ළමයි රණශූරයෝ වීමට හේතු
ඔයා මැරුවද? “නෑ.”
ඔයාගේ අතේ තුවක්කුවක් තිබුණද? “ඔව්.”
ඔයා තුවක්කුව එල්ල කෙරුවද? “ඔව්.”
ඔයා වෙඩි තිබ්බද? “ඔව්.”
මොකද වුණේ? “ඒ අය බිම වැටුණා.”—ව’ල්ඩ් ප්‍රෙස් රිවිව්, 1996 ජනවාරි.
අප්‍රිකාවේ ළමා සොල්දාදුවෙක් හා සමාජ සේවකයෙක් අතර ඇති වූ මේ බියජනක හැඟීම් දනවන සංවාදයෙන් හෙළි වන්නේ, යුද්ධයේ අතීත අද්දැකීම් මතකයට නැඟීමේදී ළමයෙකුගේ මනස දැඩි වෙහෙසක් දරමින් අද්දකින ව්‍යාකූලත්වයයි.
මෑත අවුරුදුවලදී, රටවල් 25ක අවුරුදු 16ට අඩු ළමයින් සටන්වලට හවුල් වී තිබෙනවා. වර්ෂ 1988දී පමණක් ළමයි 2,00,000ක් පමණ යුද්ධවලට ක්‍රියාකාරි ලෙස සම්බන්ධ වෙමින් සිටියා. වැඩිහිටියන් විසින් ඔවුන්ව කූට ලෙස රවටාගෙන තිබෙන නිසා, සටන් වැද සිටින ළමයින්ද යුද්ධයේ ගොදුරු බවට පත් වී තිබෙනවා.
සොල්දාදුවන් හැටියට ඔවුන්ගේ වටිනාකම
අතීතයේදී, එනම් යුද්ධ හමුදාවන් කඩු හා හෙල්ලවලින් සටන් කළ කාලයේදී, එවැනි අවියක් පාවිච්චි කරන වැඩිහිටියෙකුට එරෙහිව කරන සටනේදී ළමයෙකුට ඊට මුහුණ දීමට අවස්ථාවක් නොතිබූ තරම්. ඒත් මේ කාලය සැහැල්ලු අවිවලින් යුත් යුගයක්. අද, දරුණු ප්‍රහාර එල්ල කළ හැකි රයිෆලයකින්—රුසියාවේ නිෂ්පාදිත AK-47 හෝ අමෙරිකාවේ නිෂ්පාදිත M16න්—සන්නද්ධව සිටින ළමයෙකුට පුළුවන් වැඩිහිටියෙකු සමඟ සටන් කරන්න.
මේ අවි සැහැල්ලු වනවා විතරක් නොව, නමුත් පාවිච්චි කරන්නත් නඩත්තු කරන්නත් පහසුයි. AK-47 රයිෆලයක් කොටස්වලට වෙන් කර නැවත සවි කරන්න අවුරුදු දහයක ළමයෙකුටත් පුළුවන්. මේ වර්ගයේ රයිෆල් ඕනෑ තරම් තියෙනවා. AK-47 රයිෆල් මිලියන 55ක් විතර විකුණා තිබෙනවා. එක් අප්‍රිකානු රටක ඒවා විකුණන්නේ රුපියල් 360ක් තරම් ඉතාමත් අඩු මිලකටයි. M16 රයිෆල්ද ඕනෑ තරම් ලාබෙට මිල දී ගන්න පුළුවන්.
මේ බිහිසුණු රයිෆල්වලින් සටන් කිරීමේ හැකියාවට අමතරව, ළමයින්ව ප්‍රයෝජනවත් සොල්දාදුවන් හැටියට සැලකීමට තවත් හේතු තියෙනවා. ඔවුන් වේතන ඉල්ලන්නේ නැහැ; ඒ වගේම ඔවුන් තම හමුදාව අතහැර යන්නේ කලාතුරකින්. ඒ විතරක් නෙවෙයි, තමන්ගේ ජ්‍යෙෂ්ඨයන්ව සතුටු කිරීම සඳහා ළමයින් තුළ දැඩි ආශාවක් තියෙනවා. තමන්ගේ “පවුල්” බවට පත් වී තියෙන නිදහස පතා සටන් වදින කණ්ඩායම හෝ ගරිල්ලා හමුදාව මොකක් වුණත්, එය තමන්ව පිළිගැනීම සඳහා තිබෙන ආශාව මගින් හරි දෙය සහ වැරදි දෙය දැනීමේ ඔවුන්ගේ හැඟීම් යටපත් කර තිබෙනවා.
