අද්විතීය මැටර්හෝන්
ස්විට්සර්ලන්තයේ පිබිදෙව්! වාර්තාකරු විසිනි
“මුළු ලොවේම ඇත්තේ එක් මැටර්හෝන් කන්දක් පමණි; ඒ ආකාරයේ සමතුලිත සමානුපාතවලින් යුත් එකම කන්ද එයයි. එය ආශ්චර්යවත් දසුනකි!” එසේ පැවසුවේ ග්වෙඩෝ රේ නම් ඉතාලි ජාතික කඳු තරණයකරන්නෙකි.
ඇත්තවශයෙන්ම, ලෝකයේ සුප්‍රසිද්ධ කඳුවලින් එකක් වන මැටර්හෝන් සුවිශේෂ කඳු මුදුනකි. මෙම පිටුවල දක්නට තිබෙන ඡායාරූපය ඇතැම්විට මේ චිත්තාකර්ෂණීය කන්දේ ඔබ දුටු මුල් පින්තූරය නොවන්ට පුළුවන.
පිරමිඩයක් බඳු මැටර්හෝන් කන්ද පිහිටා තිබෙන්නේ ඉතාලියේ හා ස්විට්සර්ලන්තයේ සීමාවේය, එනම් ස්විට්සර්ලන්තයේ සර්මැට් ගමට කිලෝමීටර 10ක් නිරිත දිගිනි, එම කන්ද නම් කරනු ලැබුවේද මෙම ගමට අනුවය. එය අහස දෙසට මීටර 4,478ක උසකට විහිදෙන අතර, එකිනෙකට මීටර 100ක පමණ දුරින් පිහිටි මුදුන් දෙකකින් සමන්විතය.
මධ්‍යම ඇල්ප්ස්වලට අයත් වුවත්, මැටර්හෝන් කන්ද කිට්ටු අසල්වැසියන් නොමැතිව තනිව පිහිටා ඇත. සෑම පැත්තකින්ම කන්දේ අලංකාරය දැකගැනීමට මෙය දායක වන අතර, එනිසා ලස්සන ඡායාරූප ගැනීමටද හැකි වෙයි.
සමහරුන් විසින් මැටර්හෝන් කන්ද උචිත ලෙස විස්තර කර තිබෙන්නේ, ක්‍රමයෙන් උල් වන චතුරස්‍ර ස්තම්භයක් ලෙසය. එහි පැති හතර ප්‍රධාන දිශා හතරට මුහුණලා පිහිටා තිබෙන අතර, සෑම පැත්තක්ම දාරයකින් පැහැදිලිවම වෙන් වී තිබේ.
ඉතා උස් වුවත් මැටර්හෝන් කන්ද සෑමවිටම හිමෙන් වැසී පවතින්නේ නැත. වසන්ත කාලයේ අගභාගයේදී, එහි අධික බෑවුම් සහිත ගල් පර්වතවලින් යුත් බිත්ති මත ඇති හිම සහ අයිස්වලින් යුත් වැස්ම හිරු රශ්මියේ උණුසුමට දියවී යයි. වඩාත් පහළින් නැඟෙනහිර දෙසටත් වයඹ දෙසටත් පිහිටා ඇති ග්ලැසියර, වර්ෂය පුරාම එහි බඳ වටේ ඇති සුදු බඳපටියක් මෙන් කන්දට ඇලවී පවති.
අගය කොට සලකන බොහෝදෙනෙකු මෙම අසමසම කන්ද මතු වූයේ කෙසේද කියා කල්පනා කර තිබේ. එය නෙළනු ලැබූ ද්‍රව්‍යයේ ඉතිරි කොටස් ලෙස සැලකිය හැකි ගල් කැබලි එහි පාමුල වටා දක්නට නොලැබේ. එවන් ගල් කැබලි, එය පැවත ඇති ගණන් කළ නොහැකි අවුරුදු දහස් ගණන අතරතුර සේදී යන්ට ඇත. මෙම අලංකාර දර්ශනයට ස්වභාව ධර්මයාගේ ප්‍රබල බලවේගයන් මොනතරම් දායක වන්ට ඇද්ද!
