙක් සුළු ද්‍රව්‍යමය ලාභයක් සඳහා පැය ගණන් වෙහෙසෙයි.
කාන්තාවන් මිලියන සියගණන් වතුපිටිවල වැඩ කරයි; භෝග වගා කරයි; පවුලට අයත් කුඩා බිම් කැබලි රැකබලාගනියි; එහෙමත් නැත්නම් සත්ව-පාලනය බලා කියාගනියි. ලෝකයෙන් අඩක් පෝෂණය කරන මේ වැඩවලට සාමාන්‍යයෙන් ගෙවන්නේ අඩුවෙන් නැතහොත් ගෙවන්නෙම නැහැ. “අප්‍රිකාවේ ආහාරවලින් සියයට 70ක් වගා කරන්නේ ස්ත්‍රීන්; ආසියාවේ සංඛ්‍යාව සියයට 50-60ක් වන අතර ලතින් අමෙරිකාවේ සියයට 30ක්” බව විමෙන් ඇන්ඩ් ද එන්වයරන්මන්ට් (කාන්තාවන් හා පරිසරය) පොත වාර්තා කරයි.
කාන්තාවන් වැටුප් ලබන රැකියාවල නිරත වුණත්, ඔවුන් සාමාන්‍යයෙන් පිරිමි සේවකයන්ට වඩා අඩුවෙන් උපයන්නේ හුදෙක් ඔවුන් ස්ත්‍රීන් වීම නිසාමයි. මේ වෙනස්කම විශේෂයෙන්ම මවකට තික්ත අද්දැකීමක් වෙයි පවුල රකින එකම තැනැත්ති ඇය වුණහම; මෙම කාර්යභාරය එන්න එන්නම පොදු දෙයක් බවට පත් වෙමින් තිබේ. අප්‍රිකාවේ, කැරිබියන්හි හා ලතින් අමෙරිකාවේ සියලු නිවාසවාසීන්ගෙන් සියයට 30 හා 50 අතර සංඛ්‍යාවක්, තමන්ගේ ප්‍රධාන සපයන්නා හැටියට රඳාපවතින්නේ කාන්තාවක් මතයි කියා එක්සත් ජාතීන්ගේ වාර්තාවක් තක්සේරු කරයි. එමෙන්ම වඩාත් සංවර්ධිත රටවල පවා, ප්‍රධාන සපයන්නා බවට පත්වීමට සිදුව ඇති කාන්තාවන්ගේ ගණන වැඩි වී තිබේ.
සංවර්ධනය වෙමින් පවතින ලෝකය පුරාම පවතින පිටිසරබද දිළිඳුකම මේ නැඹුරුවාව වැඩි කරවනවා. තම පවුල පෝෂණය කිරීමට නිරතුරු වෙහෙසක් දරන සැමියෙකු රැකියාවක් ලබාගැනීම සඳහා ළඟපාත නගරයකට මාරු වීමට හෝ වෙනත් රටකට යෑමට පවා තීරණය කළ හැකියි. පවුල රැකබලා ගැනීම සඳහා ඔහු තම බිරිඳව පසෙකට දමා යයි. ඔහු රැකියාවක් ලබාගැනීමට තරම් භාග්‍යවන්තයෙක් වුවහොත්, ඔහු නිවසට මුදල් චෙක්පත් එවයි. නමුත් ඔහුට කොයිතරම් හොඳ අභිප්රායන් තිබුණත් එය දිගටම ක්‍රියාත්මක නොවෙයි. ඔහු දමා ආ පවුල තව තවත් දිළිඳුකමට වැටෙන අතර, දැන් ඔවුන්ගේ ශුභසිද්ධිය රඳාපවතින්නේ මව මතයි.
