ගැටලුවලින් තොර පාරාදීසයක් ළඟදීම සැබෑවක් වෙනවා
‘නුඹ මා සමඟ පාරාදීසයෙහි සිටින්නෙහිය.’ සාපරාධී වාර්තාවක් තිබෙන මිනිසෙකුට එම වචන මොනතරම් නිසැකකමක් ලබා දුන්නාද! නෑ, තමා මියගිය විට ගිනිමය නිරයකට යෑමෙන් වැළකී, ස්වර්ගයට යයි කියන හැඟීමක් ඔහුට තිබුණා නොවෙයි. ඊට වෙනස්ව, පෘථිවිය පාරාදීසයක් බවට යළි ගොඩනංවන විට තමාව නැඟිටුවනු ලබයි කියන බලාපොරොත්තුවෙන් යේසුගේ පැත්තකින් සිටි සොරා සැනසීමක් ලැබුවා. පාරාදීසයක් පිළිබඳව එවැනි විශිෂ්ට ප්‍රකාශයක් කළේ දෙවිගේම පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස් බව කරුණාකර සැලකිල්ලට ගන්න.—ලූක් 23:43.
පාරාදීසය පිළිබඳ ක්‍රිස්තුස්ගේ පොරොන්දුවට හේතු වුණේ මොකක්ද? සොරා මෙසේ අයැද තිබුණා: “[යේසු,] ඔබගේ රාජ්‍යයෙන් යුක්තව ඔබ එන කල මා සිහික[රන්න].” (ලූක් 23:42) මේ රාජ්‍යය කුමක්ද? එය සහ භූමික පාරාදීසයකට ඇත්තේ මොන සම්බන්ධතාවක්ද? පාරාදීසය ගැටලුවලින් තොර එකක් කියා මෙයින් සහතික කරන්නේ කොහොමද?
පාරාදීසය පිටුපස බලය
මිහිපිට සැබෑ පාරාදීසයක් ඇති විය හැක්කේ වත්මන්-දින සියලු ගැටලු ඉවත් වුණාට පස්සේ බවට ඔබ එකඟ වේවි. ඉතිහාසය සපයන සාක්ෂි රැසට අනුව, ඒවා ඉවත් කරන්න දරන මිනිස් වෑයම් මේ දක්වා අසාර්ථක වී තිබෙනවා. හෙබ්‍රෙව් ප්‍රොපේත යෙරෙමියා මෙසේ පිළිගත්තා: “යෙහෝවා, . . . ගමනෙහි යෙදෙන මනුෂ්‍යයාට තමාගේ පියවර පවා මෙහෙයවන්න අයිතියක් නැති බව මම හොඳින් දනිමි.” (යෙරෙමියා 10:23, NW) එසේනම්, වත්මන්-දින සියලු ගැටලු අතු ගා දමන්න හැක්කේ කාටද?
කාලගුණයේ වෙනස් වීම් සහ දූෂණය. ඔරුවක් පෙරළිය හැකි තරම් උසකට රැල්ල ගහන දරුණු කුණාටුවක් ගලීල මුහුදේ ඇති වුණ විට, නිදාගෙන ඔවුන් සමඟ ගමන් කරමින් සිටි මිත්‍රයාව නැවියන් අවදි කළා. ප්‍රතිඵලයක් වශයෙන්, ඔහු නිකම් මුහුදට මෙහෙම කිව්වා: “නිශ්ශබ්දවෙව, නිශ්චලවෙව.” මාර්ක්ගේ සුවිශේෂ වාර්තාවේ සිදු වුණේ කුමක්ද කියා විස්තර කරයි: “සුළඟ නැවතී, මහත් නිශ්චලයක් විය.” (මාර්ක් 4:39) ගමන් කරමින් සිටිය මිත්‍රයා වෙන කවරෙක්වත් නොවෙයි යේසුමයි. කාලගුණය පාලනය කරන්න ඔහුට බලය තිබුණා.
