ලොව විවෘත කර දුන් මිනිසා
ඕස්ට්‍රේලියාවේ පිබිදෙව්! වාර්තාකරු විසින්
මිනිසා මුල්ම වතාවට හඳට ගමන් කළ විට, ඔවුන් යන්නේ කොහේද, යන තැනට ළඟා වෙන්නේ කොහොමද යන්න ඔවුන් ගණිතමය වශයෙන් අකුරටම සැලසුම් කළා. ඒ වගේම පොළොව සමඟ සන්නිවේදන පවත්වන්නත් ඔවුන්ට පුළුවන් වුණා. එනමුත් නූතන ට්‍රේලර් රථයක දිගට සැසඳිය හැකි, බොහෝදුරට මීටර් 21ක් පමණ දිග, ලීයෙන් තැනූ ෆ’ඩිනන්ඩ් මැගලන්ගේa කුඩා නැව් පහ 1519දී ස්පාඤ්ඤයෙන් පිටත් වූ විට, ඔවුන් යාත්‍රා කළේ නොදත් මාර්ගයක් ඔස්සෙයි. ඒ වගේම ඔවුන් සම්පූර්ණයෙන්ම තනිව සිටියා.
නිර්භීතකමින් හා එඩිතරකමින් කවදත් මුල්ම තැනට එන නාවික ගමන් අතර, මැගලන්ගේ නාවික ගමන් මහ ගවේෂණ සමයේ නොමැකෙන ස්මාරකයක් මෙනි—ඒ සමය එඩිතරකම සහ භය, ප්‍රීති ප්‍රමෝදය සහ විපත්, දෙවි සහ ධනයෙන් සනිටුහන් වූ සමයක්. එසේනම්, ෆ’ඩිනන්ඩ් මැගලන් උතුරු පෘතුගාලයේ උපන් කාලය වන 1480ට පමණ ආපසු ගමන් කොට, ලොව විවෘත කර දුන් මෙම සිහිකටයුතු මිනිසා සහ ඔහුගේ ඓතිහාසික ගමන් දෙස බලමු.
රජ වාසලේ අතවැසියෙකුගේ සිට නිර්භය නාවිකයෙකු දක්වා
මැගලන් පවුල රදළ පන්තියේ සාමාජිකයන් නිසා, සිරිත් පරිදි, ෆ’ඩිනන්ඩ් තවමත් කොලුවෙකුව සිටිද්දී, රජ වාසලේ අතවැසියෙකු හැටියට සේවය කරන්න ඔහුව කැඳවනවා. මෙහිදී අධ්‍යාපනයක් ලැබෙනවාට අමතරව, සුප්‍රසිද්ධ කුළුබඩු දූපත් (ඉන්දුනීසියාව) වෙතට බටහිර දෙසින් දිවයන නාවික මාර්ගයක් සොයමින් සිටිද්දී, අමෙරිකා මහද්වීපවල සිට මෑතකදී පැමිණි ක්‍රිස්ටෝෆර් කොලොම්බස් වැනි මිනිසුන්ගේ වීර වික්‍රමයන් ගැන ඔහුට කෙළින්ම දැනගන්න ලැබෙනවා. තමාට ඉහළින් පිහිටි සුළඟෙහි ලෙළ දෙන රුවල්වල ශබ්දය අසන්නත්, ගවේෂණය නොකළ සමුද්‍රවලින් ගසාගෙන එන තුවානම් ඔහුගේ මුහුණෙහි වැදෙන අයුරු අද්දකින්නත් පුළුවන් වන දවස ගැන තරුණ ෆ’ඩිනන්ඩ් දැන් සිහින මවන්න පටන්ගනී.
කනගාටුදායක ලෙස, ඔහුගේ අනුග්‍රාහක ජුවාම් රජ 1495දී ඝාතනය කරනු ලබන අතර, ධනය ගැන මිසක ගවේෂණ ගැන උනන්දුවක් නොදක්වන මන්වෙල් ඩියුක්වරයා සිංහාසනාරූඪ වෙයි. යම් හේතුවක් උඩ, මන්වෙල් 15 හැවිරිදි ෆ’ඩිනන්ඩ්ට එතරම් කැමැත්තක් නොදක්වන අතර, නැවියෙකු වීමට ඔහු කරන ඉල්ලීම් අවුරුදු ගණනාවකටම නොසලකා හරිනවා. එනමුත්, කුළුබඩු පටවාගෙන වස්කෝ ද ගාමා ඉන්දියාවේ සිට ආපසු පැමිණෙන විට, මහත් ධනයක ඉව මන්වෙල්ට දැනෙනවා. කොහොම හරි, 1505දී, ඔහු මැගලන්ට මුහුදු ගමන් යන්න අවසර දෙනවා. අරාබි වෙළඳුන්ගෙන් කුළුබඩු වෙළඳාම අත්පත් කරගැනීමට උපකාර කිරීම සඳහා, මැගලන් පෘතුගීසි යුද නැව් සමූහයක් සමඟ නැඟෙනහිර අප්‍රිකාව සහ ඉන්දියාව බලා යාත්‍රා කරනවා. ඉන් පසුව, තවත් යුද නැව් ගමනකට සම්බන්ධ වෙමින් මලක්කාව බලා තවත් නැඟෙනහිර දෙසට යාත්‍රා කරනවා.