පුරාණ ජනාවාසයන්
මැටර්හෝන් කන්දේ පාමුල දක්වා විහිදෙන ඇල්පයින් නිම්නය, රෝම අධිරාජ්‍ය කාලයේදීම ජනාවාස වී තිබිණ. පොදු යුගයට පෙර 100දී, රෝම සේනාධිපති මැරියස්, මැටර්හෝන්ට නැඟෙනහිරින් පිහිටි ටේඔඩූල් ගිරි දුර්ගය හරහා මීටර 3,322ක උසකින් ගමන් කළ බව ඉතිහාසය වාර්තා කරයි. දකුණේ සිට උතුරට භාණ්ඩ ප්‍රවාහණය කිරීම සඳහා මෙම කඳු මාර්ගය මධ්‍ය කාලීන යුගයේදීද පාවිච්චි කරන ලදි.
එම කාලයේදී පදිංචිකරුවෝ දැඩි ගෞරවයකින් හා මිථ්‍යා බියකින් මැටර්හෝන් කන්ද සැලකුවෝය. යක්ෂයා පදිංචිව සිටින බව ඔවුහු සිතූ බැවින්, කිසිදාක කන්ද නැඟීමට උත්සාහ නොකළහ! අයිස් සහ හිමධාවය මෙන්ම ගෙවල් තරම් විශාල පර්වත කැබලි හදිසියෙන් කඩා වැටීමට සලස්වනු ඇත්තේ වෙන කවුද?
ස්වාභාවික විද්‍යාව කෙරෙහි වර්ධනය වන උනන්දුව
පුරාතන මනුෂ්‍යයන් බිය නිසා මඟහැරිය දෙය, පසුව එංගලන්තයේ උසස් සමාජයන්හි නවීන පන්නයේ දෙයක් බවට පත් විය. විද්‍යාත්මක උනන්දුව වර්ධනය වන්ට පටන්ගත් අතර, මේ හේතුවෙන් භූ විද්‍යාව, භූ ලක්ෂණ සහ උද්භිත විද්‍යාව වැනි ක්ෂේත්‍රයන් ඔස්සේ දැනුම ලබාගැනීම සඳහා අධ්‍යයනය කිරීම පිණිස පර්යේෂකයන් කඳු නැඟීමට පෙලඹිණ.
ඇත්තවශයෙන්ම, 1857දී එංගලන්තයේ ඇල්පයින් සමාජය පිහිටුවනු ලැබූ අතර, ඇල්ප්ස්හි තරඟාවලියට සහභාගි වීමට බොහෝ ධනවත් ඉංග්‍රීසි ජාතිකයෝ ප්‍රංශය, ඉතාලිය හෝ ස්විට්සර්ලන්තය වැනි රටවලට ගමන් කළහ. එඩිතරවූවෝ මොන්ට් බ්ලෑන්ක් ඇතුළුව, කඳු මුදුනක් මුදුනක් පාසා නැඟ්ගෝය. මීටර 4,807ක උසකින් යුත් මෙම කන්ද යුරෝපයේ වඩාත්ම උස කන්ද වුවත්, එය කඳු තරණයකරන්නන්ට මැටර්හෝන් කන්දට වඩා අඩු අපහසුතාවක් ඉදිරිපත් කරයි.
මේ ප්‍රයත්න සියල්ලක්ම ස්වාභාවික විද්‍යාවේ නාමයෙන් සිදු කරනු ලැබු ඒවාම පමණක් නොවේ. කීර්තියට ආශාව කෙමෙන් ඇතුල් විය, වඩාත්ම එඩිතර තැනැත්තා, ශක්තිමත්ම පුද්ගලයා වීමේ කීර්තිය වනාහි විශාලම දෙය විය. එංගලන්තයේ එම කාලයේදී, “ක්‍රීඩාව” යන වචනයෙන් වෙන කිසිවක් නොව, කඳු තරණය කිරීම අදහස් කෙරිණ.
