ගැටලුවලින් තොර පාරාදීසයක් සඳහා සෙවිල්ල
“අපිට ඕනෙ ජනයා එකිනෙකා කෙරෙහි සැලකිල්ලක් දක්වන ආරක්ෂා සහිත මෙන්ම පරණ-තාලේ ජීවිත රටාවක් හරි බිහි කරන්නයි” කියා එක ඉංග්‍රීසි ජාතික යුවළක් පැහැදිලි කළා. නිවර්තන කලාපීය පාරාදීස දිවයිනක් සොයා, සාමකාමීව එකට ජීවත් වන ප්‍රජාවක් එහි පිහිටුවීමට ඔවුන් තීරණය කළා. නිසැකවම ඔවුන්ගේ හැඟීම් තේරුම්ගන්න ඔබට පුළුවන්. ගැටලුවලින් තොර පාරාදීසයක ජීවත් වන්න ලැබෙන ප්‍රස්තාව අල්ලගන්න උත්සුක නොවන්නේ කවුද?
හුදකලා වීම පිළිතුරද?
හුදකලා වීම තරමක ආරක්ෂාවක් ලබා දෙන නිසා, පාරාදීසය සොයන බොහෝදෙනෙක්ට දිවයිනක ජීවත් වීමේ අදහස සිත්ගන්නා දෙයක්. සමහරු පැනමාහි පැසිෆික් වෙරළට එපිටින් පිහිටි දිවයින් හෝ බෙලීස්වලට එපිටින් පිහිටි ඒවා වැනි කැරිබියන්හි දිවයින් තෝරාගන්නවා. වෙනත් අය ඉන්දියන් සාගරයේ පිහිටි චාම් ග්‍රාමීය ජීවිතයක් ගත කළ හැකි ස්ථානවලට—උදාහරණයක් හැටියට සීෂෙල්ස් දූපත්වලට—ඔවුන්ගේ අවධානය යොමු කරනවා.
හුදකලා ප්‍රජාවක් පිහිටුවීමට සංවිධානය කිරීම හිතාගන්නවත් බැරි තරම් දුෂ්කර එකක්. ප්‍රමාණවත් මුදලක් තිබෙනවා වුවත්, පවතින රාජ්‍ය නීති සම්පාදනය, භූමියක් විගස මිල දී ගැනීම සීමා කළ හැකියි. නමුත් නිවර්තන කලාපීය හොඳම දිවයින ලබාගන්න පුළුවන් වුණත්, ඔබ එහි සතුටෙන් සිටිනු ඇද්ද? ඔබේ පාරාදීසය ගැටලුවලින් තොර එකක් වේවිද?
බ්‍රිතාන්‍යයේ වෙරළ අවට හුදකලා දිවයින්වල දැන් වැඩි වෙමින් පවතින ජනගහනයක් ජීවත් වෙනවා. ඒවාවල නව ජනාවාසීන් ප්‍රධාන වශයෙන්ම හුදකලාව සහ සාමය සොයන ජනතාවක්. ස්කොට්ලන්තයේ බටහිර වෙරළෙන් එපිට, හෙක්ටෙයාර 100ක ඉඕ’ස් දිවයිනේ තනිවම වෙසෙන මිනිසෙක් කියා සිටින්නේ, තමාට බැටළුවන් සියයක රැළක් බලාගනිමින් බොහෝ දේ කරන්න තියෙන නිසා කවදාවත් තනිකමක් නොදැනෙන බවයි. දිවයිනක තනි වෙන්න සොයාගත් වෙනත් අයට විගස තනිකම දැනෙනවා. සමහරු සියදිවි නසාගන්නත්, අවශ්‍ය මිදීම ලබාගන්නත් වෑයම් කර තිබෙන බවට වාර්තා වෙනවා.