මොරොක්කෝවේ 1513දී සිදු වන සටනකදී, මැගලන්ගේ දණහිස බරපතළ ලෙස තුවාල වෙනවා. ප්‍රතිඵලයක් වශයෙන්, ජීවිතාන්තය දක්වාම ඔහු නොණ්ඩි ගසයි. තම විශ්‍රාම වැටුප වැඩි කරන්න කියා ඔහු මන්වෙල්ගෙන් ඉල්ලා සිටී. එනමුත් මෑතකදී කළ මැගලන්ගේ වීර වික්‍රමයන්, පරිත්‍යාගයන් සහ ධෛර්යයෙන් මන්වෙල්ගේ සතුරුකම අල්ප මාත්‍රයකින්වත් අඩු වී නැහැ. ඔහු ඔහුව හිස් අතින් යන්න හරින අතර, දුප්පත් රදළයෙක් සේ ජීවත් වීමට ඔහුට සිදු වෙනවා.
මැගලන්ගේ ජීවිතයේ අඩියටම බැස්ස මේ අවස්ථාවේදී, පරණ මිත්‍රයෙක් වන සුප්‍රසිද්ධ නාවික ජෝආඕ ඩ ලිස්බෝආ ඔහුව බැහැදකින්න එනවා. කුළුබඩු දූපත් කරා ළඟාවීමට, දකුණු අමෙරිකාව හරහා යන බවට කතාවට කියන සමුද්‍ර සන්ධියක් වන එල් පාසෝ ඔස්සේ නිරිත දිගින් ගමන් කර, බැල්බෝආ මෑතකදී පැනමේනියානු දේශ සන්ධිය හරහා ගිය විට සොයාගත් සමුද්‍රය හරහා යෑම ගැන දෙදෙනා සාකච්ඡා කරනවා. මෙම සමුද්‍රයේ ඈත කෙළවරෙහි කුළුබඩු දූපත් පිහිටා තිබෙන බව ඔවුන් විශ්වාස කරනවා.
දැන් කොලොම්බස් කරන්න අසමත් වූ දේ, එනම් ප්‍රාචීනයට නැඟෙනහිරින් දිවෙන මාර්ගයට යන වඩාත් කෙටියයි ඔහු විශ්වාස කරන එම බටහිර මාර්ගය සොයන්න මැගලන්ට දැවෙන ආශාවක් ඇති වෙනවා. එනමුත් ඔහුට මුදලින් උපකාර අවශ්‍යයි. මන්වෙල්ගේ උදහස නමැති ගින්නෙන් තවමත් වේදනාවෙන් පසු වන ඔහු, අවුරුදු කිහිපයකට කලින් කොලොම්බස් කළ දේම කරයි: ඔහු ස්පාඤ්ඤයේ රජුගේ අනුග්‍රහය පතයි.
ස්පාඤ්ඤයේ රජ සවන් දේවිද?
කුළුබඩු දූපත්වලට දිවයන තම බටහිර මාර්ගය ගැන ඉතා උනන්දු වන ස්පාඤ්ඤයේ තරුණ Iවන චාල්ස් මහරජහට සිතියම් දිගහැර පෙන්වමින්, මැගලන් තම තර්කයන් ඉදිරිපත් කරයි. එසේ උනන්දු වන්නේ, මෙවන් මාර්ගයක් තිබේ නම්, පෘතුගීසි නාවික මාර්ගවලට අනවසරයෙන් පිවිසීම මඟහැරීමට පුළුවන් වන නිසයි. එපමණක්ද නොව, කුළුබඩු දූපත් පෘතුගීසි බලප්‍රදේශයෙහි නොව ඇත්තටම ස්පාඤ්ඤ බලප්‍රදේශයෙහි පිහිටා තිබිය හැකි බව මැගලන් ඔහුට කියයි!—“ටෝර්ඩසීයස් ගිවිසුම” යන කොටුව බලන්න.