“පොළොව විනාශකරන්නවුන් විනාශකරන්න” දෙවිට කාලයක් පැමිණෙනු ඇතැයි කියා ප්‍රේරිත යොහන් මගින් පුරෝකථනය කළේ මේ යේසුමයි. (එළිදරව් 1:1; 11:18) නෝවාගේ දවස්වලදී මුළු ලෝකයේම අභක්තික ජනයාව ජලගැල්ම මගින් ඉවත් කර දැමූ තැනැත්තාට මෙය අමාරු වැඩක් නොවෙයි.—2 පේතෘස් 3:5, 6.
අපරාධ සහ සාහසිකකම. බයිබලය මෙසේ පොරොන්දු වෙයි: “නපුරු ක්‍රියා කරන්නෝ සිඳිනු ලබන්නෝය. නුමුත් [යෙහෝවා] කෙරෙහි බලා සිටින්නෝ දේශය උරුමකරගන්නෝය. නුමුත් මොළොක් ගුණ ඇත්තෝ දේශය උරුමකරගන්නෝය; ඔව්හු මහත් සමාදානයෙන් ප්‍රීතිමත් වන්නෝය.” (ගීතාවලිය 37:9, 11) නැවතත්, මොළොක් ගුණැත්තන්ට පාරාදීසය වෙන් කරමින් සියලු අපරාධ සහ සාහසිකකම් ඉවත් කිරීමට පොරොන්දු වන්නේ යෙහෝවා දෙවියි.
දිළිඳුබව සහ කුසගින්න. වත්මන්-දින අයුක්තිය ලෝකයේ එක ප්‍රදේශයක ආණ්ඩුවලට ආහාර ද්‍රව්‍ය “කන්දරාවන්” ගොඩගැසීමට ඉඩහරින අතරතුරේදී, දුප්පත් රටවල් දිළිඳුබවෙන් පොරබදමින් සිටිනවා. ලොව පුරා සැලකිලිමත් ජනයාගේ උපකාරයෙන් පවත්වාගෙන යන අසරණසරණ ආයතන මූලික අවශ්‍යතා සැපයීමට වෙහෙස දරන නමුත්, නීතිය හා විනයේ අඩුවක් තිබීම හේතුවෙන් බෙදාහැරීමේ මාර්ග බොහෝවිට බිඳ වැටෙනවා. ප්‍රොපේත යෙසායා වාර්තා කළ දේට වඩා මෙය පටහැනියි: “සේනාවල [යෙහෝවාද] මේ කන්දේදී සියලු ජනයන්ට සාරවූ දෙයින් මංගල්‍යයක්, එනම් රසවත් මුද්‍රිකපානයෙන්ද ප්‍රණීත ආහාරයෙන්ද පෙරූ රසවත් මුද්‍රිකපානයෙන්ද මංගල්‍යයක් සාද[යි].” (යෙසායා 25:6) ඉන් අදහස් වන්නේ සාගතය සහ කුසගින්න තවදුරටත් නොතිබෙන බව නොවෙයිද? ඇත්තෙන්ම ඔව්.
යුද්ධ. ජාතික සීමාවන් ඉක්මවා යන අධිකාරියකින් මේ ලෝකය පාලනය කිරීමට දරන වෑයම් අසාර්ථක බව ඔප්පු කර තිබෙනවා. වර්ෂ 1920දී පිහිටෙවූ ජාතීන්ගේ සංගමය IIවන ලෝක සංග්‍රාමයේ ආරම්භයත් අනතුරුව ඇති වූ බිඳවැටීමත් වළක්වන්න අසමත් වුණා. සාමය සඳහා හොඳම බලාපොරොත්තුව ලෙස බොහෝවිට ප්‍රශංසා කරනු ලැබූ එක්සත් ජාතීන්, ගැටුම් සිදු වන ප්‍රදේශවල සිටින විරුද්ධ පක්ෂ ඈත් කර තැබීමට පරිශ්‍රමයක් දරනවා. ප්‍රසිද්ධියට පත් කර තිබුණු සාම වෑයම් නොතකා, නාගරිකයන්, ජනවාර්ගිකයන් හෝ ප්‍රජාවන් වේවා, සැම තැනකම යුද්ධ බහුලව පවතිනවා. දේවරාජ්‍ය ආණ්ඩුව වත්මන්-දින යුද්ධ කෝලාහල ඉවත් කර, එහි වැසියන්ව සාමකාමී මාර්ගවල යෑමට දැනුවත් කරන බවට පොරොන්දු වෙනවා.—යෙසායා 2:2-4; දානියෙල් 2:44, 45.