කදිම නිවර්තන දිවයිනක් පාරාදීසයක් වේවි කියා බොහෝදෙනා විශ්වාස කරනවා. කාලගුණයේ විශාල වෙනස්කම් ස්වල්පයක් සහිත සෞම්‍ය දේශගුණයක ජීවත් වීම ඔවුන්ට සිත්ගන්නා දෙයක්. නමුත් සමස්ත ලෝකයේම උෂ්ණත්වය වැඩිවීමත්, එහි ප්‍රතිඵලයක් වශයෙන් මුහුදු මට්ටම ඉහළ යෑමත් දිවයින් වාසීන් බොහෝදෙනෙක් අතර ලොකු බියක් ඇති කර තිබෙනවා. බටහිර පැසිෆික්වල ටොකිලොඋ ප්‍රදේශයට අයත් පහතින් පිහිටි කොරල් දූපත්වල සිටින මෙන්ම මුහුදු මට්ටමෙන් මීටර් දෙකකට ටිකක් අඩුවෙන් ජල මට්ටම ඉහළ නඟින දිවයින්, එනම් ඉන්දියන් සාගරයේ විසිරී ඇති මාලදිවයින්වල සිටින ජනාවාසීන් එවැනිම බියකින් පසු වෙනවා.
ඔවුන්ගේ දුක්දායක තත්වය සම්බන්ධයෙන් වැඩ පිළිවෙළක් දියත් කිරීමට, කුඩා දිවයින් සංවර්ධන රාජ්‍ය ඒකාබද්ධ සංගමයට විවිධ ආණ්ඩු 40ක් පමණ එකතු වී තිබෙනවා. කුඩා දිවයින්වල ජනාවාසීන්ට සාමාන්‍යයෙන්ම දිගුකාලීන ආයුෂ අපේක්ෂාවක් තිබුණත්, ඔවුන්ගේ බිළිඳු මරණ සංඛ්‍යාව අඩු වුණත්, ඔවුන් දිගටම බරපතළ පාරිසරික ගැටලුවලට මුහුණ දෙනවා. ජල මතුපිට සිහින් තෙල් තට්ටු සහ අපවිත්‍ර වූ මුහුදු, ඇතැම් දිවයින්වල ආර්ථිකය පිරිහෙන්න සලසනවා. අනිත් ඒවා, විශාල රටවල් ඉවත් කිරීමට බලාපොරොත්තු වන විෂ සහිත අපද්‍රව්‍ය ගොඩගහන ස්ථාන බවට පත් වී තිබෙනවා.
පාරාදීසය සොයන්නන්ට, ස්වර්ග මෙන් ඉතා යෝග්‍ය දිවයින්වල පවා තර්ජනයක් ඉදිරිපත් කෙරෙනවා. කොහොමද? හිරු එළියෙන් නැහැවුණු දිවයින් වෙරළවලට එකතු වන සංචාරකයන් දරුණු තදබදයක් ඇති කරන අතර, දුර්ලභ සම්පත් තවත් අඩු කරනවා. මේ අමුත්තන් දූෂණ ගැටලුවත් වැඩි කරනවා. උදාහරණයක් වශයෙන්, කැරිබියන්වල සෑම අවුරුද්දකම අමුත්තන් මිලියන 20ක් විසින් නිපදවන අපද්‍රව්‍යවලින් දහයෙන් එකක් පමණයි යම් ආකාරයක පිරිපහදුවකට ලක් වන්නේ.
සිත්ගන්නා වෙනත් ස්ථානවලත් එවැනිම දෙයක් සිදු වෙනවා. ඉන්දියාවේ බටහිර වෙරළේ ගෝවහි සිද්ධිය සලකා බලන්න. “විශාල සංචාරක පිරිස ‘පාරාදීසයක් දූෂණය කරනවා’” යනුවෙන් ලන්ඩනයේ ඉන්ඩිපෙන්ඩන්ට් ඔන් සන්ඩේ ප්‍රකාශ කළා. වර්ෂ 1972දී සිටි සංචාරකයන් 10,000ක සංඛ්‍යාව, 90 ගණන්වල මුල්භාගයේදී මිලියනයකටත් වඩා වැඩි සංඛ්‍යාවක් වූ බව නිල ලත් සංඛ්‍යා ලේඛනවල පෙන්නුම් කරනවා. ගෝවහි පහසුවෙන් විනාශ වී යන පරිසරය සහ අද්විතීය සංස්කෘතිය, ගලා එන සංචාරකයන්ගෙන් මඩි තර කරගැනීමට ආශාවෙන් සිටින හෝටල් අයිතිකරුවන්ගේ ගිජුකම මගින් තර්ජනයට ලක් වී තිබෙන බවට එක කණ්ඩායමක් අනතුරු අඟවනවා. සමහර හෝටල් නීති විරෝධීව වෙරළවල ඉදි කර තිබෙන බවට ඉන්දියානු රජයේ වාර්තාවක් ස්ථිර කරනවා. වැලි හාරා, ගස් කපා දමා මෙන්ම වැලි කඳු සමතලා කර තිබෙනවා. අපද්‍රව්‍ය වෙරළට ඉවත් කරනවා; නැතහොත් අපවිත්රත්වය පතුරවමින් අහල පහළ කුඹුරුවලට කාන්දු වෙනවා.
