ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g97 11/8 12-13 පි.
  • කතෝලික පල්ලිය සහ පරිණාමය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • කතෝලික පල්ලිය සහ පරිණාමය
  • 1997 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ඩාවින්ට ප්‍රථම
  • “විවෘත මතභේද” වැඩෙන්න හේතු
  • “සටන් අත්හිටුවීම” සහ “සටන් විරාමය”
  • නාමමාත්‍ර සාමය කුමටද?
  • පරිණාමවාදය නඩු විභාගයකට ලක්වේ
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පොතක් ලොව කම්පිත කරයි
    1995 පිබිදෙව්!
  • දෙවි ජීවීන්ව බිහි කළේ පරිණාමයෙන්ද?
    2006 පිබිදෙව්!
  • පරිණාමවාදය බයිබලයට එකඟද?
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1997 පිබිදෙව්!
g97 11/8 12-13 පි.

කතෝලික පල්ලිය සහ පරිණාමය

ඉතාලියේ පිබිදෙව්! වාර්තාකරු විසින්

චාර්ල්ස් ඩාවින්ගේ අවමංගල්‍ය උත්සවය ලන්ඩන් වෙස්ට්මිනිස්ට’ ඇබිහි, 1882 අප්‍රියෙල් 26වනදා පැවැත්වුවා. ස්වාභාවික වරණයේ පරිණාමයට අයත් සිද්ධාන්තයක් සමඟින් ‘දෙවිව සිහසුනෙන් පහ කිරීමේ’ දෝෂාරෝපණය ලත් මිනිසාව භූමදානය කිරීමට නුසුදුසුම ස්ථානය දේවස්ථානයක් කියා සමහරෙකුට සිතෙන්න පුළුවන්. එහෙත්, සියවසකට වැඩි කාලයක් පුරා ඩාවින්ගේ සොහොන එහි තබා තිබෙනවා.

වර්ෂ 1859දී, ඩාවින්ගේ ඔරිජින් ඔෆ් ස්පීෂීස් (ජාති සම්භවය) ප්‍රකාශයට පත් වූවාට පසුව, දේවධර්මාධරයන්ගේ ආකල්ප ක්‍රම ක්‍රමයෙන් පරිණාමය දෙසට නැඹුරු වුණා. “විවෘත මතභේදකාරි” තත්වයක් මෙම සියවස මුලදී “සටන් අත්හිටුවීමක්” බවට පත් වුණේ කෙසේද කියා දේවධර්මාධර කාර්ලෝ මෝලාරී ලිව්වා. ඔහු කිව්වේ, ඉන් පසුව 1900-ගණන්වල මැද වකවානුවේදී ඊට “සටන් විරාමයක්” දී, අවසානයේදී වර්තමාන-දවසේ “සාමය” ලැබී ඇති බවයි.

ඩාවින්ට ප්‍රථම

පරිණාමය පිළිබඳ අදහස, ඇත්තෙන්ම ඩාවින් විසින්ම මුලපිරූවක් නෙවෙයි. ජීවයේ එක් ස්වරූපයක් තවත් එකකට පරිවර්තනය වීම ඉපැරණි දර්ශනවාදීන් සිද්ධාන්තගත කරනු ලැබුවා. දහඅටවන සියවසේ සිටි ස්වභාවධර්ම විද්‍යාඥයන් කිහිපදෙනෙකුට, ඔප්පු කිරීමට අපේක්ෂා කරන පරිණාමයට අදාළ වර්තමානයේ මුල්ම සාක්ෂි සොයාගැනීමට හැකි වුණා.

“පරිණාමය” කියන වචනය දුර්ලභව පෙනෙන්න තිබුණත්, 18 සහ 19වන සියවස්වල, බොහෝ විශාරදයන් විවිධ පරිණාමවාදී මත යෝජනා කළා. ඩාවින්ගේ සීයා, ඉරැස්මස් ඩාවින්, (1731-1802) ඔහුගේ එක් ග්‍රන්ථයක පරිණාමවාදී අදහස් කිහිපයක් ප්‍රකට කළ අතර, එම ග්‍රන්ථය කතෝලික සභාවේ තහනම් ග්‍රන්ථ සඳහන් සූචියේ ලැයිස්තුගත කර තිබෙනවා.