ඔවුන්ගෙන් බොහෝදෙනෙක් නිර්භීත අය හැටියට පෙනී සිටීමටද නැඹුරුවාවක් දක්වනවා. බටහිර අප්‍රිකාවේ යුධ නිරීක්ෂකයෙක් මෙසේ පැහැදිලි කළා: “වැඩිහිටි සොල්දාදුවන්ට මරණය ගැන ඇති අවබෝධයම [ළමයින්ට] නැති බව පෙනෙන නිසා, බලාපොරොත්තු සුන් වූ අවස්ථාවකදී පවා ඔවුන්ට පරාජය පිළිගැනීමට ඇති හැකියාවන් අඩු බව පෙනෙනවා.” කපිතාන් ඝාතක යන්ත්‍රය යන පටබැඳි නමින් හැඳින්වූ පුරසාරම් දොඩන ලයිබීරියානු පිරිමි ළමයෙක් මෙසේ පැවසුවා: “ලොකු මිනිස්සු බයේ පැනල දුවද්දී, පොඩි අපි තමයි දිගටම සටන් කරන්නේ.”
පරස්පර විරෝධී දෙයක් වන්නේ, පිරිමි ළමයින් දක්ෂ සොල්දාදුවන් වුවත් සාමාන්‍යයෙන් ඔවුන්ව සලකන්නේ විනාශ වීම සඳහා අත්හැර දැමීමට වඩාත්ම සුදුසු අය හැටියටයි. මැදපෙරදිග පැවති එක් යුද්ධයකදී, බිම් බෝම්බ වළලා තිබූ ප්‍රදේශයක ඉදිරියෙන් ගමන් කරන්න කියා ළමයින්ගෙන් සෑදුණු හමුදා භට පිරිසකට අණ කළා.
බඳවාගැනීම සහ අවශ්‍යතාවට අනුව හැඩගැස්වීම
සමහර ළමයි හමුදාවලට හෝ කැරලි ව්‍යාපාරවලට බැඳෙන්නේ ඔවුන් ත්‍රාසජනක දේවල් අත්හදා බලන්න උනන්දු වෙන නිසයි. ඒ වගේම, අනතුරුවලින් තර්ජන එල්ල වන විට හා පවුල් විසිරී ගොස් සිටින විට, හමුදා බල ඇණි ඔවුන්ට සුරක්ෂිතභාවයේ හැඟීම් ඇති කර, ඔවුන්ගේ පවුල බවට පත් වෙනවා. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල මෙසේ පවසනවා: “සාහසිකකම්වලින් වට වූ පරිසරයක හැදී වැඩුණු ළමයින් මෙය දකින්නේ, වෙනස් නොවන ජීවන රටාවක් හැටියටයි. තනි වූ, අනාථ වූ, බියට පත් වූ, නීරස හා කලකිරුණු තත්වයට පත් වී සිටින මොවුන් බොහෝවිට සොල්දාදුවන් වෙන්න තෝරාගන්නවා.”
අනිත් ළමයි හමුදාවලට බැඳෙන්නේ, වඩා හොඳ වෙනත් කිසිම විකල්පයක් නැති බව පෙනෙන්න තිබෙන නිසයි. සමහර අවස්ථාවලදී, ආහාර හිඟයක් හා අනතුරු මගින් තර්ජන එල්ල වන විට, හමුදාවකට බැඳීම බේරී ජීවත් වීමේ එකම මඟ හැටියට පෙනෙන්න පුළුවන්.
සමහර අවස්ථාවලදී, ළමයින්ම දකින්න පුළුවන් තමුන් සමාජ අසාධාරණයන්, ආගමික විශ්වාසයන් හෝ සංස්කෘතික අනන්‍යතාවන් වෙනුවෙන් සටන්වදින්නන් බව. උදාහරණයක් හැටියට, පෙරූහි ගරිල්ලා කණ්ඩායම්වලට බලෙන් බඳවාගත් ළමුන්ට දීර්ඝ කාලයක් තිස්සේ දේශපාලනික අදහස් කාවද්දවා තිබෙනවා. කොහොම වුණත්, සැමවිටම එය අවශ්‍ය නැහැ. අග්නිදිග ආසියාවේ සිටින ළමා සොල්දාදුවන් ගැන අධ්‍යයනය කළ සමාජ මානව විද්‍යාඥයෙකු වන බ්‍රයන් මිල්න් මෙසේ පැවසුවා: “ධර්මයක් හා දෘෂ්ටියක් ළමුන්ට නැහැ. ඔවුන්ව එක් පැත්තක් හෝ තවත් පැත්තක් විසින් තමන්ගේ අරමුණු ඉටු කරගැනීම සඳහා රවටනු ලබනවා.”