වර්ෂ 1865 ග්‍රීෂ්ම කාලය වනාහි කඳු තරණය වැඩි වශයෙන්ම සිදු වූ කාලයකි, විශේෂයෙන් මැටර්හෝන් කන්ද සම්බන්ධයෙන් මෙය සත්‍යයක් විය. මැටර්හෝන් සම්බන්ධයෙන් ගත් කල, එය කඳු තරණයකරන්නන්ගෙන් බහුලව පැවති කඳුවලින් එකක් විය. තවමත් තරණය නොකරන ලද වශී කරවන, පිරමිඩයක් බඳු මෙම චිත්තාකර්ෂණීය කන්ද, තරණය කර ජයගැනීමට තිබූ අවසාන කඳු අතර විය. ඊට ළං විය නොහැකියයි සලකනු ලැබූ අතර, ප්‍රාදේශීය මඟපෙන්වන්නෝ උත්සාහ කිරීම පවා ප්‍රතික්ෂේප කළෝය. ‘හෝන් හැර වෙනත් ඕනෑම කඳු මුදුනක්’ යන්න ඔවුන්ගේ ආකල්පය විය.
කෙසේවෙතත්, මැටර්හෝන් තරණය කර ජයගැනීම වැළැක්විය නොහැක්කක් විය. එක්දහස් අටසිය හැට ගණන්වල මුල්භාගයේදී ඇල්පයින් කඳු මුදුන් කිහිපයක් තරණය කරනු ලැබිණ. තරණයකරන්නෝ අද්දැකීම්වලින් ඉගෙනගත් අතර, නව ශිල්ප ක්‍රම වර්ධනය කළෝය. ඇල්පයින් සම්බන්ධයෙන් පොතකට, එම කන්දේ දර්ශන චිත්‍රයට නැංවීම සඳහා එංගලන්තයේ කර්තෘවරයෙකු විසින් එඩ්වර්ඩ් විම්පර්ව වයස අවුරුදු 20දී එංගලන්තයෙන් ස්විට්සර්ලන්තයට යවනු ලැබීය. විම්පර් කඳුවලට වශී වූ අතර, කඳු තරණය කෙරෙහි ඔහුට දැඩි ආශාවක් ඇති විය. ඔහු ප්‍රංශයේ සහ ස්විට්සර්ලන්තයේ බොහෝ කඳු මුදුන් තරණය කිරීමෙහි පළමුවැනියා වූ අතර, මැටර්හෝන් තරණය කිරීමට කිහිප වතාවක්ම උත්සාහ කළේය. එහෙත් එය තරණය කිරීමට නොහැකි විය.
මැටර්හෝන් තරණය කිරීමේ ජය අත් වේ!
අවසානයේදී, 1865 ජූලි මස මැටර්හෝන් තරණය කිරීමට අධිෂ්ඨානය කරගත් විවිධ තරණයකරන්නන්ගෙන් සැදි කණ්ඩායම් තුනක් සර්මැට්හි හමු වූහ. ඔවුන්ට කලින් ඉතාලියානු කණ්ඩායමක් කන්ද තරණය කරාවි යන අදහස නිසා, එක් කොර්ඩේ හෝ කඹයක් ආධාරයෙන් කරන කඳු තරණයකරන්නන් හැටියට ඒකාබද්ධ වී මෙය කිරීමට කණ්ඩායම් තුනම තීරණය කළේය. කණ්ඩායම පුද්ගලයන් හත්දෙනෙකුගෙන් සමන්විත විය—එනම් එඩ්වර්ඩ් විම්පර් සහ ශ්‍රීමත් ෆ්‍රාන්සස් ඩග්ලස්, චාල්ස් හඩ්සන් සහ ඔහුගේ තරුණ මිතුරු හැඩෝ—මොවුහු සියල්ලෝම ඉංග්‍රීසි ජාතිකයෝ වූහ—තවද මඟ පෙන්වන්නෝ වශයෙන්, ස්විස් ජාතිකයන් දෙදෙනෙක් සහ එක් ප්‍රංශ ජාතිකයෙක්ද හවුල් කරගැනීමට ඔවුහු සමත් වූහ.