අපරාධවලින් තොරද?
අපරාධ කෙමෙන් කෙමෙන් වර්ධනය වීමෙන් ඉතාමත්ම සාමකාමී ප්‍රදේශවල පවා කීර්ති නාමය කෙලෙසී යනවා. ඉතා කුඩා කැරිබියන් දිවයිනක් වන බාබූඩාවලින් “පාරාදීසයේ ඝාතනය” යන සිරස්තලය වාර්තා වෙනවා. දිවයිනේ වෙරළට එපිටෙන් නැංගුරම්ලා තිබූ සුඛෝපභෝගී කුඩා විනෝද නැවක් තුළ හතරදෙනෙක්ව ඉතා කෲර අන්දමින් මරා දමා ඇති බව එහි වාර්තා වුණා. මෙවැනි සිද්ධීන්, ප්‍රදේශය පුරා අපරාධ පැතිරීම පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්වීමට සලසනවා.
මධ්‍යම අමෙරිකානු රටක් සම්බන්ධයෙන් ලන්ඩනයේ ද සන්ඩේ ටයිම්ස්හි වාර්තාවක සිරස්තලය වූයේ “මත්ද්‍රව්‍යය, ‘පාරාදීසයේ’ කල්ලි යුද්ධ බිහි කරයි” යනුවෙනුයි. සාමය පහ වී ඇති නිසා ප්‍රාදේශීය සංස්කාරකයෙක් ශෝකයෙන් මෙසේ ප්‍රකාශ කළා: “උදේ නැඟිටින කොට, වීදියේ ලේ විලක වැතුරුණු 16-හැවිරිදි ළමයෙක් ඉන්න බව දැනගැනීමට ලැබීම දැන් පොදු දෙයක්.”
ප්‍රජා පාරාදීසයක ජීවත් වෙන්න ඉලක්කයක් ඇති අය සාමකාමීව ජීවත් වෙන්න එකඟ වන ජනයාව ඇදගන්න බලාපොරොත්තු වෙනවා. නමුත් යථාර්ථය මොකක්ද? මුලදී සඳහන් කළ ඉංග්‍රීසි ජාතික යුවළ සම්බන්ධයෙන් මෙන්, එකඟ නොවීම් විගස මතු වුණා. සමහර අයැදුම්කරුවන් ඔවුන්ගේ ව්‍යාපාරයට බැඳෙන්න කැමති වුණේ පැහැදිලිවම යෝජනාක්‍රමය තුළින් මුදල් හම්බ කිරීමේ අටියෙනුයි. “අපිට නායකයන් අවශ්‍ය නෑ” කියා අනුග්‍රාහකයා ප්‍රකාශ කළා. “සියල්ල සාර්ථක කරගන්න අපේ ධනසම්පත් යොදවන්නයි අදහස. මම ඒක හඳුන්වන්නේ මනෝ රාජ්‍ය ප්‍රජාවක් කියලයි.” මේක කොහොමටවත්ම එවැනි ව්‍යාපාරයක පළමුවැන්න නොවෙයි—“පාරාදීස ප්‍රජා අත්හදාබැලීම්” නමැති කොටුව බලන්න.
