යුද්ධය ළමයින්ව වනසා දමන අන්දම
සටන සිදු වූයේ 1995 අවුරුද්දේ මුල්භාගයේදීයි. මේ සටන සියෙරා ලියොන්හි සිදු වන බොහෝ සටන්වලින් එකක් විතරයි. වෙඩි වරුසාව නතර වීමත් සමඟම, සිව් හැවිරිදි ටෙන තුවාල වී බිම ඇද වැටී සිටියා; ඇගේ දෙමාපියන් ඒ වන විටත් යුද්ධයෙන් මියගොස් තිබුණා. වෙඩි උණ්ඩයක් ඇගේ දකුණු ඇසට පිටුපසින් හිසේ රැඳී තිබුණු අතර, එම උණ්ඩය මගින් ඇගේ මොළය පුරා ආසාදනය පතුරුවා ඇයව මරණයට පත් කිරීමේ අනතුරුදායක තත්වයක ඈ සිටියා.
මාස දහසයකට පසු, බ්‍රිතාන්‍යයේ වෙසෙන යුවළක් ටෙනව සැත්කමක් කිරීම සඳහා එංගලන්තයට රැගෙන යෑමට කටයුතු පිළියෙළ කළා. ශල්‍ය වෛද්‍යවරුන් කණ්ඩායමක් ඇගේ හිසේ තිබූ උණ්ඩය ඉවත් කළා; ඒ සැත්කම මගින් ළමයෙකුගේ ජීවිතයක් බේරාගැනීමට සමත් වීම ගැන ඔවුන් සතුටු වුණා. ඒ වුණත්, ටෙන කොහෙත්ම මේ වගේ වෙඩි පහරකට ලක් නොවිය යුතුව තිබූ අනාථ දරුවෙක් බව දැනසිටීමෙන් ඒ සතුට මැකී ගියා.
අවි ආයුධ, කුසගින්න හා ලෙඩ රෝග
ටෙන අහක යන වෙඩි උණ්ඩයකට ගොදුරු වුණත්, වැඩි වන දරුවන් පිරිසක් අහම්බෙන් නොව, නමුත් ඉලක්කයේ ගොදුරු බවට පත් වී තිබෙනවා. වාර්ගික සටන් ඇවිළෙන විට, වැඩිහිටියන්ව පමණක් මරා දැමීම ප්‍රමාණවත් නැහැ; සතුරාගේ දරුවන්ව අනාගත සතුරන් හැටියට සලකනවා. රුවන්ඩාවේ දේශපාලනික විචාරකයෙක් 1994දී ගුවන් විදුලි විකාශනයකින් මෙසේ පැවසුවා: “ලොකු මීයන්ව මරා දමන්න නම්, ඔබට සිදු වෙනවා පොඩි මීයන්වත් මරා දමන්න.”
කොහොම වුණත්, යුද්ධවලින් මියයන ළමුන් බොහෝදෙනෙක් බෝම්බවල හෝ වෙඩි උණ්ඩවල නොව, නමුත් සාගින්නේ හා අසනීපවල ගොදුරු වෙනවා. උදාහරණයක් හැටියට, අප්‍රිකානු රටවල සිදු වූ යුද්ධවලදී ආහාර හා වෛද්‍ය පහසුකම් හිඟවීමෙන් මියයන ගණන, සටන්වලින් මියයන අයගේ ගණන මෙන් විසි ගුණයක් වෙනවා. අත්‍යවශ්‍ය දේවල් සැපයීම නතර කර දැමීම, නවීන කාලවලදී යොදාගන්නාවූ අමානුෂික යුද්ධ උපක්‍රමයක්. ආහාර නිෂ්පාදනය කරන විශාල ප්‍රදේශවලින් යුත් භූමිවල හමුදාවන් විසින් බිම් බෝම්බ වළලා තිබෙනවා; ධාන්‍ය ගබඩා හා ජල නළ පද්ධති විනාශ කර දමා තිබෙන අතර, සහනාධාර සැපයුම් බලෙන් අත් පත් කරගෙන තිබෙනවා. ඔවුන් වෛද්‍ය කාර්ය මණ්ඩල විසුරුවා හැර, රෝහල්ද විනාශ කර දමා තිබෙනවා.