ජූලි 13වනදා උදෑසන සර්මැට්වලින් පිට වූ ඔවුන්, කඩිනමකින් තොරව නැඟෙනහිර දෙසින් කන්දට ළඟා වූ අතර, පහළ කොටස් සාපේක්ෂ වශයෙන් නැඟීමට පහසු බව ඔවුන්ට දැනගන්ට ලැබිණ. මීටර 3,300ක පමණ උසක තම කූඩාරම සවි කරගත් ඔවුහු, එම හිරු රශ්මියෙන් යුත් දවසේ ඉතිරි කාලය විවේකයෙන් ගත කළහ.
ඊළඟ දින, එනම් ජූලි 14, අරුණෝදයට පෙර, ඔවුහු කන්ද නැඟීමට පටන්ගත්හ. කඹය අවශ්‍ය වූයේ ඉඳහිට පමණි. සමහර කොටස් තරණය කිරීම අනිකුත් ඒවාට වඩා දුෂ්කර විය, නමුත් බාධා ජයගැනීමට මාර්ගයක් ඔවුහු සොයාගත්හ. ඔවුහු දෙවතාවක් විවේක ගැනීමෙන් පසුව, ඉතාමත් තීරණාත්මක කොටසට ළඟා වූහ. අවසාන මීටර 70 හිම කෙතකින් සමන්විත වූ අතර, පස්වරු 1:45ට ඔවුහු කඳු මුදුනට ළඟා වූහ. මැටර්හෝන් තරණය කර ජයගන්නා ලදි!
කඳු මුදුනට කිසිම කෙනෙක් පැමිණ තිබූ බවට කිසිදු ලක්ෂණයක් නොතිබිණ, එබැවින් පෙනෙන ලෙසට ඔවුහු ප්‍රථම අය වූහ. මොනතරම් හැඟීමක්ද! සෑම දිශාවකින්ම වූ මවිත කරවන දර්ශනය පැයකට පමණ ජයග්‍රාහී කණ්ඩායම භුක්තිවින්ද අතර, පසුව ඔවුහු බැසීමට සූදානම් වූහ. එම දිනයේදීම නැඟීමට උත්සාහ කළ ඉතාලි ජාතික තරණයකරන්නෝ ඉතා ඈතින් සිටි අතර, තරඟයෙන් ඔවුහු පරාජය වූ බව අවබෝධ කරගත් හෙයින් හැරී නැවත පහළට බැස ගියෝය.
ඉතා ඉහළ මිලක්
කෙසේවෙතත්, තරණය කළ අයගේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල පාඩුවක් විඳීමට ඔවුන්ට සිදු වනු ඇත. බැසීමට දුෂ්කර ස්ථානයකට ළඟා වූ විට, වඩාත් අද්දැකීම් ලත් මඟ පෙන්වන්නා පෙරමුණ ගන්නා පරිදි, ඔවුහු එකිනෙකාව කඹයකින් බැඳගත්හ. ඔවුන් පරෙස්සමින් කටයුතු කළත්, ඔවුන්ගෙන් බාලම තැනැත්තා ලිස්සී පහළ සිටි පුද්ගලයා මතට වැටුණේ ඉහළ සිටි අයවත් ඇදගෙනය. බයෙන් කෑගැසීමේ ශබ්දයකින් අවදි වූ, අන්තිම පුද්ගලයන් තිදෙනාට පර්වතය තදින් අල්ලාගැනීමට හැකි විය. නමුත් කඹය කැඩී, ඇසිපිය හෙළන ක්ෂණයකින් පළමු පුද්ගලයන් සිව්දෙනාව ප්‍රපාතයේ නොපෙනී ගියේය.