චාල්ස් කැමති වෙයි. ගමන සඳහා අලුත්වැඩියා කිරීමට ඔහු පරණ නැව් පහක් මැගලන්ගේ අතට භාර කර, නැව් කණ්ඩායමේ කපිතාන්-ජනරාල් හැටියට ඔහුව පත් කොට, ආපසු ගෙනෙන කුළුබඩුවලින් ලැබෙන ලාභයෙන් පංගුවක් දීමට පොරොන්දු වෙයි. මැගලන් වහාම වැඩේට බසී. එනමුත්, මන්වෙල් රජ එම ව්‍යාපෘතියට අලාභහානි සිදු කරන්න ප්‍රයෝගකාරිව වෑයම් කරන බැවින්, නැව් කණ්ඩායම එහි ඓතිහාසික ගමන සඳහා සූදානම් කරගැනීමට අවුරුද්දකට වැඩි කාලයක් ගත වෙනවා.
“ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම නාවික වික්‍රමය”
එක්දහස් පන්සිය දහනවයේ සැප්තැම්බර් 20වනදා, දකුණු අමෙරිකාව බලා යාත්‍රා වෙද්දී, විශාලම එකේ සිට කුඩාම එක දක්වා පිළිවෙළින් සාන් ආන්ටෝන්යෝ, කෝන්සෙප්සියොන්, වික්ටෝර්යා සහ සාන්ටියාගෝ යන නැව් විශාලත්වයෙන් දෙවන තැන ගන්නා ට්‍රීනීඩාඩ් නමැති මැගලන්ගේ ප්‍රධාන නැව පසුපසින් යාත්‍රා වෙයි. දෙසැම්බර් 13වනදා ඔවුන් බ්‍රසීලය කරා ළඟා වන අතර, පඋං ඩී අසූක’ නොහොත් සීනි කොත් කන්දේ තේජවත් බැල්ම හමුවේ ඔවුන්, අලුත්වැඩියා කිරීම් සහ ආහාර පාන සැපයුම් සඳහා රියෝ ද ජනේරෝ නමැති අලංකාර බොක්කට පිවිසෙනවා. ඉන් පසුව, තවත් සාගරයකට මඟ පාදන මාර්ගය වන එල් පාසෝ සෙවීමට නොබිඳුණු අවධානයක් දෙමින්, ඔවුන් දැන් ආර්ජන්ටිනාව යනුවෙන් හැඳින්වෙන දේශයේ වෙරළබඩ දිගේ දකුණට යාත්‍රා කරනවා. ඒ අතරවාරයේදී, දවසින් දවස ශීතල වැඩි වන අතර, පාවෙන අයිස් කුට්ටි දක්නට ලැබෙනවා. අන්තිමේදී, 1520 මාර්තු 31වනදා, සැන් හූල්යාන්හි පිහිටි ශීතකර වරායේ හිම කාලය ගත කිරීමට මැගලන් තීරණය කරයි.
දැන් මෙම ගමන, කොලොම්බස්ගේ මුල් අත්ලාන්තික් ගමන මෙන් හය ගුණයකින් දිග්ගැස්සී ඇති නමුත්, තවමත් සමුද්‍ර සන්ධියක් නැහැ! සියලුදෙනාගේම සිතේ පවතින ධෛර්යය සැන් හූල්යාන් කාලගුණය තරම්ම ශීතල වී ඇති අතර, ඇතැම් කපිතාන්වරු සහ නිලධාරීන් කිහිපදෙනෙකු ඇතුළුව නාවිකයෝ තම නිවෙස් බලා යෑමට දැඩි ආශාවකින් පසු වෙනවා. කැරැල්ලක් ඇති වන එක පුදුමයට හේතුවක් නොවෙයි. එනමුත්, මැගලන් වහාම එමෙන්ම තීරණාත්මක අන්දමකින් ක්‍රියා කරන නිසා එය අසාර්ථක වන අතර, කැරැල්ලේ මූලිකයන් දෙදෙනෙකුව මරුමුවට පත් කරනු ලබනවා.