එවන් උපාය මාර්ගවලින් වැඩියෙන්ම පහර ලබන්නේ ළමුන්. උදාහරණයක් හැටියට, 1980 සහ 1988 අතර කාල සීමාව තුළ යුද්ධය හා සම්බන්ධ හේතූන් නිසා ඇන්ගෝලාවේ ළමුන් 3,30,000ක්ද, මොසැම්බික්හි ළමුන් 4,90,000ක්ද මියගොස් තිබෙනවා.
නිවසක් නැහැ, පවුලක් නැහැ
දෙමාපියන්ව මරා දැමීමෙන් මෙන්ම පවුල් බිඳ දැමීමෙන්ද යුද්ධය අනාථයන් බිහි කරනවා. ලොව පුරා, මිනිසුන් මිලියන 53ක් සාහසිකකම්වලින් එල්ල කෙරෙන තර්ජන නිසා තමන්ගේ නිවෙස් අත්හැර දමා ගොස් තිබෙනවා. මෙය මිහිපිට වෙසෙන සෑම මිනිසුන් 115කගෙන් එක් කෙනෙකු පමණ වෙනවා! අඩුම තරමින් එයින් භාගයක්වත් ළමුන්. සටන්වලට බියෙන් බොහෝවිට ළමුන් තමන්ගේ දෙමාපියන්ගෙන් වෙන් වෙනවා.
රුවන්ඩාවේ පැවති අරගලයේ ප්‍රතිඵලයක් හැටියට, 1994 අවසානය වන විට ළමුන් 1,14,000ක් තම දෙමාපියන්ගෙන් වෙන් වී සිටියා. වර්ෂ 1995දී කළ සමීක්ෂණයකට අනුව, ඇන්ගෝලාවේ ළමුන් පස්දෙනෙකුගෙන් එක් කෙනෙක් ඒ හා සමාන අද්දැකීම්වලට මුහුණ දී තිබෙනවා. දෙමාපියන් සමඟ නොසිටීමෙන් ඇති වන මානසික කම්පනය ළමුන් බොහෝදෙනෙකුට, විශේෂයෙන්ම ඉතා ළාබාල ළමුන්ට නම්, යුද්ධයෙන් ඇති වන කම්පනයට වඩා බොහෝ සෙයින් ඛේදනීයයි.
බිම් බෝම්බවලින් මරුමුවට පත් වී
සෙල්ලම් කරන්න, සතුන්ව දක්කාගෙන ඒමට, දර එකතු කරන්න නැත්නම් වගා කරන්න තම නිවෙස්වලින් බැහැරව යන ළමුන් සියදහස් ගණනක් බිම් බෝම්බවලට අසු වී ලොව පුරා මිය යනවා. සෑම මාසයකම බිම් බෝම්බවලට හසු වී 800දෙනෙක් මිය යනවා. රටවල් 64ක වළලා තිබෙන බිම් බෝම්බවල මුළු එකතුව මිලියන 110ක් පමණ වෙනවා. කාම්බෝජයේ විතරක් ඒ වගේ බෝම්බ එක් ළමයෙකුට දෙක බැගින් මිලියන හතක් වළලා තිබෙනවා.
රටවල් 40කට වැඩි සංඛ්‍යාවක් විවිධ හැඩයෙන් හා වර්ණවලින් යුත් බිම් බෝම්බ වර්ග 340ක් නිපදවනවා. සමහර ඒවා ගල් කැට වගෙයි, තවත් ඒවා අන්නාසි ගෙඩි වගෙයි, තවත් සමහර ඒවා, පිපිරෙන්නේ නැතුව හෙලිකොප්ටර්වලින් පොළොව මතට සෙමින් සෙමින් පාවීගෙන එන කොළ පැහැති කුඩා සමනලුන් වගෙයි. සෙල්ලම් බඩු වගේ පෙනුමක් ඇතුව සාදා තිබෙන සමහර බිම් බෝම්බ ගැහැනුන්ට හා ළමුන්ට දැකගත හැකි වෙන විදිහට පාසැල් හා සෙල්ලම් පිට්ටනි අසල තබා තිබෙන බව වාර්තාවල දැක්වෙනවා.