ලොතරැයියක් දිනාගැනීම මගින් තම ඉලක්කය අත් කරගන්නවා කියා පාරාදීසය සොයන වෙනත් අය විශ්වාස කරනවා. නමුත් මේ ආකාරයෙන් මුදල් ලැබීමෙන් සන්තෝෂය ලැබෙන්නේ කලාතුරකින්. බ්‍රිතාන්‍යයේ ලොකුම ලොතරැයි දිනුම ලැබූ පවුල මේ වන විට දැඩි ලෙස අභ්‍යන්තර ගැටුම් අද්දැක තිබෙනවා; දිනුමෙන් ඔවුන්ට ලැබුණේ “අමනාපය, ආරවුල සහ බලාපොරොත්තු සුන්වීම” පමණයි කියා 1995 පෙබරවාරිවලදී, ද සන්ඩේ ටයිම්ස් වාර්තා කළා. එවැනි තත්වයන්වලදී මෙය අසාමාන්‍ය දෙයක් නොවෙයි.
මනෝ රාජ්‍යයක් සඳහා මිනිසාගේ ලුහුබැඳීම පිළිබඳ අධ්‍යයනයකදී පත්රකලාවේදී බ’නාඩ් ලෙවින් “ක්ෂණික වස්තුව පිළිබඳ සිහිනය” ගැන අදහස් පළ කරමින් මෙසේ සහතික කළා: “සිහින බොහොමයක් වගේ, නපුරු සිහිනයත් වැඩි ඈතක නෑ. ක්ෂණික වස්තුව අන්ත විනාශයට (සියදිවි නසාගැනීම් ඇතුළත්ව) මඟ පෑදුව බවට කියවෙන සත්‍ය කතා බොහොමයක් තියෙනවා; මේවා කිසි හේතුවක් නැතුව ඇති වුණ ඒවා කියා ප්‍රතික්ෂේප කරන්න බැහැ.”
ලෝක විනාශ දිනයේ නිකායන් ගැන කුමක්ද?
අනිත් පාරාදීස යෝජනාක්රමවල ඊටත් වඩා නපුරු බලපෑමක් තිබිලා තිබෙනවා. ටෙක්සස්, වෙකෝහි රජයේ නීති පැනවීමේ ඒජන්තවරුන් විසින්, 1993දී බ්‍රාන්ච් ඩෙවිඩියන්ස් නිකායේ ගොඩනැඟිල්ල වැටලීම පිළිබඳව වාර්තා කරන පුවත්පතක්, විනාශයට මඟ පෑදූ “තුවක්කු, මනසට අලුත් අදහස් කාවැද්දවීම සහ ලෝක විනාශ දිනයේ ප්‍රොපේතවරයෙක් පිළිබඳ විනාශකාරි මිශ්‍රණය” ගැන අදහස් පළ කළා. එකම සිද්ධිය මෙය පමණක් නොවීම කනගාටුවට කරුණක්.
ඉන්දියානු ආත්මික නායකයෙක් වූ, නැසීගිය බගවාන් ශ්‍රී රාජ්නෙෂ්ගේ අනුගාමිකයන් ඔරිගන්වල ප්‍රජාවක් පිහිටෙවූ නමුත්, ඔවුන්ගේ අසල්වැසියන්ගේ සදාචාර සංවේදනයන්ට පටහැනිව ක්‍රියා කළා. ඔවුන්ගේ නායකයාගේ ධනවත්කම සහ ඔවුන් කළ ලිංගික අත්හදාබැලීම් “අලංකාර ක්ෂේමභූමියක්” පිහිටුවා තිබෙන බවට වූ ඔවුන්ගේ ප්‍රකාශයන් දියාරු කළා.
පාරාදීස බලාපොරොත්තු ඇතුව ජනයා විසින් පවත්වාගෙන ගිය නිකායන් බොහොමයක්, සමහරවිට දරුණු සටන් පවා ඇති කරන අසාමාන්‍ය වත්පිළිවෙත්වල යෙදෙන්න ඔවුන්ගේ අනුගාමිකයන්ට බල කරනවා. පත්රකලාවේදී ඉයන් බ්‍රෝඩි මෙසේ පැහැදිලි කරයි: “තමන් ජීවත් වන්නේ ශුන්‍ය ස්ථානයක කියා හැඟෙන හෝ සැබෑ ලෝකයේ පීඩාවලට සාර්ථකව මුහුණ දීමට නොහැකි අයට, නිකායන් මගින් අභය භූමියක් සහ සංවිධානය කළ සමාජයක් ඉදිරිපත් කරනවා.” කෙසේනමුත්, බොහෝදෙනෙක් පාරාදීසයක ජීවත් වන්න කැමති වේවිය යන සත්‍යයට ඔහුගේ වචන සාක්ෂියක් වෙනවා.