“ස්ත්‍රීකරණය කළ දිළිඳුකම” වශයෙන් යෝග්‍ය ලෙස විස්තර කර තිබෙන මේ විෂම චක්‍රය කාන්තාවන් මිලියන ගණනක් මත විශාල බරක් හෙළනවා. “ලොව පුරා නිවැසියන් මුළු සංඛ්‍යාවෙන් තුනෙන් එකක් පාලනය කරන්නේ කාන්තාවන් බව තක්සේරු කර තිබෙන අතර, පුරුෂයන්ගේ පාලනය යටතේ සිටින්නන්ට වඩා වැඩියෙන් ඔවුන් යටතේ සිටින්නන් දිළිඳුව සිටීමට ඇති ඉඩ කඩ වැඩි අතර, එවැනි නිවැසියන්ගේ සංඛ්‍යාව වැඩි වෙමින්ද පවතිනවා” කියා විමෙන් ඇන්ඩ් හෙල්ත් (කාන්තාවන් හා සෞඛ්‍යය) පොත පැහැදිලි කරයි. නමුත් දුෂ්කර මෙන් පෙනෙන්න තිබුණත්, කාන්තාවන් මූණ දෙන එකම අභියෝගය මේසය මත ආහාර තැබීම පමණක් නොවෙයි.
මව්වරුන් හා ගුරුවරියන්
මවකට තම දරුවන්ගේ ශුභසිද්ධිය සඳහා කටයුතුද බලාකියාගැනීමට තිබේ. දරුවෙකුට ප්‍රේමය හා ස්නේහය ගැන ඉගෙනීමට උපකාර කරද්දී—එනම් ඔහුගේ ශාරීරික අවශ්‍යතා ලබා දෙනවා වාගේම වැදගත් විය හැකි පාඩම් දෙද්දී—ඇය වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. හොඳින් සමබර වැඩිහිටියෙකු බවට වර්ධනය කිරීමෙහිලා, දරුවෙකුට වැඩෙන අතරතුරේදී උණුසුම්, සුරක්ෂිත පරිසරයක් අවශ්‍යයි. නැවතත්, මවකගේ කාර්යභාරය ඉතා වැදගත්.
ද ඩිවෙලපිං චයිල්ඩ් (වැඩෙන දරුවා) නම් පොතෙහි, හෙලන් බී මෙහෙම ලියයි: “උණුසුම් ආදරයක් දක්වන දෙමාපියෙක් දරුවා ගැන සැලකිලිමත් වෙනවා; ආදරය ප්‍රකාශ කරනවා; නිතර දෙවේලෙ දරුවාගේ අවශ්‍යතාවලට මුල් තැන දෙනවා; දරුවාගේ ක්‍රියාකාරකම් සඳහා උද්යෝගයක් දක්වනවා; එමෙන්ම දරුවාගේ හැඟීම්වලට සංවේදනීයව හා දයානුකම්පිතව ප්‍රතිචාරය දක්වනවා.” රැකබලාගන්නාවූ මවකගෙන් එවැනි උණුසුම් ආදරයක් ලබන දරුවන් ඇත්තෙන්ම තම අගය ඇයට දැක්විය යුතුයි.—හිතෝපදේශ 23:22.
දරුවාගේ උපතේදීම බොහෝ මව්වරුන් මව්කිරි දීම තුළින් තම දරුවාට උණුසුම් පරිසරයක් සපයයි. විශේෂයෙන්ම දිළිඳු නිවෙස්වල තම නවජයාට දීමට මවට හැකි අමිල ත්‍යාගයක් තමන්ගේම කිරි. (10-11 පිටුවල කොටුව බලන්න.) ප්‍රේරිත පාවුල්, තමා තෙසලෝනිකයෙහි ක්‍රිස්තියානීන් සඳහා දැක්වූ උණුසුම් ආදරය ‘ඇගේම දරුවන් පෝෂණය කරන කිරිමවකගේ’ ආදරය සමඟ සැසඳූ බව බයිබලය අපට කීම සිත්ගන්නා කරුණක්.—1 තෙසලෝනික 2:7, 8.
තම දරුවන්ව පෝෂණය කිරීම හා ආදරයෙන් රැකබලාගැනීමට අමතරව, මවක් බොහෝවිට ඔවුන්ගේ ප්‍රධාන ගුරුවරියද වෙයි. “මාගේ පුත්‍රය, නුඹේ පියාගේ ගුරුකම අසන්න, නුඹේ මවුගේ උපදෙස්ද අත් නොහරින්න” කියා බයිබලය උපදෙස් දෙන්නේ, තම දරුවන්ව දැනුවත් කිරීමට මව්වරුන් දරන විශාල කොටසට වක්‍රාකාරයෙන් යොමු දක්වමින්. (හිතෝපදේශ 1:8) දරුවාට කතා කිරීමට, ඇවිදීමට සහ ගෙදර දොරේ වැඩකොටස හා වෙනත් අප්‍රමාණ දේවල් කිරීමට ඉවසිලිවන්තව උගන්වන්නේ ප්‍රධාන වශයෙන් මව නැත්නම් ආච්චියි.
