වේගයේ ශූරයා
දකුණු අප්‍රිකාවේ පිබිදෙව්! වාර්තාකරු විසිනි
මෙම පදවි නාමය දරන්නේ කවරෙක්ද? ඒ චීටාය. ඌ ලෝකයේ සිටින, කෙටි දුර දිවීමේ වේගවත්ම සත්වයාය. එක් එක් චීටාට ඌටම ආවේනික වූ තිත් විශේෂයක් තිබේ—චීටා යන නාමය ලැබීමට හේතුවත් එයයි. මෙම නාමය “ලප සහිත ශරීරය” යන අරුත දෙන සංස්කෘත පදයකින් පැමිණේ.
බළලුන්ගේ පවුලට අයත් මෙම සත්වයාව දුටු කෙනෙහිම, කැපීපෙනෙන්නේ උගේ කකුල් බව ඇතමෙක් පවසති. උගේ පිටිපස්ස එල්ලා වැටෙන බවත්, උගේ හිස ඉතා කුඩා බවත් තවත් අය ප්‍රකාශ කරති. එහෙත් චීටාට නම් මෙම ලක්ෂණ ප්‍රයෝජනවත් වේ. දිවීමේදී හොඳ ආරම්භයක් දීමට දිගු පස්සා කකුල් ප්‍රයෝජනවත් වන අතර, චීටාට ලාලිත්‍යයකට ඇවිදීමටත්, එමෙන්ම දිවීමටත් ඒවා උපකාරවත් වේ. ඇරත් මෙම සත්වයාට සෑහෙන වේගයකින් දිවිය හැක! නිශ්චල ඉරියව්වක සිටින චීටෙකුට, තත්පර කිහිපයක් ඇතුළත පැයකට කිලෝමීටර 110ක වේගයකින් දිවිය හැකිය.
ඉතා වේගයෙන් දිවිය හැකි වන සේ චීටාව හොඳින් නිර්මාණය කර තිබේ. බරෙන් අඩු උගේ ඇටසැකිල්ලට, දඟරයක් මෙන් ඇකිළී නැවත දිග ඇරෙන, අසාමාන්‍ය ලෙස සුනම්‍ය වූ කොඳු ඇටයක් ඇතුළත් වේ. ඇතුළට නෙරාගිය පපුවක්, විශාල පෙණහලු, ශක්තිමත් හෘදයක්, සමබරතාව රැකීමට උපකාරවත් වන වලිගයක් සහ ඉක්මනින් හුස්ම ගැනීමට පහසු කරවන නාස්පුඩුද චීටාට තිබේ—මේ සියල්ල මෙම සත්වයාගේ අසාමාන්‍ය වේගයට දායක වේ. කෙසේවෙතත්, චීටාගේ ඉමහත් වේගය කෙටිකාලීන එකකි. මීටර් 400ක් පමණ ඉතා වේගයෙන් දිවීමෙන් පසුව, විවේකයක් ගැනීමට ඌට සිදු වේ.
චීටාවෝ සාමාන්‍යයෙන් මනුෂ්‍යයන්ට තර්ජනයක් එල්ල නොකරති. වසර ගණනාවකට චීටාවන් බෝ කර ඇති ඈන් වැන් ඩයික්, ද චීටාස් ඔෆ් ඩ විල්ට් නමැති ඇගේ පොතේ මෙසේ ලියයි: “මගේ පූස් පවුලට කෑම දුන්නායින් පස්සේ, කළුවර වැටෙන්ට කලින් ටික වෙලාවක් උන් එක්ක ගත කිරීමෙන් මම සතුටක් ලැබුවා. අපි අතරේ විශ්වාසයේ හැඟීමක් වර්ධනය වෙලා තිබුණා; ඒ වගේම, උන් හීලෑ කරපු සත්තු නොවුණත් උන් මට හානියක් කරන්නේ නැති බව මම දැනගෙන සිටියා.”
කෙසේවෙතත්, මනුෂ්‍යයන් හැමවිටම චීටාට එපමණ කරුණාවන්තකමක් දක්වා නැත. නිදසුනක් හැටියට, අප්‍රිකාවේ සිටින දඩයක්කාරයන් උගේ අසාමාන්‍ය සමට කෑදර වූ අතර, කැලෑ ප්‍රදේශ ජනාවාස කිරීම හේතුවෙන් චීටාට දිවීමට තිබෙන ඉඩ ප්‍රමාණයත් අඩු වී ඇත. මේ හේතුවෙන් චීටාවන්ගේ සංඛ්‍යාව සෑහෙන දුරකට අඩු වී ඇත. එක් කලකදී ඉන්දියාවේ ඇති තරම් චීටාවන් සිටියත්, 1952දී එම රටෙන් උන් වඳ වී ගියේය. පෙරදිග මධ්‍යධරණී මුහුදට ආසන්නව පිහිටි රටවල් කිහිපයකද තවදුරටත් උන්ව දැකගත නොහැක.
දෙවියන්වහන්සේගේ නව ලොවේදී තවදුරටත් කෑදර මනුෂ්‍යයන් අතින් සත්වයන් තර්ජනයට ලක් නොවනු ඇති නිසා, අපට කෙතරම් සන්තෝෂ විය හැකිද! (යෙසායා 11:6-9) මවිතකර ලෙස නිර්මාණය වූ, වේගයේ ශූරයා වන චීටාව, සමහරවිට ඔබට ඒ කාලයේදී දක්නට ලැබෙනු ඇත.