අමුතු නැව් වරායේ තිබීම, හොඳ ශරීර ශක්තියෙන් සහ උස මහතෙන් වැඩුණු දේශීය වැසියන්ගේ කුතුහලයට නිරායාසයෙන්ම හේතුවක් වෙනවා. මෙම යෝධයන් ළඟ ඉද්දී තමුන් කුරුමිට්ටන් වගේයයි හැඟෙන අමුත්තෝ, එම දේශයට පැටගෝනියා කියන නම තබනවා. මෙය “විශාල පාද” යන අර්ථය ඇති ස්පාඤ්ඤ වචනයකින් රැගෙන ඇති අතර, අද දක්වා ඒ ප්‍රදේශයට ඒ නම යොදා ගැනෙනවා. එමෙන්ම ඔවුන් ‘ප්‍රමාණයෙන් වහු පැටියන්ගේ තරමට ඉන්න මුහුදු වෘකයන්ද, වතුර යටින් පීනන, මසුන් අනුභව කරන, කපුටන්ට සමාන හොටවල් තිබෙන කළු සුදු පාත්තයන්ද’ දකී. ඔව් ඔබ හිතුවා හරි—උන් නම්, මුහුදු බල්ලන් නොහොත් සීලයෝ සහ පෙන්ග්විනයෝ!
ධෘව අක්ෂාංශ ආශ්‍රිතව හදිස්සියේ දැඩි කුණාටු ඇති වෙන්න ඉඩ කඩ වැඩි නිසා, ශීත කාලයේ අවසානයට පෙර, නැව් කණ්ඩායම එහි පළමුවන අනතුර අද්දකියි—ඒ කුඩා සාන්ටියාගෝ නැවයි. වාසනාවකට මෙන්, බිඳීගිය නැවෙන් නාවික පිරිසව බේරාගනු ලබනවා. ඉන් පසුව, අඛණ්ඩව හමන ශීතාධික මාරුත හමුවේ ඈත මෑත විසි වන කුඩා සලබයන් මෙන්, මුළු වැර යොදමින් ඔක්තෝබර් 21වනදා වන තෙක්, ඉතිරි නැව් සතර, තව තවත් ශීත වන මුහුදු මාර්ග දිගේ දකුණට ඇදී යනවා. තුවානම් සහ ශීතකර වර්ෂාව මැදින් යද්දී, බටහිරට මඟ විවෘත කරන මාර්ගයක් වෙත සියලුම ඇස් යොමු වී තිබෙනවා. එල් පාසෝද? ඔව්! බොහෝ කාලයක් ගෙවී ගිහිං ඇති යාන්තම්, ඔවුන් හැරී, මැගලන්ගේ සමුද්‍ර සන්ධිය හැටියට පසුව හැඳින්වූ සමුද්‍ර සන්ධියට ඇතුල් වෙනවා! එහෙත්, මෙම ජයග්‍රාහී අවස්ථාවත් පලුදු වෙනවා. සාන් ආන්ටෝන්යෝ සමුද්‍ර සන්ධියේ අවුල් ජාලය මැද හිතා මතාම අතුරුදහන් වී, ආපසු ස්පාඤ්ඤය බලා පිටත් වෙලා.
දෙපැත්තේම පිහිටි සතුට නූපදවන ෆියෝඩ සහ හිමෙන් වැසුණු කඳු මුදුන්වලින් වට වූ ඉතිරි නැව් තුන, මෙම දඟ ගැසෙන සමුද්‍ර සන්ධිය දිගේ මහත් ආයාසයකින් ඉදිරියට යාත්‍රා කරනවා. දකුණු දිශාවේ ඔවුන් අසංඛ්‍යාත ගිනි ගොඩවල් දකී; ඒවා ඇතැම්විට ඉන්දියානුවන්ගේ කූඩාරම්වල ඇවිළෙන ඒවා විය හැකියි; එමනිසා ඔවුන් එම දේශයට ටෙරා ඩෙල් ෆියුගෝ, එනම් “අග්නි දේශය” යන නම තබනවා.
ශාන්තිකරයේ මහත් අසීරුතාව
ළය පැළෙන තරමේ වේදනාකාරි සති පහක් ගත කිරීමෙන් පසු, කොතරම් ශාන්තිකර සාගරයක් මතට ඔවුන් යාත්‍රා කරනවාද කිවහොත්, මැගලන් ඊට ශාන්තිකරය කියා නම තබයි. නාවිකයන් යාච්ඤා කරමින්, ස්තුති ගීතිකා ගායනා කරමින් තම විජයග්‍රහණය කාලතුවක්කු හඬින් සංකේතවත් කරනවා. එනමුත් ඔවුන්ගේ අධික සන්තෝෂය කෙටි-කාලීනයි. ඔවුන් මෙතෙක් කිසිම අන්දමකින් අද්දැක නැති දුකක් ඔවුන් හමුවට පැමිණෙනවා; මන්ද මෙය ඔවුන් අපේක්ෂා කළ ආකාරයේ කුඩා සමුද්‍රයක් නොවෙයි; එය නිමක් කොනක් නැතුව විහිදී යන අතර, නාවිකයන්ට තව තවත් කුසගිනි ඇති වෙනවා, ඔවුන් දුර්වල වෙනවා එමෙන්ම රෝගාතුර වෙනවා.