පවුල සහ සදාචාර බිඳවැටීම. පවුල් බිඳවැටීම හාත්පස පැතිර පවතිනවා. බාල අපරාධ බහුලයි. දුරාචාරය මනුෂ්‍ය සමාජයේ සෑම තරාතිරමකම ව්‍යාප්ත වෙයි. එහෙත්, දෙවිගේ ප්‍රමිති මුල පටන්ම නොවෙනස්ව පැවතී තිබෙනවා. “මනුෂ්‍යයෙක් තමාගේ පියා සහ මවු අත්හැර තමාගේ භාර්යාවට ඇලුම්වන්නේය . . . ඒ දෙදෙන එක මාංසය වන්නෝය . . . එබැවින් [දෙවි] එක්කළ දෙය මනුෂ්‍යයා වෙන් නොකෙරේ[වා].” (මතෙව් 19:5, 6) යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ ආඥා කළා: “නුඹට වැඩසිද්ධවන පිණිසද නුඹ පොළොවෙහි බොහෝ කල් ජීවත්වන පිණිසද, නුඹේ පියාටත් මවුටත් ගෞරවකරන්න.” (එපීස 6:2, 3) දේවරාජ්‍යය යටතේ එවැනි ප්‍රමිති පොළොවෙහි පවතින්න යනවා.
අසනීප සහ මරණය. “[යෙහෝවා] . . . අප ගළව[න්නේය]. . . . තමා ලෙඩින්යයි කිසි වැසියෙක් නොකියන්නේය” කියා ප්‍රොපේත යෙසායා පොරොන්දු වුණා. (යෙසායා 33:22, 24) “පාපයේ කුලී නම් මරණයය; නුමුත් [දෙවිගේ] දීමනාව නම්, . . . ස්වාමිවූ යේසුස් [ක්‍රිස්තුස්] තුළ සදාකාල ජීවනයය” යනුවෙන් ක්‍රිස්තියානි ප්‍රේරිත පාවුල් පිළිගත්තා.—රෝම 6:23.
යෙහෝවා දෙවි තම පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස්ගේ හස්තයේ ඇති තම ස්වර්ගික ආණ්ඩුව මගින් මේ සියලු ගැටලු පහ කරන්න යනවා. කෙසේවුවත්, ‘මේක හරියට මනෝ රාජ්‍යයක සිහිනයක් වගේ. ඇත්තෙන්ම, ඒක සැබෑවක් වුණොත් නම් හරිම සතුටක්; නමුත් එහෙම වෙයිද’ කියා ඔබ පවසන්න ඉඩ තිබෙනවා.
වත්මන් සැබෑව
බොහෝ ජනයාට, මේ පොළොවෙහිම ගැටලුවලින් තොර පාරාදීසයක ජීවත් වීමේ හැකියාව, හොඳ පැත්ත විතරක්ම පෙනෙන යථාර්ථවාදී නොවන දෙයක්. ඔබටත් දැනෙන්නේ එලෙස නම්, මෙය සැබවින්ම සිදු වන බවට සාක්ෂි පරීක්ෂා කර බලන්න.
යෙහෝවාගේ සාක්ෂිකරුවන් වනාහි රටවල් 233ක පැතිර පවතින ඔවුන්ගේ සභා 82,000ක දැනටමත් සාපේක්ෂ වශයෙන් ගැටලුවලින් තොර වාතාවරණයක් අද්දකින, මිලියන පහකට වැඩි වත්මන්-දින ජාත්‍යන්තර ප්‍රජාවක්. ලොකු වේවා, කුඩා වේවා ඔබ ඔවුන්ගේ කුමන එක්රැස්වීමකට ගියත් ඔබට කුමක් දැකගන්න පුළුවන් වෙයිද?