දයානුකම්පාව දැක්වීම බෙහෙවින් අවශ්‍යයි
කාන්තාවන්ට තම පවුල්වලට දිය හැකි ත්‍යාගවලින් උතුම් ත්‍යාගයක් තමයි දයානුකම්පාව. පවුලේ සාමාජිකයෙක් අසනීප වුවොත්, මවක් තමාගේ වෙනත් වගකීම් සියල්ලම බලාගන්නා අතරේදීම හෙදියකගේ කාර්යභාරයද ඉටු කරයි. “ලෝකයේ සෞඛ්‍ය සත්කාරවලින් වැඩිහරියක් සපයන්නේ ඇත්තෙන්ම කාන්තාවන්” බව කාන්තාවන් හා සෞඛ්‍යය පොත පැහැදිලි කරයි.
තම දරුවන්ට කෑම නොලැබී නොයෑම සඳහා තමා අඩුවෙන් කෑමට පවා මවකගේ දයානුකම්පාව ඇයව පෙලඹවිය හැකියි. සමහර කාන්තාවන් මන්දපෝෂණයෙන් පෙළුණත් තමන් ගන්නා ආහාර ප්‍රමාණවත්යයි සලකන බව පර්යේෂකයන් සොයාගෙන තිබේ. තම සැමියන්ට හා දරුවන්ට වැඩි පංගුවක් දීමට කොයිතරම් පුරුදු වෙලාද කිව්වොත්, තමන්ට වැඩ කළ හැකි තාක් කල් තමන්ට ප්‍රමාණවත් ආහාර ලැබෙනවායයි ඔවුන් කල්පනා කරයි.
සමහර අවස්ථාවලදී කාන්තාවක් අවට පරිසරය කෙරෙහි දක්වන සැලකිල්ලෙන්ම ඇගේ දයානුකම්පාව පැහැදිලි වෙයි. ඉඩෝරය, වියළී යෑම සහ වනනාශනය මගින් දේශය පාළු කරන විට ඇයත් දුක් විඳින බැවින් ඒ පරිසරය ගැන ඇය සැලකිලිමත් වෙයි. අසල කැලෑවක ගස් 2,500ක් පමණ කපා දැමීමට ලී වෙළඳ සමාගමක් සැරසෙන බව දැනගත් විට ඉන්දියාවේ එක නගරයක කාන්තාවන්ගේ කෝපය ඉහවහා ගියා. ආහාර, දර සහ ඇති කරන සත්වයන් සඳහා කෑම සොයාගැනීමට කාන්තාවන්ට එම ගස් වුවමනා වුණා. ගස් කපන්නන් පැමිණි විට, කාන්තාවන් ඒ වන විටත් එතැනට පැමිණ ගස් ආරක්ෂා කිරීමට ඒවා වටා අත්වැල් බැඳගෙන සිටියා. ‘ඕගොල්ලන්ට ගස් කපලා දාන්න ඕනෙ නම් අපේ බෙලිත් කපලා දාන්න’ කියා කාන්තාවන් ගස් කපන්නන්ට කිව්වා. කැලෑව ආරක්ෂා වුණා.
“ඇය උපයාගත් විපාකය ඇයට දෙන්න”
පවුල රකින්නා, මව, ගුරුවරිය හෝ දයානුකම්පාවේ උල්පත යන ඕනෑම කාර්යභාරයක් සඳහා කාන්තාවක් ගෞරවය හා පිළිගැනීම ලබන්න වටිනවා, එය ඇගේ රාජකාරිය නිසා. දක්ෂ බිරිඳක් සම්බන්ධයෙන් ඉතා උසස් ලෙස කතා කළ ඥානවන්ත මිනිසෙකු වූ ලෙමුවෙල්, කාන්තාවකගේ වැඩය හා ඇගේ උපදෙස් යන දෙකම අගය කළා. ඇත්තෙන්ම, ඔහුගේ පණිවිඩයෙන් වැඩිහරියක තිබෙන්නේ ඔහුගේ මව ඔහුට දුන් උපදෙස් බව බයිබලය පැහැදිලි කරයි. (හිතෝපදේශ 31:1) යුතුකම් නොපිරිහෙළා ඉටු කරන බිරිඳක හා මවක නොසලකා නොහැරිය යුතු බව ලෙමුවෙල්ට ඒත්තුගියා. “ඇය උපයාගත් විපාකය ඇයට දෙන්න” කියා ඔහු ලිව්වා. “ඇගේ වැඩ ඇයට ප්‍රශංසා ගෙනෙයි.”—හිතෝපදේශ 31:31, NIV.