ශක්තිමත් ඉතාලි ජාතික ආන්ටෝන්යෝ පීගාෆේට්ටා දිනපොතක් තබයි. ඔහු මෙසේ ලියයි: “1520, නොවැම්බර් 28වන බදාදා, අපි . . . ශාන්තිකර මුහුදට පිවිසුණා; අපි එහිදී අලුත් ආහාර පාන නැවට නොගෙන මාස තුනකුත් දවස් විස්සක් ගත කළා. . . . කුඩු වී තිබූ, පිලවුන්ගෙන් පිරුණු, මීයන්ගේ අසූචිවලින් ගඳ ගසන පරණ බිස්කෝතු විතරයි අපි කෑවේ . . . ඒ වගේම කහපාටට හුරු ගඳ ගහන වතුර තමයි අපි බිව්වේ. අපි ගව හම්, . . . ලී කුඩු සහ එක් කෙනෙකුට ක්‍රවුන් බාගයක් මිල ගිය මීයනුත් කෑවා; හැබැයි හිටිය මීයන්ගේ සංඛ්‍යාව ප්‍රමාණවත් වුණේ නැහැ.” මේ අනුව, නැවුම් වෙළඳ සුළංවලින් ඔවුන්ගේ රුවල් පිරෙද්දිත්, පැහැපත් ජලය ඔවුන්ගේ නෞකාතලය යටින් ගමන් කරද්දිත්, නාවිකයන් ශීතාද රෝගයෙන් බෙලහීන වෙමින් සිටී. වර්ෂ 1521 මාර්තු 6වනදා ඔවුන් මරියානා දූපත් කරා ළඟා වන විට, 19දෙනෙක් මරුමුවට පත් වෙනවා.
එනමුත්, මෙහිදී දූපතේ වැසියන් සමඟ එදිරිවාදිකම් හටගන්නා නිසා, ආපසු යාත්‍රා කරන්න කලින් ඔවුන්ට ලබාගත හැකි අලුත් ආහාර සීමිතයි. අන්තිමේදී, මාර්තු 16වනදා ඔවුන් පිලිපීනය කරා ළඟා වෙනවා. බොහෝ කලකට පසු ඇති යන්තම්, නාවිකයන් සියලුදෙනාම හොඳින් කා බී, විශ්‍රාම ගෙන තම සෞඛ්‍ය තත්වය සහ ශරීර ශක්තිය ප්‍රකෘතිමත් තත්වයට ගෙන එනවා.
විපතක්—සිහිනයක් සුන් වෙයි
මැගලන් ආගමට ඉතා ලැදි පුරුෂයෙක් වන නිසා, ඔහු දේශීය වැසියන් බොහෝදෙනෙකුව සහ ඔවුන්ගේ පාලකයන්ව කතෝලික ධර්මයට හරවනවා. එනමුත් ඔහුගේ ජ්වලිතය ඔහුගේ විනාශයටත් මඟ පාදනවා. ඔහු අන්තර් ගෝත්‍රික ආරවුලකට සම්බන්ධ වී, දුනු, අත් තුවක්කු ඇතුව සහ දෙවි ජයග්‍රහණය සහතික කරයි කියා විශ්වාස කරමින්, මනුෂ්‍යයන් 60දෙනෙකු තරම් සුළු සංඛ්‍යාවක් සමඟ, ස්වදේශිකයන් 1,500කට විරුද්ධව ප්‍රහාර එල්ල කරයි. ඒ වුණත්, ඔහුවත් ඔහුගේ පිරිසෙන් කිහිපදෙනෙකුවත් ඝාතනය කරනු ලබනවා. ඒ අවස්ථාවේදී මැගලන්ට අවුරුදු 41ක් පමණ වෙනවා. පක්ෂපාත පීගාෆේට්ටා මෙසේ ශෝකය පළ කරයි: ‘ඔවුන් අපේ කැඩපත, ආලෝකය, සැනසිල්ල සහ සැබෑ මඟ පෙන්වන්නාව මැරුවා.’ දවස් කිහිපයකට පසු, තම නැව් නමැති ආරක්ෂස්ථානයේ සිට ඔහේ බලාගෙන සිටිය නිලධාරීන් 27දෙනෙකුව, වරක් මිත්‍රශීලීව සිටි ගෝත්‍රික නායකයන් විසින් ඝාතනය කරනු ලබනවා.