ගැටලුවලින් තොර පාරාදීසයක්
ගැටලු ලැයිස්තුව කෙළවර නොවන බවයි පෙනෙන්න තිබෙන්නේ: දූෂණය, අපරාධ, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම, ජනාකීර්ණ වීම, ජනවාර්ගික ගැටුම්, දේශපාලන අරගල—මීට අමතරව සියලු මිනිසුන්ට පොදු ගැටලු, ලෙඩ රෝග සහ මරණය. නිගමනය විය යුත්තේ, මේ පෘථිවිය මත කොතැනකවත් සම්පූර්ණයෙන්ම ගැටලුවලින් තොර පාරාදීසයක් නැති බවයි. බ’නාඩ් ලෙවින් පිළිගන්නේ මෙලෙසයි: “මනුෂ්‍යවර්ගයාගේ වාර්තාවේ කැළලක් තිබෙන අතර, මනුෂ්‍යවර්ගයා සිටි මුළු කාලය පුරාම පාහේ එය තිබුණ බව පෙනෙන්න තියෙනවා. එය නම් මනුෂ්‍යයන් බොහෝදෙනෙකු සමඟ ඉතා සමීපව සතුටින් එකට ජීවත් වීමට නොහැකි වීමයි.”
කෙසේනමුත්, ඇත්තෙන්ම ගැටලුවලින් තොර සමස්ත ලෝක පාරාදීසයක් තිබෙන්න යනවා. එහි පැවැත්ම සහතික කර තිබෙන්නේ අධිමානුෂික බලයකින්. ඇත්තෙන්ම, දැන් පවා මිලියන පහකට වැඩි ජනතාවක් ඒ කරා වැඩ කරමින් සිටින අතර, ඔවුන් අතරෙහිම අගනා එකමුතුකමක් සහ සාපේක්ෂ වශයෙන් ගැටලුවලින් තොර වාතාවරණයක් ඔවුන් දැනටමත් භුක්ති විඳිනවා. ඔබට ඔවුන්ව සොයාගත හැක්කේ කොතැනකින්ද? ඔවුන් දැන් භුක්ති විඳින එම බලාපොරොත්තුවම සහ ප්‍රයෝජනම භුක්ති විඳින්න ඔබට හැකි වන්නේ කොහොමද? තවද පැමිණෙන පාරාදීසය කොයිතරම් කාලයක් තිබෙනු ඇද්ද?
[6වන පිටුවේ කොටුව]
පාරාදීස ප්‍රජා අත්හදාබැලීම්
දහනවවන සියවසේ මුල්භාගයේදී, ප්‍රංශ සමාජවාදියෙකු වූ ඒට්යන් කාබේ (1788-1856) සහ ආශ්‍රිතයන් 280දෙනෙක් ඔහුගේ පරමාදර්ශයන් මත පදනම්ව ඉලිනොයි, නෝවූහි අන්තර් ප්‍රජාවක් පිහිටෙව්වා. නමුත් අවුරුදු අටක් ඇතුළත ප්‍රජාව තුළ කොයිතරම් ආරවුලක් ඇති වුණාද කියනවා නම්, අයෝවේ සහ කැලිෆෝනියාවේ එවැනිම කණ්ඩායම් කළාක් මෙන්, එයට විගස තහංචි පැනෙව්වා.
චාර්ල්ස් ෆියූරිඅ නම් තවත් ප්‍රංශ ජාතිකයෙක් (1772-1837), එක්සත් කෘෂි ප්‍රජාවක සාමාජිකයන් සියලුදෙනාගේ කාර්යභාරයන් වෙනස් කරමින් ඔවුන්ට යම් සැලසුම් ඉදිරිපත් කළා. සමස්තයක් වශයෙන් මුළු කණ්ඩායමේම සාර්ථකත්වය මත හැම කෙනෙකුටම පාරිතෝෂිතයක් ගෙවිය යුතුව තිබුණා. නමුත් මේ ක්‍රියාමාර්ග මත පදනම් වූ ප්‍රජාවන්, ප්‍රංශයේ සහ එක්සත් ජනපදයේ පැවතුණේ කෙටි කාලයකටයි.