කෙසේවුවත්, ලෙමුවෙල් එම අදහස් වාර්තා කළ විට, ඒවා නිකම්ම මිනිස් චින්තනයන්ගේ පිළිබිඹු කිරීමක්ම වුණේ නැහැ. බයිබලයේ ඒවා වාර්තා කර තිබෙන අතර එය දෙවිගේ වචනයයි. ‘මුළු ලියවිල්ල දේවානුභාවයෙන්.’ (2 තිමෝති 3:16) අපේ ඉගෙනීම සඳහා බයිබලයෙහි දී ඇති එවැනි කොටස් දේවානුභාවයෙන් නිසා, එවැනි හැඟීම් කාන්තාවන් පිළිබඳව සර්වබලධාරි දෙවිගේ අදහස් දක්වයි.
තවදුරටත්, ස්වාමිපුරුෂයන් ‘තම භාර්යාවන්ට ගෞරව දිය’ යුතුයි කියා දේවානුභාව ලත් වචනය පවසයි. (1 පේතෘස් 3:7) එමෙන්ම එපීස 5:33හි ස්වාමිපුරුෂයාට මෙසේ පවසා තිබේ: “නුඹලා එක් එක්කෙනාත් තම තමාට මෙන් තම තමාගේ භාර්යාවට ප්‍රේමකරන්න.” සැබවින්ම, එපීස 5:25 මෙසේ පවසයි: “පුරුෂයෙනි, [ක්‍රිස්තුස්] සභාවට ප්‍රේමකොට, ඈ උදෙසා තමන්ම පාවාදුන්නාක්මෙන්ම, නුඹලාත් නුඹලාගේ භාර්යාවන්ට ප්‍රේමකරන්න.” එසේය, ක්‍රිස්තුස් තම අනුගාමිකයන් වෙනුවෙන් එවැනි ප්‍රේමයක් කොයිතරම් පෙන්නුම් කළාද කිව්වොත් ඔවුන් වෙනුවෙන් මියයෑමට පවා කැමැත්තක් දැක්වුවා. ඔහු ස්වාමිපුරුෂයන් වෙනුවෙන් තැබුවේ මොනතරම් පරාර්ථකාමී ආදර්ශයක්ද! එමෙන්ම යේසු ඉගැන්වූ හා ඒ අනුව ජීවත් වූ ප්‍රමිති, දෙවිගේ ප්‍රමිති පිළිබිඹු කරන අතර, ඒවා බයිබලයෙහි වාර්තා කර තිබෙන්නේ අපේ ප්‍රයෝජනය සඳහායි.
එහෙත්, බොහෝ පැතිවලින් ඔවුන් මහන්සි වුවත්, බොහෝ කාන්තාවන්ට තමන් කරන දේට ප්‍රශංසාව ලැබෙන්නේ කලාතුරකින්. දැන් පවා ඔවුන්ට ජීවිතයේ තම ඉරණම යහපත් අතට හරවාගත හැක්කේ කෙසේද? එමෙන්ම, ඔවුන් කෙරෙහි ආකල්ප වෙනස් කිරීම සඳහා යම් ඉඩ ප්‍රස්තාවක් තිබෙනවාද? කාන්තාවන් සඳහා අනාගත අපේක්ෂාවන් මොනවාද?
