යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ හෘද ශල්‍යකර්මයේ දියුණුවට හේතුකාරකයෝ
වර්ෂ 1995 අගෝස්තු 27වන දින නිව් යෝර්ක්හි ඩේලි නිව්ස් පුවත්පත් වාර්තාවේ මාතෘකාව වූයේ “රුධිරය රහිත ශල්‍යකර්මය” යන්නය. නිව් යෝර්ක්හි කොර්නල් මෙඩිකල් සෙන්ටර් නමැති රෝහල මගින් “ලේ බින්දුවක්වත් අපතේ හැරීමකින් තොරව, කිරීටක විපථ යැවීමේ ශල්‍යකර්මය (coronary bypass surgery)—කලින් නගරාධිපතිව සිටි ඩේවිඩ් ඩින්කින්ස්ට මෑතකදී අවශ්‍ය වූ ආකාරයේ ශල්යකර්මයම—සිදු කිරීම සඳහා බොහෝ සෙයින් වෙනස් වූ ක්‍රමයක් හෙළි කිරීමට” යන බව එහි සඳහන් විය.
“යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ සැලකිල්ලට භාජන වන දෑ ගැන සෙවීමට පොලඹවනු ලැබූ නිසා, නව ක්‍රියා පිළිවෙළේ ආශ්චර්යය . . . රෝහල් සඳහා ඩොලර් සියදහස් ගණන් ඉතිරි කිරීමක්ද, රෝගීන්ට රුධිරය දූෂණය වීමේ අවදානම සැලකිය යුතු තරම් අඩුවීමක්ද පිළිබිඹු කරනු ඇත,” යයි එම පුවත්පත පවසයි. එම රෝහලේ රුධිර රහිත ශල්‍යකර්ම වැඩසටහනේ අධ්යක්ෂ වෛද්‍ය ටොඩ් රොසංගාට් මෙසේ පැවසුවේය: “මෙම සැත්කමේදී එක් ලෙඩෙකුට සාමාන්‍යයෙන් අවශ්‍ය වන රුධිර ඒකක දෙකේ සිට හතර දක්වා ප්‍රමාණය, බින්දුව දක්වා අඩු කිරීමට දැන් අපට පුළුවන්.”
එම ක්‍රමය ආරම්භ කිරීමට උපකාර කළ, හෘත් ශල්‍ය වෛද්‍යවරයෙකු වන කාල් ක්රේගර් මෙසේ පැවසුවේය: “රුධිරය පරිත්‍යාග කිරීමට සහ රුධිර නිෂ්පාදනවලට තිබෙන අවශ්‍යතාව ඉවත් කිරීමෙන්, ශල්‍යකර්මයෙන් පසුව සාමාන්‍යයෙන් හටගන්නා, රුධිර ප්‍රවේශන හා සම්බන්ධ ඇතැම් උණ වර්ග සහ ආසාදනවල අවදානමද අපි අඩු කරනවා.”
“රුධිරය රහිත විපථ යැවීමේ සැත්කම නිසා ශල්‍යකර්මයෙන් පසුව දැඩි සත්කාර ඒකකයේ ගත කරන කාලය—එනම් පැය 24ක් හෝ ඊට වැඩි කාලයක්, හුදෙක් පැය හයකට අඩු කරන” බව වෙනත් ප්‍රවීණයෝ පවසති. “රුධිරය රහිත ශල්‍යකර්මයට භාජන වූ රෝගීන්ට පැය 48ක් තරම් කෙටි කාලයකින් යථා තත්වයට පත් වී රෝහලෙන් පිටවීමට හැකි විය.” එය වනාහි රෝහල්වලට, රජයට සහ රක්ෂණ සංස්ථාවලට විශාල ඉතිරි කිරීමක් අඟවයි. “මෙම ශල්‍යකර්මය මගින්, අඩුම වශයෙන් එක් රෝගියෙකුට ඩොලර් 1,600ක් පමණ ඉතිරි කළ හැකි” බව වෛද්‍ය රොසන්ගාට් තක්සේරු කළේය.
ඩේලි නිව්ස්හි වාර්තාවේ තවදුරටත් මෙසේ සඳහන් විය:
“නොඅනුමානවම, නව ශල්‍යකර්ම ක්‍රමය සොයාගනු ලැබුවේ ආර්ථික හෝ වෛද්‍යමය හදිසිතාවය නිසා නොවේ, නමුත් ආගමික ජ්වලිතය නිසාය. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ විශ්වාසයන්ට අනුව රුධිර ප්‍රවේශන තහනම් දෙයකි—ඔවුන්ගේ සමාජයේ හෘදයාබාධ නිසා මියයන වයස්ගත සාමාජිකයන්ට අවශ්‍ය උපකාර ඔවුහු සොයමින් සිටියහ. . . .
“යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රජාවේ බලවත් පෙලඹීම නිසා, වෛද්‍යවරු රුධිරය අපතේ යෑම වැළැක්වීමේ ක්‍රම නව ඖෂධ සමඟ සංයෝග කළහ. තවද හෘත් ශල්‍යකර්මයේදී රෝගීන්ව පණපිටින් තබාගැනීම සඳහා සාමාන්‍යයෙන් යොදාගැනෙන, හෘත්-පෙණහලු යන්ත්‍රය ප්‍රයෝජනයට ගත හැකි අලුත් ක්රමයක්ද ඔවුහු සොයාගත්හ.
“මූලික චිකිත්සාගාර අධ්‍යයනයට ඇතුළත් වූ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් 40දෙනාට අමතරව, මාස හයකට ඉහතදී නිව් යෝර්ක්-කොර්නල් වෛද්‍ය කණ්ඩායම විසින් සාමාන්‍ය රෝගියාටත් එම ක්‍රමය හඳුන්වා දෙන ලදි. ‘එවක් පටන්, මරණයට පත්වීමකින් තොරව, රුධිර රහිත හාර්දික විපථ යැවීමේ ශල්‍යකර්ම 100ක් ඔවුන් අනුපිළිවෙළින් සිදු කර තිබෙනවා,’ යයි ක්රේගර් පැවසුවේය. සාමාන්‍ය හාර්දික විපථ යැවීමේ ශල්‍යකර්මය සඳහා මරණ අනුපාතය 2.3%ක් පමණ වේ.”
ලොව පුරා රෝහල් 102ක් මගින් ඒවායේ පහසුකම්වලට රුධිර රහිත ශල්‍යකර්ම වැඩසටහන්ද එකතු කර තිබෙන අතර, එමනිසා ලොව පුරා වෙසෙන සාමාන්‍ය රෝගී ප්‍රජාවටද මෙම වඩාත් සුරක්ෂිත ශල්‍යකර්ම ක්‍රියා පිළිවෙත් ලබාගත හැකි වේ.