“විවෘත මතභේද” වැඩෙන්න හේතු

ආගමික නොවූ ලෝකයේ සමහරෙක්, පූජක බලය දුර්වල කරන්න ඩාවින්ගේ සිද්ධාන්තය ප්‍රයෝජනවත් අතකොළුවක් ලෙස දුටුවා. ඉතින්, බිහිසුණු යුද්ධයක් ඇරඹුණා. වර්ෂ 1860දී ජර්මානු බිෂොප්වරු ඒකාන්ත ලෙස මෙසේ ප්‍රකාශ කළා: “අපේ ආදි මව්පියන්ව දෙවි විසින් කෙළින්ම මවනු ලැබීය. සිරුර සම්බන්ධයෙන් ගත් කල, මිනිසා අසම්පූර්ණ යමකින් උත්පාදනය වී කිසිම බාහිර ආධාරයකින් තොරව පරිණාමය වුණායයි තරයේ කියා සිටීමට තරම් නිර්භීත වූවන්ගේ මතය, ඇදහිල්ලට සහ ශුද්ධ ලියවිල්ලට සම්පූර්ණයෙන්ම පටහැනි බව තවදුරටත් අපි ප්‍රකාශ කර සිටිමු.”

ඒ හා සමානව, 1877 මැයි මාසයේදී, පරිණාමයට එරෙහිවත් මැවීමේ උත්පත්ති වාර්තාවට සහයෝගීවත් ප්‍රකාශනයක් පිට කිරීම ගැන ප්‍රංශ වෛද්‍යාචාර්ය කෝන්ස්ටාන්ටැන් ජාම්ව, IXවන පයස් පාප් විසින් ප්‍රශංසාවට ලක් කළා. වර්ෂ 1905 සහ 1909 අතර, පාප්වරුන් පිළිබඳ බයිබල් කොමිසම විසින් ප්‍රකාශයට පත් කළ ලිපි මාලාවක් සමඟින් මෙහි මුල් අදියරේ මතගැටුම උච්චාවස්ථාවකට එළඹුණා. ඉන් එකකදී, උත්පත්ති පොතේ මුල් පරිච්ඡේද තුන ඓතිහාසික වන අතර, “සැබෑ ඉතිහාසය” ලෙස එය තේරුම්ගත යුතුය කියා කොමිසම ප්‍රකාශ කළා.

“සටන් අත්හිටුවීම” සහ “සටන් විරාමය”

එහෙත්, ඩාවින්ගේ සිද්ධාන්තය විද්‍යා පීඨයන්හි කීර්තිය ලබත්ම, ප්‍රංශ ජේසු නිකායික ටේයර් ඩ’ ෂාර්ඩැං වැනි කතෝලික දේවධර්මාධරයන් පරිණාමවාදයට හැරෙන්න පටන්ගත්තා. ටේයර්ගේ අදහස් චාරිත්‍රානුකූල පරිණාමවාදීන්ට වඩා වෙනස් වුණත්, 1921 සිට “ජෛව පරිණාමයේ . . . යථාර්ථය වඩ වඩා නිසැක” බව ඔහු සැලකුවා. කතෝලික ඇදහිල්ලත් පරිණාමයත් අතර එකඟත්වය වෙතට තිබුණු නැඹුරුවාව හොඳින් කැපීපෙනුණා.

වර්ෂ 1948දී තවත් ජේසු නිකායිකයෙක් මෙසේ ප්‍රකාශ කළා: “යම් කොන්දේසි මත සීමා කරනු ලැබුවොත් [පරිණාමවාදය සහ කතෝලික ඇදහිල්ල] අතර එකඟතාවක් සිදු විය හැකියයි ප්‍රකාශ කරන, අවංක කතෝලිකයන් බවට කිසිම සැකයක් නැති දේවධර්මාධරයන්ගේ සංඛ්‍යාවේ පුදුමසහගත වැඩිවීමක් වසර 20කට වැඩි කාලයක් පුරා දක්නට ලැබේ.” මේ කාලයේදීම වගේ, පාප්වරුන් පිළිබඳ බයිබල් කොමිසම 1909දී ලියූ මැවීමේ බයිබල් වාර්තාව පිළිබඳව කීවාවූ වැඩි හරියක් ඉල්ලා අස් කරගත්තා.