[10, 11 යන පිටුවේ කොටුව⁄පින්තූරය]
කාන්තාවකට තම ඉරණම යහපත් අතට හැරවිය හැකි මාර්ග තුනක්
අධ්‍යාපනය. අකුරු නොදත් කාන්තාවන් මිලියන 600ක් පමණ ලෝකයෙහි සිටී—ඔවුන්ගෙන් වැඩිදෙනෙකුට කෙදිනකවත් පාසැල් යෑමට ඉඩ ප්‍රස්තාව තිබී නැහැ. ඔබ පාසැල් අධ්‍යාපනය ලබාගෙන තිබෙන්නේ සුළු වශයෙන් විය හැකි නමුත්, ඔබව දැනුවත් කිරීමට ඔබට නොහැකි බවක් ඉන් අදහස් කරන්නේ නැහැ. එය පහසු දෙයක් නොවන මුත් බොහෝ කාන්තාවන් සාර්ථක වී ඇත. “අකුරු ඉගෙනීමේ කුසලතා ලබාගැනීමට වැඩිහිටියන්ව පෙලඹවීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කිරීමට ආගමික කාරණාවලට හැකියි” කියා විමෙන් ඇන්ඩ් ලිටරසි (කාන්තාවන් හා අකුරු දැනසිටීම) නම් පොත පැහැදිලි කරයි. ඔබටම බයිබලය කියවිය හැකිවීම, කියවීමට ඉගෙනගැනීමෙන් ලැබෙන කදිම විපාකයක්. නමුත් වෙනත් බොහෝ වාසිත් තිබේ.
අකුරු දන්නා මවකට වඩාත් වැඩි ආර්ථික ප්‍රස්තාවන් තිබෙනවා පමණක් නොව, නමුත් ඇයට හොඳ සෞඛ්‍ය පුරුදු ගැනත් උගත හැකියි. අකුරු දැනසිටීමේ වාසි ප්‍රයෝජන ගැන ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය පුදුමාකාර ලෙස නිදසුන් කොට දක්වයි. මේ පළාත ආදායම අතින් ගත් කල සාමාන්‍යයට වඩා පහත් මට්ටමක තිබුණත්, එහි කාන්තාවන්ගෙන් සියයට 87ක් අකුරු උගත් අයයි. එම ප්‍රාන්තයේම බිළිඳු මරණ, ඉන්දියාවේ ඉතිරි ප්‍රදේශවලට වඩා පස් ගුණයකින් අඩු වන අතර, සාමාන්‍යය ගත් කල ඒවායේ කාන්තාවන්ට වඩා වැඩියෙන් අවුරුදු 15ක දීර්ඝ කාලයක් ජීවත් වීමත්, එමෙන්ම හැම ගැහැනු ළමයාම පාසැල් යෑමත් උනන්දුවට කාරණයක්.
අකුරු දන්නා මවක් ස්වභාවයෙන්ම තම දරුවන්ගේ ඉගෙනීමේ වැඩකටයුතුවලට දිරි දෙයි—ඒ තරම් පහසු කාර්යයක් නෙවෙයි. ගැහැනු ළමුන්ගේ අධ්‍යාපනය විශිෂ්ට ආයෝජනයක්. පවුලේ සෞඛ්‍යය නඟා සිටුවීමට හා කාන්තාවන්ගේම ජීවිත නඟා සිටුවීමට එවැනි බලයක් වෙන කිසිවක නැති බව, ද ස්ටේට් ඔෆ් ද ව’ල්ඩ්ස් චිල්ඩ්රන් නයින්ටීන් නයින්ටිවන් (1991 ලෝකයේ දරුවන්ගේ තත්වය) ප්රකාශනයෙහි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (යුනිසෙෆ්) ප්‍රකාශ කරයි. කියවීමේ හා ලිවීමේ කුසලතා, වඩාත් හොඳ මවක් හා සපයන්නියක් වීමට ඔබට උපකාර කරන බවට කිසිම සැකයක් නැහැ.a