ඒ කාලයේදීම වාගේ, වේල්ස් ජාතික සමාජ සංශෝධක රොබට් ඔවෙන් (1771-1858) ප්‍රජා මුළුතැන්ගෙය සහ කෑම ගන්නා ප්‍රදේශ සහිතව සිය ගණන් ජනයා එකට ජීවත් වනු ඇති සමූප ගම්මාන පිහිටුවීමට යෝජනා කළා. එක් එක් පවුල් තමන්ගේම නවාතැන්වල ජීවත් වෙමින් තම දරුවන්ට වයස තුන වන තෙක් ඔවුන්ව රැකබලාගන්න අවශ්‍යව තිබුණා. ඉන්පසු, ඔවුන්ව රැකබලාගත යුතු වුණේ මුළු ප්‍රජාවම විසිනුයි. නමුත් ඔවෙන්ගේ අත්හදාබැලීම් අසාර්ථක වුණ අතර, ඔහුගේ පෞද්ගලික ධනයෙන් වැඩි හරියක් ඔහුට නැති වී ගියා.
ද නියූ එන්සයික්ලොපීඩියා බ්‍රිටෑනිකා හඳුන්වන ආකාරයට ජොන් නොයෙස් (1811-1886) “එක්සත් ජනපදයේ මනෝ රාජ්‍ය සමාජවාදී ප්‍රජාවල වැඩිම සාර්ථකත්වය” ඇති කළ තැනැත්තා බවට පත් වුණා. ඔහුගේ අනුගාමිකයන් ඒක විවාහයන් අත්හැර, සියල්ලන් අතර අන්‍යොන්‍ය එකඟතාවක් පමණක් ඇතුව ලිංගික සබඳතාවලට ඉඩ දුන් විට, කාමමිථ්‍යාචාරය සම්බන්ධයෙන් නොයෙස්ව අත්අඩංගුවට ගනු ලැබුවා.
මධ්‍යම අමෙරිකාවේ “මනෝ රාජ්‍ය අගනුවරක” ස්වරූපයක් ගත් ලසෙ ෆා’ නගරයෙහි මෑතකදී එවැනි මනෝ රාජ්‍ය ප්‍රජාවක් බිහි කරන්න වෑයමක් දැරුව බවට ලන්ඩන්හි ද සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි. ව්‍යාපෘතිය ආයෝජකයන් සොයාගත්තා. ඩොලර් 5,000ක් එවා බැඳෙන්නත්, ඉන්පසු, එවැනි කැමැත්තක් ඇති තවත් අයට තම මුදල් ආයෝජනය කිරීමට උනන්දු කරන නියෝජිතයන් වෙන්නත් කියා, “විසිඑක්වන සියවසේ ආශ්චර්යවත් නගරයේ” ජීවත් වීමේ ප්‍රස්තාවෙන් මුළා වූ, පාරාදීස සොයන අයට ආරාධනයක් කරනු ලැබුවා. “ඉදි කිරීමේ භූමියක් දීමටත්, එහි කුඩා හෝටලයක් තැනීමටත් රටක් පොලඹවාගත හැකි වුවත්,” මේ මුදල්වලින් කළ හැක්කේ එම ව්‍යාපෘතිය බලන්න යෑමට ගුවන් ටිකට්පතක් ලබාගැනීම පමණයි කියා පුවත්පත ප්‍රකාශ කළා. එහි “පාරාදීසයක්” ඇති වේයයි කියා කිසිම යථාර්ථවාදී බලාපොරොත්තුවක් තබාගන්න බැහැ.
[7වන පිටුවේ පින්තූරය]
පාරාදීසය සොයන බොහෝදෙනෙක්ට දූපතක් සිත්ගන්නා එකක්. නමුත් අදදින අපරාධ ඉතාමත්ම සාමකාමී ප්‍රදේශ පවා කෙලෙසනවා