මැගලන් මියයද්දී, ඔහු අවසන් හුස්ම හෙළුවේ හුරුපුරුදු ප්‍රදේශයකයි. මදක් දකුණු දෙසින්, කුළුබඩු දූපත් පිහිටා තිබුණු අතර, 1511දී ඔහු සටන් කළ මලක්කාව බටහිර දෙසින් පිහිටා තිබුණා. ඇතැම් ඉතිහාසඥයන්ගේ මතය පරිදි, මලක්කාවේ සටනින් පසු ඔහු පිලිපීනයට යාත්‍රා කළා නම්, ඔහු ඇත්තවශයෙන්ම පොළොව වටේ යාත්‍රා කරලා තිබෙනවා; හැබැයි එසේ කළත් එකම නාවික ගමනකින් එසේ කළා නොවෙයි. ඔහු පිලිපීනයට නැඟෙනහිර දෙසින් මෙන්ම බටහිර දෙසින් ළඟා වී තිබුණා.
නිවෙස් බලා යන ගමනට විපත්ති හරස් වෙයි
මනුෂ්‍යයන් එතරම් සුළු සංඛ්‍යාවක් ඉතිරිව සිටින බැවින්, නැව් තුනක් හැසිරවීම කළ නොහැක්කක්; එබැවින් ඔවුන් කෝන්සෙප්සියොන් මුහුදුබත් කර, ඉතිරි දෙක ඔවුන්ගේ ගමනාන්තය වන කුළුබඩු දූපත් දක්වා යාත්‍රා කරවනවා. ඊළඟට, කුළුබඩු පටවනු ලැබීමෙන් පසු, නැව් දෙක වෙන් වෙනවා. කොහොම නමුත්, අමාරුවෙන් යාත්‍රා වන ට්‍රීනීඩාඩ් නැවේ නාවික පිරිසව පෘතුගීසින් විසින් අල්ලා සිරගත කරනු ලබනවා.
එනමුත්, කලින් කැරලිකාර වූ ච්වාන් සෙබාස්ටියාන් ඩෙ එල්කානෝගේ මෙහෙයවීම යටතේ වික්ටෝර්යා ගැළවෙනවා. එකක් හැර සෑම වරායක්ම මඟහරිමින්, ශුභ ප්‍රාර්ථනා තුඩුව වටා දිවයන පෘතුගීසි මාර්ගය ඔස්සේ යෑමේ අවදානම ඔවුන් ගන්නවා. කෙසේනමුත්, කෑම බීම සඳහා නතර නොවීම, ඉමහත් පාඩුවක් ගෙන දෙන ක්‍රමෝපායක්. ඔවුන් අන්තිමේදී 1522 සැප්තැම්බර් 6වනදා, එනම් ඔවුන් ගිය දා සිට අවුරුදු තුනක් ගතවීමෙන් පසු, ස්පාඤ්ඤයෙන් ගොඩ බසින විට, ඉතිරිව සිටින්නේ අසනීප වූ, කෙට්ටු වූ නාවිකයන් 18දෙනෙකු පමණයි. කොහොම නමුත්, ඔවුන් අවිවාදයෙන්ම, පොළොව වටා යාත්‍රා කළ පළමුවන අය වෙනවා. එමෙන්ම ඩෙ එල්කානෝ ශූරයෙක් බවට පත් වෙනවා. පුදුමසහගත ලෙස, වික්ටෝර්යාහි තිබෙන කුළුබඩු ටොන් 26න් මුළු නැව් ගමනේ වියදමම පිරිමැසෙනවා!
මැගලන්ගේ නම නොනැසී පවතී
ඉතිහාසයේ මැගලන්ට හිමි නියම ස්ථානය අවුරුදු ගණනාවකට ඔහුට අහිමිව පවතී. කැරලිකාර කපිතාන්වරුන්ගේ වාර්තාවල බලපෑමට හසු වී ඇති ස්පාඤ්ඤයෝ, ඔහු කර්කශ හා අදක්ෂ කෙනෙක් බව පවසමින්, ඔහුගේ නමට මඩ ගසනවා. පෘතුගීසින් ඔහු ද්‍රෝහියෙක් හැටියට හංවඩු ගසනවා. ඔහු මියගිය විට ඔහුගේ සටහන් පොත අතුරුදහන් වී යෑම කනගාටුවට කරුණක්. ඇතැම්විට යම් අය ගැන සැබෑව එයින් හෙළි වන නිසා, එය ඔවුන් විනාශ කළා විය හැකියි. එනමුත් පොළොව වටේ යාත්‍රා කළ 18දෙනාගෙන් එක් කෙනෙකු වන යටපත් කළ නොහැකි පීගාෆේට්ටාට සහ ගමනෙහි හවුල් වූ තවත් සාමාජිකයන් පස්දෙනෙකුට ස්තුතිවන්ත වෙන්න, මෙම ඛේදනීය නමුත් පුදුම දනවන නාවික ගමන පිළිබඳව අපිට යම් වාර්තාවක් හරි තිබෙනවා.