සෞඛ්‍යය. මවක වශයෙන්, ඔබ ඔබ ගැන බලාගත යුතු අතර විශේෂයෙන්ම ඔබ ගැබ්ගෙන සිටී නම් හෝ කිරි දෙනවා නම් එසේ කළ යුතුයි. ඔබේ ආහාර වේල වැඩිදියුණු කරන්න ඔබට පුළුවන්ද? අප්‍රිකාවේ මෙන්ම දකුණු හා බටහිර ආසියාවේ ගැබ්ගත් කාන්තාවන්ගෙන් තුනෙන් දෙකකට ආසන්න ප්‍රමාණයක් රක්තහීනතාවයෙන් පෙළෙන බව රෝග විනිශ්චයේදී සොයාගෙන තිබේ. ඔබේ ශක්තිය හීන කරනවාට අමතරව රක්තහීනතාවය දරු උපත හා සම්බන්ධ අවදානම් වැඩි කරන අතර, මැලේරියාවෙන් පහර දීමට ඇති ඉඩ කඩ වැඩි කරයි. මස් මාළු හිඟ හෝ මිල අධිකව තිබුණත්, බිත්තර හා යකඩවලින් ගහන පලතුරු හෝ එළවළු ලබාගත හැකි වෙයි. පෝෂ්‍යදායී ආහාර ගැනීමෙන් ඔබව වැළැක්වීමට මිථ්‍යා විශ්වාසයන්ට ඉඩ නොදෙන්න; එමෙන්ම පවුලේ ආහාරවලින් ඔබේ පංගුව වළකාලීමට ප්‍රාදේශීය සිරිත් විරිත්වලට ඉඩ නොහරින්න.b
මව්කිරි දීම ඔබටත් ඔබේ දරුවාටත් හොඳයි. මව්කිරි වඩාත් ලාභදායකයි; බෙහෙවින් සෞඛ්‍යාරක්ෂිතයි; එමෙන්ම වෙනත් ඕනෑම ආදේශකයකට වඩා බෙහෙවින් පෝෂ්‍යදායකයි. මව්වරුන් ළදරුවන්ගේ මුල් මාස හතරේ සිට හය දක්වා මව්කිරි දුන්නා නම් සෑම වසරකම ළමා මරණ මිලියනයක් වළකාගන්න තිබුණා කියා යුනිසෙෆ් ගණන් බලයි. සැබවින්ම, තම කිරි මගින් දරුවාට බෝ විය හැකි බෝවන රෝගයක් මවට තිබේ නම්, වෙනත් ආරක්ෂිත කිරි වර්ගයක් දිය යුතුයි.
ඔබේ නිවසේ ඇරී තිබෙන ලිපක ඔබ උයනවා නම් සුදුසු වාතාශ්‍රයක් තිබෙන බවට සහතික වන්න. “සමහරවිට උයන විට දුමට හා විෂ වායුවලට නිරාවරණය වීම අදදින ප්‍රසිද්ධව තිබෙන, රැකියාවට සම්බන්ධ ඉතාමත්ම බරපතළ සෞඛ්‍ය අනතුර විය හැකි” යයි කාන්තාවන් හා සෞඛ්‍යය පොත අනතුරු අඟවයි.
මොනතරම් පීඩනයක් ආවත් දුම් පානය නොකරන්න. සංවර්ධනය වෙමින් පවතින ලෝකයෙහි පැතිර පවතින දුම්වැටි වෙළඳ දැන්වීම් කාන්තාවන්ව ඉලක්ක කරගනිමින් සිටින්නේ, දුම්පානය සමාජයේ තත්වයක් ලබා දෙන දෙයක් බව ඒත්තුගැන්වීමට වෑයම් කරමිනුයි. මෙය ඇත්තෙන්ම සත්‍යයක් නෙවෙයි. දුම්පානය ඔබේ දරුවන්ට අනතුරු කරන අතර ඔබව මරා දැමීමටත් එයට හැකියි. දුම්පානයට ඇබ්බැහි වීම මගින් අන්තිමේදී දුම්පානය කරන සියලුදෙනාගෙන් කාලක් මරණයට පත් වන බවට ගණන් බලා තිබේ. එපමණක් නොව, පළමු-වතාවට දුම්පානය කරන්න පටන්ගන්නෙකු, දුම්පානයට ඇබ්බැහි වීමට ඇති ඉඩ කඩ ඉතා ඉහළයි කියා ප්‍රවීණයන් අනතුරු අඟවයි.