(1) ප්‍රසන්න, පවිත්‍ර වාතාවරණයක්. එංගලන්තයේ නෝවිච්හි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සමුළුවක් ගැන අදහස් දක්වමින් පාපන්දු ක්‍රීඩාංගණයේ පරිපාලක මෙසේ ප්‍රකාශ කළා: “දවස් හතර පුරාම තිබුණු සාමකාමී වාතාවරණය . . . බෝවනසුලුයි. නොසන්සුන් ව්‍යාපාරික ලෝකයේ හා අප අවට එදිනෙදා ජීවිතයේදී ගත කරන ඕනෑම දවස් හතරකට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් පෞද්ගලික සන්සුන්බවක් අද්දකින්න ලැබෙනවා. ඇත්තෙන්ම සාක්ෂිකාරයන්ගේ මොකක්දෝ වෙනසක් තියෙනවා; ඒක මෙහෙමයි කියලා විස්තර කරන්න බැහැ.”
යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ලන්ඩනයේ කාර්යාල බලන්න ගිය ගොඩනැඟිලි කර්මාන්ත පුහුණු උපදේශකයෙක් මෙසේ පැවසුවා: “මම දැක්ක ඒ වගේම ඇහුව දේවලින් මගේ හිත ගොඩක් ඇදිලා ගියා; ඒ වගේම සම්පූර්ණ සාමකාමී වාතාවරණයත්, ශාන්තභාවයත් ඕගොල්ලන්ගේ ගොඩනැඟිලිවල විතරක් නෙවෙයි, නමුත් [පුරුෂයන් සහ ස්ත්‍රීන්] අතරෙත් තිබුණා. ඕගොල්ලෝ ජීවිතය ගත කරන ආකාරයටත්, සන්තෝෂයටත්, ගැටලු පිරි මේ ලෝකයේ ඉතිරි කොටසට උගන්වන්න ගොඩක් දේවල් තියෙනවා.”
(2) සුරක්ෂිතභාවය සහ සාමය. කැනඩාවේ ජර්නල් ඩි මොන්ට්‍රියෙල් සඳහා තීරු ලේඛිකාවක් මෙසේ ලිව්වා: “මම සාක්ෂිකාරියක් නෙවෙයි. නමුත් සාක්ෂිකාරයන් කාර්යක්ෂමභාවයට සහ සුදුසු හැසිරීමට සාක්ෂි දෙන බවට වූ සත්‍යයට මම සාක්ෂිකාරියක්. . . . ලෝකයේ ඉන්න එකම ජනතාව ඔවුන් වුණා නම්, අපිට රාත්‍රියේ අපේ දොරවල්වලට අගුල් දාගෙන, සොරුන් අල්ලන අනතුරු ඇඟවීමේ උපකරණයක් තබාගෙන ඉන්න ඕන වෙන එකක් නෑ.”
(3) දේවරාජ්‍ය ආණ්ඩුවට පක්ෂව සිටීම සාක්ෂිකරුවන්ගේ ස්වභාවය විදහාපෙන්වනවා. ඔවුන්ගේ මධ්‍යස්ථ ස්ථාවරය සමහරුවන්ව කලඹනවා; එසේ නොවිය යුතු වුණත් එහෙම වෙනවා. වත්මන්-දින පැලැස්තර දැමීමේ දේශපාලන උපක්රමවලට ඔවුන් හවුල් නොවන්නේ, වැඩිදියුණු වෙමින් පවතින සමාජය කෙරෙහි උනන්දුව හීනවීම නිසා නොවෙයි. ඒ වෙනුවට, ස්වර්ගික ආණ්ඩුවක් මගින් පාලනය කරන තැනැත්තා වන පොළොවේ මැවුම්කාර යෙහෝවා දෙවිව සතුටු කරන ආකාරයකින් හැසිරීමට ඔවුන් වෑයම් කරනවා.