පුද්ගලනාශක බෝම්බයක් නිපදවීමට වැය වන්නේ රුපියල් 180ක් වගේ මුදලක් පමණයි; නමුත් ඒවා වළලා තිබෙන තැන් සොයාගෙන ඉවත් කිරීම සඳහා රුපියල් 18,000 සිට 60,000ක් අතර වියදමක් දැරීමට සිදු වෙනවා. බිම් බෝම්බ 1,00,000ක් පමණ 1993දී ඉවත් කළත්, අලුත් ඒවා මිලියන දෙකක් වළලා තිබෙනවා. මේ සෑම බිම් බෝම්බයක්ම යමෙකුව ගොදුරු කරගන්නා තෙක් ක්‍රියාකාරි ලෙස සැඟ වී සිටින අතර, සොල්දාදුවෙකු හා ළමයෙකු අතර වෙනස හඳුනන්නේ නැහැ, සාම ගිවිසුම් කියන්නේ මොනවද කියල දන්නේ නැහැ, අවුරුදු 50ක කාලයක් දක්වා ක්‍රියාශීලීව පවතිනවා.
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර අවුරුදු දෙකක් තිස්සේ සාකච්ඡා පැවැත්වීමෙන් පසු, 1996 මැයි මාසයේදී ලෝක ව්‍යාප්තව බිම් බෝම්බ තහනම් කිරීමක් ගැන ස්ථිර සම්මුතියකට එළඹීමට අන්තර්ජාතික වශයෙන් සාම ගිවිසුම්වලට අත්සන් තබන්නන් අසමත් වුණා. ඔවුන් ඇතැම් වර්ගවලට අයත් බිම් බෝම්බ තහනම් කර, අනිත් ඒවා භාවිත කිරීම සම්බන්ධයෙන් සීමාවන් පැනෙව්වත්, වර්ෂ 2001දී පැවැත්වීමට නියමිත යළි සලකා බැලීමේ ඊළඟ සමුළුව පැවැත්වෙන තෙක් ඒ ගැන නැවත සලකා බලන්න යන්නේ නැහැ. මේ කාලය සහ ඒ කාලය අතරතුර බිම් බෝම්බවලින් තවත් 50,000ක් මිය යාවි; ඒ වගේම 80,000ක් ආබාධිතයන් බවට පත් වේවි. මේ අයගෙන් බොහෝදෙනෙක් දරුවන් වේවි.
වධ හිංසා කිරීම සහ දූෂණය
මෑත කාලවලදී සිදු වූ යුද්ධවලදී ළමුන්ට වධ හිංසා පමුණුවා තිබෙන්නේ ඔවුන්ගේ දෙමාපියන්ට දඬුවම් කිරීමක් හැටියටයි; එහෙම නැත්නම් ඔවුන්ගේ දෙමාපියන් ගැන තොරතුරු ලබාගැනීමටයි. සමහර අවස්ථාවලදී, සටන්වලින් පිරුණු ම්ලේච්ඡ ප්‍රදේශයක ඒ වගේ දේවල් කරන්න කිසිම හේතුවක් අවශ්‍ය නැති අතර, හුදෙක් විනෝදය සඳහා ළමුන්ට වධ හිංසා කරනවා.
දූෂණය ඇතුළු ලිංගිකව අඩන්තේට්ටම් කිරීම යුද්ධවල දක්නට තිබෙන පොදු දෙයක්. බෝල්කන් යුද්ධයේදී නහඹර වියේ ගැහැනු ළමුන්ව දූෂණය කර, සතුරාට දාව දරුවන් බිහි කිරීම සඳහා ඔවුන්ට බල කිරීම ප්‍රතිපත්තියක් වුණා. ඒ හා සමානව රුවන්ඩාවේ සොල්දාදුවන් පවුල් සබඳතා බිඳ දැමීමේ අවියක් හැටියට දූෂණය යොදාගත්තා. සමහර මෙහෙයුම්වලදී හමුදා ප්‍රහාරවලින් බේරුණු නහඹර වියේ පසු වන සෑම ගැහැනු ළමයෙකුවම වගේ දූෂණය කළා. ගැබ්ගත් ගැහැනු ළමුන් බොහෝදෙනෙකුව ඔවුන්ගේ පවුල් හා ප්‍රජාවන් විසින් තවදුරටත් පිළිගත්තේ නැහැ. සමහර ගැහැනු ළමුන් තමන්ගේ බිළිඳුන්ව අත්හැර දැමුවා; අනිත් අය සියදිවි හානි කරගත්තා.