ඉන්පසු, 1950දී, XIIවන පයස් පාප් ඔහුගේ හූමානී ජෙනෙරීස් නම් සාමාන්‍ය ලිපියේදී, පරිණාමවාදය පිළිගත හැකි කල්පිතයක් ලෙස සලකන්න කතෝලික විශාරදයන්ට හැකිය කියා ප්‍රකාශ කළා. කෙසේවෙතත්, පාප් ප්‍රකාශ කළේ මෙසේයි: “ප්‍රාණයන් දෙවි විසින් කෙළින්ම මැව්වා යන විශ්වාසය දරන්න කතෝලික ඇදහිල්ල අපට බල කරයි.”

නාමමාත්‍ර සාමය කුමටද?

සියලුම පල්ලි නියෝජනය කරන, IIවන වතිකානු මන්ත්‍රණ සභාව විශේෂ අවස්ථා කිහිපයකදී හැර “පරිණාමවාදී මතයන් පිළිබඳ බාධක සහතිකවම ජයගෙන ඇත” කියා කාර්ලෝ මෝලාරී සඳහන් කරනවා. වැදගත් ලෙස 1996 ඔක්තෝබර් මාසයේදී IIවන ජුවාම් පාවුලු පාප් මෙසේ ප්‍රකාශ කළා: “අදදින, [XIIවන පයස්ගේ] සාමාන්‍ය ලිපියේ ප්‍රකාශනය ඉදිරිපත් කිරීමෙන් අඩ සියවසකට පමණ පසු, පරිණාමවාදය, කල්පිතයකට වඩා වැඩි යමක් ලෙස හඳුනාගැනීමට අලුත් දැනුම මඟ පාදයි. මෙම සිද්ධාන්තය පර්යේෂකයන් විසින් ප්‍රගතිශීලී ලෙස පිළිගනිමින් තිබීම සැබවින්ම අද්විතීයයි.”

ඉතිහාසඥ ලූචෝ විලේරී, පාප්ගේ ප්‍රකාශය හැඳින්වූයේ “තීරණාත්මක පිළිගැනීමක්” ලෙසයි. මූලධර්ම පිළිබඳ ඉතාලි පුවත්පතක් වන ඊල් ජෝර්නාලෙහි ශීර්ෂ පාඨයක මෙසේ කියවෙනවා: “පාප් කියනවා අපි වඳුරන්ගෙන් පැවතෙන්න ඉඩ තිබෙනවා කියලා.” ටයිම් සඟරාව පාප්ගේ පිළිගැනීම ගැන නිගමනය කළේ, “පල්ලිය පරිණාමයේ පිළිගැනීම පිළිබිඹු කරනවා” කියායි.

කතෝලික නායකයන්ගේ පැත්තෙන් ගත් කල “පරිණාමය දෙසට හුරු වෙමින් බොහෝදුරට ඒ දෙසට බැසයෑමට” හේතුව කුමක්ද? රෝමානු කතෝලික සභාව පරිණාමවාදී ඉගැන්වීම් සමඟ එකඟත්වයක් ඇති කරගත්තේ මන්ද?

බයිබලය, “[දෙවිගේ] වචනය” නොව “මනුෂ්‍යයන්ගේ වචනය” ලෙස බොහෝ කතෝලික දේවධර්මාධරයන් සලකන බව පැහැදිලියි. (1 තෙසලෝනික 2:13; 2 තිමෝති 3:16) මැවීමේ උත්පත්ති වාර්තාව තහවුරු කරමින් නිවැරදි ලෙස ප්‍රකාශ කළ දෙවිගේ පුත් යේසුස් ක්‍රිස්තුස්ට වඩා වර්තමාන පරිණාමවාදීන්ගේ වචනවලට, කතෝලික සභාව වැඩි පිළිගැනීමක් දී තිබෙනවා. යේසුස් කිව්වේ මෙසේයි: ‘පටන්ගැන්මේ සිට ඔවුන්ව මැවූ තැනැත්තා පුරුෂයෙක්ද ස්ත්‍රියක්ද වශයෙන් ඔවුන්ව මැවූ බව නුඹලා කියෙව්වේ නැද්ද?’ (මතෙව් 19:4, 5) වැඩි පිළිගැනීමක් ලැබිය යුතුයි කියා ඔබ සලකන්නේ කාගේ මතයද?