සාක්ෂිකරුවන්ගේ විශ්වාසයන් සම්පූර්ණයෙන්ම දේවවචනය වන බයිබලය මත පදනම් වී තිබෙන නිසා, ලබ්ධියක් හෝ නිකායක් බවට පත්වීමේ උගුලට වැටීමෙන් ඔවුන්ව වළක්වනවා. මොන ආගමික නිකායක සිටියත්, අනිත් හැමදෙනා කෙරෙහිම ඔවුන් කරුණාවන්ත ලෙස උනන්දුවක් දක්වනවා. නෑ, මොවුන් ජනයාට තම දෘෂ්ටීන් වෙනස් කරන්න කියා බල කිරීමට වෑයම් කරන්නේ නෑ. වැඩි කල් නොගොස් පොළොවේ පිහිටුවන්න යන ගැටලුවලින් තොර පාරාදීසය පිළිබඳව ශුද්ධ ලියවිලිමය සාක්ෂියක් ඉදිරිපත් කිරීම මගින් ඔවුන් තම නායක ක්‍රිස්තුස් යේසුස්ව අනුගමනය කිරීමට පරිශ්‍රමයක් දරනවා.—මතෙව් 28:19, 20; 1 පේතෘස් 2:21.
(4) ආත්මික සෞඛ්‍යය සහ සන්තෝෂය. යථාර්ථය ගත් කල, මේ කාලයේදී සම්පූර්ණයෙන්ම ගැටලුවලින් තොරව සිටින බව යෙහෝවාගේ සාක්ෂිකරුවන් පවසන්නේ නැහැ. ආදම්ගෙන් උරුම වී ඇති පාපයේ සැබෑ තත්වය දරන ජනයා අතරේ මෙවැන්නක් සිදු විය නොහැකියි. එනමුත් දෙවිගේ ශුද්ධාත්මයේ උපකාරයෙන්, ඔවුන් “ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, විශ්වාසකම, මෘදුකම, පමණ දැන ක්‍රියාකිරීම” වැනි පෞද්ගලික ගුණාංග වර්ධනය කරගැනීමට වැඩ කරනවා. (ගලාති 5:22, 23) ඔවුන්ව එක්සත් කර තබන්නෙත්, ඔවුන්ගේ බලාපොරොත්තු ප්‍රාණවත්ව තබන්නෙත්, ක්‍රිස්තුස් යේසුස් මගින් යෙහෝවාට කරන ඔවුන්ගේ නමස්කාරයයි.
ඔබ සාක්ෂිකරුවන් එක්රැස්වෙන ස්ථානයකට යෑම දෙවි පොළොව සැබෑ පාරාදීසයක් බවට පරිවර්තනය කරයි කියන එක ඔබට ඒත්තුගන්වාවි කියා අපිට නිසැකයි.
වත්මන්-දින ගැටලු අතීතයේ ඒවා බවට පත් වෙනු ඇත. කීකරු මනුෂ්‍යවර්ගයාට ක්‍රිස්තුස්ගේ මිදීමේ පූජාවේ ප්‍රයෝජන අදාළ කරන විට කලක් පුරා පවතින අසම්පූර්ණත්වය පවා ක්‍රම ක්‍රමයෙන් අතුරුදහන් වී යාවී. එසේය, ඔබට පරිපූර්ණ සෞඛ්‍යය සහ සන්තෝෂය ලබාගත හැකියි.
එවැනි ප්‍රස්තාවක් භුක්ති විඳින්න සරල සූදානම් කිරීම් ඔබට උපකාරවත් වනු ඇත. සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම පොතේ පිටපතක් ඔබට පෞද්ගලිකව ලබාගත හැකිදැයි සාක්ෂිකරුවන්ගෙන් අසන්න.a මෙය උපකාර කරගෙන දෙවිට ඔබෙන් ඕනෑ කරන දේ කෙටි කාලයක් තුළදී ඉගෙනගන්න ඔබට පුළුවන්; එවිට ගැටලුවලින් තොර පාරාදීසයක සදහටම ජීවිතය භුක්ති විඳීමට ඔබටත් හැකියි.
[පාදසටහන]
a Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිතයි.
[10වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
මුළුමනින්ම බයිබලය මත පදනම් වූ සාක්ෂිකරුවන්ගේ විශ්වාසයන්, ලබ්ධියක් හෝ නිකායක් වීමෙන් ඔවුන්ව වළක්වනවා
[8වන, 9වන පිටුවේ පින්තූර]
ගැටලුවලින් තොර පාරාදීසයක් සඳහා පදනම දැනටමත් දැමෙමින් පවතී
වැඩි කල් නොගොස්, පොළොව පුරා භෞතික පාරාදීසයක් පවතිනු ඇත