චිත්ත පීඩාව
යුද්ධයට මුහුණ දෙන ළමුන්, බොහෝවිට වැඩිහිටියන් බොහෝදෙනෙක් අද්දකින ඉතාමත් දරුණු තත්වයන්ට වඩා භයානක අද්දැකීම්වලට මුහුණ දෙනවා. උදාහරණයක් හැටියට, සරයේවෝහි ළමුන් 1,505දෙනෙකු සම්බන්ධයෙන් කළ සමීක්ෂණයකින් හෙළි වුණේ, ඔවුන් සෑම කෙනෙක්ම වගේ කාලතුවක්කු ප්රහාරයන්ට ලක් වූ බවයි. ඔවුන්ගෙන් භාගයකට වැඩිදෙනෙකුට වෙඩි වැදුණා; තුනෙන් දෙකක් මරණය ඔන්න මෙන්න කියා තිබූ තත්වයන්වලට මුහුණ දුන්නා.
රුවන්ඩාවේ ජන සංහාරය සිදු වූ කාලයේදී සියයට 95ක් සාහසිකකම් හා ඝාතනය කිරීම් ඇසින් දුටු බවත්, සියයට 80කට ආසන්න ප්‍රමාණයකට පවුලේ සාමාජිකයන් අහිමි වූ බවත් එරට ළමුන් 3,000ක් සම්බන්ධයෙන් කළ සමීක්ෂණයකින් සොයාගත්තා. ස්ත්‍රීන්ව දූෂණය කිරීම හෝ ලිංගිකව අඩන්තේට්ටම් කිරීම, තුනෙන් එකක් වගේ දැක තිබෙන අතර, අනිත් ළමුන්ව මරණයට පත් කිරීම හා පහර දීම තුනෙන් එකකට වඩා වැඩිදෙනෙක් දැක තිබෙනවා. එවන් අද්දැකීම් මගින් තරුණයන්ගේ මනස් හා හදවත් වනසා දැමෙනවා. මානසිකව කම්පනයට පත් වූ ළමුන් පිළිබඳව කලින් යුගෝස්ලාවියාවෙන් ලැබුණු වාර්තාවක මෙසේ සඳහන් වුණා: “ඉතාමත් දරුණු සිහින, දිනපතා හදිසියේම කම්පිත මතක සටහන් නිරායාසයෙන්ම සිහියට නැඟීම, බිය, අනාරක්ෂිතභාවය හා දැඩි ද්වේෂය හා සම්බන්ධ සිතුවිලි සිහියට නැඟීමට සලස්වමින් . . . අතීත සිද්ධීන් තවමත් ඔවුන්ගේ මතකයේ රැඳී තිබෙනවා.” රුවන්ඩාවේ සිදු වූ ජන සංහාරයෙන් පසු, ජාතික ක්ෂතිය සුව මැදුරේ මනෝ විද්‍යාඥයෙක් මෙසේ වාර්තා කළා: “ළමුන් අතර දක්නට තිබෙන රෝග ලක්ෂණ වන්නේ, දරුණු සිහින දැකීම, අවධානය යොමු කර තබාගැනීමේ දුෂ්කරතාව, විෂාදය සහ අනාගතය ගැන බලාපොරොත්තු සුන් වූ හැඟීම් යනාදියයි.”
ළමුන්ට උපකාර කළ හැක්කේ කෙසේද?
ළමුන් තමන්ගේ හැඟීම් හා මතකයන් නොවළහා කියන්නේ නැත්නම් මානසික කම්පනය ඉවත්ව යන්නේ නැති බව පර්යේෂකයන් බොහෝදෙනෙක් විශ්වාස කරනවා. බොහෝවිට සුවවීම ආරම්භ වන්නේ, ළමයෙක් අතීතයේ සිදු වූ දේවල් ගැන සානුකම්පිත හා කාරණා හරි හැටි තේරුම්ගන්නාවූ වැඩිහිටියෙකුට කියා දීමෙන් බිහිසුණු මතක සටහන් හෙළි කරන විටයි. “ප්‍රතිකාර කිරීමේ සටනේ ජයග්‍රහණය තීරණය වන්නේ, හිරිහැරවලට මුහුණ දුන් ළමුන් තමන්ගේ හැඟීම් නොවළහා හෙළි කිරීම මතයි” කියා බටහිර අප්‍රිකාවේ සමාජ සේවකයෙක් පැවසුවා.