නමුත් අනිත් ළමයින්ට බැඳෙන්න බල කරනවා. සමහර අප්‍රිකානු රටවල සිදු වන යුද්ධවලදී, අවි සන්නද්ධ කණ්ඩායම් හදිසියේ ගම්මානවලට කඩා වැද දරුවන්ව අල්ලාගන්නවා; පසුව තමන්ගේම පවුලේ අයට වධ දීම හෝ මරණයට පත් කිරීම දැකබලා ගැනීමට හෝ ඊට හවුල් වීමට ඔවුන්ට සලස්වනවා. සමහර අවස්ථාවලදී තමන්ගේ දෙමාපියන්ට වෙඩි තැබීමට හෝ දෙමාපියන්ගේ බෙලි කැපීමට බල කරනවා. වරක් බියට පත් කළ පසු, අනිත් අයවත් බියට පත් කිරීමට පිරිමි ළමයින් පෙලඹෙනවා. අමානුෂික ක්‍රියා කිරීමට හැඩගස්වනු ලැබූ මේ තරුණයන් බොහෝවිට කෲර වැඩිහිටි හමුදා භටයෙක් පවා නොකරන ආකාරයේ අමානුෂික ක්‍රියා කරනවා.
යළි සාමාන්‍ය ජීවිතයට හැඩගැසීම
සාහසිකකම්වලින් තොර ජීවන රටාවකට හැඩගැසීම මේ වගේ ළමයින්ට පහසු දෙයක් නොවෙයි. බටහිර අප්‍රිකානු රටක පිහිටි ළමා මධ්‍යස්ථානයක අධ්‍යක්ෂකවරයා මෙසේ පැවසුවා: “අපි ප්‍රතිකාර කරල තියෙන ළමුන් සියලුදෙනාවම විවිධ මට්ටම්වලින් මානසික කම්පනයකට පත් කර තියෙනවා. ඔවුන්ව දූෂණය කර තියෙනවා, ඝාතනය කර තියෙනවා, ඔවුන්ට වධ හිංසා පමුණුවා තියෙනවා. ඔවුන්ගෙන් වැඩිදෙනෙකුට මත්පැන් හෝ මත්ද්‍රව්‍ය, වැඩි වශයෙන් මරිජුආනා, සමහර අවස්ථාවලදී හෙරොයින් පවා දීල තියෙනවා. . . . ළමුන්ගේ මනස්වලට එවැනි දේවලින් ඇති කරන භයානක බලපෑම ඔබට සිතාගන්න පුළුවන්; ඔවුන්ගෙන් සමහරදෙනෙක් අවුරුදු අටක් හෝ නවයක් තරම් ළාබාලයි.”
අසල්වැසි ලයිබීරියාවේ තත්වයත් ඒ හා සමානයි; එහි වෙසෙන ළමුන් දසදහස් ගණනක් ඔවුන්ගේ ළමා කාලය යොදවා තිබෙන්නේ, ගම්වැසියන්ව බියගැන්වීම සඳහායි. නහඹර වියේ පසු වන මේජර්වරුන්ට හා ජෙනරාල්වරුන්ට AK-47 මගින් ලබා දීල තිබෙන නිලතල හා බලය අත්හැර දැමීම ඒ තරම් පහසු දෙයක් නොවෙයි. සෝමාලියාවේ වැසියෙක් මෙසේ පැවසුවා: “ඔබට තුවක්කුවක් තියෙනවා නම් ජීවිතය රැකගන්න පුළුවන්. තුවක්කුවක් නැත්නම් ජීවිතෙත් නැහැ.”
බොහෝ අවස්ථාවලදී, සටන් වදින ළමුන්ට ආපසු නිවෙස්වලට එන්න බැරි, ඔවුන්ගෙන් පළිගන්න නිසයි; එහෙම නැත්නම් ඔවුන්ගේ පවුල්වල අය ඔවුන්ව ප්‍රතික්ෂේප කරන නිසයි. ලයිබීරියාවේ ළමා උපදේශකයෙකු මෙසේ පැවසුවා: “‘මෙයාව ඔයාල ළඟම තියාගන්න. මේ ත්‍රස්තවාදියාව අපේ ගෙදරට වැද්දගන්න අපි කැමති නැහැ’ කියා මව්වරු හුඟදෙනෙක් අපිට කියනවා.”