කාලයාගේ ඇවෑමෙන්, ඉතිහාසය එහි විනිශ්චය සංශෝධනය කළ අතර, අදදින මැගලන්ගේ නමට නිසි ගෞරවයක් ලැබෙනවා. සමුද්‍ර සන්ධියකට ඔහුගේ නම දී ඇති අතර, ඔහුගේ නාවික පිරිස විස්තර කළ වලාකුළු වැනි දකුණු දිගින් පිහිටි චක්‍රාවාට දෙකකට මැගලන්ගේ පටලයයි කියනු ලබනවා; එමෙන්ම මැගලන් අභ්‍යවකාශ ගවේෂක යාත්‍රාව ගැනත් කියන්න තිබෙන්නේ ඒ දේමයි. එපමණක්ද නොව, ලෝකයේ විශාලම සමුද්‍රය වන ශාන්තිකරයට නම තැබීමේ ගෞරවය හිමි වන්නෙත් මැගලන්ටයි.
ඇත්තෙන්ම, “අවුරුදු 447කට පසු ඇපොලෝ 11 යානය සඳ මතට ගොඩබසින තුරු, එතරම් වැදගත්කමකින් යුත් මිනිස් ගමනක් සිදු වන්නේ නැහැයි” ද වොයෙජ් ඔෆ් මැගලන් (මැගලන්ගේ නාවික ගමන) යන පොතෙහි රිචඩ් හම්බල් ලියයි. එම ගමන එතරම් වැදගත් වුණේ ඇයි? පළමුව, කොලොම්බස් සිතූ පරිදි, අමෙරිකා මහද්වීප ආසියාවේ කොටසක් නොවන බවත් එයට කිට්ටුවෙන්වත් නොතිබෙන බවත් එයින් ඔප්පු වුණා. දෙවනුව, ගමනෙහි අවසානයේ, දින දැක්වීමේදී එක දවසක් එහා මෙහා වීම හේතුවෙන්, සම්මත දින රේඛාවක් තිබීමේ අවශ්‍යතාව ඇඟෙව්වා. එමෙන්ම, අවසාන වශයෙන්, ලේඛක අයිසැක් ඇසිමොව් පැවසූ පරිදි, පෘථිවිය ගෝලයක් බව එයින් පෙනී ගියා. ඔව්, අවසානයට සඳහන් මෙම කරුණ සම්බන්ධයෙන් ගත් කල, බයිබලය අවුරුදු 2,250ක් පුරා පවසමින් සිටි දේ මැගලන් ප්‍රායෝගික ආකාරයකින් ගෙනහැර පෑවා. (යෙසායා 40:22; සසඳන්න යෝබ් 26:7.) ලොව විවෘත කර දුන් ඒ ඉතා දැහැමි මිනිසා ඒ ගැන සතුටු වනවාට කිසිම සැකයක් නැහැ.
[පාදසටහන]
a ඔහුගේ පෘතුගීසි නම ෆර්නැඋං ඩෙ මගලියිංෂ්.
[18වන පිටුවේ කොටුව]
ටෝර්ඩසීයස් ගිවිසුම
ඔවුන් ඉදිරියෙහි දැවැන්ත ලොවක් විවෘත වෙමින් තිබුණු නිසා, අලුත් දේශවල වෙළඳාම් කිරීමේ සහ ඒවායේ ස්වෛරීභාවය රැකීමේ අයිතිවාසිකම් හවුලේ බෙදාගැනීමට පෘතුගාලය සහ ස්පාඤ්ඤය ගිවිසුමක් මාර්ගයෙන් එකඟ වුණා. මේ අනුව, VIවන ඇලෙක්සැන්ඩර් සහ IIවන ජූලියස් යන පාප්වරුන්ගේ මඟ පෙන්වීම යටතේ, අදදින බ්‍රසීලය වන ප්‍රදේශය හරහා ඔවුන් දේශාංශ රේඛාවක් ඇන්දා. මෙම රේඛාවෙන් නැඟෙනහිරට පිහිටි දේශ පෘතුගාලයට අයිති වන අතර, ඉතිරිය ස්පාඤ්ඤයටයි. මෙම රේඛාව ධෘව දෙක දිගේ ගෝලයේ අනික් පැත්තට ප්‍රක්ෂේපණය කළ විට, කුළුබඩු දූපත් ඇත්තෙන්ම ස්පාඤ්ඤයට හිමි විය හැකි බව මැගලන් පෘතුගීසි රජ මන්වෙල්ට අඥාන ලෙස යෝජනා කළා. ඊටත් වඩා සෑහෙන කුඩා ශාන්තිකර සාගරයක් තිබෙන බවට පැවති සංකල්පය මත පදනම්ව මෙම අවංක නිරීක්ෂණය කළ නිසා, ඔහුට දැඩි තරවටුවක් ලැබුණා. කිවූ දේට වෙනස්ව, මැගලන් තමාම වැරදි බවට ඔප්පු කළා. කොහොම වුණත්, ඔහුගේ විශ්වාසය ස්පාඤ්ඤයේ රජගේ අනුග්‍රහය පැතීමට ඔහුට අමතර හේතුවක් වුණා.