සනීපාරක්ෂාව. සනීපාරක්ෂාව සම්බන්ධයෙන් ඔබේ ආදර්ශය හා ඔබේ උපදෙස ඔබේ පවුලේ සෞඛ්‍යයට ඉතා වැදගත්. ෆැක්ට්ස් ෆො ලයිෆ් (ජීවිතයට දායක වන කරුණු) නම් ප්රකාශනය හොඳ සනීපාරක්ෂාව සඳහා මතු දැක්වෙන ප්‍රධාන පියවර සංක්ෂිප්තව දක්වයි:
• මොනම ආකාරයකින් හෝ මළමුත්රාදිය ඇල්ලූ පසුව හා ආහාර සම්බන්ධයෙන් කටයුතු කිරීමට පෙර ඔබේ අත් සබන් හා වතුරෙන් සෝදන්න. කෑම ගැනීමට පෙර ඔබේ දරුවන් ඔවුන්ගේ අත් සෝදා ඇති බව ස්ථිර කරගන්න.
• වැසිකිළියක් පාවිච්චි කරන්න; එය පිරිසිදුව හා වසා තබන්න. මෙය කළ නොහැකි නම්, ඔබේ නිවසෙන් හැකි තරම් එපිටක මළ පහ කර, එවෙලේම මළමුත්රාදිය වළලා දමන්න.—ද්විතීය කථාව 23:12, 13 සසඳන්න.
• ඔබේ ගෙදර දොරේ වැඩවලට පිරිසිදු වතුර පාවිච්චි කරන්න වෑයම් කරන්න. මෙය ඉටු කරගැනීම සඳහා, ළිං වසා තබන්න; එමෙන්ම වතුර ගෙන යෑමට පිරිසිදු භාජන පාවිච්චි කරන්න.
• පිරිසිදු වතුර ලබාගන්න මාර්ගයක් ඔබට නැත්නම් වතුර උණු කර නිවා බොන්න. වතුර පිරිසිදු මෙන් පෙනෙන්න තිබුණත් අපිරිසිදුව තිබිය හැකියි.
• නොපිසූ ආහාර ආසාදනයක් පැතිරවීමට ඇති ඉඩ කඩ වැඩි බව මතක තබාගන්න. අමුවෙන් කෑමට ගත යුතු ආහාර කෑමට පෙර හොඳින් සෝදා, හැකි විගස ආහාරයට ගත යුතුයි. වෙනත් ආහාර, විශේෂයෙන්ම මස් සහ කුකුල් මස් වැනි මස් වර්ග හොඳින් පිසිය යුතුයි.
• කෘමීන්ට හෝ සත්වයන්ට අපිරිසිදු කිරීමට නොහැකි වන පරිදි ආහාර පිරිසිදුව මෙන්ම වසා තබන්න.
• ගෙදර දොරේ අපද්‍රව්‍යය පුලුස්සා හෝ වළලා දමන්න.c
[පාදසටහන්වල]
a යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඔවුන්ගේ පුළුල් බයිබල් අධ්‍යයන වැඩසටහනේ කොටසක් වශයෙන් නොමිලේ අකුරු ඉගැන්වීමේ පංති සංවිධානය කරයි.
b සමහර දේශවල, ගැබ්ගෙන සිටින කාන්තාවන් නූපන් දරුවාට අනතුරක් වේය යන බියෙන් මාළු, බිත්තර හෝ කුකුල් මස් නොකෑ යුතුයි යන මිථ්‍යා මතය දරයි. කාන්තාවන් කෑම ගත යුත්තේ පුරුෂයන් හා පිරිමි ළමයින් කෑම කෑවට පසු ඉතිරි වූ ඒවා වීම සමහර අවස්ථාවලදී සිරිතක්ව තිබේ.
c වැඩි විස්තර සඳහා 1995 අප්‍රියෙල් 8 පිබිදෙව්! (ඉංග්‍රීසියෙන්) 6-11 පිටු බලන්න.
[8වන පිටුවේ පින්තූරය]
බටහිර ලෝකයේ බොහෝ කාන්තාවන් කාර්යාලවල වැඩ කරයි
[8, 9 යන පිටුවේ පින්තූරය]
බොහෝ කාන්තාවන් වැඩ කළ යුත්තේ පහත් තත්වයන් යටතෙයි
[හිමිකම් විස්තර]
Godo-Foto
[9වන පිටුවේ පින්තූරය]
මව්වරුන් නිවසේ ගුරුවරියන්