ළමයින් බොහෝදෙනෙක් සාමකාමී ලෙස ජීවත් වීම සඳහා හැඩගැසුණත්, එසේ කිරීම සඳහා ඔවුන් අවට සිටින අයගෙන් වැඩි වැඩියෙන් ප්‍රේමය, සහයෝගය හා තේරුම්ගැනීම යනාදිය අවශ්‍යයි. ඒක, ළමයාටවත් පවුල්වල සිටින අයටවත් ඒ තරම් පහසු දෙයක් නොවෙයි. මොසැම්බික්හි සමාජ සේවකයෙක් මෙසේ පැහැදිලි කරනවා: “ඔබට කැමති ඕනෑම දෙයක් ලබාගන්නත් කළ යුතු දෙය ගැන අනිත් අයට පවසන්නත් හැකි ආකාරයේ ජීවන රටාවක් සමඟින් ආපසු ගමට ඇවිත් ගත කරන ඔබේ ජීවන රටාව සසඳා බලන්න. විශේෂයෙන්ම ඔබගේ වයස අවුරුදු 17ක් නම්, ලියන්න කියන්න බැරි නම්, කිසිම කුසලතාවක් නැත්නම්, තත්වය සිතා බලන්න. නීරසය පිරි ජීවිතයකට ඔබව ඇද වැටෙනවා. මුල් තත්වයට නැවත එන්නත් පළමු පන්තියේ සිටම දේවල් ඉගෙනගන්නත් අනිත් අයගේ කියමන්වලට එකඟව කටයුතු කරන්න සිදුවීමත් හරිම අමාරු දෙයක්.”
[5වන පිටුවේ කොටුව⁄පින්තූරය]
දහතුන් හැවිරිදි අන්වර් ජීවත් වන්නේ ඇෆ්ගනිස්තානයෙයි. සටන් හයකට සහභාගි වූ කෙනෙක් වන ඔහු සත්වන සටනේදී පළමු වතාවට තම සතුරන්ව මැරුවා. ඔහු අසල සිටි සොල්දාදුවන් දෙදෙනෙකුට වෙඩි තැබීමෙන් පසුව, ඔවුන් ඇත්තටම මියගියාද කියා බැලීමට ඔහුගේ රයිෆලයෙන් ඔවුන්ගේ සිරුරුවලට ඇන්නා. මේ සිද්ධිය ගැන ඔහුට හැඟුණු ආකාරය ගැන විමසූ විට, කිසි දෙයක් කියාගත නොහැකි තත්වයකට අන්වර් පත් වූ බව පෙනුණා. “මට සතුටක් දැනුණා; මොකද මං ඒ අයව මැරුවා” කියා ඔහු පැවසුවා.
ඒ සටනේදීම, අන්වර් සමඟ සිටි අනිත් සොල්දාදුවන් විසින් සතුරු හමුදාවේ සතරදෙනෙකුව අල්ලාගත්තා. පසුව, ඔවුන්ගේ ඇස් බැඳ ගස්වල ගැටගසා වෙඩි තිබ්බා. ඒ ගැන අන්වර්ට හැඟුණේ කොහොමද? මේ තරුණ සටන්කාමියා ගණනකට නොගෙන, සෙමින්, කිසිම දෙයක් නොතේරෙන කෙනෙකු මෙන් මෙසේ උත්තර දුන්නා: “මං සතුටු වුණා.”
[6වන පිටුවේ කොටුව⁄පින්තූරය]
ඉක්මනින්ම නිදහස් වීමට සිටි බටහිර අප්‍රිකානු සිරකරුවෙකුට මාංචු දමා තිබුණත්, අණ දෙන නිලධාරියා යතුරු නැති කරගෙන තිබුණා. මේ අණ දෙන නිලධාරියා ගැටලුව විසඳාගත්තේ, සිරකරුවාගේ අත් කපා දමන්න කියා ළමා සොල්දාදුවෙකුට අණ කිරීමෙනුයි. “ඒ මිනිහා මහා හයියෙන් කෑගහනවා මට තවමත් හීනෙන් ඇහෙනවා” කියා මේ පිරිමි ළමයා පවසනවා. “මම එයා ගැන හිතන හැම වේලාවකම ඒ ගැන කනගාටු වෙනවා.”