ත්‍රාසයට පත් එඩ්වර්ඩ් විම්පර් සහ ස්විස් ජාතික මඟපෙන්වන්නෝ දෙදෙනා ඉතා අන්තරා සහිත තත්වයක සිටියෝය. ඔවුන්ට රාත්‍රිය එළිමහනේ ගත කරන්ට සිදු වූ අතර, සර්මැට්වලට ඊළඟ දිනයේදී පැමිණීමට සිදු විය. මෙලෙස එම දිනයේ කීර්තිය ඉක්මනින්ම විපත්තියක් බවට හැරුණු අතර, තවද එය ඉන් බේරුණු අයගේ ජීවිතයේ ඉතිරි කාලයටම බලපෑවේය.
පසුව, අනතුර සිදු වූ ප්‍රදේශයට මීටර 1,200කට පහළ හිම ග්ලැසියරයකින් මළ සිරුරු හතරෙන් තුනක් සොයාගැනීමට හැකි විණ. සිව්වැන්නා, එනම් ශ්‍රීමත් ඩග්ලස්ගේ සිරුර කිසිදාක සම්බ වූයේ නැත.
මැටර්හෝන් බෑවුම්වලට ගොදුරු වූ අවසාන අය මොවුන් පමණක් නොවේ. පර්වතයේ බිත්ති සහ උඩට හා හරහට ගිය විවිධ ගමන්වලදී ශක්තිමත් ලෙස කඹ බොහෝමයක් සවි කර තිබුණත්, එමෙන්ම කඳු තරණයකරන්නන්ට වැඩි අද්දැකීම් සහ බොහෝ සෙයින් දියුණු ආම්පන්න තිබුණත් මෙම කන්දේම මරණ 600ක් පමණ සිදු වී තිබේ.
අන්තරායන්
අන්තරායට වැඩියෙන්ම දායක වන එක් දෙයක් නම්, කාලගුණයයි. එය ඉතා ඉක්මනින් වෙනස් විය හැක. දවසක් ඉතා ප්‍රසන්න ආකාරයකින් ආරම්භ විය හැකි මුත් කෙනෙකු ඒ බව අවබෝධ කරගැනීමටත් පෙර, ඝන ධූමිකාවක් හෝ බර වූ අඳුරු වළාකුළුවලින් පිරමිඩය වැසී යා හැකි අතර, බියගන්වන කුණාටුවක් ඇති විය හැක. මෙය සමහරවිට භයංකර විදුලි කෙටීම්වලින්ද අකුණු පහරවල් හා ජව සුළඟක්ද සමඟින් ඇති විය හැකි අතර, අධික ලෙස හිම පතනය වීමෙන් අවසන් විය හැක. ඇරත් මේ සියල්ලම ග්‍රීෂ්මයේ ලස්සන දවසක් තුළය!
තත්වයේ මෙබඳු වෙනස්වීමකට තරණයකරන්නන් හසු වුවහොත්, ඇතැම්විට එළිමහනේ, සිටගැනීමටවත් ප්‍රමාණවත් ඉඩ කඩ නොමැති ඉතාමත් කුඩා වේදිකාවක් බඳු තැනක ඔවුන්ට රාත්‍රිය ගත කිරීමට සිදු විය හැක. උෂ්ණත්වය මිදෙන අවස්ථාවට වඩා පහළින් තිබිය හැක. පහළින් ඇත්තේ ප්‍රපාතයයි. එවන් අවස්ථාවකදී, තමා දුරින් සිට මැටර්හෝන් නැරඹුවා නම් හොඳයයි යමෙකුට හැඟිය හැකිය!