[13වන පිටුවේ කොටුව]

යෙහෝවාගේ සාක්ෂිකරුවෝ සහ පරිණාමය

‘පුරුෂයෙක්ද ස්ත්‍රියක්ද වශයෙන්’ මුල් මිනිස් යුවළව දෙවි කෙළින්ම මැවූ බව පවසන ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම යෙහෝවාගේ සාක්ෂිකරුවන් නොකඩවාම තහවුරු කර තිබෙනවා. (මතෙව් 19:4; උත්පත්ති 1:27; 2:24) වර්ෂ 1886දී, (ශුද්ධ ලියවිලි තුළින් අධ්‍යයනය (ඉංග්‍රීසියෙන්) ලෙස පසුව හැඳින්වූ) සහස්‍ර උදාවහි (ඉංග්‍රීසියෙන්) පළමු කාණ්ඩය, “ඔප්පු කළ නොහැකි මතයක්” හැටියට ඩාවින්වාදයට යොමු දැක්වූ අතර, 1898දී, බයිබලය පරිණාමවාදයට එරෙහිව (ඉංග්‍රීසියෙන්) නමැති පොත්පිංචය බයිබලයේ මැවීම පිළිබඳ වාර්තාව සනාථ කළා. නව මැවීම (1904) සහ මැවීම (1927) යන පොත් (යුගළම ඉංග්‍රීසියෙන්) මෙන්ම මුල් කාලවල ප්‍රකාශයට පත් කළ මුරටැඹ (ඉංග්‍රීසියෙන්) සහ රන්වන් යුගයහි (ඉංග්‍රීසියෙන්) ලිපි මැවීමේ වාර්තාවට ආධාර වී තිබෙනවා.

දොළොස්වන පයස් පාප් 1950දී ඔහුගේ හූමානී ජෙනෙරීස් නම් සාමාන්‍ය ලිපිය ප්‍රසිද්ධියට පත් කරද්දී, යෙහෝවාගේ සාක්ෂිකරුවන් පරිණාමය නව ලොවට එරෙහිව (ඉංග්‍රීසියෙන්) ප්‍රකාශයට පත් කරමින් සිටියා. මැවීමේ බයිබල් වාර්තාව පිළිබඳ විද්‍යාත්මක සහ ඓතිහාසික සාක්ෂි මෙම පොත්පිංචයේ අඩංගු වන අතර, “බයිබලය සහ පරිණාමය අතර මිත්‍රත්වයක්” ඇති කරගන්න වෑයම් දැරූ සමහර පූජකයන්ව ප්‍රසිද්ධියේම චෝදනාවට ලක් කළා. මිනිසා මෙහි පැමිණියේ පරිණාමයෙන්ද නැත්නම් මැවීමෙන්ද? (1967) මෙන්ම 1985දී ප්‍රකාශයට පත් ජීවය—මෙහාට පැමිණියේ කොහොමද? පරිණාමයෙන්ද නැතහොත් මැවීමෙන්ද? යන පොතත් (යුගළම ඉංග්‍රීසියෙන්), මුරටැඹ සහ පිබිදෙව්!හි ප්‍රකාශයට පත් වූ බොහෝ ලිපිත් බයිබලයේ මැවීමේ වාර්තාව තහවුරු කරනවා.

තවදුරටත්, ‘අපව සෑදුවේ අපම නොව දෙවි’ බවට වූ යටපත් නොවන සාක්ෂි දැනහඳුනා ගැනීමට යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් බොහෝදෙනෙකුට උපකාර කර තිබෙනවා.—ගීතාවලිය 100:3, NW.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න