[19වන පිටුවේ කොටුව⁄පින්තූරය]
ආදිකාලීන නාවිකයාගේ අසීරු ජීවිතය
විශේෂයෙන්ම බොහෝදුරට අවුරුදු ගණනාවක් දක්වා දීර්ඝ වූ ගවේෂණය කිරීමේ වඩාත් දිගු නාවික ගමන්වල, පහත් නාවිකයෙකුට ජීවිතය සැපවත් ගමනක් වූවා නොවෙයි. නැව්කාරයාගේ ජීවිතය ගැන මෙන්න කෙටි විස්තරයක්:
• වාසස්ථානය ඉතා කුඩායි; තනියෙන් සිටීමට පහසුකම් නැහැ
• බොහෝවිට කපිතාන්වරයාගේ හිතුමතේට අනුව, විටින් විට කෲර දඬුවම්
• විටමින් C ඌනතාව නිසා ශීතාද රෝගය සහ මරණය
• නැව් බිඳීම, කුසගින්න, පිපාසය, ආවරණයක් නැතුව එළිමහනේ සිටීම, ස්වදේශිකයන් අතින් මරණය
• දූෂිත සහ පල් වූ ජලයෙන් පාචනය හෝ උණසන්නිපාතය
• නරක් වූ, විෂබීජවලින් පිරුණු ආහාරවලින් ආහාර විෂවීම
• කුසගින්නෙන් පෙළෙන මීයන්ගේ දත්වලින් බෝවන, මී-හැපුම්-උණ
• අපිරිසිදු ශරීර සහ ඇඳුම් පැළඳුම් පුරා සිටින උකුණන්ගෙන් ටයිෆස් උණ
• සියල්ලම ගණන් බැලුවොත්, දිවි රැකගෙන ආපසු නිවෙස් බලා ඒමට සියයට 50ක ඉඩ කඩක් තිබෙනවා
[හිමිකම් විස්තර]
Century Magazine
[20, 21වන පිටුවේ සිතියම⁄පින්තූර]
(සඟරාව බලන්න)
මැගලන්ගේ නාවික ගමන, 1519-22
⇦••• ගිය මාර්ගය □ ආරම්භක සහ අවසාන ලක්ෂය
මැගලන් සමුද්‍ර සන්ධිය
මැගලන්ව පිලිපීනයේදී ඝාතනය කළා
ච්වාන් සෙබාස්ටියාන් ඩෙ එල්කානෝ යාත්‍රා කළ අවසාන අදියර
[හිමිකම් විස්තර]
මැගලන්: Giraudon/Art Resource, NY; ලෝක සිතියම: Mountain High Maps® Copyright © 1995 Digital Wisdom, Inc.; තරු මාලිමාව: Adler Planetarium අනුග්‍රහයෙනි
[20වන පිටුවේ පින්තූරය]
ෆ’ඩිනන්ඩ් මැගලන්
[20වන පිටුවේ පින්තූරය]
“වික්ටෝර්යා,” පොළොව වටා යාත්‍රා වූ පළමුවන නැව. ඔහුගේ නැව් පහෙන්, එය ප්‍රමාණයෙන් හතරවැන්න වූ අතර, නාවිකයන් 45දෙනෙක්ව දැරුවා. ඒ නැව මීටර් 21ක් පමණ දිගයි
[21වන පිටුවේ පින්තූර]
ජලතරණ උපකරණ: වාලුකා යන්ත්‍රය කාලය මැන්න අතර, නැව පිහිටි අක්ෂාංශකය තරු මාලිමාවෙන් තීරණය වුණා