තවත් අන්තරායක් නම්, ගල් කඩාගෙන වැටීමයි. සමහරවිට සුපරීක්ෂාකාරි නොවන තරණයකරන්නෝම ගල් වැටීමට සලස්වති. කෙසේවෙතත්, බොහෝ අවස්ථාවලදී ස්වාභාවධර්මය හේතු කාරකය වේ. උෂ්ණත්වයේ වෙනස්වීම්, අයිස් හා හිම, ඇද හැළෙන වර්ෂා සහ දැඩි හිරුඑළිය මෙන්ම හෝන් වටා වේගයෙන් හමන සුළඟ යන සියල්ල ගල්වලට බලපාන බැවින්, විශාල ගල් කැබලි බුරුල් වී කඩා වැටේ. එකක් මත එකක් තැබූ විශාල පිඟන් ගොඩක් මෙන් සමහර අවස්ථාවලදී ඒවා වසර ගණනාවක් පුරා එක් ස්ථානයක පැවත තිබිය හැකි මුත්, අවසානයේදී ඒවා චලනය වී බිමට ඇදවැටීමට හිමධාව හේතු විය හැක.
මෙම ක්‍රියාවලිය වසර දහස් ගණනාවක් සිදු වී ඇති මුත්, මෙම කන්ද එහි හැඩයේ කිසිදු වෙනස්වීමක් නොපෙන්වමින්, ක්‍රමයෙන් උල් වන හීන්දෑරි චතුරස්‍ර ස්තම්භය බඳු හැඩරුව පවත්වාගෙන තිබීම ගැන කඳු තරණය කරන බොහෝදෙනෙක් මවිත වී ඇත්තාහ. ඝන මීටර බිලියන 2.5ක් බව ගණනය කර ඇති මෙම පර්වතය හා සසඳන කල වැටෙන්නාවූ ගල්, එහි හැඩය වෙනස් කිරීමට සැලකිය යුතු තරම් ප්‍රමාණවත් නොවේ. කෙසේවෙතත්, ඒවා මගින් හානි හා ජීවිත අහිමි වීම් සිදු කරයි.
මේ අතරතුර, මැටර්හෝන් කන්ද නැඟීම බොහෝදෙනෙකු කළ යුතු යමක් බවට පත්ව තිබේ. සමහර මඟ පෙන්වන්නන් එහි මුදුනට වාර සිය ගණනක් පමණ නැඟ තිබේ. තවත්, සෑම වතාවකම වෙනස් ගමන් පථයක් තෝරාගනිමින්, බොහෝ ස්ත්‍රීහු සහ පුරුෂයෝ නැවත නැවත මෙම වික්‍රමාන්විත ක්‍රියාව කරති.
එහෙත් එය තරණය කිරීමට තත්වයන් වාසිදායක නොවන බව හෝ ඔවුන්ගේ හැකියාව, සෞඛ්‍ය තත්වය නැත්නම් පුහුණුව ප්‍රමාණවත් නොවන බව අවබෝධ කරගන්නා අයද සිටී. මෙනිසා තරණය තවදුරටත් නොකිරීමෙන්, ඔවුහු මැටර්හෝර්න් “තරණය කිරීමේ” කීර්තියට ඉහළින් සිහිකල්පනාවට ජයගැනීමට ඉඩහරිති.
කෙසේවෙතත්, ඔබ මෙම චිත්තාකර්ෂණීය කන්ද ඡායාරූපවල හෝ චිත්‍රපටවල දැක තිබුණත්, නැතහොත් හිරු උදා වන හෝ බැස යන අවස්ථාවේදී ළඟින් සිටගෙන ගරුබියෙන් යුක්තව එහි අලංකාරවත් පැහැයන් දෙස බලාගෙන සිටියා නම්, ඔබට ශ්‍රේෂ්ඨ මූර්ති ශිල්පියා ගැන සිහිවන්ට ඇත. උන්වහන්සේගේ හස්ත කර්මාන්තය සඳහා දැඩි ගෞරවයෙන් යුතුව ගීතාවලිය 104:24හි සඳහන් මෙම වචන ඔබගේ හෘදයේ ප්‍රතිනාද වන්ට ඇත: “ස්වාමිනි, ඔබගේ කර්මාන්ත කොපමණ නානාප්‍රකාරද! ඔබ මේ සියල්ල ප්‍රඥාවෙන් සෑදූසේක. පොළොව ඔබගේ සම්පත්තියෙන් පූර්ණය.”