චිත්ත වේදනාව සුව කිරීමේදී තවත් වැදගත් ආධාරකයක් වන්නේ, පවුලේ සාමාජිකයන්ගේ හා ප්‍රජාවේ දැඩි එකමුතුකම හා සහයෝගයයි. සෑම ළමයෙකුට වගේම යුද්ධයට ගොදුරු වූ අයටත් ආදරය, අවබෝධය හා සංවේදීතාව දැක්වීම අවශ්‍යයි. ඒ වුණත්, ළමුන් සියලුදෙනාටම දීප්තිමත් අනාගතයක් භුක්ති විඳීම පිළිබඳව බලාපොරොත්තුවක් තිබෙනවා කියා විශ්වාස කරන්න ඇත්තටම හේතු තිබෙනවාද?
[8වන පිටුවේ කොටුව⁄පින්තූරය]
ඒක දැක්කේ බෝලයක් වගෙයි
ලාඕසයේ ගැහැනු ළමයෙක් හා ඇගේ සහෝදරයා හරකට තණ කවන්න යමින් සිටියා. ගැහැනු ළමයා දැක්කා අගලක බෝලයක් වගේ දෙයක් තියෙනවා. ඈ ඒක අහුලාගෙන, ඇගේ සහෝදරයා සිටි තැනට විසි කළා. ඒක බිමට වැටී පිපිරුණා; ඔහු එතැනම මැරුණා.
[9වන පිටුවේ කොටුව]
දහස් ගණනක් අතුරින් එක් අයෙකු පමණයි
ඇන්ගෝලාවේ තමා ජීවත් වූ ප්‍රදේශයේ සටන් ඇවිළුණු විට, දොළොස් හැවිරිදි අනාථ දැරියක් වූ මරියා දූෂණයට ලක්වීමේ ප්‍රතිඵලයක් හැටියට ගැබ්ගත්තා. සටන් දරුණු අතට හැරුණු විට, මරියා ආරක්ෂිත ස්ථානයක් සොයා කිලෝමීටර් 300ක් දුර ඇවිදගෙන ගොස් අවතැන් වූ දරුවන් වෙනුවෙන් පිහිටුවා තිබූ මධ්‍යස්ථානයකට ඇතුල් වුණා. ඈ හුඟාක් ළාබාලව සිටි නිසා, බොහොම අමාරුවෙන් අඩු වයසේ බිළිඳෙකුව බිහි කළා. බිළිඳා ජීවත් වුණේ සති දෙකක් විතරයි. සතියකට පස්සේ මරියාත් මියගියා. මෑත කාලයේ පැවති යුද්ධවලදී වධ හිංසාවන්ට හා දූෂණයට ලක් වූ ළමුන් දහස් ගණනක් අතුරින් මරියා එක් අයෙකු පමණයි.
[9වන පිටුවේ කොටුව⁄පින්තූරය]
වැනසුණු මනස් හා හදවත්
සාහසිකකම් දරුවන්ට බොහෝවිට බලපාන ආකාරය ඉන්දියාවේ අට හැවිරිදි ෂබානාගේ අද්දැකීමෙන් හොඳින් පැහැදිලි වෙනවා. කලහකාරි පිරිසක් ඇගේ පියාට පහර දී මරා දැමීමෙන් පසුව ඇගේ මවගේ බෙල්ල කපා දමනවා ඈ දුටුවා. ත්‍රාසය හා දේවල් අහිමි වීමේ හැඟීම්වලින් වෙළුණු ඇගේ මනස හා හදවත අසංවේදී තත්වයට පත් වුණා. “මගේ දෙමාපියන් නැති පාළුව මට දැනෙන්නේ නැහැ” කියා ඈ කිසිම හැඟීමක් නැතුව පවසනවා. “මං ඒ අය ගැන හිතන්නේ නැහැ.”